දේශීය සහලින් නිෂ්පාදනය වන කිංග්ස්ෆුඩ් ඉඳිආප්ප පිටි | සිළුමිණ

දේශීය සහලින් නිෂ්පාදනය වන කිංග්ස්ෆුඩ් ඉඳිආප්ප පිටි

සාර්ථක ව්‍යවසායකයන් සොයා සිළුමිණ පාඨකයන්ට කියන්න වෙන් වන මේ ලිපිපෙළ අතරට අද අප ගෙන එන්නේ සහල් පිටි නිෂ්පාදනයෙන් ව්‍යාපාර ලොව දිග්විජය කරන්න සිහින මවන අධිෂ්ඨානශීලී ව්‍යවසායකයකුගේ කතා පුවතයි.

ඔහු නමින් අතුල ප්‍රනාන්දුයි. රත්නපුර ප්‍රදේශයේ කුරුවිට පදිංචි ඔහු මේ වන සහල් පිටි නිෂ්පාදනය කරන කිංග්ස්ෆුඩ් මැනුෆැක්චර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ආයතනයේ හිමිකරුවාය. ඇහැළියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ඔහුගේ ව්‍යාපාරය පියවරෙන් පියවර බාධක අතරින් ආ ගමන් මඟ ශක්තිය හා පන්නරය ලබමින් ව්‍යාපාර ලෝකය තුළ මහා වෘක්ෂයක් වන්නට සිය අතුපතර විහිදුවමින් සිටියි.

අතුල ප්‍රනාන්දුගේ කිංග්ස්ෆුඩ් මැනුෆැක්චර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ව්‍යාපාරය මඟින් නිෂ්පාදනය කෙරෙන සහල් පිටි රතු හා සුදු ඉඳිආප්ප සඳහා නිපදවෙන අතර, ඒ සඳහා අවශ්‍ය සහල් පොලොන්නරුව ප්‍රදේශයේ සිට ගෙන්වා ගැනෙන අතර, මේ වන විට දිනකට කිලෝ ග්රෑම් 1000-1500 අතර ප්‍රමාණයක් දක්වා සහල් පිටි නිෂ්පාදනයට සමත්ව සිටී. 

සිළුමිණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින් අතුල ප්‍රනාන්දු සඳහන් කර පිටියේ සහල් පිටි නිෂ්පාදනයට පෙර තම ආයතනය මඟින් දේශීය කුළුබඩු වර්ග නිෂ්පාදනයද සිදු කළ බවයි. උසස් අමුද්‍රව්‍ය යොදාගනිමින් ඒ කුළු බඩු නිෂ්පාදනය සිදු වුණු බව පැහැදිලි කළ හෙතෙම ඉදිරියේදී යළිත් එම නිෂ්පාදන නවතාවකින් යුතුව වෙළෙඳපොළට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර අප කථානායකයා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද නිෂ්පාදන ආයතනයක අලෙවි නිලධරයකු ලෙස කටයුතු කර ඇති අතර අනතුරුව එකී ආයතනයේම සන්නාම කළමනාකාර ධුරය දක්වා උසස්වීම් ලැබුවේය. ඒ කාලය තුළ අලෙවිකරණය පිළිබඳ බොහෝ දෑ ප්‍රායෝගිකව වටහාගත් ඔහු ඒ හා සම්බන්ධ පාඨමාලාවන්ද හැදෑරීමට උනන්දු වූයේය.

මේ අතර තමාගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආශාවකින් ඔහුගේ සිත පෙළුණු අතර ඊට ඔහුගේ ප්‍රිය බිරිය පාසල් ගුරුවරියක වන චන්ද්‍රානි ගුණතිලක මහත්මියද දිරිය ශක්තිය ලබා දුන්නාය.

ඒ අනුව 2014 අගෝස්තු මස ඉතා සුළුවෙන් අවම ප්‍රාග්ධනයක් සහිතව ඇරඹුණු කිංග්ස්ෆුඩ් මැනුෆැක්චර්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස් ව්‍යාපාරය වසර හයක ඇවෑමෙන් සහල් පිටි නිෂ්පාදන බෙදාහරින ලොරි රථ හතරක් දක්වා සිය ව්‍යාපාරික වපසරිය විහිදුවා ලීමට සමත්ව තිබේ.

මේ වන විට දහ දෙනකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් මේ ව්‍යාපාරයේ දියුණුව සමග අත්වැල් බැඳගෙන ඇති අතර, ඉදිරියේදී තවත් පිරිසකට රැකියා අවස්ථා උදා කර දීමටද සැලසුම් සකස්ව ඇත.

ව්‍යාපාරික කටයුතු කරගෙන යෑමේදී මතු වන අභියෝග හා දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරන අතුල ප්‍රනාන්දු සඳහන් කළේ විවිධ අවස්ථාවල සහල් මිල ඉහළ යන බවත් එවිට තම සහල් නිෂ්පාදන ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව අතරට පත් කිරීමේදී ගැටලු මතු වන බවත්ය. ඒ අතරම තමන් වැනි ව්‍යාපාරිකයින මඟින් රටට වැඩක් ගන්න රජය හා වගකිව යුත්තන් මීට වඩා සහය දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

මේ වන විට කිංග්ස්ෆුඩ් සහල් පිටි නිෂ්පාදන පාරිභෝගික ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව ඇති අතර, එකී නිෂ්පාදන රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව කොළඹ, ජාඇළ, පාණදුර හා යාපනය වැනි ප්‍රදේශ රැසක් කරාද ව්‍යාප්ත කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

ඉදිර්යේදී නවීන තාක්ෂණය තම නිෂ්පාදන සදහා ඉතාම ඵලදායි ලෙස යොදාගනිමින් තත්ත්වයෙන්, ප්‍රමිතියෙන් හා ගුණාත්මක භාවයෙන් උසස් සහල්පිටි නිෂ්පාදන හා කුළුබඩු මෙරට පමණක් නොව විදේශ රටවල පාරිභෝගිකයන්ටද සැපයීම තම අරමුණ බව සදහන් කළ අතුල ප්‍රනාන්දු කිංග්ස්ෆුඩ් සහල්පිටි ව්‍යාපාරය ලංකාවේ අංක එකේ හොඳම ව්‍යාපාරික ආයතනයක් බවට පත් කිරීම තම අරමුණ බවද එකී අරමුණ සැබෑවක් හා යථාර්ථයක් බවට පත් කිරීමට තමන් ඇතුළු පිරිසට හැකියාව ලැබෙනු ඇති බවද පැවසීය.

එසේම තම නිෂ්පාදන පිළිබඳ විශ්වාසයෙන් ඒවා මිල දී ගන්නා පාරිභෝගික ජනතාවටත්, එම නිෂ්පාදන අලෙවි කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරික ප්‍රජාවටත් ස්තුතිය පළ කිරීමටද ඔහු අමතක නොකළේය.

කිංග්ස්ෆුඩ් නිෂ්පාදන පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 0712218805 ඇමතිය හැකිය.

Comments