කොතැ­නක හෝ සිදු වූ වර­දකි: නැවත කිය­වන්න | සිළුමිණ

කොතැ­නක හෝ සිදු වූ වර­දකි: නැවත කිය­වන්න

අතු ගොන්නකට මුවා වී මුතින් තලා වී බිම වැතිර සිටි ඔහු සිය රයිෆලය ඒ අතු ගොන්නේ සඟවාගෙන විමසිල්ලෙන් බලා සිටියේය. විදානෙ ආරච්චි ද ඔහු අසලින්ම වැතිරගත් අතර දිවා ආලෝකය කෙමෙන් නිවී යමිත් පැවතුණි. කොටියා අතින් මරා දැමුණු ඌරාගේ මළකුණ පසෙකින් වූ අතර අසල වනයෙන් රිංගා ආ මුගටි දෙදෙනෙක් මළකුණේ උදරය තුළට රිංගා ගත්හ. ඔහු මහත් වුවමනාවෙන් මලකුණ දෙස නෙත් යොමාගෙන සිටියදීම කිසිම ආකාරයකින් දැනගනීමට ඉඩක් නොතබාම තමනට නොපෙනී කොටියා එතැනට පැමිණ සිටින අයුරු එක්වනම ඔහු දුටුවේ ය. උගේ තියුණු ඇස් එක එල්ලේම ඔහු වෙතට එල්ල වී තිබුණේ ය. ඒ ඇස්වල කාන්තියෙනුත් සිරුරේ අලංකාරයෙනුත් වසඟ වූ ඔහුට තමා මෙහි සිටින්නේ මේ අපූරු අලංකාර සත්වයාට වෙඩි තැබීමට ය යන කාරණය ද අමතක විණි.

ඉහතින් කියවුණ ඒ ඔහු දඩයක්කරුවකු නම් නොවේ. ලංකාවේ වනාශ්‍රිත ගම්මාන, පිටිසර පෙදෙස් පමණක් නොව නගර හරහා ද ගමන් කරමින් සමාජ දේශපාලන මතු නොව සංස්කෘතික වශයෙන් ද තොරතුරු රැස් කරමින් මහත් සාහිත්‍යයික සේවාවක් සිදු කළ ඔහු නමින් ලෙනාඩ් වුල්ෆ් ය. එහෙත් ඔහු මෙරටට පැමිණියේ ආධුනික සිවිල් සේවා නිලධාරියකු හැටියට ය.

ඒ කෙසේ වෙතත් ලෙනාඩ් වුල්ෆ් මතු වන්නේ සාහිත්‍යකරුවකු හෝ රජයේ සිවිල් නිලධාරියකු හැටියට ම පමණක් යැයි ඔබ සිතනවා නම් එතැන ලොකු වරදක් තිබේ. කොටින්ම මේ කියන චරිතය මුල සිටම කියවා ගැනීම තුළ පොදුවේ ගත් කල අදටත් ඇත්තේ විචාරාත්මක නොවූ රොමැන්ටික් ආස්ථානයක් යැයි සිතේ. වරක් වුල්ෆ් විසින් ම කියන ලද උත්ප්‍රාසවත් කියුමකින් මේ සාකච්ඡාව පටන් ගැනීම සුදුසු යැයි සිතමි. “මම අධිරාජ්‍යවාදයේ සුව විඳිමි. එහෙත් අධිරාජ්‍ය විරෝධියෙක්මි.” මෙය පැහැදිලිවම විසංවාදයක් යැයි යමකු කීවොත් ඒ ගැන මම පුදුම නොවෙමි. එහෙත් මේ අපූරු උත්ප්‍රාසය නොවක් ලෙසින් අපට මතු කර දෙන්නේ වුල්ෆ් නම් සමාජ දේශපාලන හැසිරීමේ ඉතිහාසමය ස්වභාවයයි.

ලෙනාඩ් වුල්ෆ් නම් හැදෑරීම අප සිදු කොට ඇත්තේ කොතරම් සීමිත වශයෙන් දැයි හඳුණා ගැනීමට ඔහුගේ “විලේජ් ඉන් ද ජංගල්” කෘතියම පමණක් වුව සෑහේ යැයි සිතමි. පොදුවේ ගත් කල මේ කෘතිය බොහෝ පාඨකයන් හඳුණා ගන්නේ ඒ.පී ගුණරත්න විසින් සිංහල බසට නගන ලද “බැද්දේගම” නම් කෘතිය ඇසුරෙනි.

නමුත් පරිවර්තන කෘතියක් වශයෙන් එය එසේ සකස් කෙරෙන්නේ උසස් අධ්‍යාපන සිසුන් වෙනුවෙන් කියැවීමට සුදුසු අධ්‍යාපන කෘතියක් හැටියටය යන කරුණ ද මෙහිදී අමතක නොකල යුතු වේ. ඒ අනුව යමින් සිතින් මවාගත් මැද පාන්තික සදාචාරයක් නිසාදෝ වුල්ෆ්ගේ මුල් කෘතියේ එන බොහෝ ගැමි දෙඩුම්, අව්‍යක්ත බස් හැසිරවීම් ඒ ලෙසින්ම පරිවර්තනය වීද යන්න ගැටලුවක් වේ. කෙසේ වෙතත් ප්‍රශ්නය තියෙන්නේ එතැන නොවේ. ඒ ආකාරයට විශ්වවිද්‍යාලය මුල් කොටගත් ඒ අනාගත උගත් පරපුර වෙනුවෙන් විශාල මග හැරීමක් මේ නිසා සිදු වුණාය කියන තැනය. එය බරපතල ගැටලුවකි.

විශේශයෙන් ම මෙරට ඔය කියන කාලයේ දී පැවැති වනාශ්‍රිත ගැමි සමාජ නියෝජනයේ සැබෑ පුද්ගල එමෙන්ම සමාජ සංස්කෘතික හැසිරීම ග්‍රහණය කරගැනීමට වුල්ෆ් ලද අවස්ථාව සංශෝධිත අධ්‍යාපනයක් වෙනුවෙන් ඇති කළ ඒ නිර්දේශිත කියැවීම් හමුවේ අප ලැබුවේ ද යන්න අපැහැදිලි ය. එය කොතරම් ඌන සහගත තත්ත්වයක් ද යන්න ගැනත් සංවාදයක් ඇතිවිය යුතුව තිබේ. එවැනි ගැමි ප්‍රජාවක් අව්‍යාජ එමෙන්ම තමන්ට ආවේණික වු සමාජ හැසිරීමක පවතිද්දී ඔවුන් මතට කඩා පාත් වූ අධිරාජ්‍යවාදය කිසිදු වරදක් නැති ඒ මිනිසුන්ව දාමරිකයන්, මිනීමරුවන් වශයෙන් අර්ථ නිරූපණය කොට බන්ධනාගාරගත කොට මිහි මතින් අතුගෑවි යන ආකාරයෙන් කටයුතු කළේ ඒ අධිරාජ්‍යවාදීන් විසින් තමන් වෙනුවෙන් නිෂ්පාදනය කොට පවත්වාගෙන ගිය නීතිය හා අධිකරණය යන සංස්ථාපිතය හරහාය. ඒ බව මතු කරමින් මේ විදේශික ලේඛකයා විසින් ලියූ ඒ ආඛ්‍යායනය ස්වදේශිකයන් වන අප නිසි ලෙසින් කියවා ගත්තේ නම් ඒ අර තරම් පළල් තැනක සිටිමින් ද යන්න ප්‍රශ්නකාරී වේ. මේ සම්බන්ධයෙන් ඇති වූ සාකච්ඡාවක දී ප්‍රවීණ ලේඛක ප්‍රේමරංජිත් තිලකරත්න මහතා වරක් අප හමුවේ, අහිංසක ගැමියන් මෙන්ම මේ පොළොවේ නිර්මල ගැමි සංස්කෘතියක් තිබුණා නම් එය දුටුවේ ලෙනාඩ් වුල්ෆ් යැයි පැවසුවේය.

නමුත් එවැනි මිනිසුන් සහ සංස්කෘතියක් ගැන පැවසුවේ මාර්ටින් වික්‍රමසිංහ නොවේ දැයි මා විමසු විට ඔහු පැවසුවේ එය ඔහු සිතින් මවා ගත්තක් මිසක් සැබෑ තත්ත්වය යැයි තමන් නොසිතන බවයි. එමෙන්ම වික්‍රමසිංහගේ කාලයේ දී එවැනි සමාජ තත්වයක් මෙරට නොතිබූ බවයි.

ලෙනාඩ් වුල්ෆ්ගේ සැබෑ සමාජ පසුබිම කුමක්ද යන්න විමසීමත් මෙහිලා වැදගත් වේ. ඒ අනුව ඔහු විසු එංගලන්තය මුල් කොටගත් යරෝපය එවකට ෆැසිස්ට් විරෝධයක් සමග ඉදිරියට එමින් තිබුණේ ඒ රටවල විසූ උගතුන්ගේ මැදිහත් වීමෙනි.

විශේෂයෙන්ම දෙවැනි ලෝක යුද්ධයෙන් අවතැන් වූ මනුෂ්‍ය සමාජය දෙස බලා සිටි මේ උගතුන් නැවත ඒ ෆැසිස්ට් වාදයට ඉඩක් නොඑන අයුරින් පිහිටුවාගත් සමාජ සංවාද කුලකයන්හි සාමාජිකයකු හැටියට ලෙනාඩ් වුල්ෆ් ද කටයුතු කොට තිබේ. ඒ ඔහු ආධුනික සිවිල් නිලධාරියකු හැටියට ලංකාවට ඒමට පෙර ය. මෙහිදි ඒ වෙනුවෙන් වඩාත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් ප්‍රසිද්ධියක් ලැබුවේ ඔහුගේ බිරිය වර්ජිනියා වුල්ෆ් ය. දෙවැනි ලෝක යුද්ධ සමයේ එංගලන්තයේ අගමැතිව සිටි වින්සන්ට් චර්චිල් මුලික වශයෙන්ම ෆැසිස්ට්වාදයටත්, යටත් විජිතවාදයටත් එරෙහි අදහස් දැරූ ප්‍රබුද්ධ පාලකයකු විය.

යටත් විජිත ක්‍රමය තුළ සිදු කෙරුණ මුල්‍ය මෙන්ම සම්පත් සූරාකෑම සම්බන්ධයෙන් විරුද්ධ හැඟීමක් මෙන්ම අවබෝධයක් ද තිබූ ඔහු උගතෙක් විය. එහෙත් කොන්සර්වැටිව්වාදී එංගලන්තයේ සමාජ සංස්කෘතික අධිපති බව දැරූ වික්ටෝරියානු මතවාදය හමුවේ එරට දේශපාලනය හැඩගැසී තිබුණේ හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිත සූරාකෑම කොන්දේසි විරහිතව පිළිගන්නා තැනකය. වුල්ෆ් විසූ සමාජ පරිසරය වූයේ එයයි. තමන් අධිරාජ්‍යයක සුව විඳිමින් අධිරාජ්‍ය විරෝධියකු වී සිටිනවා යැයි ඔහු කීවෙ හුදු උත්ප්‍රාසයක් වෙනුවෙන්ම නොවේය යන්න මේ අනුව ඔබට පැහැදිලි විය යුතුය.

මේ ආකාරයට යටත් විජිතවාදය සම්බන්ධයෙන් තමන් තුළ වු ඒ විරෝධය පදනම් විරහිත නොවේ යැයි ඔහුට වැටහුණේ සිවිල් සේවාවට අනයුක්තව ලංකාවට පැමිණි පසුවය. යටත් විජිතවාදයේ ගලග්‍රහණයට අසුව තැලී පොඩි වී සිටි අපේ රටේ මිනිසුන් ගැන ඔහු ලියා ඇති සටහන් ඒ බව සනාථ කරයි. විශේෂයෙන්ම සිංහලයන් ගැන ලියුවක් මෙහිලා විස්තර කරන්නේ ඒ කියු දේ මොනවට සනාථ කරන නිදර්ශනයක් හැටියට ය.

ඒ අනුව සිංහලයෝ හැම විටම ගැඹුරු එමෙන්ම දුර්වාවබෝධයක් ඇතිව ජීවත් වීමට හුරු වූවෝ වෙති. හිඟන්නන් සිය පිළිකුල් සහගත වණ, පිළිකා හෝ බරපතළ විකෘති තත්ව සගවා හෝ යටපත් කර ගන්නවාට වඩා වැඩි ප්‍රමාණයකින් සිංහලයෝ සිය අභ්‍යන්තරය සඟවා නොගනිත්. (එහි තෙරුම සිංහල මිනිසුන් සිය අභ්‍යන්තරය විශේෂයෙන්ම අන්‍යයන්ගෙන් සගවා ගැනීමට එතරම් උනන්දුවක් නොගන්නා බවයි.) කෙසේ වුව අවසානයේ දී ඔවුන්ව හඳුණාගන්නා විට ඒ හැම කෙනෙකුගේම පාහේ අභ්‍යන්තරයෙහි තදබල උදාසීනත්වයක් හා සැම විටම ඉරණමට අවනත වීමේ ස්වභාවයක් පවත්නා බව ඔබට පෙනී යනු ඇතැයි වුල්ෆ් පවසයි. වුල්ෆ් ඊට අදාළව සිය නිගමනය ඉදිරිපත් කරන්නේ මෙසේය. “එහි අලංකාරයක් හා සානුකම්පිත බවක් මම දකිමි.”

කෙසේ වෙතත් මේ කියන හැඟීම් වුල්ෆ් වෙතින් පළ වන්නේ අර කියන්නට යෙදුණු ඔහු නියෝජනය කළ සමාජ දේශපාලන පසුබිමේ ප්‍රතිඵලයක් හැටියටය. ඒ විනා අපේ ඇතැමුන් සිතා සිටින ආකාරයට ඔහු අප කෙරෙහි විශේෂ ඇල්මකින් කටයුතු කළා යැයි සිතන තැනකින් නොවේ. එවැනි රොමැන්ටික් ආස්ථානයක් තුළ ඔහුව තබාගෙන සිටින තාක් කල් අපට ඔහු සම්බන්ධයෙන් නිවැරැදි කියැවීමක් ලබා ගැනීම පහසු නොවනු ඇත.

ඒ කෙසේ වෙතත් තමා ඒ ආසියානු ශිෂ්ටාචාරයේ මෘදු හදගැස්ම අත් වින්දාය යනුවෙන් පවසා ඇත්තේ අප ද අයත් වන මේ ආසියානු සමාජ සංස්කෘතිය ගැන විශේෂයෙන්ම ඔහු දැක්වූ ඒ දයාන්විත හැඟීමයි. එතැනදී ඔහු අපේ උගතුන්ටත් වඩා අපේ පීඩිත ගැමි සමාජ හද ගැස්ම ගැන සානුකම්පිත වූයේ යැයි සිතේ.

Comments