“‍ක්‍රිකට්” බිම ඇනෙන්න ළඟයි | සිළුමිණ

“‍ක්‍රිකට්” බිම ඇනෙන්න ළඟයි

ශ්‍රී ලංකාවේ අද අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලි පවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඕනෑ විදියට මිසක් රටේ අවශ්‍යතාවන්ට අනුව නොවෙයි. අද මේ නිසා තමයි අපේ ක්‍රිකට් මේ තරම් ම පහත් අඩියට වැටිලා තියෙන්නේ. ජනාධිපතිතුමා පසුගිය කාලයේ රාජ්‍ය ආයතන සුද්ධ කරන්න විටින් විට කඩා පැනලා සෝදිසි කිරීම් කළා. මේ විදියට පනින්න ඕනෑ මූලික ආයතනයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන‍්නේ. ජනාධිපතිතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සෝදිසි කරනවා නම් මාත් ඒ සඳහා උදව් කරන්න කැමැතියි. මේ පාර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයට තරග කරන්න තරම් ම අප පහතට වැටිලා තියෙනවා. මේවට වග කියන්න ඕනෑ ක්‍රිකට් පරිපාලනයයි. අපි 1975 ඉඳලා ක්‍රිකට් ලෝක කුසලානයට තරග කරනවා. එදාවත් අපි සුදුසුකම් ලැබීමේ වටයට තරග කරලා නෑ. එහෙම තිබුණු අපේ ක්‍රිකට් තමයි අද වෙන කොට සුදුසුකම් ලැබීමේ වටයට තරග කරන තැනට වැටිලා තියෙන්නේ.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළ රන්ජන් රාමනායකගේ හඬපට අතර තියෙනවා කියනවා, ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පාවාදීම් ගැන විස්තර ඇතුළත් හඬපට, මේ හඬ පටත් අනිත් ඒවා වගේම එළියට දාන්න කියලා ඉල්ලනවා. එතකොට පුළුවන් පසුගිය කාලයේ ක්‍රිකට් පාවාදීම් සිද්ධ ‍වුණේ කොහොමද කියන එක හොයා ගන්න පුළුවන් වෙයි.

ඇත්තටම වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය ගැන කණගාටු වෙනවා. මේ හැම දෙයකින් පැහැදිලි වෙනවා. අපේ ක්‍රිකට්වල තත්ත්වය. ඉන්දියාව, බංග්ලාදේශය උඩට එන ආකාරය දිහා බලලා හරි හැදෙන්න ඕනෑ. අපේ පාසල් ක්‍රිකට් තමයි මේ කලාපයේ ම පාසල් ක්‍රිකට්වලින් ඉහළින්ම ඉන්නේ. ඒත් ඔවුන්ට සපයන පහසුකම් මදී. පහසුකම් දෙන්නේ නැත්නම් පාසල් ක්‍රිකට්වලට උඩට එන්න බෑ. අද ජාතික කණ්ඩායමට එන්න නම් ක්‍රිකට් පරිපාලනයේ ඉන්න නිලධාරීන්ගේ ටීම් එකට ක්‍රීඩා කරන්න ඕනෑ. අද ජාතික කණ්ඩායමේ ඉන්න 90% කට වඩා මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න නිලධාරීන්ගේ ටීම්වලට ක්‍රීඩා කරන අය. එහෙම රටක ක්‍රිකට් දියුණු කරන්න බෑ. අපේ කාලයේ තේරීම් කමිටුවේ හිටියේ දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රන්ජන් මඩුගල්ලේ වගේ ප්‍රවීණයෝ. අද ඉන්නේ කවුද ? කියලා ඔය ගොල්ලෝම දන්නවා නේ. මෙහෙම ටීම් එක්ක ගිහින් සිම්බා‍බ්වේ වගේ තරගාවලි දිනන්න පුළුවන්. හැබැයි එතැනින් එහාට යන්නේ කොහොමද කියලා මේ පරිපාලනයට අවබෝධයක් නෑ. මේ ගැටලුවට විසඳුම් සොයන්න නම් අපි අඩුම තරමේ වසර කිහිපයකටවත් අතුරු පාලන කමිටුවකට යන්න ඕනෑ.

ඉන්දියාව අයි.පී.එල් සැලසුම් හරහා ඔවුන් හුඟක් ඉදිරියට ගිහින් තියෙනවා. මම අද වගේ එදාත් කිව්වේ අයි.පී.එල් හරහා අපිට තියා ලෝකයටවත් සෙතක් වෙන්නේ නෑ. ඉන්දියාව නම් තමන්ගේ ගමන් මඟ හරියට හදා ගනියි කියලයි. අද ඒ දේවල් ඒ විදියට ම සිද්ධ වෙලා තියෙනවා. මේ වන කොට අපේ කිසිම කෙනෙක් අයි.පී.එල් වලට වැද්ද ගන්නේ නැති තැනට ඇවිත් තියෙනවා. අද අපේ ක්‍රිකට්වල පස්ස බිම ඇනිලා නෑ. හැබැයි ඒක ළඟයි කියන එක නම් පැහැදිලියි.

 


 

Comments