දන්නා මුහුණක නොදන්නා කතාව | සිළුමිණ

දන්නා මුහුණක නොදන්නා කතාව

මෙරට සමාජ ජාලයන්හි ගත වූ වසර කිහිපයක කාලය තුළදී අතිශයින්ම ජනප්‍රිය වූ පුද්ගල රූපයක් තිබේ. එය දුටු බොහෝ දෙනෙකුට නම් එම රූපය ඉතා අපූරු නිර්මාණයක් බවට සිතෙන්නට ඇත.

එසේ වුවත් එය දෙස දැඩි විමසිල්ලකින් බැලූ විට එහි කිසියම් හුරු බවක් තිබේ. එය හඳුනා ගැනීමේ හැකියාව තිබෙන්නේ ක්‍රීඩා ලොවට සමීප වූවන්ට පමණකි. ඔවුනට නම් ඉහත ජනප්‍රිය රූපය නිර්මාණය කිරීමට ක්‍රීඩා ලොව හිටපු සුපිරිතම තරුවකගේ රුව යොදා ගෙන තිබෙන බවට පැහැදිලිවම හඳුනාගත හැකිය. මෙම සුපිරිතම තරුව වන්නේ චීනයේ යාඕ මින්ග්ය. හෙතෙම චීන පැසිපන්දු (බාස්කට්බෝල්) ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසට සැලකෙයි. ඔහු ඇමෙරිකාවේ ජාතික පැසිපන්දු සංගම් (එන්. බී.ඒ.) වාර්ෂික ශුරතාවලියටත් ක්‍රීඩා කළේය. එහිදී ඔහුගේ සමකාලීන ක්‍රීඩකයෙකු වූයේ නොබෝදා අකාලයේ මෙලොවින් සමුගත් කෝබි බ්‍රයන්ට්ය.

බ්‍රයන්ට් (1978 – 2020 ) ලොස් ඇන්ජලිස් ලේකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. යාඕ 2002 සිට 2011 දක්වා ක්‍රීඩා කළේ හියුස්ටන් රොකට්ස් කණ්ඩායමටයි. යාඕගේ ඇමෙරිකානු ක්‍රීඩා දිවිය නිසාම පැසිපන්දු ක්‍රීඩාවත් චීනයේ විශාල ලෙස ජනප්‍රිය වූයේය. ඇමෙරිකාවේ ක්‍රීඩා කිරීමට පෙර ඔහුගේ කණ්ඩායම වූයේ ෂැංහයි ෂාර්ක්ස්ය. ඒ 1997 – 2002 අතරය.

යාඕ අඩි 7 අඟල් 6ක් උසැතිය. ඒ අනුව ජගත් පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ උසැතිම ක්‍රීඩකයෙක් ලෙසටත් සැලකෙයි. යාඕ 1997 – 2011 අතර අන්තර්ජාතිකව ක්‍රීඩා කළේය. එහිදී මැද පෙළ ක්‍රීඩකයකු ලෙසට රැස් කර ගත් ලකුණු ගණන 9247 කි. යාඕ තෙවතාවක්ම ආසියානු කුසලාන ශුරතාව හිමිකර ගත්තේ චීනයට ක්‍රීඩා කරමිනි. ඒ 2001, 03 සහ 05 වසර වලදීය. එහිදී ශුරතාවලියේ වටිනාම ක්‍රීඩකයා වූයේත් යාඕය. එමෙන්ම 2002 ආසියානු ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම් ලාභියෙකි. මීට අමතරව 2000, 04 සහ 08 ඔලිම්පික් ක්‍රීඩා උලෙළවලටත් 2006 ලෝක ශුරතාවලියටත් යාඕ ක්‍රීඩා කළේය.

යාඕ මින්ග් 1980 සැප්තැම්බර් 12 උපත ලැබීය. ඔහුගේ මවුපියන්ගේ එකම දරුවාය. අඩි 6 අඟල් 7 ක් උසැති යාඕ ෂියුවාන් සහ අඩි 6 අඟල් 3ක් උසැති ෆැන්ග් ෆෙන්ග්ඩි ඔහුගේ මවුපියෝ වෙති. ඔවුන් ද පැසිපන්දු ක්‍රීඩා කළහ.

2007 වස‍රේදී යාඕ විවාහ වූයේ යේ ලි සමඟිනි. ඇයත් පැසිපන්දු ක්‍රීඩිකාවකි. ඇය 2004 ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වූ චීන කණ්ඩායමේ සාමාජිකාවකි. ඔවුන්ට දියණියක් සිටින්නීය. යාඕ මේ වන විට චීන පැසිපන්දු සංගමයේ සභාපති ලෙසට කටයුතු කරයි.

 

Comments