මහා සින­මාවේ විජය කුමා­රණ­තුංග භූමි­කාව | සිළුමිණ

මහා සින­මාවේ විජය කුමා­රණ­තුංග භූමි­කාව

සිනමාවේ තරුවක් වීම නම් සිද්ධාන්තය පිටුපස ඇත්තේ සුවහසක් රසික ජනතාවගේ සිහින කුමරා හෝ කුමරිය වීමට එහා ගිය කතාවකි.

ආකර්ෂණීය පෞරුෂය ප්‍රධාන සාධකයක් වන නමුදු, සිනමා තාරකාවක් ගොඩනැඟෙන්නේ, ස්වකීය රංගන හැකියාවෙන් එකී සහෘදයාගේ ආත්මය සසල කළ හැකි හැකියාවක් ද එ් නළුවාට හෝ නිළියට තිබේ නම් පමණකි.

අපගේ සිනමා ඉතිහාසය මුළුල්ලේ රුක්මණී, ගාමිණී, මාලනී යන තිදෙනා හැරුණු කළ අපට සිටි ඊළඟ තාරකාව වූයේ විජය කුමාරණතුංග ය.

විජය කුමාරණතුංග නම් එ් චිත්‍රපට නළු භූමිකාව කොතෙක් ප්‍රබල ද යත් ඔහුගේ අභාවය සිදු වූ 1988 පෙබරවාරි 16 වන දින සිට අද දක්වා ගෙවී ගිය වසර තිස් දෙකක කාලය තුළ තවත් කිසිදු තරුවක් සිනමා අඹර තුළ දකින්නට නොලැබීමෙන් ම පෙනී යයි.

සිනමා රංගධරයකු, දක්ෂ ගායකයකු හා අවංක ජනතාවාදී දේශපාලනඥයකු ලෙස ඔහු ගත කළ වසර 42ක කෙටි දිවි පෙවෙත තුළ විජය රඟපෑ මුළු චිත්‍රපටි ගණන 123 කි. මින් ඉතා වැඩි ප්‍රමාණයක් සුලබ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට වුවද, ඒ හැමෙකක් ම පාහේ ඉතා ජනප්‍රිය වුවාසේ ම විජය යනු සිනමාවට අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් කරන්නටද සමත් වූවේ ය. මේ ආකාරයට සිංහල සිනමා කර්මාන්තයේ දියුණුම යුගය උදෙසා ඔහු තම දායකත්වය දුන්නා සේ ම ඔහු නිසා සිනමා කර්මාන්තයට ද පිබිදිමක් ඇති වූයේ ය. ඒ හැරුණු කළ ගුණාත්මක වශයෙන් අපගේ සිනමාව පෝෂණය කරන්නට ඉවහල් වූ කෘති ගණනාවකට ද ඔහු සම්බන්ධ වූයේ සාර්ථක ලෙස ඒවායේ ප්‍රධාන චරිත ද නිරූපණය කරමිනි.

හන්තානේ කතාව, අහස්ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, ගඟ අද්දර, කරුමක්කාරයෝ, බැද්දේගම, මහ ගෙදර, පාර දිගේ, කැඩපතක ඡායා, පොඩි මල්ලී, ක්‍රිස්තු චරිතය යනු ඒ චිත්‍රපට ය.

පසු කලක ජනප්‍රිය සිනමාව තුළ බැබළෙන තරුවක් බවට පත් වුවද, ඔහුගේ මුල් ම සිනමා ආගමනය නිසි පරිදි සිදුවී ඇත්තේ ද සිංහල සිනමාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් සළකුණු කළ “හන්තානේ කතාවක්” සිනමා පටයෙනි. ඊට ප්‍රථම “මනමාලයෝ” සහ “රෝමියෝ ජුලියට් කතාවක්” යන චිත්‍රපටවල සුළු චරිත රඟපා තිබුණ ද “හන්තානේ කතාවක්” යනු විජය කුමාරතුංග නළුවකු බවට බවුතීස්ම කරනු ලැබූ මුල් ම සිනමා පටය ලෙස හැඳින්විය හැකි ය. සම්මානනීය අධ්‍යක්ෂවරයකු වූ සුගතපාල සෙනරත් යාපා 1970 දී නිර්මාණය කළ “හන්තානේ කතාවක්” සඳහා විජය කුමාරණතුංග තෝරා ගෙන තිබුණේ, ඒ සඳහා පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයෙනි. රංඟනය වෙනුවෙන් ටෝනි රණසිංහ ද සංගීතය වෙනුවෙන් ප්‍රේමසිරි කේමදාස ද විචාරක සම්මානයට පාත්‍ර වූ, මේ චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ විජය මෙන් ම පසු කලෙක සිංහල සිනමාවේ බලකණු බවට පත් වූ තවත් විශාල පිරිසක් ද එයට එකතුවීම ය.

ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර, සෝමපාල ලැනරෝල්, සමන්ති ලැනරෝල්, දයා තෙන්නකෝන්, එඩ්මන් ජයසිංහ මෙන් ම පසු කලෙක දකුණු ඉන්දියාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා කැමරා ශිල්පියෙකු වූ බාලු මහේන්ද්‍රන් ද මේ පිරිස අතර වේ.

යාපාගේ අර්ථ දැක්වීමට අනුව මෙම සිනමාපටය යාන්ත්‍රීකත්වයට අසුවූ සහ සාම්ප්‍රදායික සිතුම් පැතුම් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන පරම්පරා දෙකක් සහ ඒවාට මැදිව වෙසෙන නව පරපුරක ගැටීම් පිළිබඳ විවරණයකි.

1977 දී තිරගත වූ “අහස් ගව්ව” ධර්මසේන පතිරාජගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වූ අතර, එය විචාරකයන් විසින් හඳුන්වනු ලැබුවේ විකල්ප චින්තනයක් හා භාවිතයක් ප්‍රකට කළ සිනමා කෘතියක් වශයෙනි.

ඒ වන විට තිබූ සාම්ප්‍රදායික ජනප්‍රිය වට්ටෝරුවෙන් සම්පූර්ණයෙන් වෙනත් මඟක් ගත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ අමරසිරි කලංසූරිය වුවද, බාර් කීපර් කෙනෙකු වන මහතුන්ගේ චරිතය රඟපෑ විජය, තමාට ජනප්‍රිය පෙම්වතාගෙන් ඔබ්බට ගිය සැබෑ චරිත ද නිසි පරිදි ප්‍රතිනිර්මාණය කළ හැකි බව මෙතුළින් විදහා දැක්වීය.

ධර්මසේන පතිරාජගේ දෙවන චිත්‍රපටය මෙන් ම සිංහල සිනමාවේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ “බඹරු ඇවිත්’ විජය කුමාරණගුංගගේ රංගන ප්‍රතිභාවය සනිටුහන් කළ තවත් අවස්ථාවකි. මාළු මුදලාලි කෙනකුගේ පුතකු ලෙස ධීවර ගම්මානයකට පැමිණෙන වික්ටර් නොහොත් බේබි මහත්තයාගේ චරිත නිරූපණය කළ විජය, පතිරාජගේ ම “අහස් ගව්ව’‘ චිත්‍රපටයේ රඟපෑ සූරා කෑමට ලක් වූ තරුණයාගේ චරිතයට ප්‍රති විරුද්ධ සූරා කන්නකුගේ චරිතය මෙතනදී ප්‍රතිනිර්මාණය කළේය.

ධර්මසේන පතිරාජ විසින් ම අධ්‍යක්ෂණය කරනු ලැබූ “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටය සඳහා ඔහු රඟපෑවේ තරුණ ග්‍රාමසේවක නිලධාරියකුගේ චරිතයකි. මාලනී සහ කොස්තා සෙසු ප්‍රධාන චරිත නිරූපණය කළ මෙය මොස්කව් චිත්‍රපට උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, එහි දී මාලනීගේ රංගනය ජාත්‍යන්තරව ඇගයීමට පාත්‍ර විය. ඒ 1975 දීය.

ඉන් අනතුරුව 1977 දී සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ“ගඟ අද්දර” චිත්‍රපටයේ සරත් පතිරණ නම් වෛද්‍යවරයකු ලෙස හෙන්රි ජයසේන සහ වසන්ති චතුරාණි සමඟ ප්‍රධාන චරිත නිරූපණයක යෙදුණු අතර, එම චිත්‍රපටය සඳහා “ඔබ රුව ඡායා....” ගීතය ගායනා කිරීමෙන් තමන් සතු අග්‍රගණ්‍ය ගායන හැකියාව ද ප්‍රකට කළේ ය.

ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් විසින් 1980 දී තිරගත කරන ලද ලෙනාඩ් වුල්ෆ්ගේ “විලේජ් ඉන්ද ජංගල් ” ඇසුරෙන් තැනුණු “බැද්දේගම” චිත්‍රපටයේ බබුන් නම් හේන් ගොවියාගේ චරිත නිරූපණයෙන් හෙතෙම තවත් රංගන අත්දැකීමක් තම ජීවිතයට එක්කර ගත්තේ ය. එම වසරේ දීම ආචාර්ය තිස්ස අබේසේකර නිර්මාණය කළ “කරුමක්කාරයෝ” චිත්‍රපටයේ විල්සන් නමැති ගැමි තරුණයෙකුගේ චරිතය නිරූපණය කළේ ය. 1955 වසරේදී වසරේ හොඳම සාහිත්‍ය කෘතිය ලෙස දොන් පේද්‍රිස් සම්මානයෙන් පිදුම් ලැබූ ගුණදාස අමරසේකරගේ “කරුමක්කාරයෝ” නව කතාව මේ සඳහා පසුබිම් විය. මේ චිත්‍රපටය පිළිබඳ විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ නවකතාවේ එන විල්සන් නැමැති චරිතය නිරූපණය කිරීමේ ආසාව නිසා ම මෙයට නිෂ්පාදකවරයකු සොයා දීමට ද විජය මුල් වූ බව ය.

1980 දීම තිරගත කරනු ලැබූ විශිෂ්ට කෘති දෙකක් වන තිස්ස අබේසේකරගේ “මහ ගෙදර” සහ ධර්මසේන පතිරාජගේ “පාර දිගේ” යන චිත්‍රපට ද විජයට නව සිනමා අත්දැකීම් අවස්ථා දෙකක් ලබා දීමට මුල් වූවේ ය. තිස්සගේ “මහ ගෙදර” චිත්‍රපටයේ වලව් පැලැන්තියේ සාමාජිකයකු ලෙස රඟපෑ ඔහු පතීගේ “පාර දිගේ” චිත්‍රපටයේ කාලීන තරුණ පරපුරේ අක්මුල් නැති චරිතයක් වන චන්දරේ ලෙස අමතක නොවන රංගනයක යෙදුණේ ය. අජිත් තිලකසේන ගේ කෙටි කතාවක් ඇසුරෙන් තැනූ මේ චිත්‍රපටයේ චන්දරේ පවසන“ අපිත් හරියට අහක දමන එඬරු නැටි වගේ. දළු එනවා. මුල් නෑ!” යන දෙබස් ඛණ්ඩය ප්‍රේක්ෂක මතකයේ සදා රැඳුණක් බවට පත් වී තිබේ.

ඉක්බිති 1990 දී තිර ගත ව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ “ක්‍රිස්තු චරිතය” චිත්‍රපටයේ ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ විජය, වසන්ත ඔබේසේකරගේ “කැඩපතක ඡායා” චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව 89 භීෂණ කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් විය. මේ නිසා “කැඩපතක ඡායා” හි ඔහු පෙනී සිටි ඇතැම් දර්ශනවල දෙබස් කැවීම් සිදු කරන ලද්දේ ආදේශික කටහඬක් විසින් බව පැවසේ.

1983 සිට 88 දක්වා මිය යන තෙක් ම සරසවිය ජනප්‍රිය නළුවා සම්මානයට නොකඩවා හිමිකම් කියනු ලැබූ ඔහු සිය අභාවයෙන් වසරකට පසු තිරගත කරන ලද “කැඩපතක ඡායා” චිත්‍රපටයේ චරිත නිරූපණය වෙනුවෙන් හොඳම නළුවා සම්මානයෙන් ද පිදුම් ලැබීය. ගෙවී ගිය කාලය තුළ සියයකට අධික ගීත ප්‍රමාණයක් ගායනා කොට කැසට් පට දහයක් එළිදක්වා ඇති අතර, මේ කිසිදු ගීතයක් වෙනුවෙන් එක රුපියලක හෝ මුදලක් ඔහු විසින් ලබාගෙන නැත.

විජයගේ අභාවයෙන් අනතුරුව බිහි වී සිටින නව පරපුරට ඔහු පිළිබඳව අප තුළ මෙන්, ආශක්ත වීමක් කොහෙත්ම ඇතිවිය නොහැකි බව දනිමු. නමුත් ඔවුන් තම තරුණ ඔළුගෙඩිවලින් අවට ලෝකය දෙස බලා කල්පනා කරද්දී මේවගේ මතකයේ රැඳෙන්නට තරම් තරුවක් අද නොපායන්නේ ඇයි ද යන ගැටලුව පැන නැඟෙන්න ඉඩ ඇති බව අපි දනිමු. තරුවක් යනු හුදු සර්ව පිත්තල දිලිසීිමක් නොව, තමා තුළින් ම ජනිත වන ආලෝකයක් විහිදුවා බැබළෙන්නක් බවට අවබෝධයක් ඇති ඔවුන්ට විජය කුමාරණතුංග නම් චරිතය ද ඉහත පරම්පරාවට ආලෝකයක් සපයා ඇත්තේ ඔහු තුළිින් ම උපන් ප්‍රතිභාවය නිසා ම බව මේ ගැන විමසා බලද්දී පෙනී යනවා ඇත.

 

Comments