හෝල් එක හිස්! බාර් එක හවුස් ෆුල්! | සිළුමිණ

හෝල් එක හිස්! බාර් එක හවුස් ෆුල්!

බීර නම් වූ බීමක් මේ ලෝකයේ ඇති බව මා මුලින් ම දැන ගත්තේ ගම්පහ පබ්ලික් හෝල් නම් සිනමා ශාලාවෙනි. ඒ මෙසේ ය. ශාලාව ගෝලෝ විදුලි ලාම්පුවලින් ආලෝකවත් වූ අතර, ඉදිරිපස සුදු තිරය අපට කිසි දිනක දක්නට නොලැබුණේ රක්ත වර්ණ රෙදි තිරයකින් ආවරණය කර තිබූ බැවිණි. තුන්වන සීනුව නාදවීමත් සමඟ ම රක්ත වර්ණ රෙදි තිරය දෙපසට වන්නේ ප්‍රොජෙක්ටරයේ ආලෝක කදම්බය ඒ මත පතිත වීමට සමාන්තරව ය. ඒ සමඟ ම නුවරඑළිය බීර නම් වූ ස්ලයිඩ් දැන්වීමක් තිරය මත පතිත වෙයි. රතු තිරයෙන් එහා පැත්තේ සුදු තිරය බලන්නට උත්සාහ කළ හැමවිටම දක්නට ලැබුණ බීර දැන්වීම නිසා එහි ආපන ශාලාවේ ඒවා තිබුණා යැයි මම සිතමි.

එහෙත් පසු කලෙක චිත්‍රපට නැරඹීම ආගමක් බවට පත් වූ කල්හි අගනුවර බොහෝ සිනමා ශාලාවල බියර් පමණක් නොව, ඊට වඩා බොහෝ සැර බීම ද ඇති බව ද, මා හට දැනිණ. මේ ආකාරයට චිත්‍රපට බැලීමත් සමඟ අඩියක් ගසන්නට බාර් එකකුත් තිබීමේ කටයුත්තට බලධාරීන් කුමන අරමුණකින් අනුමැතිය දුන්නා ද යන්න මම නොදනිමි. නමුත් පොදු ජනතාවට විනෝදාස්වාදය සපයන එකම මඟ සිනමාව බවට පත් වූ යුගයක, සිනමා ශාලා වෙත ඇදී ආ තරමට සාපේක්‍ෂව විශාල ජනකායක් එහි බාර් එකට ගොඩ වූයේ නැත. එයට මූලික හේතු දෙකක් තිබිණි. එකක් නම්, මේ කියන කාලයේ චිත්‍රපට නැරඹීම බොහෝ විට පවුලේ කටයුත්තක් බවට පත්ව තිබීම ය. වැඩි දෙනෙකු එහි ආවේ දරුමල්ලන් ද කැටුව ය. දෙවැන්න සිනමා හලේ ආපන ශාලාවේ වැඩි මුදලක් ගෙවා අඩියක් ගසන්නට තරම් පුරුද්දක් හෝ ආර්ථීක හැකියාවක් ජනතාවට නොතිබීම ය. බොහෝවිට ඔවුන්ගේ මානසික සන්තෘෂ්ටිය චිත්‍රපටකරුවා විසින් සන්තර්පණය කිරීම ද එක් හේතුවක් විය.

එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිදුවන්නට පටන් ගත්තේ මෙහි අනෙක් පැත්තය. එනම් බොහෝ අවස්ථාවල සිනමා ශාලාවට ඇතුළ් වෙනවාට වඩා වැඩි පිරිසක් සිනමා ශාලාවට අයත් බාර් එකෙහි සිටිනු දක්නට ලැබීම ය. මේ නිසා ඇතැම් සිනමා හල් වලට අයත් බාර් නිසාම එම සිනමාහල් ප්‍රසිද්ධියට පත්වන තත්ත්වයකට ද පත් විය.

මේ සඳහා මා හට හොඳම උදාහරණය සැපයිය හැක්කේ වසර දාහතක් මා සේවය කළ සුමති පුවත්පත් සමාගම පිහිටා තිබුණේ අශෝක සිනමාහල් සංකීර්ණයට අයත් කොටසකම නිසා ය.

මුලින් ම සරසවි චිත්‍රපට උලෙළ පවා පැවැත්වීමට තෝරා ගත් අශෝක සිනමා හල ඒ වන විට ලංකාවේ ලොකුම බැල්කනිය සහිත සිනමා ශාලාව වූයේ ය.

එමෙන් ම සිනමා හලක මතු නොව, සාමාන්‍ය තැන්වල වුවද දැකිය නොහැකි තරමේ සුන්දරම බාර් එක තිබුණේද මෙම සිනමා හලෙහි බව කිව යුතුව ඇත.

උදේ 9.00 සිට රාත්‍රී 11.00 පමණ වනතුරු ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට තමාගේ ශෝක පරිතාප දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදී වෙන මම ලෝකයකට ඇතුළු විය යුතු නම් යා යුතුව තිබුණේ මේ අපූර්ව බාර් එක වෙත ය.

ඉදිරිපත් කෙරුණු අඳුර සහ ආලෝකය මිශ්‍රිත ඇම්බර් පැහැති විදුලි ආලෝකය ද, බීම කවුන්ටරයේ මනාව අසුරන ලද විවිධ වර්ගයේ බෝතල්වල දිලිසීම ද, මෙතැනට ම ආවේණික ගල් මාළු දීසියේ සුගන්ධය ද, පිරිසුදු භාවයද, මෘදු මොළොක් සංගීත නාදය ද අපව වෙනම ලෝකයකට කැඳවාගෙන, ගියේ සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් හිත මඳකට ඉවත් කරවාලමිනි.

එක් පසෙක බිත්තියේ සවි කර ඇති සිංහල සිනමාවේ ජනප්‍රිය නළු නිළි තාරකාවන්ගේ ඡායාරූප විසින් ඇති කරවනු ලැබූ අතීත ස්මරණයන් ද මෙහිදී බොහෝ මාතෘකාවලට පසුබිම සැපයූ බවද අපට මතකය.

මුලින් ම කර්තෘ මණ්ඩලය පවත්වා ගෙන ගිය සිව් මහල් පැරණි ගොඩනැඟිල්ලේ වූ විවිධාකාර පඩි පෙළවල් ඔස්සේද, අඳුරු කොරිඩෝ ඔස්සේ ද, අශෝකා බාර් එක වෙත සම්ප්‍රාප්ත වීමට අපට විවිධාකාර මංපෙත් තිබිණි.

ඇත්තම කියනවා නම් අපේ අශෝකා බාර් එකෙහි ගල් මාළුවා සමඟ ගල් ඇබිත්තක් බීමට මිතුරකුට ආරාධනා කිරීම පවා ඔහුට කරන විශේෂ සංග්‍රහයක් බවට පත් වී තිබූ බව අපට මතකය.

එවකට දිවයින පුවත්පතෙහි සේවය කළ චන්ද්‍රසිරි දොඩංගොඩ, සුසිල් ප්‍රේමලාල්, අශෝක ගුණතිලක, ජයන්ත චන්ද්‍රසිරි ඇතුළු හිත මිතුරන් එසේ පැමිණි බව අපට මතකය.

නමුත් මේ කාලය වන විට කොළඹ නගරය තුළ වූ අනෙකුත් සිනමා ශාලා, බොහෝමයක ද, ප්‍රේක්‍ෂකයා වෙනුවට කස්ටර්මස්ලා සහිත බාර් පමණක් ඉස්මතු වී පෙනෙන්නට තිබීම සුබ ලකුණක් නොවේ. මේ මොහොත වන විට ඒ තත්ත්වය කෙතෙක් ප්‍රචලිතව පවත්නේ ද ගමනක් යන අතරතුරදී අඩියක් ගසන්නට අසවල් හෝල් එකේ බාර් එකට යමු යැයි පවසන තත්ත්වයකට ජනතාව පත්ව සිටිති. ගසට පොත්ත මෙන් සිනමා ශාලාව සඳහා ලැබුණු බාර් එක නමැති පොත්ත පමණක් ජනතාව අතට පත් වී ගස මැරීයාම හොඳ ලකුණක් නොවන්නේ ඊළඟට පොත්තට ද ආගිය අතක් නැති වන්නට ඉඩ ඇති නිසා ය. හෝල් එක හිස් වී බාර් එක හවුස්ෆුල් වීම හොඳ ලකුණක් නොවේ!

 

Comments