යෑමට පෙර | සිළුමිණ

යෑමට පෙර

සිළුමිණ කෙටිකතා පිටුව දැන් ආධුනිකයන් සඳහා ද විවෘත ය. ආධුනික නිර්මාණකරුවන්ට අත්වැලක් ලෙස මෙවර ආරාධිත කෙටිකතාව ලියා ඇත්තේ ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ විසිනි. කීර්ති වැලිසරගේ අනූව දශකයේ මුල භාගයේ ‘ගස් කට්ටිය‘ නම් කෙටිකතා සංග්‍රහය ලියමින් නිර්මාණකරණයට පිවිසි ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙකි. 1995 වසරේ ලියනු ලබන ‘ද්‍රෝහියකුගේ අභ්‍යන්තර කතාව‘ කෙටිකතා සංග්‍රහයට උපාලි පුවත්පත් සාහිත්‍ය සම්මානය හිමි හිමි කරගන්නා ඔහු; මේ වනවිට කෙටිකතාකරණය වෙනුවෙන් ස්වාධීන සාහිත්‍ය සම්මානය, රාජ්‍ය සම්මානය සහ ගොඩගේ සම්මානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද කතුවරයෙකි. ද්‍රෝහියකුගේ අභ්‍යන්තර කතාව, කළු කහවණු, අත්මීදුම, අනියම් සහ තවත් කතා, දුර්යෝගය, උණු දූවිලි ඇතුළු කෙටිකතා සංග්‍රහ රාශියක් සම්පාදනය කර ඇති කීර්ති වැලිසරගේ නිර්මාණකරුවා නිර්මාණකරණයට අතපොත් තබන්නේ කෙටිකතාකරණයෙන් වුව ද වඩාත් ජනාදරයට පාත්‍ර වූයේ නවකතාකරුවකු වශයෙනි. 2012 වසරේදී ඔහු විසින් ලියන ලද ‘ කාලසර්ප‘ කෘතියට ස්වර්ණ පුස්තක සම්මානය හිමි වන අතර, 2017 වසරේදී ‘ගරුඬ මුහුර්තය‘ නවකතාව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. බහුවිධ කුසලතා සපිරි නිර්මාණකරුවකු වන කිර්ති වැලිසරගේ දක්ෂ සිතුවම් නිර්මාණකරුවෙක් ද වේ.

 

ගමන උදේ පිටත් වන බව තීරණය කර ගෙන තිබුණත් වෙලාව නිශ්චය වෙලා තිබුණේ නැහැ. සුබා හිතන්න ඇත්තේ අටට විතර පිටත් වෙයි කියලා වෙන්න ඇති.

චන්ද්‍රජීව හරියට ම හය පහු වෙනකොට අපේ ගෙදරට, ඒ කියන්නේ අපේ ම ගෙයි, බදු ගත්තු අයගෙන් ආපහු යන තුරු මාසෙකට ඉල්ලගත්තු, ඒ දවස්වල අපි ඈත නෑයෝ, යාළුවෝ කොළඹ ආවම නවාතැන් දුන්නු කොටසට ඇතුළු වුණා, කටපුරා හිනා වී ගෙන. සුබා ගමනට සැන්ඩ්විච් හදන්න පටන් ගත්තා විතරයි.

“මම ආවට කලබල වෙන්න ඕනේ නෑ. හෙමින් ලෑස්තිවෙලා යන වෙලාවට යමු.” චන්ද්‍රජීව කීවෙ සුබා අස්වසමින්.

“මේ ටික හදලා කෝපි ටිකක් ප්ලාස්ක් එකට දාගන්න විතරයි තියෙන්නේ” සුබා අත ඉක්මන් කරමින් කියා සිටියා.

දෙසතියකට කලින් ආපසු ආව දා ඉදන් ම චන්ද්‍රජීව අපිත් එක්ක. සුබාගෙ නංගිලගෙ ගෙදර අම්බලන්ගොඩ යන්නත්, තව ඉංගිරියෙයි, පාදුක්කෙයි නෑ ගෙවල් දෙකක යන්නත් චන්ද්‍රජීව අපිට ගමන් පහසුව සැලසුවෙ සතුටින්.

මම හිතාගෙන හිටියෙ මේ මාසෙට කාර් එකක් කුලියට ගන්න. ඒත් ඒකට සුබා පහුගිය වතාවල වගේ ම කැමති වුණේ නෑ. එහෙ වමෙන් එළෝලා, මෙහෙ එළවන්න ගිහින් හප්ප ගන්න වූණත් පුළුවන් කියලා, සුබා ෆෝන් එකට දමාගත්තු ඇප් එකකින් ළඟ එහෙට මෙහෙට යන්න වුණු ගමන් කැබ් එකක් ගෙන්න ගන්නවා. චන්ද්‍රජීව කීවෙත්, ඒක හොඳයි කියලා. “මේ පාරවල දැන් එළවන්නත් ලේසි නෑ” චන්ද්‍රජීව කැමැත්තෙන් ම දුර ගමන් යන්න ඉදිරිපත් වුණා.

“සුගත් ගියපාර ආපු වෙලාවෙත් කතා වුණානේ මේ ගමන යමුයි කියලා”

“ඔව් මොකක් හරි හේතුවකින් බැරි වුණා.”

“මට මතකයි අපි දිනේකුත් දාගත්තා”

“මේ පාර හිතාගෙන ම ආවේ යනවා කියලා”

“මහ දුරකුත් නෙවෙයිනේ - දැරණියගලින් පාර හොයාගෙන යන්න වෙන කතාවක් කිව්වා නේද?”

“ඔව් පාර තමයි මතක් කර ගන්න ඕන. මාලිබඩ - කොහොමත් කිට්ටු කරලා තොරතුරු අහගෙන තමයි යන්න වෙන්නේ - ඒ දවස්වල අපි ඇඞ්වාන්ස් ලෙවල් කරලා ඉවර වුණා විතරයි. මට වයස දහ අටක් විතර වෙන්න ඇති. මීට අවුරුදු පනහකට විතර කලින්නේ - හැත්තෑවෙ. අපි සෙන්ට්‍රල් එකේ එක පන්තියෙ ඉගෙන ගත්තේ. එක්කෙනෙක් දීපාල්. අපේ ගමේමයි; පාදුක්කේ. සිසිර මීපෙ. ඒ දවස්වල කොහේ හරි ඇවිදින්නමයි හිත. කවුද කිව්වෙ කියලා දැන් මතකත් නෑ. හරිම ලස්සන කඳුකරයක්.

දියඇලි එහෙම තියෙන මහ කැලේ කඳු බෑවුමක දේවාලයක් තියෙනවා. ඔය වගේ තමයි විස්තර අහන්න ලැබුණේ. අපිත් යමු කියලා පිටත් වුණා. හිතුණම පුදුමයි. දීපාල් නැති වෙච්චි බව ආරංචි වුණේ පහුගිය වතාවේ ආවම. සිසිර කොහේ ඉන්නවද කියලා තොරතුරක් නෑ. ඉස්කෝලෙ යාළුවොත් එක්ක මං ගිය අවසාන ට්‍රිප් එක තමයි ඒක. එයින් පස්සේ පේරදෙණියෙදි චන්ද්‍රලා හම්බ වුණා. ඉනුත් පස්සේ රාජකාරි එක්ක ජිවිතේ ගසා ගෙන ගියා මිසක් පේරදෙණියෙන් වුණත් ඉතුරු වුණේ අපි කීයෙන් කී දෙනාද? චන්ද්‍රයි මමයි - තව -

“ඇයි බමුණ?”

“බමුණුසිංහ - මිනිහා දැන් කොහෙද?”

“මිනිහ ප්‍රින්සිපල්නෙ - රිටයර් වෙලා දැන් කුරුණෑගල”

කොහොම හරි අපි හෝඩුවාවට පිටත් වුණා. තැන හරියට දන්නේ නැති වුණාට. අදත් එහෙමනෙ - ම් - අපි තුන්දෙනා ගමන් මලුත් එල්ලගෙන දැරණියගලට ඇවිත් සෑහෙන වෙලාවකින් තව බස් එකකට නැග්ගා. ඒ බස් එක දවසට දෙවතාවක් තමයි ඒ කැලෑ ගම්මානෙට ගිහින් එනවා කිව්වේ. මිනිස්සු නිස්සාංකාසුවෙ බඩු මුට්ටු ගෝණි මලු එහෙම තියාගෙන බස් එක එනකල් බලං ඉදලා ආවහම නැඟ ගත්තා. ඒ ගමන සෑහෙන දුරක් හෙමින් හෙමින් වළ ගොඩැලි පාරක ගිහින් පුංචි හන්දියක නැවැත්තුවා. එතනින් බහින්න හිටියෙ අපි තුන් දෙනා ඇරුණම තව තුන් දෙනෙක් විතරයි. අපිත් එක්ක බැහැපු පිරිමි කෙනෙක්ගෙන් අපි ඇහුව දිය ඇල්ලක් තියෙනවද නාන්න, දේවාලයක් එහෙම තියෙනවද කියලා. ඒ මනුස්සයා මුලින් අදිමදි කළා. පස්සේ කිව්වා දේවාලෙ යන්න නම් බෑ. ඒකට මහ පාන්දරින් පේවෙලා එහෙමයි යන්නේ. නැත්තන් කැලේ කොච්චර ගියත් දේවාලේ හම්බ වෙන්නේ නෑ. කැළේ අතරමං වෙන එක විතරයි වෙන්නේ කියලා. අපි පස්සේ දේවාලේ අතඇරලා නාන්න පුළුවන් ඇල්ලක් ගැන ඇහුවා. අපි ගුරුපාරේ තුංමංහංදියකට ඇවිත් උන්නේ. ඒ මනුස්සයා වම් පැත්තට තිබිච්චි කන්දට වැටුණු ගුරු පාර පෙන්නලා “ඕකේ ගියහම ඇල්ලක් තියෙනවා නාන්න පුළුවන්” කියලා අනෙක් පාරෙ යන්න ගියා.

අපි ඒ පෙන්නපු පාරෙත් ගියා සෑහෙන දුරක්. ඇතුළට යන්න යන්න පාර පටු වෙවී අන්දකාර මහ වනන්තරේට වැටුණෙ. සමහර තැනක පල්ලම් බැහැගෙන යනකොට ගුරුපාර හරහා දියපාරවල් ගලා ගෙන ගියා. පතුලෙ තිරුවාණ බොරළු පේන, පෑදුණු වතුර ටික. පුංචි මාළු රංචු පිටින් පීන ගෙන ගියා. උන්ගෙයි වතුරෙ පාවෙන කොළ රොඩු බොඩුවලයි දුවන හෙවණැලි පතුලෙ සටහන් වෙච්ච සීතල වතුර පාරවල්. අපි කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව දෝතට ගත්තු සීතල වතුර බීගෙන ගියා.

මට ම පුදුමයි මෙච්චර කාලයක් ගත වෙලත් කිසිම අඩුවක් නැතිව මේ ඔක්කෝම මතකෙ තැන්පත් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එහෙම පටිගත වෙලා තියෙන්න මොළේ ඉඩකඩ කොච්චරක් ඕනෙද කියලා. ඒ මතක ආයෙ ආයෙ ම මතුවෙනවා මොකක්දෝ පසුතැවිල්ලක් ම කියන්නත් බැරි ඒ වගේ හැඟීමක් එක්ක.”

“සුගත් ඉක්මනට ම මෙහෙන් ගිය හින්දා වෙන්න ඇති. කොහොමත් ගිය අයට හිටපු තැන්වල අගේ වැඩියි කියලා කියනවනේ.”

“ම් - චන්ද්‍ර- ඒකද? මටත් ඒක නිච්චියටම හිතාගන්න බෑ. මං කිව්වේ ඒක වචනෙට නඟන්න බැරි හැඟීමක්. පස්සේ පස්සේ ඒවගේ තවත් ඒවත් ඒක්ක එකතු වෙලා ඒ හැඟීම් සමහර වෙලාවක හරිම වේදනාකාරීව දැනෙන්න ගත්තා. ජීවිතෙ සංකීර්ණ වෙවී අපි නොහිතපු දිහාවල්වල ඇදී යද්දි.

කොහොම හරි ඒ දිය ඇල්ල හොයා ගන්න ලේසි වුණේ නෑ. කලාතුරකින් තමයි මනුස්සයෙක් ඒ පාරෙ ගියේ. ඇහුවහමත් පෙන්නුවේ ‘ඔය එහා තියෙන්නේ’ එහෙම කියලා. ඒත් පේන්න නෑ. අන්තිමේ තව කාගෙන් හරි අහමු කියලා විපරම් කරන කොට අපි දැක්කා පුංචි අතුපැලක්. ඒ ගෙයි ඉඳලා අපි කතා කරන කොට එළියට ආව අපි තරම් ම වයසෙ ඉලන්දාරියෙක්. මට තාම මතකයි මිනිහ ඇඳගෙන හිටියෙ පුංචි සරොම් කෑල්ලක් කලව මුලට වෙන්න. යන්තම් රුවුල් බූවක් මතු වෙච්චි මූණෙන් මිනිහ අපි දිහා බලන් හිටියෙ නරක ආරංචියක් අරන් ආව, නැත්තන් වරෙන්තුකාරය අල්ලන්න ආපු පොලිස්කාරයො ටිකක් දිහා බලනවා වගේ.

අපි නාන්න පුළුවන් තැනක් - දිය ඇල්ලක් ගැන ඇහුවම මිනිහ යමක් තේරුම් ගත්තු බවක් පෙන්නලා ඉස්සරහට ආවා. ඒත් එක්කම පැලේ එළිපත්තට ගෑනු කෙනෙක් ආවා. ගෑනු කෙනෙක් කිව්වට කෙට්ටු අහිංසක පෙනුමක් තියෙන ළාබාල එකියක්. ඈට දරුවෙක් ලැබෙන්නයි හිටියෙ. ඈ තමන්ගෙ සැමියත් එක්ක කතා බහ කරන අපි දිහා බලාගෙන හිටියෙ මූණ පුළුටු කරගෙන., සැකෙන් - එයාගෙ ශරීරෙට නොගැළපෙනව වගේ පෙනුණ ඉස්සරහට ආපු කුස දිහා නොබලන්න මම පරිස්සම් වුණා. තරුණයා ඈට ගේ ඇතුළට යන්න සංඥා කළත් ඈ ගියෙ නැතුව බයකින් වගේ බලා හිටියා. බිරිය එළියට ආවට පස්සෙ මිනිහ ඉක්මනට පාර කියලා අපිව ඇල්ලට පිටත් කළා. ඒක වැඩිය උසක් නැති දිගට පැතිරිච්ච ගල් පඩි පෙළක් වගේ ඇල්ලක්. නාන්නම කියාපු තැන. සෑහෙන්න ඉඩකඩ තිබිච්ච පීනන්න හොඳ බේසමක් වගේ තැනක් පහළින් තිබුණෙ. අපි නාද්දි අර තරුණයා ඇවිත් ඉවුරෙ ගල් ගෙඩියක් උඩින් ඇන තියා ගත්තා. මුලදි අපි කතා කළත් මිනිහා නාන්න ආවෙ නෑ. ඒත් අපි දියබුං ගගහ වතුරෙ සෙල්ලං කරද්දි මිනිහටත් ඉන්න බැරි වුණා. මිනිහත් වතුරට බැහැලා පීනන්නයි සෙල්ලමටයි පටන් ගත්තා.

අපි හිටියෙ හරිම සන්තෝසෙන්. අර තරුණයත් වතුරට බැස්සම අපේ සතුට වැඩි වුණා - අපි තාම ඉගෙන ගන්නවා කිව්වම මිනිහට පුදුම හිතුණා. මිනිහගෙ කට ඇරුණෙ අපි කියපු දේ විශ්වාස නැතුව වගේ. සිසිරගෙ සද්දන්ත ඇඟපතයි, රැවුළයි දැක්කම එහෙම හිතුණ එකේ පුදුමෙකුත් නෑ. අපි ගොඩට ආවෙ පැය ගාණක් නාලා. අපේ අත්වල ඇඟිලි වතුරට පෙඟිලා රැළි ගැහෙන්න පටන් අරන් තිබුණෙ. මගේ මුළු ජීවිතේට ම ඒතරම් වතුරෙ පෙගෙන්න නැතුව ඇති කවදාවත්.

අපි ආපහු එන ගමන් අර තරුණයගෙ ගේ ළඟ නැවතිලා අපේ ගමන් මලුවල තිබිච්චි කෑම ජාති එළියට ගත්තා. පාන්, සැමන්, බිස්කට් එහෙම. ඒ වෙනකොට අපි අතරෙ ආගන්තුක බවක් අවිශ්වාසයක් තිබුණෙ නැහැ. තරුණයගෙ බිරිය අපට පාන් කපලා සැමන් සම්බෝලයක් හදලා දුන්නා. අපි සන්තෝෂෙන් හැමෝම කෑම ගත්තා. කොච්චර කිව්වත් ඈ කෑම ගැනීම කල් දැම්මා අපි කාලා ඉවර වෙනකන්. අපි ඈට කෑම ඉතුරු කරන්න පරිස්සම් වුණා. මුලදි තිබිච්ච අකමැති පෙනුම වෙනස් වෙලා එයත් හිටියෙ සන්තෝෂෙන් බව පෙනුණා. ඒ තරුණයා රැකියාවට කරන බව කිව්වේ කිතුල් මදින එක. දරුවා ලැබෙන්න කිට්ටු වෙනකොට නෑවෙන ගෑනු කෙනෙක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්න කතාවකුත් කියවුණා.

ආපහු එද්දි එතන වැල්පොටේ වනාපු අපේ තෙත රෙදි කට්ටිය එකතු කරගත්තත් මට බැරි වුණා මගේ තුවාය අරගන්න. ඒක වැලේ තියෙද්දියි අපි ආවෙ. ඒක අලුත් තුවායක්. එදා යන්තම් ඇඟ පිහිද ගත්තා විතරයි.”

“තුවාය අමතක වුණේ නෑ සුගත් - ඔයා හිතාමතා ම දාලා ආවා.”

“ම් - චන්ද්‍ර හිතන්නේ එහෙමද? මට මතකයි මම ටිකක් ඈතින් තමයි තුවාය වැනුවෙ. සමහර විට මට ඒක තියලා එන්න හිතෙන්න ඇති. අපි කට්ටිය අන්තිම බස් එක පිටත් වෙන්න කලින් යන්න ඕන නිසා පස්සෙ ඉක්මන් කරලා එන්න පිටත් වුණා. ඒ තරුණයත් අපිත් එක්ක ඒ හංදියට එනතුරු ආවා. අපි කිව්වා අපි නොවැරදීම ආපහු එනව කියලා. ඒත් ඒක වුණේ නෑ”

චන්ද්‍රජීවගෙ මූණෙ යමක් තේරුම් ගත්තු බවක් පහළ වුණා. යමක් අහන්න වුවමනා වුණත් මම අඛණ්ඩව කතා කර ගෙන ගියා නිසා ඒක අහගන්න බැරිවෙච්ච බවකුත් ඔහුගේ දෑස් කියා පෑවා.

“සුගත් හිතනවද ඒ අය තාම එහෙ ඇති කියලා”

“නෑ එහෙම අදහසක් නෑ. මට ඕනේ ඒ පැත්තට ගිහින් ඒ එදා ගිය පාර තොට, ඒ ඇල්ල එහෙම ආයෙම දැක බලාගෙන එන්න විතරයි. සමහර විට ඒ අයත් අපි වගේ ම වයසට ගිහින් ඒ ලැබෙන්න හිටපු දරුවටත් දරුමල්ලෝ ලැබිලා එහෙම ඇති. ඒක කියන්න බෑ. ඒත් ඒ කැලෑ පාර, ඒ දිය ඇල්ල වෙනස් වෙලා හරි තාම ඇති කියලා මට හිතෙනවා.

අපිට එහෙදි මෙහෙන් ගිය තරුණයෙක් හමුබ වුණා; ෆන්ෂන් එකකදි. පුතාගෙ යාළුවෙක් ඉතින් එයා එක්ක කතා කරද්දි එයාගෙ අම්මෑ ගම මාලිබඩ කියලා කියවුණා. මං ඉතින් තොරතුරු ඇහුවා. ඇත්ත - හුඟක් වෙනස් වෙලා බව තමයි තේරුණේ. මම අර දේවාලෙ ගැන ඇහුවම දේවාලයක් නම් තියෙනවා කියලා අහල තියෙනවා ඒත් ගිහින් නෑ කිව්වා. ඒ පැත්තේ තියෙන ඇලි ගැන නම් මිනිහ විස්තර කියාගෙන ගියා. දැන් හුඟක් ඇලි හරස් කරලා වේලි බැඳලා පවර් ස්ටේෂන් හඳලා නිසා දැන් ඒ ස්වාභාවික පරිසරේ විකෘති වෙලා කියලා තමයි කිව්වේ. ඒක ඇත්ත වෙන්න ඇති.

එහෙ දැන් කැලෑ එළි කරලා වල්ලපට්ට වගාවකුත් පටන් අරගෙනලු. ඒවගේ විස්තර හුඟක් ඒ තරුණයා කිව්වා. ඒ කොහොම වුණත් ඒ පරිසරේ මුළුමනිින් ම වෙනස් වෙලා ඇති කියලා හිතන්න බෑ.”

”ඔව් බලමු”

ගෙනියන්න හදාපු පාන් පෙති කිහිපයකුත් එක්ක තේත් හදාගෙන සුබා ඉස්තෝප්පුවට ආවා. ලෑස්ති වෙලත් ඉවරයි.!

“තේ එකක් බීලම පටන් ගන්න එක හොඳයි”

චන්ද්‍රජීව කීවේ සතුටින්. ඔහු එන්න ඇත්තේ පාතරාසය නොගෙන.

මම බැරි වෙලාවත් නාන්න ඕනැ වුණොත් එහෙම කියලා අසුර ගත්ත ඇඳුම් බෑග් එකත්, කෑම බීම දමාගත් කූඩෙත් අරන් ඇවිත් කාර් එකේ ඩිකියට දාගත්තා.

“පුතා අපිව එයාපෝට් ඇරලලා මතක්කලා තාත්තා කියන ඔය පැත්තේ රවුමක් ගහලා ම එන්න කියලා. මං ආපහු ගියාම කියන්නම් චන්ද්‍රජීව අංකල් එක්ක ගමන ගියා කියල”

“ඔව් කියමු කියමු”

චන්ද්‍රජීව කාර් එක පණ ගන්වලා සීරුවට පස්සට ගත්තා. මම ගේට්ටුව වහලා ඇවිත් ඉස්සරහ ආසනේට ගොඩ වුණා.

“සුබා හරිද?”

“හරි”

“එහෙනං යමු”

කාර් එක හෙමින් ඉස්සරහට ඇදී ගියා.

Comments