ගිරි­තිල්ල මල | සිළුමිණ

ගිරි­තිල්ල මල

නිසල් නිල් විල් තෙරක හිනැ­හෙ­මින් කලක්

පිපී හිනැ­හුණු පුංචි ගිරි­තිල්ල මලක්
සුපුල් සල් රුකක් මත එළන ගී දැලක්
කොවු­ල­කුට පෙම් බැඳුමෙ කොහිද අරු­ම­යක්

කොවු­ලා­‍ෙණනි නුඹට නො ව හඬට පෙම් බැඳිණි
ගී හඬින් විලේ නො ව හදේ සිය­පත් පිපිණි
විසල් සල්තු­රු­ප­තින් පතින් එකින් එක වැටිණි
නුඹ නිසා සිනා­සෙන ගිරි­තිල්ල මල වැසිණි

නුඹ ගයයි එදා මෙන් අදත් පුල් සල් ගසේ
ඒ හඬට සිය සියක් ගිරි­තිල්ල මල් පිපේ
එදා මෙන් අදත් සල්පත් පැතිර දස අතේ
නුඹ කෙලෙ­ස­වත් නොදුටු ගිරි­තිල්ල මල් වැසේ

• සාධ්‍යා කොඩි­තු­වක්කු


එක් ව ආ දෙදෙනකුගේ
කතා­වක් හෙවත්
සිත ගතට කී කවිය

දැනෙ­නවා හොඳට ම
තබා­ගෙන උර­ මත
මේ තාක් රැගෙන ආ මගෙ බර
දැන් ඉතින් ගෙන­යන්න බැරි බව
නුඹ­ හට තවත් දුර

ගෙවූ දුර නම්
කොප­මණ ද
අප­මණ ය
කී දේ ද
කළ දේ ද
හොඳ ද නරක ද
අත­ර­මැද
සුදු ද
අළු සහ කළු දෑ ද
තුටු­ප­හටු මඳ­හස ද
කඳුළු ද

කොතෙක් නම් දේ එහි වී ද
කිසි හයි­හ­ත්ති­යක් නොතිබී ම
ඒත් නෑ බෑ නොකියා ම
වැනි වැනී ගාටයි නුඹ
අදත් මා නුඹෙ උර­ මත
ආ යොදුන් දුර බැලු­වොත්
යන්න ඇති දුර අල්ප ය

ඒත් නැව­තිය හැකි වෙ ද
දුර අල්ප වුව යා යුතු ය
ඉතින් සකි­සඳ මේ බර
දැන් ඉතින් බිම තබ­නුව
ඉතුරු කෙටි හෝ මේ දුර

මට ය හිමි දැන් වාරය
නගිනු සකි­සඳ උර­ මත
හිඳිනු සුරැකි ව සුරැකි ව
මෙතෙක් ගෙන ආ මා බර
නමින් ගෙන යමි නුඹෙ බර

• යස­නාත් ධම්මික බණ්ඩාර


කැකුළ

නල කල­ඹන අතු ඉති නටනා සැරේ
ජල තල විල මත පිපි පියු­මන් රැලේ
යට සැඟ­වුණු කැකු­ළක් මා පිය තුරේ
රැස මුව මත විඳිනා කවු­දැයි බලයි

නුබ නැගි හිරු තැන­කට ඇවි­දින්
ලෝ වන වැඩ විම­සුම් ඇසින් දකි­මින්
අද ඉප­දුණු දරු­වන් කවු­දැයි බලා
හඳුනා ගති කැකු­ළක් එබෙනා හොරෙන්

• නව­රත්න රඹු­ක්වැල්ල


තැවු­ල්සිත

ගමි­න්ගම පසු කරන්
පිවිසි විසල් වන ඇර­ඹු­මට
පා ගම­නින් ම
දිගු නිහැ­ඬි­යා­වක
හුදෙ­ක­ලාව සරමි

වන­මැ­දට
නැවුම් හිරු­රැස් පෙරී එන
නොකි­ලිටි තෙත් මහා පොළොව
සත්කුළු පව්වෙන් වට ව
සිනා­සෙන

මල් ද කොළ ද ඵල ද
වන­ස්ප­ති දිගු­ක­ලක් විසූ
සොයමි මම තවම
මට හිමි පුංචි බිම්ක­ඩක්
ගිරි­ගු­හා­වක් හෝ ගස්මු­ලක්

නිද­හස් කර­ග­න්නට
තැවුණ සිත
නෑ මිතු­රන් හා එක් ව
පිය­මැන්න ඒ ගම­නට
හිත තබා
සැරිය යුතු ය මා තනි ව

• මේදනී මැණි­ක්කු­ඹුර


මල්ව­ඩමේ මල

මලේ සුවඳ මඳනල මිස ඒ මල නොදනී
විලේ සරැලි දෙන දෙන සෙනෙ­හස ඒ විල නොදනී
ජලේ ගැඹර මලේ නටුව මිස මල නොදනී
පිලේ පැදුර ගැන හරි­හැටි පිල­වත් නොදනී

මලේ සුවඳ කුම­ටද මල මල්ව­ඩමේ නම්
විලේ සරැලි කුමට ද විල කඳු­ළැලි විල නම්
ජලේ ගැඹර කුමට ද නටුවේ මල් නැති නම්
පිලේ පැදුර කුමට ද එය තනි­පැ­දුරේ නම්

මැදුරු දෙස ම නොබලා ආ මේ දුර ගමනේ
කඳුරු දියම තොල­ගා­මින් සර­තැස නිවුණේ
නුදුරු දිනම හිමි­කර ගැනු­මයි සිත තිබුණේ
සොඳුරු කුසුම කිම නුඹ මල්ව­ඩමේ පිපුණේ

• විපු­ල­හේවා වලි­මුණි


ඔබ සහ මම

අද උදේ ඉඳල ම
මතක් වෙන්නෙ මට
ඊයේ හවස දුටු
ඔබෙ හැඬු­ම්බර මුහුණ
කකි­යනා හද­ව­තට
ඔසු තවම නො ලැබිණි ද

මම දන්නෙ බෙහෙ­ත්වල මාත්‍රා
ඔබෙ හදට විස වෙයි ද?
හොඳම කාරු­ණික වදන් කලතා
හදපු කැඳ කෝප්පය
හීන් හස­රැල් හකු­රු­කැට සමඟ
ඇඳ ළඟින් තියන්න ද?

රිදුම් දෙන සිහින මැද සැත­පෙනා
මහන්සි ම නෙතු­පි­යන්
ඇහැ­ර­වන්නෙ ම නැතුව මම යන්න ද?

• විජායි නාලිකා කරු­ණා­ති­ලක


පියල්ගේ කවිය

සුප­ර්මා­කට් එකක් වගෙයි හිත
ගනු­දෙනු ගනු­දෙනු ගනු­දෙනු
හාඩ්වෙ­යාර් එකක් වගෙ ගත
ටකස් චොකොස් යකඩ ගැටෙයි
උණ විකා­රෙන් වගේ
වචනෙ වචනෙ වම­නෙට එයි

නින්ද නැතිව
ඉස්පි­රි­තාලේ
ඉන්නා විට රාත්‍රියේ
දිගා­වෙලා ගනු­දෙනු උඩ
දුන් ණය කිසි­වක්
ආයෙත් ගත නොහැක්කා සේ

ඉල කකි­යයි
බඩ පෙර­ළෙයි
හිස වෙවු­ලයි
ක්ලාන්ත වෙයි
අහස පුරා
තරු ඉහිලා

නිදි­පෙති වගේ පෙනෙයි
ලෙඩ සුළ­ඟක්
කෙඳිරි ගගා පාවී එයි
කාණු දිගේ
මීතේන් ගඟ ගලාන යයි
නන්දා

බිස්නස් ම නෙවෙයි ජීවිතේ කියා
යාන්ත­මට වගේ දැනුණා
පළ­මු­ව­රට
උදේ තුනට විතර අඳුරේ
ගණ වූ සීතළ අඳුරේ
කලු­වර තැන් එළි කරන්ඩ
පුංචි හඳක්

ගඳ තැන් හැම සුවඳ වෙන්ඩ
මල්පො­කු­රක්
ඔබ ළඟ තාමත් ඇති
නන්දා
ෆයි­ව්ස්ටාර් රෝහ­ල­ටත්
බිත්ති ගලව ගෙන
වහලෙ උගුල ගෙන
රකු­සන් සේ
මරණ බිය කඩා පනියි

• සමිත බණ්ඩාර
ඇටු­ව­බැ­න්දෑල
 

Comments