ග්‍රන්ථ විචාර | සිළුමිණ

ග්‍රන්ථ විචාර

කර්තෘ - කොත්මලේ සිරිසේන

කොත්මලේ සිරිසේන යනු මෙරට සාහිත්‍යය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගල නාමයකි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, සාහිත්‍යකරුවකු ලෙස සමාජයේ නමක් දිනා සිටින කොත්මලේ සිරිසේන මේ වන විට රචනා කර තිබෙන ග්‍රන්ථ සංඛ්‍යාව 20කි. ඒවා ද විවිධ විෂයයන් යටතේ රචනා කෙරුණු ඒවා ය. ඒ අතර ජීවිතය නැවතිලා, සඳමැකී අහවරය, ඉරගල වැටුණු පසු, පුරඟනකගේ සයනය, මඟහැරුණු රාත්‍රිය සහ මැදියම් රැයත් ගෙවුණු වගයි යනුවෙන් මේ වන විට කවිපොත් 6ක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සියලු කාව්‍ය කෘති රාත්‍රිය, සැන්දෑව, රාත්‍රිය, සයනය ආදි යෙදුම් සහිත නාමකරණයෙන් යුක්ත වීම සුවිශේෂ ය. එයින් ධ්වනිත වන්නේ ඔහු වඩාත් රාත්‍රියට සහ නිහඬතාවට වඩාත් ප්‍රියජනක වූ යටිසිතකින් යුක්ත ව නිර්මාණකරණයේ යෙදෙන්නකු බව ය.

අද අපගේ අවධානයට ලක් වන්නේ කොත්මලේ සිරිසේන විසින් රචනා කර තිබෙන මඟහැරුණු රාත්‍රිය සහ මැදියම් රැයත් ගෙවුණු වගයි කෘති යුගලය ය. ඒවා පිළිවෙළින් 2018 සහ 2019 වර්ෂවල මුද්‍රණද්වාරයෙන් නිකුත් කර තිබේ.

උක්ත කෘති දෙකට සුනිල් සරත් පෙරේරා, ජයලත් මනෝරත්න වැනි ප්‍රාමාණිකයන් පෙරවදන් සපයා තිබේ. මේ කෘති ද්විත්වයට ම අන්තර්ගත වන්නේ කෙටිකවි හෝ හයිකු නමින් හැඳින්වෙන කාව්‍ය රචනා ය. මේ කෙටිකවි ජපානයේ හයිකු සම්ප්‍රදායට නෑකම් කියන බව සමන් අතාවුදහෙට්ටි සඳහන් කරයි. එහෙත් මේ පිළිබඳ ව තවදුරටත් විමර්ශනය කළ යුතු ය.

‘සරලබව

සිරුර

වැලඳ ගනිද්දී

තණ්හාව

රූරා වැටී

පයට ම පෑගුණි’

‘මීයෝ

ගෙම්බෝ

දිවි දෙති

මිනිසුන්

ජීවත් කරවන්න

කිසිදු පිනක්

අපේක්ෂා නො කරම’

‘සිතුවිලි

කන්දකට

ගිනි තබා

බලා සිටී

සොමි ගුණ පිරි

සඳත්’

‘ඔහුට

කවියට

තුරුලුවීමට

ඉඩ දී

නික්ම ගියා ය’

මඟ හැරුණු රාත්‍රිය සහ මැදියම් රැය ගෙවුණු වගයි කෘති ද්විත්වයට සමාජයේ සහ දෛනික ජීවිතයේ ක්ෂුද්‍ර සිදුවීම් පාදක වී තිබෙන අතර සියල්ල කෙටිකවි වශයෙන් සංගෘහීත කර තිබේ. ඒ අනුව මඟ හැරුණු රාත්‍රිය කෘතියට කාව්‍ය නිර්මාණ 88ක් අන්තර්ගත ය. මැදියම් රැය ගෙවුණු වගයි කෘතියට කාව්‍ය නිර්මාණ 80ක් අන්තර්ගත ය. විවිධ අත්දැකීම් ඔස්සේ රචනා කර තිබෙන මේ නිර්මාණ ඇතැම්විට පාඨකයාගේ බුද්ධිය දල්වනු පෙනේ.

එසේ ද වුවත් මේවා හයිකු කවි නො වන බව කිය යුතු ය. ඒවාට වෙනම නාමකරණයක් අවශ්‍ය ය. අපගේ සෙල්ලිපිවල, සීගිරි ගීවල දැකිය හැකි මේ ක්ෂුද්‍ර කාව්‍යාංග අපේ රටට අලුත් දෙයක් නො වේ.

චීන සාහිත්‍යයෙන් ආභාසය ලබමින් ජපන් කවියන් විසින් 7වැනි සියවසේදී පමණ බිහිකරන ලද වක සම්ප්‍රදායට අනන්‍ය හයිකු කවි, කොජිකි සහ නිහොන්සොකි කෘති ද්විත්වය යටතේ ලිඛිත, කාව්‍ය සාහිත්‍යයකින් ආරම්භ වී තිබේ. ඉන් පසු ඉමායෝ සහ රෙංග මෙන් ම හයිකායි, සෙන්රියු, හයිග, හයිබු ඔස්සේ හයිකු කාව්‍ය සම්ප්‍රදාය බිහි වී වර්තමානය දක්වා පරිණාමය වී තිබෙන ආකාරය දැකිය හැකි ය.

කෙසේ වෙතත් හයිකු යන නාමය මුල්වරට යෙදී තිබෙන්නේ 19වැනි සියවසේ දී ය. මසඔක සික් යනු ඒ සඳහා මුල් වූ කවියා ය. හයිකු කවියේ සුවිශේෂත්වය වන්නේ ඒවා සියල්ල ත්‍රිපාදයෙන් යුක්ත වීම ය. එය ද මුලින් විසම බහුපාද කාව්‍ය විශේෂයක් ලෙස ආරම්භ වී පසුව ත්‍රිපාද දක්වා සංස්කරණය වූවකි.

හයිකු කවියේ ත්‍රිපාද ස්වභාවය බෞද්ධ උරුමයෙන් බිහිවූවක් ලෙස කිය මනා ය.

එතිරිජ් නයිට් නම් වූ කළු ජාතික කවියා ගේ පහත සඳහන් කවිය නූතන හයිකු කවියේ දේශපාලනික මුහුණුවර කදිමට නිදර්ශනය කරයි. එය ද ත්‍රිපාද කවියකි.

‘නැගෙනහිර මුරකුලුන

සැඳෑහිරු එළි වැදී, ඉසිඹුලන තීරණයක

ගිරිකුළෙක කටුසු ලෙස’

Comments