‘වඩු මල්ලෙ රටට’ ගිය ගමනක මතකය | සිළුමිණ

‘වඩු මල්ලෙ රටට’ ගිය ගමනක මතකය

ඇබිත්තන් කාලෙදිම සංචාරක උණ මට හැදුණේ දිවංගත තලංගම ප්‍රේමදාස මහත්තයාගේ සූකිරි ළමා පත්තරේ කියවීමෙනුයි. බුරුමය කියන්නෙ පොඩි කාලෙ සිටම මගේ කුතුහලය අවුස්සපු රටක්. වියදම ටිකක් අධික වුණත් අපේ පවුලේ චාරිකාවට බුරුමය තෝරා ගත්තෙ ඒ හින්දාමයි.

‘වඩු මල්ලෙ තියෙන රට’ එදා බුරුමෙ වුවත් අද කියන්නෙ මියන්මාර් කියලයි. මියන්මාරය බොහෝ ඈත අතීතයේ ඔක්කලාපා, රාමඤ්ඤ දේශය කියලත් හඳුන්වනවා. මියන්මාරයට ලංකාවෙ සිට සෘජු ගුවන් පථයක් තිබුණේ නැති නිසා අපිට මැලේසියාව හරහා ගුවන් යානා දෙකකට මාරු වෙවී යන්න සිදුවුණා. මියන්මාර ව්‍යවහාර මුදල් වන කියාට් එකක් අපේ මුදලින් නම් ශත 11ක්.

මියන්මාරයේ ගත කරපු දින පහ තුළ අපට යැංගුන් නගරයෙත්, තදාසන්න බාගෝ නුවරත් සංචාරය කරන්න හැකි වුණත්, ඵෙතිහාසික නගර වන බගාන්, මණ්ඩලේ වැනි දුර බැහැර පළාත්වලට යන්නට නොහැකි වුනේ සීමිත නිවාඩු දින ගණන නිසයි. කෙසේ වෙතත් යැංගුන් රාජ්‍ය කෞතුකාගාරය නැරඹීමෙන් සමස්ත දේශයම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට හැකි වුණා.

මියන්මාර මහජන සමූහාණ්ඩුව, බටහිරින් ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙනුත්, නැගෙනහිරින් තායිලන්තය සහ ලාඕසයෙනුත්, උතුරු සහ ඊසාන දිගින් චීනයෙනුත් සහ දකුණු දිගින් බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදිනුත් මායිම් වූ වර්ග කිලෝ මීටර් 676,578ක් වූ ස්වාධීන රාජ්‍යයක්.

මියන්මාරයේ වත්මන් අගනුවර නයිපිඩෝ වුනත්, විශාලතම සහ ආර්ථික වැදගත් නගරය රැංගුන් හෙවත් යැංගුන් නුවරයි. නයිපිඩෝ නගරයට යන්නට අපි සැලසුම් කෙරුවෙ නැහැ. දේශපාලන අගනුවර විදිහට හමුදා රජයේ බලය යොදවා විශාල කැළෑවක් කපා එළි කරලා මහා පතරංගෙට හැදුවත් තවම එය ජනාකීර්ණ වෙලා නැහැලු. නයිපිඩෝවේ පාරවල් මංතීරු 16-20 තියෙන දැවැන්ත ඒවා බවත්, නගරය නිව්යෝර්කය වගේ හය ගුණයක් විශාල බවත් දැනගන්නට ලැබුණා.

නව වන ශතවර්ෂයේදී මේ රටට පැමිණි බමාර් ජනයා ක්‍රි. ව.1050 දී ඉහල ඉරවඩි ගංගා නිම්නයේ බගාන් රාජධානිය පිහිටෙව්වා. භාෂාව, සංස්කෘතිය සහ ථෙරවාද බුදුදහම සෙමින් සෙමින් රට තුළ පැතිරුණා. නමුත් යාබද මොංගෝලියානු ආක්‍රමණ නිසා මේ රාජ්‍යය බිද වැටුණා. 16 වන සියවසේ ටයුන්ගු අධිරාජයා සමඟ එක් වී අග්නිදිග ආසියාවේ එවකට පැවති විශාලම රාජධානිය ගොඩනගා ගන්නට බර්මාවරු සමත් වුණා. 19 වන සියවසේදී කොන්බායුං අධිරාජයා මියන්මාරයත් ඇතුළුව ඉන්දියාවේ මනිපූර්, ඇසෑම් ප්‍රාන්තත් සමඟ එකතු වී විශාල අධිරාජ්‍යයක් ගොඩනැංවූවා. මෙය මියන්මාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙනවා.

මියන්මාර ඉතිහාසය හදාරද්දි ප්‍රධාන රාජ වංශ තුනක් හමු වෙනවා. පේගන් රාජ වංශය ක්‍රි.ව. 849 දෙසැම්බර් 23 දිනත්, ටන්ගෝ රාජ වංශය 1510 ඔක්තෝබර් 16 දිනත්, කොන්බන්ග් රාජ වංශය 1752 මාර්තු 21 දිනත් පිහිටුවන ලද බව සදහන්. මේ සියළුම රාජ වංශයන් ථෙරවාද බුදුදහමට මුල් තැන දුන් බෞද්ධාගමිකයින් වීම විශේෂයක්. 1824 දී මේ ස්වාධීන රාජ්‍යය යටත් විජිතයක් ලෙස එංගලන්ත කිරීටයට යටත් වුණේ එක පිට එක පැවති මහා යුද්ධ තුනකට පසුවයි. මේ යටත් විජිත කාලය තුළ පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ මූලස්ථානය වූ බුරුම රට සමඟ ලංකාවට බොහෝ සම්බන්ධකම් තිබුණු බවත්, එවකට ලාංකිකයෝ බොහෝ දෙනෙක් බුරුමයට සංක්‍රමණය වූ බවත් සදහන් වෙනවා. ඔවුන් දැන් බුරුම පුරවැසියන් ලෙස ජීවත් වෙනවලු.

බුරුමය 1948 දී නිදහස ලබා ස්වාධීන ජනරජයක් බවට පත් වුණා.

2014 ජන සංගණනයට අනුව මියන්මාරයේ ජනගහනය මිලියන 51 ක් බව අන්තර්ජාලයේ දැක්වෙනවා. මියන්මාරය බහු වාර්ගික රටක්. බමාර් (68%), ශාන් (9%), කරෙන් (7%), රකීන් (4%), මොන් (2%) සහ වෙනත් සුළු ජනවර්ග වල එකතුව මුළු ජනගහනයෙන් 10% ලෙස ගණන් බලා තියෙනවා. රාජ්‍ය ආගම ථෙරවාද බුදුදහමයි. මෙයට අමතරව කිතුනු හින්දු සහ ඉස්ලාම් ලබ්ධිකයිනුත් ඉන්නවා.

මේ රටෙන් වැඩි කොටස ඝණ සදාහරිත කදුකර වනාන්තර. ඉරවඩි ගංගාව හිමාලයෙන් ඇරඹී සැතපුම් 1348 ක් ගෙවාගෙනයි මුහුදට වැටෙන්නෙ. ඒ ගංගා දෑලවරේ හරිත වර්ණයෙන් දිදුලන සුවිසල් කෙත් යායවල්. මේ රට කෘෂිකාර්මිකව මොන තරම් සශ්‍රීකද? ඇත්තෙන්ම බුරුමය සහල් නිෂ්පාදනයෙන් ලෝකයේ ඉහළින්ම ඉන්න රටක්. නමුත් යැංගුන් නගරයට එපිටින් තදාසන්න ප්‍රදේශ වල හෙක්ටයාර ගණන් සුවිසල් ඉඩම් යායවල් නිකරුණේ වේළෙනවා. යැංගුන් නගරය1775 දී පමණ නිර්මාණය කල, දැනට මියන්මාරයේ වානිජ අගනුවර වන නගරයයි. එහි මහා මාර්ග පද්ධතිය ලංකාව වගේම තමයි. නමුත් රියැදුරන්ගේ ස්වයං විනයක් ඇති බවත්, ඕනෑම තදබදයකදී ඔවුන් ඉවසා දරා සිටි අන්දමත් අපි දැක්කා. මේ සංයමය දිගු කාලයක් හමුදා පාලනයට යටත් වී තිබීමේ, චීන කොන්ෆියුසියානු දර්ශනය හෝ බුදුදහමෙන් නිරන්තරයෙන් ලත් ශික්ෂණය හෝ මේ කාරණා දෙකේම සංකලනයක් විය යුතුයි. මියන්මාරයේ වාහන එළවන්නෙ දකුණින්. නමුත් රියැදුරු අසුන තියෙන්නෙත් ලංකාවෙ වගේම දකුණු පසින්. නමුත් දොරවල් ඇරෙන්නෙ වම් පැත්තට හින්දා පාරේ යන බස් වල මිනිස්සු බහින්න ඕන පාර මැද්දට. මේ විහිළුව මොකක්දැයි ඇහුවාම අපේ මාර්ගෝපදේශක තූරා කිව්වේ හිනා යන කතාවක්. මියන්මාරයේ කවුදෝ බලවතෙක් දැකපු හීනයකින් වාහන දකුණු පැත්තෙන් ගමන් කරන්ටය කියලා අණ කෙරුවලු. එතෙක් වමෙන් ගමන් කරපු වාහන, අර හීනය නිසා දකුනෙන් යන්ට පටන් ගත්තලු. මේවට හිනා ගියාට මොකද අපේ රටෙත් මේ තත්ත්වය මෙහෙමමයි නේදැයි කියලා හිතුණා.

මියන්මාරයේ වාහන වල අංක තහඩුත් වෙනස්. ඒවායේ විවිධ පාටවලින් විවිධ තරාතිරම් සංකේතවත් වෙනවා. ඒ අනුව මහජන ප්‍රවාහන සේවයට අයත් වාහනවල රතු පාටත්, තානාපති මට්ටමේ අයගේ වාහනවල සුදු පාටත්, සංචාරක වාහනවල නිල් පාටත් පුද්ගලික වාහනවල කළු පාටත්, පූජ්‍ය පක්ෂයේ උදවිය ගමන් කරන වාහනවල කහ පාටත් අංක තහඩුවලට යොදා තියෙනවා.

යැංගුන් නගරය අතිශයින්ම ජනාකීර්ණ තදබදයෙන් යුතු නගරයක්. මේ අතර යටත් විජිත යුගයට අයත් ඉතා හොදින් නඩත්තු කරන ගාම්භීර ගොඩනැගිලිත්, නඩත්තුවක් නැතිකම නිසා ජරාවාස වූ තට්ටු ගෙවලුත් දකින්න ලැබුණා. මේ තට්ටු ගෙවල්වල ජීවත් වුනත් සමහර මිනිස්සු මල් ගහක් දෙකක්වත් පෝච්චියක ඉන්දලා අහිංසක වින්දනයක් ලබන්න කරපු උත්සාහයනුත් මම දැක්කා.

අපේ රටේ මෙන් රෝද තුනේ ටුක් ටුක් දකින්න නැති වුනත්, ඒ වෙනුවට කෙටි ගමන් සඳහා බයිසිකල් රික්ෂෝව යොදා ගත්තා. හැම තරාතිරමකම ගැහැනු පිරිමි හැමෝම මේ රික්ෂෝවෙන් ගමන් පහසුව සලසා ගන්නවා. රික්ෂෝ පදින රියැදුරන්ට හොඳ දෛනික ගතමනාවක් ලැබෙන බව පෙනුණා.

යම් රටක නගරයක දෙකක දවස් පහක් සැරිසැරීමෙන් සමස්ත දේශයේම පොදු ජන ජීවිතවල හරස්කඩවල් විනිවිද දකින්න බැරි වුනත් දුටු දෙයින් මම නම් වටහාගත්තෙ මියන්මාර ජනතාවට වඩා ලාංකික අප වාසනාවන්ත බවයි. මොවුන්ගේ සාක්ෂරතාව ගැනත් බැලූ බැල්මට පෙනෙන්නෙ අපට සාපේක්ෂව අඩු මට්ටමක්.

මියන්මාරය මැණික්, ජේඩ්, තෙල්, ස්වාභාවික වායු සහ ඛණිජවලින් පොහොසත් රටක් වුවත් බැලූ බැල්මට මේ තරම් දුප්පත් ස්වභාවයක් ඇති වී තිබෙන්නෙ දේශපාලන කාරණා නිසා විය යුතුයි. නිදහසින් පසු රට භාරගත් උදවියගෙ හපන්කම් වල ප්‍රතිඵල පරම්පරා ගණානවක් අත්විදින බව තේරුණා. විශේෂයෙන් ඉන්ධන ප්‍රභවයන් තිබුණත් ඒ වාසිය රටවැසියන්ට නොලැබෙන බව අපට තේරුම් ගියේ පැට්රෝල්, ඩීසල් මිල ගනන් ලංකාවට සංසන්දනය කරලා බැලුවාම වැඩි වෙනසක් නැති හන්දයි.

ගුවන් තොටින් එලියට බැස්ස වෙලේ හිට ම දුටු බොහොමයක් ස්වදේශිකයන් යම්කිසි ආලේපයකින් මුහුන සායම් කරගෙන ඉන්නා බව දුටුවා. මේ මියන්මාරයටම ආවේනික තනාකා නම් සාම්ප්‍රදායික ආලේපනයක්ලු. මේ ආලේපය හරියටම අපි සුදු හදුන් උරච්චි කරලා ගානවා හා සමානයි. මේ සදහා යොදා ගන්නේ මියන්මාරයට ආවේනික මුරායා නමැති ගසේ පොතු හා මුල් තමයි. මේවා වතුර ස්වල්පයක් මුහු කරලා අඹරා ගන්නා කහ පාටට හුරු සුදු පාට තලපය ඔවුන් කම්මුල් වල, නාසයේ, නළලේ සහ සමහර විට අත් පා වලත් ආලේප කරගෙන ඉන්නවා දකින්නට පුළුවනි. බොහෝ විට කාන්තාවන් සහ කුඩා දරුවන් මේ ආලේපය තවරාගෙන සිටියත්, කලාතුරකින් පිරිමි අයත් දකින්ට ලැබුනා. මේ ස්වාභාවික ආලේපනය වසර දෙදහසක් මුළුල්ලේ මියන්මාරයේ ජනතාවට හිරු රැසින්, දුහුවිල්ලෙන් ආරක්ෂාව සලසා දෙන අතර සිසිල්කාරකයක් ලෙසත් ආරක්ෂාව සපයනවා. මේ තනාකා ආලේපනය මියන්මාර වැසියන්ගේ සංස්කෘතික අනන්‍යතාවක් ලෙස 14 වන ශතවර්ෂයේ සිටම පැවතෙනවලු.

අපේ හෝටලය පිහිටා තිබුණේ යැංගුන් වරායේ බහළු පර්යන්තයට කිට්ටුවෙන් නිසාදෝ බොහෝ ජනාකීර්ණ බවක් දකින්නට තිබුනා. කම්කරුවන් එක් රැස් වන වීදි වල එළිමහන් ආපන ශාලා පේළියට තිබුණා. මේ නාගරික පදිංචිකරුවන්ට කෑම සැපයීම හොද ආදායම් මාර්ගයක්. බොහොමයක් එළිමහන් ආපන ශාලා පාර අයිනේ කාණු අද්දර තාවකාලික මඩු වල ප්ලාස්ටික් පුටු සහ මේස අටවලා හදාගත් ඒවායි. කර වෙන්නම බැදලා ලී කූරුවල ගහපු තාරා කකුල්, බැදපු කුකුලො, ඉස්සො, ලිංගුස්, සොසේජස් සහ තවත් නම නොදන්නා අටෝරාසියක් විච්චූරණ කෑම ජාති විකුණන්න තිබුණා. බෞද්ධාගමික රටක් කියලා මාංශ ආහාරවල අඩුපාඩුවක් නම් පෙනුනෙ නැහැ. සුප් වර්ග ගණනාවක් බොයිලේරුවල පේළියට පැහෙමින් තිබුනෙ පළාතම සුවද ගස්සමිනුයි. බොහෝ කම්කරු රැකියා කරන රළු පෙනුම ඇති පිරිමින් පිටතින් ආහාර ගන්නා බව පෙනුණා.

යැංගුන් හි බොග්යෝක් අවුං සාං මාර්කැට්ටුව ඉංගිරිසි පාලන සමයට අයත් විශාල ගොඩනැගිල්ලක්. එහි සංචාරකයන් සඳහා සිහිවටන, ඇදුම් පැළදුම්, සිතුවම් ඵළක, නොයෙක් අත්කම් භාණ්ඩ විකුණන්න තබා තිබුණා. පේළියට ඇවිදගෙන පිඩු සිගා යන ළදරු මෙහෙනින් වහන්සේලා දුඹුරු පැහැති පටියකින් රිදී පැහැති භාජනයක් (පාත්තරය විය හැකියි) ඉනේ බැදගෙන එයට මුදල් එකතු කරනවා. මේ පාත්තර සමහර ළදැරියන්ගේ ශරීර ප්‍රමාණයටත් වඩා විශාලයි

විවෘත වෙළෙඳ පොලේ මල් කඩ විවෘත වෙන්නෙ හැන්දෑවටයි. පොලේ බිම විශාල ප්ලාස්ටික් බේසම් වල දිගු නැටි සහිත රෝස, ඩේලියා, කානේෂන් වගේ මල් වර්ගත් විකුණන්න තබා තිබුණා. මල් තරම් සැබෑ ජීවිතය සුන්දර හෝ සුවදවත් නැතත්, මේ පවුලේ සමගිය නිසාම ඔවුන්ගේ ජීවිත සුන්දර වෙලා. මියන්මාර නාගරික පවුල් වල උදවියත් බොහෝවිට කෑම ගන්නෙ පිටින් බව අහන්න ලැබුණා. ගෙදර උයනවට වඩා ඔවුන්ට ඒක ලාබයිලු. මොවුන්ගේ ආහාර රටාව බොහෝ සෙයින් චීන ඌරුවට බරයි.

විවිධාකාර මස් මාළු වර්ග, සුප් වර්ග, නූඩ්ල්ස්, ඇස්පරගස් හැරුණු විට විවිධාකාරයෙන් පිළියෙල කරපු බත් වර්ගත් විකුණන්න තිබුණා. සරම් කැහැපට ගහගත් විච්චූරණ හැඩ වලට කොණ්ඩා කපාගත් වැඩි උගත්කමක් නැති වේටර ගැටව් කිසි කමසරියාවක් නැතුව අස්ස කුලප්පුවෙන් වැඩ කෙරුවා. අපට සත්කාර කරපු කොලුවා තරමක් විනීත ගති පැවතුම් දැරුවත්, සමස්තයක් විදිහට ගත්තොත් ඒ හැමෝටම තිබුනෙ රළු හැසිරීම් රටාවක්. ඒ ඉතින් හරිහමන් අධ්‍යාපනයක්, ශික්ෂණයක් නොලැබීමේ විපාකය තමා. වත්මන් බාගෝ නුවර එදා රන්පත් සෙවිළි කරන ලද මාලිගා පියසි වලින් බැබළුණු පුරාණ හම්සවඩ්ඩි, එනම් හංසවතී පුරයයි. පුරාණයේ රත්තරනින් දාගැබ් හැදූ ජාතියකට අත් වී ඇති ඉරණම ශෝචනීයයි.

යැංගුන් සහ බාගෝ නගරවල අපි මතුපිටින් දුටු නාගරික ජන ජීවිතය ඔහොම තමා. දුර බැහැර කදුකර කෘෂිකාර්මික පළාත්වල ජන ජීවිතය චාම් සහ සරල වුවත් මේ වාගෙ දුක්ඛිත නැතුව ඇතැයි හිතුණා. ඒත් අතමිට කාසි හිග වීමත්, කාලය පිළිබද ප්‍රශ්නත් නිසා අපට ඒ පළාත් දැකබලා ගැනීමේ භාග්‍යය අහිමි වුණා.

Comments