ජීවන මේ ගමන සංසාරේ! | සිළුමිණ

ජීවන මේ ගමන සංසාරේ!

සරසවිය පුවත් පතේ ප්‍රධාන කතුවරයා වන අරුණ ගුණරත්න මා දකින්නේ ඉරිදා පුවත් පතක් සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම විශේෂාංග කතුවරයකු වීමට ද බරපතල සුදුසුකම් ඇත්තකු ලෙස ය. ඉතා හොඳ ලිපි සඳහා මූලාශ්‍රය වශයෙන් ගත හැකි බොහෝ කාරණා අලියා සෝඩා පමණක් බොමින් වුව ද ඔහුගෙන් ලබාගත හැකි බැවිනි.

මේ මා ඔහුගෙන් අසා ගත් එක් කතාවකි.

එය 1985 වසරේ එක්තරා දවසකි. කොළඹ ආනන්දයෙන් සිප් සතර හැදෑරූ කැබිතිගොල්ලෑවේ අරුණ ගුණරත්න උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුව ලංකාව පුරා වූ සිනමා හල් වන්දනා කිරීමෙන් සිටි යුගයකි. මේ කාලයේ දිනක එක්තරා ඉරිදා පුවත් පතක පළ වූ ලුහුඬු දැන්වීමකින් කියවුණේ පුස්තකාලයක් විකිණීමට ඇති බව ය. ඔහු මේ ආරංචිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ වික්ටර් අයිවන්ට ද දැනුම් දුන්නේය. අරුණ ගුණරත්න ඒ වන විට රාවයේ ලේඛකයකු ලෙස කටයුතු කරමින් සිටියේ ය.

විකිණීමට තිබුණු නුගේගොඩ අදාළ නිවස වෙත පිවිසුණු දෙදෙනාට , එය සුප්‍රකට මහාචාර්යවරයකුට අයිති පුස්තකාලයක් බවත්, දැන්වීම දමා තිබුණේ මෙකී පොත්පත් කන්දරාව නිවසට කරදරයක් බව තීරණය කර තිබූ ඔහුගේ බිරිය විසින් බවත් දැන ගන්නට ලැබිණි. ඒ කාලේ විදියට රුපියල් දහසක පමණ පොත් පත් මිලදී ගත් අරුණට එම නිධානයෙන් ගරාගත් වටිනාම මාණික්‍යය වූයේ මහා සිනමාකරු සර්ජි අයිසන්ස්ටයින්ගේ “ෆිල්ම් ෆෝම් ඇන්ඩ් ෆිල්ම් සෙන්ස්’‘ කෘතියයි. පොත්පත් රැගෙන එළියට බසිද්දී වික්ටර් අයිවන් ඒ සියල්ලටම වඩා අගනා උපදෙසක් අරුණට දුන්නේ ය. එනම් “පොත් වල වටිනාකම නොදන්නා බිරියක් සිටී නම්, කිසි දිනක පොත් එකතු කරන්නට එපා” කියා ය.

මේ කතාවේ දෙවැනි කොටසක්ද වෙයි.

එයට මුල් වන්නෝ තිදෙනෙකි. මහා සිනමාකරුවකු වූ සර්ජි අයිසන්ස්ටයින්, පරිපාලන නිලධාරියකු වූ බර්ටි ජයසේකර සහ චිත්‍රපටි බලනවාට වඩා ඒ ගැන ලියවුණු දේ එකතු කරන අරුණගේ මිතුරකු ද වශයෙනි. එකී මිතුරා අරුණ සතුව තිබූ සර්ජි අයිසන්ස්ටයින්ගේ පෙර කී පොත, ඔහු පෙරළා බලන්නටත් පෙර ඉල්ලා ගෙන ගොස් තිබිණි.

විදුහල්පතිවරයකු වූ අරුණගේ පියා මේ කියන කාලයේ කලින් ම විශ්‍රාම ගෙන තිබුණේය. මේ ආකාරයට විශ්‍රාම ගන්නා අයට දෑවුරුද්දක වැටුප එකවර ගෙවීමට නියමිතව තිබූ නමුත් උතුරු පළාතේ අධ්‍යාපන කන්තෝරුවෙන් වැඩේ බරපතළ ලෙස ප්‍රමාද වෙමින් පැවතුණි. නමුත් දින දෙක තුනක් ඇතුළත එම මුදල තාත්තාට ලබාදීමේ කොන්ත්‍රාත්තුව අරුණ කරට ගත්තේ ය. වැඩය ඉටුකර දෙනවාට ගාස්තුව වූයේ මුදල අතට ලැබුණු වහාම වීඩීයෝ ප්ලේයරයක් මිලට ගෙන දීම ය.

යෝජනාව එක පයින් අනුමත වූ හෙයින් අරුණ ගුණරත්න හැකි ඉක්මනින් පිටත් වූවේ ඒ වන විටත් තමා හොඳින් දන්නා හඳුනන බර්ටි ජයසේකර හමුවනු පිණිස ය. “හන්තානේ කතාව” තිර රචනයෙන් සිනමාවටද සම්බන්ධව සිටි ප්‍රධාන පෙළේ සිවිල් නිලධාරියකු වූ බර්ටි ජයසේකර අරුණව ඉතා ආදරයෙන් පිළිගෙන ඔහුගේ ඉල්ලීම එක දුරකතන පණිවිඩයකින් විසඳා දුන්නේ ය.

ඉක්බිති බර්ටි ජයසේකරගෙන් ලැබුණු තේ කෝප්පයක රස විඳිමින් සිනමාව අරබයා කතා කරන අතරේ බර්ටි තමා විසින් කරන්නට පටන් ගත් අලුත් වැඩක් ගැන අරුණට විස්තර කළේ ය. ඒ අලුත් වැඩය වූයේ සිනමාව පිළිබඳ ව ඉතා වටිනා පොතක් සිංහලයට පරිවර්තනය කිරීමය.

පොතේ නම සර්ජි අයිසන්ස්ටයින්ගේ “ෆිල්ම් ෆෝම් ඇන්ඩ් ෆිල්ම් සෙන්ස්” ය. බර්ටි ජයසේකර ලාච්චුවෙන් ඇද එම පොත ද අරුණට පෙන්නුවේ ය.

පුදුමයකි! එය මිතුරා විසින් ඉල්ලාගෙන ගිය අරුණගේ පොත ය!

“මිස්ටර් ජයසේකර, කොහෙන්ද ඔයාට පොත හම්බ වුණේ?”

“ඇයි මට අහවලානේ ගෙනත් දුන්නෙ!” බර්ටි අරුණගේ මිතුරාගේ නම කීවේ ය. මේ වන විට බර්ටි මෙන් ම මෙම මිතුරාද අපගෙන් සමුගෙන ය. අදාළ කෘතියෙහි සිංහල පරිවර්තනය අපට අහිමිය. ඉංග්‍රීසි පොත අරුණට අහිමි ය.

Comments