ආඩම්බරය බංග්ලාදේශයට සාඩම්බරය ආසියාවට | සිළුමිණ

ආඩම්බරය බංග්ලාදේශයට සාඩම්බරය ආසියාවට

න්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට බංග්ලාදේශය ලෝක ක්‍රිකට් කිරුලක පහස විඳ ගනිමින් දහතුන් වැනි යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන නිමා විය. ඒ අවසන් මහා තරගයේ විශිෂ්ට තරග රටාවක නිරත වෙමින් මෙවර තරගාවලියේ ආරම්භයේ පටන් ම ඉදිරියෙන් සිටි ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ය. තරග 47 ක් පුරා මෙකී තරගාවලිය දෙස දෑස් දල්වා බලා ගෙන සිටි, රටවල සිහිනය එකිනෙක බොඳ කර දමමින් තරගයෙන් තරගය ඉදිරියට පැමිණෙන විට ඉතිරි වූයේ ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිහින පමණි. ඒ අතරිනුත් බංග්ලාදේශයේ සිහින ඉලක්ක සපල වනවිට, සමස්ත ඉන්දියානුවන්ගේ ම සිහින ඉලක්ක බොඳ කරමින් බංග්ලාදේශ පොඩ්ඩෝ යොවුන් ක්‍රිකට් කිරුල සියතට ගත්හ. තෙවැනි ස්ථානය පාකිස්තානයට හිමිව‍ූ අතර සිවුවැනි ස්ථානය නවසීලන්තයට හිමි විය.

රටවල් 16 ක් එක්වූ මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය සෙමින් නමුත් ප්‍රසංශනීය ගමනක නිරත වූහ. මෙවර තරගාවලියේදී විශේෂයෙන් දකුණු ආසියාතික රටවල් අතරින් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහාත්මක සංව‍ර්ධනය පිළිබඳ නව ඉඟියක් ලෝකයා ඉදිරියෙන් තබමින් ය. මේ චැම්පියන්ස්ලා ඉදිරියේ අප කොතැනද යන්න සෙවීමට අටුවාටිකා ඇවැසි නැත. මේ හා සමානම අත්දැකීමක් මීට වසර තුනකට පෙර එංගලන්තයෙන් වාර්තා වූයේ අටවැනි චැම්පියන්ස් තරගාවලියේදී ය. එහිදී ද මේ රටවල් තුනම අවසන් පූර්ව වටවලදී තරග කළ අතර, එහිදී පාකිස්තානය ශූරයන් වනවිට, ඉන්දියාවට අනුශූරතාව හිමි විය. ශ්‍රී ලංකාවට එල්ලවූ ලාහෝර් ප්‍රහාරයෙන් පසු පාකිස්තානයෙන් ක්‍රිකට් අතුගා දමා තිබූ තත්ත්වයක් තුළ ඔවුන් 2017 දී හිමිකර ගත් ශූරතාව මෙවර 19 න් පහළ අවසන් පූර්ව තරගය තෙක් පැමිණි ගමන ද අමතක කළ නොහැකි ය‍.

47 කණ්ඩායම‍

මෙවර 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලියේ අවසන් පූර්ව තරගවලට එක්වූ නවසීලන්තය හැර ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වසර 73 කට පමණ පෙර එක්ව එකාවන්ව පැවැති රටකි. අධිරාජ්‍යවාදීන්ගේ බල තණ්හා‍වත් දේශපාලනික බලලෝභයත් නිසා එදා එක් තනි රට ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය යනුවෙන් රටවල් තුනක් ලෙස වෙන්ව ගොස් තනි තනියම නැගී සිටින්නට විය. ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන් දකුණු ආසියාවේ ව්‍යාප්ත වන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියාගේ බලපෑමෙනි. එය ඉන්දියාවට මෙන් ම ශ්‍රී ලංකාවට ද පොදු විය. 1947 දී ඉන්දියාව සහ පාකිස්තානය වෙන්වූ අතර, 1971දී පාකිස්තාන පාලනයෙන් මිදුනු නැගෙනහිර බෙංගාලය, බංග්ලාදේශය යනුවෙන් ස්වාධීනව නැගී සිටින්නට විය.

ඇෆ්ගනිස්තානයත් ඉදිරියෙන්

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී පරාජය කළේ ජපානය පමණි. නවසීලන්තය සහ ඉන්දියාව සමඟ පැවැති තරග දෙකම පරාජය විය. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළඟ ශූරතාව සඳහා තරග කිරීමට සිදුවූ අතර, එහිදී අර්ධ අවසන් පූර්ව තරගයේදී නයිජීරියාවත් අවසන් පූර්ව තරගයේදී ස්කොට්ලන්තයත් පරාජය කිරීමට සමත් විය‍. පළඟ අවසන් තරගයේදී එංගලන්තය අතින් දරුණු පරාජයකට ලක්විය. දකුණු ආසියානු රටවල් අතරින් මෙවර ප්‍රබල පසුබෑමකට ලක්වූයේ ශ්‍රී ලංකාවයි. ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, සී.කාණ්ඩයෙන් බංග්ලාදේශය, ඩී. කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය පෙරමුණ ගැනීමට සමත් විය. සී කාණ්ඩයේ දෙවැනි තැන පාකිස්තානයට හිමි විය. මේ රටවල් හතරම අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවට හිමිවූයේ දහ වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව අනාථයි

මෙකී තරගාවලියට පෙර පැවැති යොවුන් ක්‍රිකට් තරගාවලි කිහිපයකදීම ශ්‍රී ලංකා යෞවනයන් ක්‍රීඩා කළ ආකාරය මොන්ටිසෝරි කණ්ඩායමකට දෙවැනි නැත‍. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති ආසියානු යොවුන් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද ශ්‍රී ලංකාවට මුලින් එළියට විසිවීමට සිදු විය. මෙහිදී ද ඉන්දියාව පැත්තකින් තැබුවද බංග්ලාදේශ යෞවනයන් ඉදිරියට පැමිණ ඇති ආකාරය අගය කළ යුතු ය. මේ තරගාවලියේදී හෂාන් තිලකරත්න පුහුණුකරු ලෙස සහ ෆර්විස් මහරුෆ් කළමනාකරු විදියට කටයුතු කළ ආකාරය ද බොහෝ ආධුනික විය. යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිඵල ‍දෙස බැලීමේදී ඒ බව මනාව දිස් වේ.

ආසියානු යොවුන් කුසලානය ගත්ත ද, යොවුන් ලෝක කුසලානය ගත්ත ද බංග්ලාදේශ පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක නවිඩි නවාස් ගෙන් පමණක්ම බොහෝ පාඩම් ඉගෙන ගත හැකි ය‍. නවඩි නවාස් සිය කණ්ඩායම සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගෙන ඇති අයුරු සහ ප්‍රතිවාදීන් ගැන ඇති අවබෝධය, ගනු දෙනු කළ යුතු ආකාරය පිළිබඳ දැනුම අගය කළ යුතු ය. ඒ අතින් ශ්‍රී ලංකා නිලධාරීන් බොහෝ දේ උගත යුතු ය. ඔවුන් සිටින්නේ නවීඩ් නවාස්ටත් වඩා බොහෝ දුරින් බව මේ යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ද මනාව ඔප්පු කළහ.

පුහුණුකරු‍වකු ලෙස කණ්ඩායමක් ගොඩනැගිය යුතු අයුරු සහ කළමනාකරුවකු ලෙස කණ්ඩායමක් මෙහෙය විය යුතු අයුරු නොදැන කටයුතු කිරීම තුළ අනාථ වන්නේ නිලධාරීන් නොවූ ක්‍රීඩකයන් බව බලධාරීන්ට නො වැටහෙන තාක් කල් ක්‍රීඩකයන් සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අනාථ වීම නතර කළ නොහැකි ය.

Comments