නිදහස අබියස බෞද්ධ දෙරටක් සසල කළ මහා ඝාතනය | සිළුමිණ

නිදහස අබියස බෞද්ධ දෙරටක් සසල කළ මහා ඝාතනය

මියන්මාරය නිදහස ලැබුවේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වන්නට හරියටම මසකට පළමුව, එනම් 1948 ජනවාරි 4 වනදාය. එහෙත් ඒ නිදහසට මෙරට දී මුල් පියවර තැබූ මියන්මාර ජන නායක අවුංසාන්ට එය සමරන්නට ඉඩ නොලැබිණ. ඊට හේතුව වුයේ ඊට පෙර වසරේ (1947) ඔහු සහ ඔහුගේ කැබිනට් මඩුල්ලේ සාමාජිකයන් වීමට සිටි සියලු දෙනා බිහිසුණු ඝාතනයකට ලක්වීමයි. එවකට අවුංසාන්ගේ දියණිය වූ අවුංසාන් සුකී (වත්මන් මියන්මාර රාජ්‍ය නායිකා) ළදැරියකි. එම මහා අපරාධය ලංකාව සහ මියන්මාරය (එවකට බුරුමය) යන දෙරට පමණක් නොව මුළු ලොවම සසල කළේය.

දිනය - 1945 සැප්තැම්බර් 4 දාය

ස්ථානය - මහනුවර පේරාදෙණියේ බ්‍රිතාන්‍ය - ඇමෙරිකන් අග්නිදිග ආසියා යුද මුලස්ථානයයි.

ඒ වන විට දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වී දෙදිනක් ගත වී තිබිණ. බුරුමයේ නිදහසට අදාළ ගිවිසුමක් අත්සන් කිරීමට එරට නියෝජිත පිරිසක් මහනුවරට පැමිණ සිටියහ. ඔවුන්ගේ ප්‍රධානියා වුයේ මියන්මාර (බුරුම) නිදහස් සටනේ පියා වූ අවුංසාන් සෙනෙවියාය. එවකට ඔහු යුද හමුදා මේජර් ජෙනරල් වරයෙකි.

බුරුමයට පූර්ණ නිදහස ලබා ගැනීමේ මුල් පියවර වශයෙන් එරට ජාතික විමුක්ති සටන දියත් කළ දේශප්‍රේමී හමුදාව විසුරුවා හැර එය රජයේ නිල හමුදාවක් වශයෙන් ප්‍රතිසංවිධානය කිරීමට එකඟත්වය ලබා ගැනීම නියෝජිත පිරිසේ අරමුණ විය. ඒ ගිවිසුම අස්සන් කළේ අවුංසාන් සහ අග්නිදිග ආසියා යුද මුලස්ථානයේ ප්‍රධාන සේනාපති ලුවී මවුන්ට්බැටන් අද්මිරාල් වරයාය.

එම ගිවිසුමෙන් කියවුණේ බ්‍රිතාන්‍යයන් බුරුමයේ පාලන බලය අත්හැරිය යුතු බවයි.

දෙවන ලෝක යුද්ධයේ (1942) මුල් වකවානුවේ බ්‍රිතාන්‍ය හමුදා පරදවා බුරුමය අල්ලාගත් ජපනුන්ට අවුං සාන්ගේ හමුදාව සහාය දැක්වීය. එහෙත් ජපන් හමුදා පසුව පැරදී පසුබසින විට බුරුමයට නිදහස ලබා දෙන බවට බ්‍රිතාන්‍ය දුන් පොරොන්දුව මත ජපනුන්ට සහාය දීම නවතා දැමීමට අවුංසාන් ප්‍රමුඛ පිරිස එකඟ වුහ.

වසර 1947 වන විට බුරුමයට පූර්ණ නිදහස ලබා දෙන බවට අවුංසාන් සිය ජනතාවට වූ පොරොන්දුව බොහෝ දුරට ඉටුකර තිබිණ. එවකට බුරුමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ අනුමැතියෙන් ඔහුගේ විධායක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ලෙස පත්වී සිටි තරුණ අවුංසාන් නිදහස් බුරුමයේ ප්‍රථම අගමැති වීමට නියමිතව සිටියේය. ඒ සඳහා ඔහු සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන්ද තෝරාගත්තේය. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ගැති බුරුම ප්‍රතිගාමීන් මේ ගැන සිටියේ දැඩි අසතුටකිනි.

වසර 1947 ජුලි 19 දා බුරුමයේ යන්ගොන් (එවකට රැන්ගුන්) නුවරට වෙනදා මෙන් හිරු උදා විය. සාමාන්‍යයෙන් තැන්පත් ජනතාවක් වන බුරුම වැසියෝ සිය එදිනෙදා කටයුතු සඳහා සුපුරුදු ලෙස මං මාවත්වල ඔබමොබ යමින් සිටියහ. එදින තරමක හිරිපොද වැස්සක්ද පැවතිණ. රතු ගඩොළින් නිම කරනලද රජයේ ප්‍රධාන ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්ති ඔරලෝසුවේ වෙලාව පෙරවරු 10ට ආසන්න වෙමින් පැවතින. විධායක මඩුල්ලේ සාමාජිකයන් දසදෙනා නියෝජ්‍ය සභාපති අවුංසාන් එනතෙක් බලා සිටියහ. විනාඩි දහයකට පසු ඔහු පැමිණ රැස්වීමේ කටයුතු ඇරඹීය. පෙරවරු 10.30 වන විට රැස්වීම පැවතෙමින් තිබිණ.

හදිසියේම කාකි ඇඳුම් හැඳගත් තරුණයන් පස් දෙනෙක් රැගත් ජීප් රියක් මහත් ශබ්දයක් නඟමින් වේගයෙන් අවුත් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව ඉදිරියේ නතර විය. සබ්මැෂින් තුවක්කුවලින් සන්නද්ධව සිටි ඔවුන්ගෙන් සතර දෙනෙක් විධායක මණ්ඩල රැස්වීම පවතී උඩ තට්ටුවට වේගයෙන් දිව ගියහ.

“නැගිටින්න එපා”

ඔවුන්ගෙන් එකෙක් කැබිනට් සාමාජිකයන්ට අණ දුන්නේය.

“දුවන්න එපා”

කැබිනට් සාමාජිකයෝ ගල්ගැසී සන්නද්ධ මැරයන් දෙස බල සිටියහ. ඔවුන්ගෙන් කිසිවකු කතා කළේ නැත. තත්පර කිහිපයක් ගතවිය. ඊළඟ මොහොතේ මැරයන්ගේ තුවක්කු පත්තු විය, මුලින්ම වෙඩි කා මිය ගියේ බුරුම දේශ ප්‍රේමිත්වයේ සංකේතය වු මේජර් ජෙනරල් අවුංසාන්ය. ඔහුගේ සිරුර හැම පැත්තෙන්ම වෙඩි උණ්ඩවලින් සිදුරු විය. එකිනෙකට තදවූ දෙතොල් අතරින් ලේ වගුරුවමින් ඔහු බිම ඇද වැටුණේය. මිය යන විට ඔහුගේ වයස 32ක් වුවා පමණි. (ඒ වනවිට ඔහුගේ දියණිය දෙහැවිරිදි වියේ පසු වුවාය)

සමහර කැබිනට් සාමාජිකයෝ මරුවා ගෙන් බේරී පැනයන්නට තැත් කළ නමුත් කාමරයේ දොරටුවෙන් පිටවෙන්නට පළමුව වෙඩි වරුසාවකට ගොදුරු වුහ. තාකින් මියා, ඌබාවින්, ඌරසාක් සහ මාන් බා ඛායින් එසේ මිය ගිය අය වෙති. ඔවුන් සැමදෙනාම නිදහස් බුරුමයේ ප්‍රථම කැබිනට් සාමාජිකයන් වන්නට නියමිතව සිටියහ. වෙඩි ශබ්දය ඇසුණු විගසින් කාමරයට දිව ආ විධායක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ඌ එන් මවුං වෙඩි වැදී එතැනම මැරී වැටිණි.

සාඕ සම්තුන් සහ දී දොක් ඌ බාවේ තමන් සිටි ආසනවලම මරු විකල්ලෙන් දඟලමින් මිය ගියහ. කාමරයේ සිටි අයගෙන් නොමැරී බේරුණේ පස් දෙනෙකු පමණි. ඉන් එක අයෙකුගේ දකුණත වෙඩි උණ්ඩයකින් තුවාල විය.

පුරා විනාඩි පහක් තිස්සේ සිය ගිනි අවිවලින් වෙඩි නිකුත් කළ ඝාතකයෝ තරප්පු පෙළ දිගේ පහලට දිව ගියහ. ඒ අතරතුරේ වෙඩි හඬ ඇසී උඩට දිව එමින් සිටි ආරක්ෂක නිලධාරියෙකුද මරා දමා නවතා තිබූ ජීප් රියට නැගී පලා ගියහ.

මේ විපත ගැන ඇසු බුරුම වැසියන් බොහෝ දෙනෙක් ශෝකයෙන් මුසපත්ව එළිපිට හඬා වැටුණහ. අවුං සාන් ඇතුළු මියගිය ඔහුගේ සගයන්ගේ සිරුරු යන්ගොන් (රැන්ගුන්) ලෝපතළ ස්වේදගොන් දාගැබ (රන්දාගැබ) කරා යන මාවතේ පිහිටි ජුබිලි මන්දිරයේ තැන්පත් කරන ලදී. ඒ මියගිය අයට අවසන් මහජන ගෞරවය දැක්වීම සඳහාය. මළ සිරුරු එසේ තැන්පත් කර තිබු දෙමසක කාලය තුළ එරට විවිධ පළාත්වලින් පැමිණි දස දහස් ගණන් මියන්මාර (බුරුම) ජනයා මියගිය දේශප්‍රේමීන්ට අවසන් බුහුමන් දැක්වුහ. මේ අපරාධය කළේ කවුද, කුමකටද යන්න ඔවුන්ට තේරුම් ගත නොහැකි විය.

ඊට පිළිතුරු තිබුණේ රැන්ගුන් නුවර තදාසන්නයේ පදිංචිව සිට ඌ සෝ නම් පුද්ගලයා ළඟය. මියෝචිට් නම් දේශපාලන පක්ෂයක නායකයාව සිටි ඔහු විකෘති මනසක් ඇති බලකාමී නරුමයෙක් විය. ඔහු කලක් බ්‍රිතාන්‍ය පාලනයට යටත් බුරුම රජයේ අගමැති වශයෙන් සේවය කළ අයෙකි. අවුංසාන් ඇතුළු පිරිස මියගිය විගස නව රජයක් පිහිටුවීමට බුරුමයේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා තමන්ට ඇරියුම් කරනු ඇතැයි ඔහු සිතා සිටියේය. එහෙත් ආණ්ඩුකාරයාගෙන් ඌසෝ බලාපොරොත්තු වූ පණිවිඩය ඔහුට නොලැබිණි. ඒ වෙනුවට ඝාතනය සිදුවූ දින දහවල් ඔහුගේ නි‍ෙවසේ දොරට තට්ටු කරන හඬක් ඇසිනි. ඒ තමා බලාපොරොත්තුවෙන් සිටි පණිවිඩය රැගත් අයෙකු යයි සිතු ඌසෝ සිනාමුසු මුහුණින් දොර විවෘත කළේය. එහෙත් ඊළඟ මොහොතේ සිනහව අතුරුදහන් වී ඔහුගේ මුහුණින් පළ වුයේ දැඩි බියමුසු බවකි. ඔහුගේ ගත දහඩියෙන් තෙත් විය. දොර ඉදිරියේ පෙනී සිටියේ රහස් පොලිස් නිලධාරීන් පිරිසකි.

ඌසෝ ගේ නි‍ෙවස සෝදිසි කළ පොලිස් නිලධාරීන්ට ස්වයංක්‍රීය තුවක්කු පහක් සහ වෙඩි උණ්ඩ රැසක් සොයාගත හැකි විය. ඌසෝ ඇතුළු ඔහුගේ සගයන් දස දෙනකු සිරගත කිරීමට ඒ සාක්කි ප්‍රමාණවත් විය. පොලිස් පරීක්ෂණ එතනින් නතර නොවීය. ඝාතන සිදුවීමට දින 27 කට පෙර හඳුනානොගත් කණ්ඩායමක් ව්‍යාජ මුද්‍රා සහ අස්සන් යොදා ගනිමින් බ්‍රෙන් වර්ගයේ මැෂින් තුවක්කු දෙසීයක් සහ රිවෝල්වර පෙට්ටි තුනක් රැන්ගුන් නුවර රජයේ හමුදා ගබඩාවෙන් ලබාගත් බව හෙළි විය.

ඌසෝගේ මියෝචිට් පක්ෂ කාර්යාලය සෝදිසි කළ පොලිසියට පෞද්ගලික හමුදාවක් නඩත්තු කළ හැකි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත හැකි විය. ඌ සෝ ගේ නි‌ෙවස අසල පොකුණකින්ද එවැනිම අවි තොගයක් හසු විය. ඝාතන තැත අසාර්ථක වුයේ නම් ඌසෝ මෙම හමුදාව රජයට විරුද්ධව යෙදවීමට සිටි බව පොලිස් පරීක්ෂණවලදී තවදුරටත් හෙළිවිය.

තම රටට පූර්ණ නිදහස ලැබෙන්නට ආසන්නව තිබියදී සිදු වූ මේ අපරාධයෙන් කුපිත වූ මියන්මාර (බුරුම) ජනතාව බ්‍රිතාන්‍ය පාලනය වහාම අවසන් විය යුතු යයි ඉල්ලා දැඩි උද්ඝෝෂණයක් කළහ. එම උග්‍ර ජනතා බලපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් අවුංසාන් ඇතුලු පිරිස ඝාතනය වීමෙන් සය මසක් ඇතුළත මියන්මාරය ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. නිදහස ලැබීමත් සමඟ එරට ජනරජයක් (සමුහාණ්ඩුවක්) බවට පත්විය. එපමණක් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය ලබාගැනීමට පවා මියන්මාරයට වුවමනාවක් නොවීය. එරට පැවති දැඩි යටත්විජිත විරෝධය ඊට හේතු විය. ඌසෝ ඇතුළු ඔහුට සහය දුන් පස් දෙනෙකුද 1948 මැයි මස 8 දා එල්ලා මරනු ලැබූහ. එහෙත් කතාව එතනින් අවසන් වී නැත. ඝාතනයේ සැබෑ කුමන්ත්‍රණකරුවන් කවුද යන්න අදටත් අභිරහසකි. ඒ අදිසි හස්තය එක්තරා බ්‍රිතාන්‍ය පිරිසකගේ බවට බොහෝ මියන්මාර වැසියෝ සැක කරති. මේ සැකය විශේෂයෙන්ම මතු කරන්නේ මියන්මාර ජාතික කින් මවුං ය.

WHO KILLED AUNG SAN? නම් පොතේ කතුවරයා වන ඔහු ඌ සෝ ඇතුළු ඝාතකයන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති තුන්ලා මවුංගේ පුත්‍රයාය.

කින් මවුං මීට දස වසරකට පෙර ඉරවඩි Irrawaddy නම් මියන්මාර ඉංග්‍රීසි සඟරාවට පැවසු අන්දමට බ්‍රිතාන්‍ය රජය බුරුමයට නිදහස දීමට එකඟ වුවත් ඇතැම් බ්‍රිතාන්‍ය සමාගම් එරටට නිදහස ලැබීම එහි තම ව්‍යාපාර කටයුතුවලට බාධාවක් ලෙස සැලකූහ. ඊට උදක්ම හේතු වුයේ අවුංසාන් සමාජවාදී අදහස් දැරූ අයෙකු වීම නිසා එම සමාගම් ජනසතු කරන්න ඉඩ තිබූ බවට ඔවුන් අනුමාන කිරීමයි. එබැවින් ඌසෝ ඇතුළු අවුංසාන් විරෝධීන්ට මෙම සමාගම්වලින් මුදල් ආධාර සපයන්නට ඇති බවට කින් මවුං සැක කරයි. ඔහු කියන අන්දමට ඇතැම් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් විසින් විකුණන ලද ගිනි අවි ඌසෝ මිල දී ගෙන ඇත.

එහෙත් මේ හමුදා නිලධාරීන් හෝ සමාගම් හෝ සෘජු වශයෙන්ම ඝාතනවලට සම්බන්ධ වූ බවට මෙතෙක් පැහැදිලි සාක්කි ලැබී නැත.

(මෙම ලිපියට පදනම් වූ මුලාශ්‍රය අතර පැරණි Times of Ceylon ඉංග්‍රීසි පුවත්පතේ ඉරුදින කලාපය සමග 1960-62 කාලයේදී නොමිලයේ බෙදාහරින ලද AsianTimes සඟරාව සහ අන්තර් ජාලයෙන් ලබාගත් කරුණුද වෙයි)

ජානක පෙරේරා 
[email protected]

Comments