සාහි­ත්‍යය යනු හුස්ම ගන්නා පරි­ක­ල්ප­න­යයි | සිළුමිණ

සාහි­ත්‍යය යනු හුස්ම ගන්නා පරි­ක­ල්ප­න­යයි

“අද වන විට ඇති වී තිබෙන ගොවි ජනපද යෝජනා නිසා විශාල වශයෙන් වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි වීම සිදු වේ. එසේම වෙනත් පෙදෙස්වලින් මිනිසුන් මේ ජනපදවලට පැමිණෙමින් සිටින අතර එසේ පැමිණෙන ඔවුන්ගේ ගතිගුණ පාරම්පරික කැලෑ ගම්වැසියන්ගේ ඇවැතුම් පැවැතුම් වලට වඩා වෙනස් ය. ඔවුහු දබර කර ගැනීමට මහත් සේ කැමති වෙති. තවද වන සෞන්දර්යය ගැන කිසිදු හැඟීමක් නැත්තවුන් මෙන් හැසිරෙති, නාගරික ගතිගුණ ඇති ඔවුන්ගෙන් වන සම්පත් සුරැකෙනු ඇතැයි සිතිය නොහැකිය.”

ඔබ ඒ කියවූයේ යටත් විජිත සමයේ අවසාන කාලයේ දී සෞඛ්‍ය හේතු මත විවේකි නිවාඩුවක් වෙනුවෙන් වියළි කලාපීය වන පෙදෙසක වාසය කොට නිදහස් ලංකාවේ සේනානායක ආණ්ඩුවේ දේශපාලන හැසිරීීම් ද නිරීක්ෂණය කොට පෙරලා සිය මවුබිම කරා ගිය ඩග්ලස් රැෆල් නම් විශ්‍රාමික රාජකීය ගුවන් හමුදා නිලධාරියා “ඉන් රුහුණු ජංගල්” නමින් සිය අත්දැකීම් ඇසුරෙන් ලියූ කෘතියෙන් ගත් උද්ධෘතයකි. ඒත් මෙතැන් සිට ඔබ කියවන්නේ එසේ ඇතිවුණ ඒ ගොවි ජනපද සංස්කෘතියේ උපත ලබා එහිම හැදී වැඩී කාලයාගේ ඇවෑමෙන් සිය අත්දැකීම් ද පාදක කොට ගනිමින් ලියූ “අචිරවතී” නම් නවකතාව සම්බන්ධයෙන් එහි කතුවරියගේ මුවින්ම සිදු කෙරුණ විවරණයකි. ඇය ඉන්දුමතී ජයසේන ය.

60 දශකයෙන් පටන්ගෙන 2010 තරම් වූ කාල පරාසයක් ඒ විතරක් නෙවෙයි මේ භූමිය සැදී පැහැදී වෙනස් වෙමින් ආ ආකාරය දැක්වෙන අත්දැකීම් සමූහයක් මේ කෘතියට ඇතුළත් වෙනවා. නැගෙනහිර වැලිකන්ද ප්‍රදේශයේ එක්තරා ප්‍රාදේශීය ලේකම්වරියකගේ ජීවිතය, ඒ වගේම ඇගේ ළමා විය ඒ තුළින් මතුවන මගේම ජීවිතය, අවලෝකන, සමාලෝචන ඒ මැදින් ගලා යන කතා ආඛ්‍යායනය, ඒ තමයි අචිරවතී නවකතාව.

අපේ අම්මලා තාත්තලා මේ ගොවි ජනපදයට පිටින් පැමිණ පදිංචි වූවන් වුණත් අපි ඇවිල්ලා මේ ගොවි ජනපද සමාජ සංස්කෘතියට දාව උපන් අය. 59 යේ දරුවො.

මුල ඉඳලම කියනවනං මගේ තාත්තා සේවාමුක්ත භටයෙක්. ඔවුන්ට ලැබුණ ඉඩම් කට්ටිවල ඔහුත් සමඟ පදිංචියට ආ මගේ අම්මා උඩරට කුල ගර්වයෙන් දැපුණ කාන්තාවක්. එහෙම පසුබිමකින් ආපු ඇය මෙහෙම අක්කා, නංගි කියන තවත් බොහෝ වෙනස්කම් සහිත මේ සමාජය ඇතුලෙ දි මුහුණ පෑවේ උස්සලා පොළොවේ ගැහුවා වගේ තත්ත්වයකට. ඒත් අපේ තාත්තාගේ කෝපාවිෂ්ට හැසිරීමේ බරපතලකම, කොයි ආකාරයෙන්වත් නොවැළැක්විය හැකිව තිබූ ඒ සමාජ ඉරණම හමුවේ එයට අනුවර්තනය වෙනවා හැරෙන්න වෙනත් විකල්පයක් ඇයට තිබුණෙ නෑ. ඒ එක පැත්තක්.

මේ නවකාවේ එන විජයපාල, ඒ මගේ තාත්තා යැයි කියන්න පුළුවන්. ඔහුටම අනන්‍ය හැසිරීම්, ඔහු ඒ සමාජ පැවැත්මත් සමඟ ඇති කරගත් සමාජ සංහිඳියාව හමුවේ ඔහු චරිතයක් පමණක් නෙවෙයි සමාජ නිරූපණයකුත් වෙනවා. මේ ප්‍රදේශයේ පළවෙනි මිනීමැරුම සිද්ද වුණේ ජයන්තිපුරයෙ. ඒක අහලා මුළු ගම ම කම්පා වුණා. මොකද ඊට කලින් එහෙම දෙයක් වෙලා නෑ. මේ මිනිස්සු වෙනස් වෙනස් සමාජ පරිසරවලින් ආපු අය තමයි. ඒත් ඒ සමාජ විවිධත්වය විසින්ම අපූරු සමාජ සංහිඳියාවකුත් නිර්මාණය කරලා තිබුණා. ඒ සංහිඳියාවේ ඇසුරට අදත් මම කැමතියි. ඒත් එහෙම කියන මමත් අද මගේ ගේ වටේ තාප්පයක් බැඳගෙන වෙන් වූ ජීවිතයක් ගත කරනවා. ඒ තමයි කාලයාගේ ඇවෑමෙන් ගතික සමාජ බලවේග අපට සිදු කරන බලපෑම.

මරා දැමු පොඩි විජේ හිටියෙත් මේ පළාතෙම තමයි. සුදුපාට ඔසරියක් ඇඳගෙන පොඩි විජේගෙ අම්මා නිතර අපේ අම්මා හමුවෙන්න ආවා. කාලයක් යනකොට ඇගේ ඒ සුදු ඔසරිය පරණ වීමෙන් ලා කහ පැහැයකට හැරෙමින් තිබූණා. ඒත් කාලයේ වෙනසකින් තොරව ඇය පොඩි විජේ ගැන සිහි කළේ හැඬූ කඳුළෙන්මයි. ඇයත් උඩරට කාන්තාවක්.

කෙනෙක් ලියනවනං ලියන්න ඕනේ සැබෑ සමාජ අත්දැකීම්. අපි ඉහලට ඇදගන්නා හුස්මත් එක්ක ලබන අත්දැකීම්. එහෙම නැත්නම් ඒක බොරුවක්. ව්‍යාජයක්.

1977 න් පස්සෙ මේ සමාජ සංස්කෘතිය අවලස්සන වෙනස්කම් අත් විඳින්න පටන් ගත්තා. අපේ ගෙවල් ඉස්සරහ තිබුණ පාරෙ ඉඳල හිටල තමයි ඒ මුල් කාලෙදි බස් එකක් ගියේ. දවල්ට උණුසුම් වෙන ඒ පාර නිවී යන හැන්දෑවේ ඒ මඳ උණුසුම විඳිමින් රෑ බෝ වෙනකම් පාර මැද ඉඳගෙන ඉන්නෙක අපි පුරුද්දක් හැටියට කරගෙන ගියා. ඒත් 77න් පස්සෙ තේරුමක් නැතිව වාහන වැඩි වෙන්න ගත්තා. කලබලය, කලහය, වෙහෙස දෛනික ජීවිතය බවට පත් වෙන්න පටන් ගත්තා. ඒ ඔක්කොටමත් හරියන්න අපේ ගෙවල්වලට නුදුරින් බාරෙකක් විවෘත වුණා. අරක්කු ගන්න වාහන පෝලිමේ ආවා. මිනිස්සු පොරකන්න වුණා. අරක්කුවල අඩුපාඩු පුරවන්න ඒ අවට බයිට් කඩවලුත් ඇරුණා.

දේශපාලනය ගැන කතා කරනවානං ප්‍රධාන ප්‍රවාහ දෙකේ දේශපාලන නියෝජනයන් මාරුවෙන් මාරුවට ජනපද සමාජය ප්‍රයෝජනයට ගත්තා මිසක් ජනපදයට ප්‍රයෝජනයක ලබා දුන්නා යැයි කියන්න පුළුවන්කමක් නෑ. අද වෙනකොට ඒ දේශපාලනය බරපතල අධිපතිවාදයක් වලා තියෙනවා. ජනතාව දැන හෝ නොදැන එය පෝෂණය කරමින් ඉන් ලබන ඉඳුල් කන්නට හුරු වුණ සත්ව විශේෂයක් බවට පත් වෙලා.

මතකද ඒ කාලේ... කොට ගවුං අඳින්න පෙලඹවීමක් ඇති වුණ ඒ යොවුන් සංස්කෘතිය. එකල බොහෝ තරුණියන්ට රහසිගතව ඒ ආසාව තිබුණා. මමත් එතන හිටියා. ඒත් කොට ගවුමක් අඳින්න ඕන නැහැ, එහෙම ආසාවක් තියෙනවය කියල ඉව වැටුණනං අපේ තාත්තා අපිව ඉතුරු කරන්නෙත් නැහැ. ඒත් එහෙම හිටපු ඒ තරුණ කෙල්ලො 77 න් පස්සෙ ඇගට හිරවෙන්න ජීන්ස් ඇඳගෙන යන තත්ත්වයක් මේ ජනපදය ඇතුලෙ ඇතිවුණා.

ජනපදයෙ ගොයං කපන කාලෙදි වැඩ කරන මිනිස්සුන්ට ආහාර පිසින් පිටින් ගෙන්නපු, අපේ අය නෙළුම් බට්ටෝ යැයි කියපු තරුණියෝ ඇඳ සිටින ගවුමට උඩින් චීත්තෙකුත් ඇඳගෙන වැඩ කරපු ඒ යුවතියෝ ගාමන්ට් සංස්කෘතිය ඇතුලේ අතුරුදහන් වෙලා ගියා. 89 භීෂණය ඒ වගේම යුද්ධය රට මැදත් මායිම් ගම්මානවලත් සිදු කළ ඝාතන ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ. එදා ඒ විදිහට කඩා දැම්ම පොලොන්නරුවෙ කොන්ද අදටත් එහෙමමයි. පොලොන්නරුව ආයෙමත් නැගිට්ටෙ නෑ.

අද පොලොන්නරුව පිරිමි හිඟ භූමියක්. පරම්පරාවක් අහමි වූ ප්‍රදේශයක්. කසාද ජීවිත අවුල් කරන අනියම් ඇසුර, අපචාර අකටයුතුකම් හමුවේ විනාශ වු සමාජයක්. විවාහය විනාශයක් යැයි පවසමින් විවාහයෙන් තොරව ජීවත් වෙන තරුණ ස්ත්‍රී සංස්කෘතියක් ද අද පොලොන්නරුවේ දකින්න පුළුවන්.

“ජීවිතය පටන් ගත යුතු වුණත් කොතනදීදැයි නොදැන මම වක් ගැසී දෑත් පොරවාගෙන සිටියෙමි......

හදිසියේම එක් දිනක එය සිදු විය.

මම ලියන මේසය ළඟ පුටුවේ හිඳගෙන ඒ ෆෝ කඩදාසි සහ පෑන් අතර යමක් සොයන්නෙමි..

ඒ අචිරවතියයි.”

Comments