නොද­න්නා­කම: එය ඵෙති­හා­සි­කයි | සිළුමිණ

නොද­න්නා­කම: එය ඵෙති­හා­සි­කයි

ඔබට ඉදිරියේ දී සිදුවිය හැකි දේ පැහැදිලි පැතලි චිත්‍රයක් සේ ඔබට ඉදිරියෙන් දැකිය හැකි නම් එවැනි තත්වයක් හමුවේ ලියන්න කියන්න ඔබ ලබන උත්තේජනය කුමක්දැයි ඔහු විමසයි. එසේ ගත් කල ඔබ ඒ සම්බන්ධයෙන් උත්තේජනයක් නැති මිනිසකු බවට පත් වෙයි. ඉදින් ලිවීමට අදාළ ව ඉදිරියෙන් ඇති සිදුවිය හැකි දේ පිළිබඳ ඔබේ නොදැනුවත්කම, එසේ නැත්නම් ඒ ගැන ඔබ නොදන්නා තාක් කල් ඒ සම්බන්ධයෙන් ලිවීමට ඔබට ඇතිවන පෙලඹවීම එය වාවා ගත නොහැක්කකි. එසේ ගත් කළ නොදන්නාකම යනු ඵෙතිහාසික සංසිද්ධියකි.

මිචෙල් ෆුකෝ (ල්ට්) හුදු ලේඛකයකු වශයෙන් පමණක් ගත හැකි අයෙක්ම නොවේ. ඔහු සැබෑ ලෙසින් ස්ථානගත වන්නේ වෙනස් ආකාරයකින් සමාජ තත්ත්ව ගවේෂණය කරන චින්තකයකු හැටියටය. ඒ අනුව යමින් ඔහුව හඳුන්වා දෙමින් කළ ප්‍රකාශයන්ට අනුව ෆුකෝ යනු සමාජ ආයතන සම්බන්ධයෙන් ව්‍යුහාත්මකව විශ්ලේෂණාත්මක අදහස් පළ කරන්නට යෙදුණු අයෙක් වේ. ඉහතින් දැක්වුණු නොදන්නාකම යනු ඵෙතිහාසික සංසිද්ධියකි යන ඔහුගේ ඒ ප්‍රකාශය ඊට කදිම නිදසුනක් වේ. ඒ අනුව සමාජ ආයතනික ව්‍යුහාත්මක වශයෙන් ගෙන විවේචන ප්‍රකාශයට පත් කළ චින්තකයකු ලෙස ඔහුව හඳුන්වා දීම වඩාත් සුදුසු යැයි සිතේ.

උදාහරණයක් ලෙස මානසික රෝහල්, බන්ධනාගාර, පුනරුත්ථාපන ආයතන සම්බන්ධයෙන් ඒ ආයතනික ව්‍යුහ ගැන ඔහු ඉදිරිපත් කොට ඇති සමාජ විවේචන හේතු කොටගෙන ඔහු ලද ලෝක මට්ටමේ අවධානය සුළුවෙන් තැකිය හැකි නොවේ.

ෆුකෝ සමලෛංගික සේවනය සම්බන්ධයෙන් පළ කොට ඇති ප්‍රකාශය ද ගත යුත්තේ ඒ ආකාරයට ම ය. එය ද ලෝක අවධානය දිනා ගත්තේ සැබෑ යථාර්ථවාදී හඳුනා ගැනීමක් ලෙසිනි. ඒ අනුව ඔහු සම ලෛංගිකත්වය යන්නෙහි අරුත වශයෙන් ඉදිරිපත් කරන්නේ අනන්‍යතාවක් නැත යනුවෙනි. එමෙන්ම නම් කළ නොහැකි ක්‍රියාකාරීත්වයක් වශයෙන් ද ඔහු එය දකී. මෙහි ඇති වැදගත්කම වන්නේ ඔහු ඒ ආකාරයෙන් නිගමනයකට එන්නේ ඒ සම්බන්ධයෙන් සිදු කළ ගවේෂණාත්මක හැදෑරීම් ඔස්සේ වීම නිසායි. අනිත් අතට එවැනි නිගමන හේතු කොටගෙන තමන් පශ්චාත් නූතනවාදියකු ලෙසින් හඳුන්වනවාට ඔහු සිය බලවත් අකමැත්ත ප්‍රකාශ කොට සිටියි. අනාගත නුතනවාදය කොයි ආකාරයෙන්වත් පශ්චාත් නූතනවාදී නොවිය යුතු යැයි පවසන ඔහු පැහැදිලිවම පශ්චාත් නූතනවාදී සමය ප්‍රතික්ෂේප කළ යුතුය යන තැන සිටී.

තමන් නම් පූද්ගලයා නිර්මාණය වන්නේ ඒ ඒ අවධිවල ප්‍රකාශයට පත්වන ඔහුගේ ක්‍රියාකාරීත්වයන් මත යැයි පවසන හෙතෙම එවැනි පසුබිමක තමන් කවුදැයි පූර්ණ හඳුණා ගැනීමක් යනු කොකළ හැකි කටයුත්තක් ලෙසින් දකී. ඔහු එය මෙසේ පැහැදිලි කරයි. පොතක් ලියන අයෙක් එය ලියන්නේ කල් තියා දැනගත් අවසානයක් මත සිට නම් ඒ පොත ලිවීමට ඔහුට උත්තේජනයක් ඇති විය නොහැකිය. එසේ ගත් කළ අනියත බව, නොදන්නාකම හමුවේ ඒ ඒ අවස්ථාවල මිනිසුන් විෂයෙහි ඇතිවන ක්‍රියාකාරකම් ඔහුගේ හෝ ඇයගේ ජීවන පැවැතුම සම්බන්ධයෙන් ලබා ඇති ගාමක බලවේග වේ. සෑම ශිෂ්ටාචාරයක් ම අතීතයේ සිට වර්තමානයට පැමිණ ඇත්තේ නොදන්නාකම ඔස්සේය. නොදන්නාකම ඵෙතිහාසික සංසිද්ධියකි යන ෆුකෝගේ හඳුණා ගැනීම ගැඹුරු සොයාගැනීමක් වශයෙන් පිළිගැනෙන්නේ මන්දැයි මේ අනුව ඔබට පැහැදිලි විය යුතුය.

ඔහු තවදුරටත් පෙන්වා දෙන ආකාරයට සමාජයීය පැවැත්ම සහ මිනිසුන් සිතන පතන ආකාරය යනු එකම පැත්තක පිහිටා ඇති දේවල් ද නොවේ. එය හරියට ම ගත්තොත් අපේ ගම්වල දැකිය හැකි දෙවැටක් වැනි ය. ඒ දෙවැට මැද්දෙන් ඇත්තේ කුඩා අඩි පාරකි. සීමිත පටු මගක් වුණත් අධ්‍යයනයටත්, ක්ෂේත්‍රීය හැදෑරීම්වලටත් ඇති එකම මඟ වන්නේ ද එයයි.

කොතරම් උසස් පරමාර්ථ මත ඇති කරන ලද්දක් වුණත් පෞද්ගලික බලය හමුවේ ඒ උසස් පරමාර්ථ සහිත වැඩ කටයුත්ත මෙවලම් උපකරණ බවට පත් වීමේ අවදානමක් තිබේ. ප්‍රංස විප්ලවයේ දී සිදු වුණේ එයයි. “රූසෝ කියන්නේ ආදරයෙන් වැලැඳගත යුතු නිදහස් මතවාදියෙක්. ඒත් ඔහුගේ ඒ නිදහස් අදහස්ම තමයි අවසානයේදී ප්‍රංශ විප්ලවය ඇතුළේ මර්දනයේ හැඩතල නිර්මාණය කළේ. කාල් මාක්ස් ස්ටැලින්වාදයක් ගැන කලින් දැන සිටියේ නැහැ. එහෙම දැන සිටියා නම් බියෙන් ගල් ගැහෙන්නත් ඉඩ තිබුණා.” ෆූකෝ ඒ අදහස් එසේ පළ කරන්නේත් නොදන්නාකම ඵෙතිහාසික සංසිද්ධියකි කියන තැන සිටයි. එමෙන්ම පැවැත්ම යනු ඒ ඒ අවස්ථා සංසිද්ධි හමුවේ නිර්මාණය වන ක්‍රියාකාරකම්ය යන පදනමේ සිටිමිනුයි.

මිචෙල් ෆුකෝ ලේඛකයකු වශයෙන් ස්ථානගත වන්නේ ද පොදුවේ අප කවුරුත් සිතන තැනක සිට නොවන බවද කිව යුතුය. ඒ අනුව ඔහු තෝරාගන්නා ප්‍රධාන චරිත සමාජගතව සිටින්නවුන් වශයෙන් ගත් කල අප්‍රධාන තන්හිලා සලකන්නවුන් වශයෙන දැකිය හැකි වේ. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුහු ප්‍රධාන සමාජ ප්‍රවාහයේ මායිම් එසේ නැත්නම් සීමාවල සිටින අය වෙති. උදාහරණයක් ලෙස ලාදුරු රෝගියා යනු පොදු සමාජ ප්‍රවාහයෙන් ඉවතටම තල්ලු කොට යැවු චරිතයක් වුණත් ෆූකෝගේ සමාජ ආඛ්‍යයනයක් තුළ ඒ රෝගියා ප්‍රධාන පෙලේ විශ්වසනීයත්වයකින් අප හමුවට පැමිණවීමට ෆූකෝ කටයුතු කරනු ඇත. ඔහු ප්‍රධාන සමාජ ප්‍රවාහයේ මාගිමගත චරිත වශයෙන් හඳුනාගන්නේ එවැන්නවුන් ය.

ඒ ගැන තවදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ එවැනි මායිම්ගත චරිත පොදු ප්‍රවාහයේ චරිතවලට වඩා තමන්ව සොලවා අවදි කරන බවයි. පොදුවේ අප හඳුණා ගන්නා චරිත මෙන් නොව මේ අය බලවත් විඳ දරා ගැනීම් සමඟ වෙසෙන්නවුන් වශයෙන් සිටිය හැකි යැයි පවසන ඔහු තවත් වැදගත් මතු කිරීමක් ද ඔවුන් සම්බන්ධයෙන් මතු කොට පෙන්වා දෙයි. මේ කියන සමාජ මායිම් චරිත තමන් එසේ පැවතීම ගැන දක්වන නොදැනුවත්කමයි ඒ. ඔවුන් තමන් සිටින ඒ අයුරින්ම හැසිරෙනවා ඇරෙන්න තමන්ගේ පැවැතම හඳුණාගැනීමට අදාලව කිසිවක්ම නොකරන තත්වයක් පොදුවේ දැකිය නොහැකිය. එවැනි තත්ත්වයක් ද ඔහු නිරීක්ෂණය කරයි.

මිචෙල් ෆූකෝ නම් මේ හඳුනා ගැනීම අපේ නූතන සමාජ සාහිත්‍යයික වල්මත් වීමක් වේ නම් ඊට මනා මාර්ග සංඥාවක් යැයි සිතේ. මනස්ගාතවාදී එමෙන්ම යන අතක් නොදත් කල්ට්වාදීන්ට දැකිය නොහැකි වෙනස් චින්තනයක් සහිත මෙවැනි කියවීම් ප්‍රතිඵලදායකය. ඒ බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැතැයි සිතමි. අධ්‍යාපනික සංවර්ධනයක් සහිත බොහෝ සංවර්ධිත රටවල් අද වන විට සිය සංවර්ධනයේ පදනම් වශයෙන් සලකන්නේ දියුණු අධ්‍යාපනයයි. එමෙන්ම ප්‍රතිඵලදායි වූත් සංවර්ධනාත්මක වූත් කියවීමයි. අතීතයේද එය ආර්ථිකයම මුල් කොටගත් නිර්ලජ්ජිත ධනවාදය මුල් කොට ගත්තත් වුණත් අද ඒ සීමා මායිම් අර කී ආකාරයට වෙනස් වෙමින් පවතී.

Comments