34 වසරක් පුරා වැඩිහිටියන් එක්ක හෙල්ප් ඒජ් | සිළුමිණ

34 වසරක් පුරා වැඩිහිටියන් එක්ක හෙල්ප් ඒජ්

‘හෙල්ප් ඒජ් ...’ මේ වචන දෙක ඔබට කොතෙකුත් ඇහිලා ඇති. මේ නම ලියූ කැට, සුපර් මාකට්වල ෆාමසිවල ඉස්සරහම තියෙනවා, ඔබ දැකලත් ඇති. සමහර විට, හෙල්ප් ඒජ් සුබ පැතුම්පතක් හරි මිලදී ගෙන මේ වෙනකොට ඔබ මේ සද්කාර්යයට දායක වෙලත් ඇති.

මේ එකක්වත් කරන්න බැරි වුණා කියලා දුක් වෙන්නත් එපා. මේ දැන් වුණත් ඔබ පමා නැහැ.

මොකද දවසක් එනවා, ඔබ වයසට යන බව දැනෙන. එන්න එන්නම හුදෙකලා වන බව දැනෙන. හොඳින් පෙනුණු දෑස් බොඳ වීගෙන යන වග දැනෙන.

මේ සියලු අසරණකම් දැනෙන දවසට හෙල්ප් ඒජ් ඔබට උදව් කරාවි.

හරියට, 1986 පටන් අද දක්වා 34 වසරක් අපේ රටේ වැඩිහිටියන්ට උදව් කළා වගේ.

ඔබ දන්නවද, අද වන විට වැඩිහිටි ජනගහනයේ වැඩිවීම ලෝකයට මෙන්ම අපේ රටට ද බලපාන පොදු ගැටලුවක් වී ඇති බව. එයිනුත් බරපතළම තත්ත්වය වන්නේ, ශ්‍රී ලංකාව යනු ශීඝ්‍රයෙන් වැඩිහිටියන් වර්ධනය වන රටක් බවට පත්ව තිබීමයි.

එනම්, අද දවසේ අපේ රටේ වැඩිහිටි වර්ධන වේගයේ ප්‍රතිශතය 13.7% ක්. ඉදිරි දශකය අවසන්වන විට, එනම් 2030 වන විට, එම වර්ධන වේගය 30% දක්වා ඉහළ යන බවයි, හෙල්ප් ඒජ් ආයතනයේ අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ මහතා පැවසුවේ.

“තවමත් එවැනි අගයක නැතත් අප මේ පසු කරන්නේ වැඩිහිටි නිවාස පිරී ගිය සහ වැඩිහිටියන් දරුවන්ට බරක්ව පවතින යුගයක්. හෙල්ප් ඒජ් ආයතනය, අංශ කිහිපයක් යටතේ උදව් කරන්නේ, එවැනි අසරණ වැඩිහිටියන් වෙනුවෙන්.

වෘත්තීය ඉංජිනේරුවෙක් සහ ප්‍රකට සමාජ සේවකයෙක් වූ එච්.පී. ගුණරත්න මහතා ආරම්භ කළ හෙල්ප් ඒජ් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වන්නේ ප්‍රකට ව්‍යාපාර නායකයකු වන තිලක් ද සොයිසා මහතා. ඇත්තටම මේ සංවිධානයේ අරමුණ වුණේ, අවුරුදු 55 ට වැඩි හිටියන්ගේ ඇසේ සුද ඉවත් කිරීම නොමිලේ කාච දැමීම... කියන අක්ෂි ශල්‍ය කර්ම කිරීම මගින් ඔවුන්ට නැවත පෙනීම ලබා දීමයි.

ඒ අරමුණ වෙනුවෙන් දැන් හෙල්ප් ඒජ් ආයතනයටම අක්ෂි රෝහලක් තිබෙනවා. වැල්ලවත්ත සින්සපා පාරේ මහල් හයකින් යුතු එම රෝහලෙන් මේ සියලු සේවා ලබා දෙන්නේ නොමිලයේ. එහි දිනකට කරන සැත්කම් ප්‍රමාණය, 20-25 ක්. මේ වෙන කොට එහි වැඩිහිටියන් 37,000 කගේ පෙනීම ලබා දීම සඳහා අක්ෂි සැත්කම්කොට තිබෙනවා.

මේ රෝහල හදන්න වත්මන් සභාපති, තිලක් ද සොයිසා මහතා ඔහුගේ ජාත්‍යන්තර සබඳතා මඟින් විශාල අරමුදල් සොයා දුන්නා. ඒ වගේම විශාල දානපතීන් ප්‍රමාණයක් මේ සඳහා අපිට උදව් කළා.

අපගේ සේවාව නගරයට විතරක් නෙවෙයි. ඈත ගම්වල වැඩිහිටි සමිති වෙත හෙල්ප් ඒජ් බස් රථය ගොස් ජංගම අක්ෂි සායන පවත්වා, අවශ්‍ය වැඩිහිටි අය සැත්කම් සඳහා මේ රෝහල කරා යොමු කරනවා. මේ වන විට එවැනි අක්ෂි සායන තුන්දාහකට වඩා පවත්වා තිබෙනවා. ඒ විතරකුත් නෙවෙයි, බොරලැස්ගමුවේ පිහිටි ආයුර්වේද මධ්‍යස්ථානය මගින්, වැඩිහිටියන්ට අවශ්‍ය සියලු ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙනවා.

අද වැඩිහිටියන් මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි, දරුවන් රැකියාවට ගොස් එනතුරු නිවෙස්වල හුදෙකලා වීම. ඒ හුදෙකලාව වැඩිහිටියන්ට දරන්නම අමාරු දෙයක්. එවැනි වැඩිහිටියන් වෙනුවෙන් ‘ඩේ කෙයාර්’ සෙන්ටර් එකක් අපි රත්මලානේ බොරුපන පාරේ පවත්වාගෙන යනවා.

මේ අය, උදේ ඇවිත් හවස ගෙදර යන අය. ඔවුන් ඒ ගත කරන මුළු දවසම සැහැල්ලුවෙන් සතුටින් ගත කිරීමට අවශ්‍ය වටපිටාව මෙහි අපි සකසා තිබෙනවා. උදේ සවස තේ පැන් සහ දිවා ආහාරය පවා ඔවුන්ට ලැබෙන්නේ නොමිලයේ. ඔවුන්ට පුළුවන් එතැන තිබෙන විවිධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙන්න. කැමති නම් ලියුම් කවර හදනවා වගේ පුංචි වැඩවල නිරත වෙන්න. ටී.වී බලන්න. ආගමික වතාවත්වල නියැළෙන්න. පොත් කියවන්න.

වැඩිහිටියන්ව ආදරයෙන් රැක බලා ගන්නවා සේම, වැඩිහිටියන් බලාගන්නා හැටි පුහුණු කරන වැඩසටහනකුත් හෙල්ප් ඒජ් මඟින් ක්‍රියාත්මකයි. වැඩිහිටියන්ගේ අගය සහ වැදගත්කම කියා දෙන කෙටි කතා චිත්‍ර ඊට ඇතුළත්. මේ සඳහා තරුණ ප්‍රජාවගේ උනන්දුවත් දැන් බොහොම සාධනීය මට්ටමක තිබෙනවා. එය සතුටට කාරණයක්.

අනෙක තමයි, අපි නොහිතුවට බොහෝ වයෝවෘද්ධ වැඩිහිටියන් තුළ පවා වැඩකිරීමට ලොකු උනන්දුවක් තිබෙනවා. ඔවුන් ස්වයං රැකියා කරන්න කැමැතියි. නමුත් අවුරුදු 60 පැනපු වැඩිහිටියන්ට අපේ රටේ බැංකු ණය දෙන්නෙ නැහැ.

නමුත් අපි ගම්වල වැඩිහිටි සමිති හරහා ගව, කුකුළු පාලනය හෝ ස්වයං රැකියාවක් කරන්න කැමැති වැඩිහිටියන්ට සියයට එකක පොලියට රුපියල් 2000 සිට 12000 දක්වා ණය මුදල් ලබා දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ මානසික සුවය. ඒ වගේම ඒ හිත්වල තිබෙන ධෛර්යයට අපිත් පුංචි හයියක් වෙන එක...”

ඉතින්, අක්ෂි ශල්‍ය කර්මවලින් ඔබ්බට ගොස් වැඩිහිටි සුබසාධනය උදෙසාත් ඔවුන්ගේ හිත් සුවපත් කිරීම උදෙසාත් හෙල්ප් ඒජ් කරනා මෙහෙයට පුංචි රුපියලකින් වුණත් දායක වෙන්න ඔබටත් පුළුවන්.

රජයට විශාල සහයක් වෙමින්, එසේ ස්වාධීනව නිහඬව, දැවැන්ත මෙහෙවරක් ඉටු කරන හෙල්ප් ඒජ් පිළිබඳ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන් උඩවත්ත ‍මහතා දැක්වුවේ මෙවැනි අදහසක්.

“අපේ රටේ ලියාපදිංචි වැඩිහිටි නිවාස 306 ක් තිබෙනවා. ඉන් දෙකක් මධ්‍යම රජයේ වියදමින් ක්‍රියාත්මක අතර හතරක් මධ්‍යම රජයෙන් ක්‍රියාත්මකයි.

ඉතිරි තුන්සියයම ක්‍රියාත්මක වන්නේ ස්වේච්ඡා සංවිධාන සහ පුද්ගලික අංශයේ ව්‍යාපෘති විදියට. ඒ අතරින් හෙල්ප් ඒජ් කියන්නේ වැඩිහිටි නිවාස නැතත් වැඩිහිටි සුබසාධනය වෙනුවෙන් දැවැන්තම මෙහෙවරක් කරන ස්වේච්ඡා සංවිධානයක්. ඇත්තටම රජයට කරන්න බැරි ‍විශාල කොටසක් ඔවුන් ආවරණය කරනවා. එය ඇත්තටම දැවැන්ත වැඩකොටසක්. ඔවුන්ට ලැබෙන්නේ ජාත්‍යන්තර අරමුදල්. දේශීය දානපතියන්ගේ උදව්. ඔවුන් එය ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් රෝහලකුත් පවත්වාගෙන යනවා.

අපි රජයක් විදියට, පුද්ගලික වැඩිහිටි නිවාස අලුත් වැඩියාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදලෙන් ලක්ෂ 20ක ප්‍රදානයක් කළා. නැවත අය කර නොගන්නා ඒ විශාල ව්‍යාපෘතියෙන් අපි බලාපොරොත්තු වුණේ, වැඩිහිටි නිවාසවල තත්ත්වය උසස් කිරීමට උදව් කිරීම, ඒ වගේම වැඩිහිටි ‘ඩේ - කෙයාර්’ සෙන්ටර් සඳහා ලක්ෂ 25ක ප්‍රදානයක් ලබා දුන්නා.

මේ සියල්ල සමාජ ආරක්ෂණ අරමුදලෙන් ලබා දුන් නැවත අය කර නොගන්නා මුදල්. නමුත් හෙල්ප් ඒජ් ආයතනය අපිත් එක්ක සෑහෙන වැඩ කොටසක් කළත් ඒ අය මේ මුදල් ලබා ගත්තේ නැහැ.

ඔවුන් මුදල් සොයා ගන්නේ ස්වේච්ඡාවෙන්, කිසිදා රජයට බරක් නොවුණු හෙල්ප් ඒජ්, මේ රටේ වැඩිහිටියන් වෙනුවෙන් කරන සේවය සැබෑ ආදර්ශයක් ....”

හෙල්ප් ඒජ් ආයතනයේ සන්නිවේදන ප්‍රධානී ආනන්ද කන්නන්ගර මහතා පවසන පරිදි, ඔබටත් පුළුවන් හෙල්ප් ඒජ් සද්කාර්යය සඳහා පුංචි රුපියලකින් වුණත් දායක වෙන්න.

සුබ පැතුමක් යවද්දී ‘හෙල්ප් ඒජ්’ සුබපැතුම් පතක්ම තෝරා ගන්න. තිලක් ද සොයිසා මහතා ප්‍රමුඛ පාලන කමිටුව, සිය සබඳතා හරහා අපේ රටේ අසරණ වැඩිහිටියන් වෙනුවෙන් ජාත්‍යන්තරයේ උදව් ලබා ගනිද්දී, ඔවුන්ගේ ශ්‍රමය කාලය සහ ධනය පරිත්‍යාග කරද්දී අපි මාරුකාසි කිහිපයකින් හෝ හෙල්ප් ඒජ් කැට පුරවන්නට පිහිට වුණොත්, කාගේ හෝ අම්මෙකුට තාත්තෙකුට පෙනීම යළි ලැබේවි! ඔවුන් සතුටින් හිඳීවි.

Comments