නාලන්ද ඔය හරස් කර බැඳුණු ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල | සිළුමිණ

නාලන්ද ඔය හරස් කර බැඳුණු ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල

- වේල්ල ඉදි කළේ වසර හැත්තෑවකට පෙර 
- විවෘත කරන්න ආවේ එඩින්බරෝ ආදිපාදවරයා

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි අතිශයින් සුන්දර වටාපිටාවක නාලන්ද ජලාශය 1950 දී විවෘත කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ ආදිපාදවරයා අතිනි. එතුමා එදින සිටවූ සමරු අඹ පැළය එම ස්‌ථානයේ අදටත් දැකගත හැකිය. 

නාලන්දා ඔය ඇරඹෙන්නේ මාතලේ වයඹ පිහිටි බිලගල, අස්‌ගිරිකන්ද මකුළුස්‌ස, අම්බොක්‌ක, අරංගල ආදී කඳු ශිඛරවලින් ගලා හැලෙන දිය දහරාවලිනි. නාලන්දා, අවුසැල්ල ආදී කෙත් යායවල් පෝෂණය ලබන්නේද නාලන්දා ජලාශයෙනි.

ශ්‍රී ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල සහිත ජලාශය 1950 දී ඉදිකෙරුණු නාලන්දා ජලාශයයි. එය අතිශයින්ම විස්මය දනවන වාරි නිර්මාණයකි. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාලන්දා ජලාශයට මහනුවර යාපනය ඒ 9 ගමන් මාර්ගයේ 48 කිලෝ මීටරයක් කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ 1.2 කිලෝ මීටරයක් පමණ ගමන් කිරීමෙන් පසු ළඟා විය හැකිය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නාලන්ද ජලාශ භාර දඹුල්ල ප්‍රාදේශිය වාරි ඉංජිනේරු ආර්.පී.වීරසූරිය මහතා පවසන්නේ ජලාශයේ පෝෂක ප්‍රදේශය වර්ග සැතපුම් 48ක බවය. ජලාශයේ දියවර නිකුත් වන්නේ වැමැඩිල්ල සහ දේවහූව ජලාශවලටය.

එංගලන්තයේ එඩින්බරෝ ආදිපාදවරයා විවෘත කළ අපේ රටේ පළමු කොන්ක්‍රීට් වාරි වේල්ල පිළිබඳ රටේ ජනතාව දන්නේ අල්ප වශයෙනි. පළමුවැන්න නම් එය මෙරට වාරි ඉතිහාසයේ ඉංජිනේරුවන් අතින් ඉදිවූ මුල්ම කොන්ක්‍රීට්‌ වේල්ල සහිත ජලාශය වීමය. එහි ජලය එක්‌ පසෙකින් බෝවතැන්න ජලාශය සහ විදුලි බලාගාරයට යාවෙන අතර අනෙක්‌ පසින් වෑමැඩිල්ල ජලාශය ඔස්‌සේ මාතලේ සහ අනුරාධපුර ප්‍රදේශවල කෙත්වතු සරුසාර කිරීමට දායක වෙයි.

මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පිහිටි අතිශයින් සුන්දර වටාපිටාවක මෙම ජලාශය 1950 දී විවෘත කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ ආදිපාදවරයාවීමද සුවිශේෂී සිදුවීමකි. එතුමා සිටවූ සමරු අඹ පැළයක්‌ද එම ස්‌ථානයේ අදටත් දැකගත හැකිය.

නාලන්දා ඔය ඇරඹෙන්නේ මාතලේ වයඹ පිහිටි බිලගල, අස්‌ගිරිකන්ද මකුළුස්‌ස, අම්බොක්‌ක, අරංගල ආදී කඳු ශිඛර වලින් ගලා හැලෙන දිය දහරා වලිනි. සිංහල රජ සමයේ ඉදිකර අස්‌වද්දනු ලැබූ නාලන්දා, අවුසැල්ල ආදී කෙත් යායවල් පෝෂණය ලබන්නේද නාලන්දා ජලාශයෙනි.

අතීත වාරි තාක්ෂණික ක්‍රමයන්ගේ විස්මිත බව විදහා දක්වමින් මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දැනුමෙන් ඉදිවු එම විශිෂ්ට වාරි නිර්මාණය පිළිබඳ සැඟවුණු කතා බොහෝය. නාලන්ද ජලාශය විවෘත කිරිමට පැමිණි එඩින්බරෝ ආදීපාදවරයාට බස්තමක් තිළිණ කළ සිදුවීමකට සම්බන්ධ පවුලක් නාලන්ද ජලාශය ආසන්න ගම්මානයක තවමත් ජිවත් වෙති.

වසරකට කන්න තුනක් ගොඩ මඩ දෙකම වැඩ කිරිමට තරම් ජල ප්‍රමාණයක් කුඹුරුවලට සැපයෙන්නේද නාලන්ද ජලාශයෙනි. ගොවි බිම් රැසක අස්වැන්න සරු කරමින් නිහඬව දිගු ගමනක් යන නාලන්ද ජල කොමළිය වර්ෂා සමයේ දී බොහෝ සෝභමාන වෙයි. පහළ නිම්නයන් හි පිහිටි බෝවතැන්න මෙන්ම අඹන් ගඟ ද මොරගහකන්ද දක්වාද මේ ජලය ගලා බසින අතර අනෙක් පසින් වෑමැඩිල්ල ජලාශයේ සිට බොහෝ වැව් ප්‍රමාණයක දියවර සපයයි.

වගා කටයුතු හැරුණ විට ධීවර කටයුතු මෙන්ම පානිය ජලය සැපයීම් අතින් ද නාලන්දා ජලාශයෙන් සිදු වන්නේ මහඟු මෙහෙවරකි.

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නාඋල කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෙදුම් යටතේ නාලන්ද ප්‍රදේශයේ පවුල් පන්සීයකට පානීය ජලය සැපයෙන්නේ ද නාලන්ද ජලාශයෙනි. නාලන්ද ජලාශය අලුත්වැඩියා කර එම ජලාශයේ වැඩිපුර ජල ප්‍රමාණයක් රඳවාගැනීමට පියවර ගැනීමත්, එමඟින් වෑමැඬිල්ල ජලාශය ඔස්සේ දේවහූව පෝෂිත ඇළ ප්‍රයෝජනයට ගනිමින් හක්වටුනා ඔය හා මී ඔය ජල ධාරා ප්‍රදේශයේ ඉහළ කොටස සඳහා ජලය ලබාදීමත් අරමුණ වී තිබේ. එයින් හක්වටුනා ඔය ජලාශය යටතේ යල මහ දෙකන්නයට වගා කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි වාරි ඉංජිනේරුවෝ විශ්වාසය පළ කරති.

හක්වටුනා ඔය සහ මී ඔය ජල ධාරා ප්‍රදේශයේ ඉහළ කොටස තුළ කුඩා වැව් 150ක් යොදාගනිමින් කන්න දෙකේම වගා කිරීමට ද අවස්ථාව ඉන් ලැබෙනු ඇත. එම ජල සැපයුම ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතය තුළ මහකිරුළ හා මහකිතුල යන ප්‍රදේශ වල මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 02ක් තැනීමට ද යෝජිතය.

මෙහි දෙවන අදියර යටතේ මොරගහකන්ද - කළුගඟ ජලාශයේ ගබඩා වන ජලයේ කොටසක් යෝජිත ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ හුරුළු වැව, නාච්චාදූව වැනි වැව්වලට මුදාහැරිය හැකි නිසා බෝවතැන්න ජලාශය මඟින් මේ වැව්වල ජලය සීමා කිරීමට හැකි වේ.

එසේ සීමා කරන ජලය දඹුලු ඔය හරහා ඉදිකරන ලද අමුණක් මඟින් වෑමැඬිල්ල ජලාශයටත්, 01 වන අදියරේ සඳහන් වන පරිදි ජලය හක්වටුනා ඔය හා මී ඔය ද්‍රෝණියටත් ලබා දීමට සැලසුම් කර ඇත.

මේ නිසා හක්වටුනා ඔය හා මී ඔය පහළ ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ කුඩා වැව් 200ක් යල මහ කන්න දෙකේ ම වගා කිරීමට අපේක්ෂා කෙරේ. වයඹට ජලය හැරවීමේ ව්‍යාපෘතියේ සියලු වැඩ සඳහා අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබා දෙන අතර එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 550කි.

වසර හැත්තෑවක් පැරණි නාලන්ද ජලාශයේ දියවරින් අද වන විට පෝෂණය වන ‍ගොවි පවුල් සංඛ්‍යාව එකසිය තිස් එකකි. අළුගොල්ල ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩබ්ලිව්. අබේකොන් බණ්ඩා මහතා කියා සිටියේ වසර ගණනාවක සිට නාලන්ද ජලාශයේ නිසි අලුත්වැඩියාවක් සිදු වී නැති බවත්, ඒ හේතුවෙන් නිසි පරිදි වගා බිම්වලට ජලය නොලැබෙන බවත්ය.

කෙත් ඇළ අලුත්වැඩියාව සම්බන්ධයෙන් සිය ගොවි සංවිධානය සක්‍රීය දායකත්වයක් දැක්වුව ද ජලාශයේ ජලය ලබාගැනීමේ දී ගැටලු පවතින බව ගොවි සංවිධානයේ අදහස වී තිබේ.

“මේ ජලාශයෙන් ජලය සැපයෙන වේල්ල අලුත් වැඩියා කරලා නෑ වසර ගාණකින්. ඇළේ බොහෝ ස්ථානවල ජලය කාන්දු වෙනවා. කිලෝමීටර් තුනක් පමණ දිග වේල්ල ලෝක ආධාර යටතේ ප්‍රතිසංස්කරණයට හඳුනාගෙනත් තවම ප්‍රතිසංස්කරණයක් වෙලා නැහැ. මේ ව්‍යාපාරය සුළු වාරිමාර්ග යටතට තමයි අයත් වෙන්නේ මහවැලිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. 

යල කන්නයේ සිදු කරන රට කජු වගාවලට ජලය මදි වෙන අවස්ථා තියෙනවා. ඇත්තටම සිදු වෙන්නේ අනවශ්‍ය ජල ප්‍රමාණයක් අපතේ යන එකයි.”

ඒ අළුගොල්ල ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩබ්ලිව්. අබේකොන් බණ්ඩා මහතාගේ අදහස්ය.

ජනතා විමුක්ති පෙරමුණු මාතලේ දිස්ත්‍රික් සංවිධායක ගමගෙදර දිසානායක පවසන්නේ මෙවැනි කතාවකි.

“ගොවීන්ට නාලන්ද ජලාශයෙන් ජලය ප්‍රමාණවත් පරිදි ලැබුණට තවත් ගැටලු රාශියක් තිබෙනවා. ඔවුන්ගේ අස්වැන්න ප්‍රමාණවත් පරිදි අලෙවි කරගැනීමේදි විශාල ගැටලුවක් තිබෙනවා.

වතුර ටික ලැබීම පමණක්ම ගොවින්ගේ ප්‍රශ්නවලට උත්තරයක් හැටියට අපි දකින්නේ නැහැ. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයට ආසන්න මට්ටමින්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිහිටියත් එමඟින් ඔවුන්ට සාධාරණත්වයක් ඉටුවෙනවා කියලා අපිට පේන්නේ නැහැ. පරම්පරා ගණනාවක් ගොවිතැන තමන්ගේ ජිවනෝපාය බවට පත් කරගෙන තියෙනවා. නමුත් තමන්ගේ ජිවන තත්ත්වය උසස් කරගැනීම සඳහා ඔවුන්ට කිසිදු ආකාරයේ ඉඩක් ලැබිලා නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා යම් තරමකින් ඒ අදාළ අංශවල අවධානය යොමු වෙයි කියලා. මේ සම්බන්ධව අපි වරින්වර ප්‍රදේශයේ බලධාරින් එක්ක යම් යම් සාකච්ඡා කරලා තියෙනවා. නමුත් තාමත් ගොවීන්ට සතුටුදායක පිළිතුරක් ලබාගන්න බැරිවෙලා තියෙනවා.

විශේෂයෙන් නාලන්ද ජලාශය ආශ්‍රීතව ලැබෙන ජලය මීට වඩා ගොවි ගම්මානවලට යොදාගනිමින් ගොවී ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාගන්න පුළුවන්. විශේෂයෙන් නාලන්ද - අළුගොල්ල ආශ්‍රීත ගොවි ජනතාවට ජල ප්‍රශ්නෙට උත්තරයක් එයින් ලැබුණත් එතනින් එහාට ඉන්න ගොවි ජනතාවට ජලය නැති තත්ත්වය ප්‍රධාන ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.

ඇත්තටම වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නාලන්ද ජලාශය මුල් කරගෙන. මෙහි ජලය ඉලක්ක වෙන්නේ වයඹ ප්‍රදේශයේ ගොවී ජනතාවට. මාතලේ වැනි අති දුෂ්කර ප්‍රදේශයක ගොවි ජනතාව විශාල පිඩනයකට ලක් වෙමින් ඉන්නේ ගොවිතැන් සදහා ජලය නැති නිසා. ඒ නිසා අඩුම තරමින් පාලකයන්ට යුතුකමක් තිබුණා නාලන්ද ජලාශයෙන් ඒ නිකුත් කෙරෙන ජලයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යම් ප්‍රතිලාභයක් ලැබෙන විදිහට මේ වැඩපිළිවෙළක් සකසන්න. . මාතලේ කෘෂි වගාවට මොරගහකන්දේ ජලය පාවිච්චි කරන්න බැහැ. කළුගග ජලාශයෙන් ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබද සාකච්ඡා කරනවා නමුත් අද වෙන කොටත් ඒ ව්‍යාපෘතියෙනුත් ජනතාවට ජලය ලබාදීලා නැහැ.

මාතලේ දිස්ත්‍රික්කය කියන්නේ කුඹුරු ගොවිතැන වගේම ජාතික ආර්ථිකයට ඝෘජු දායකත්වයක් සපයන දිස්ත්‍රික්කයක්. කුරුඳු මෙන්ම ගම්මිරිස් වගේ වගා වලටත් මාතලේ දිස්ත්‍රික්කය ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේමයි බී ලූනු, වී වගේ නිෂ්පාදන වලදීත් මාතලේ දිස්ත්‍රික්කය ප්‍රධාන තැනැක් ගන්නවා. ඒ නිසා අපි මේ මොහොතේ අවධාරණය කරන්නේ ජලය මහපොළොව සුරකිනවා සේම ගොවි ජනතාවගේ අවශ්‍යතා සඳහා ද බලාත්මක වෙනවා කියන එක. ඒ නිසා අපි වගකිවයුතු බලධාරින්ට කියන්න කැමතියි බොහෝ තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් පුළුල්ව සිතා බලා වඩාත් ප්‍රායෝගික තින්දු තීරණ ගැනීමට කටයුතු කරන්න කියලා”

ඔහු පවසන්නේ මාතලේ ගොවි ජනයා විටෙකදි ජලය නැති වීම නිසා පීඩාවට පත් වන අයුරුය.


ඉන්දික අරුණ කුමාර 
ඡායාරූප - නාඋල සමූහ

Comments