සුදුස්සාට සුදුසු තැන දුන් නවම් පුන් පොහෝ දිනය සංවර්ධනයට ආදර්ශයක් කර ගනිමු | සිළුමිණ

සුදුස්සාට සුදුසු තැන දුන් නවම් පුන් පොහෝ දිනය සංවර්ධනයට ආදර්ශයක් කර ගනිමු

කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය

ආචාර්ය දිවියාගහ යසස්සි නාහිමි

බෞද්ධයන් වෙනුවෙන් මාසිකව ඉතාම වැදගත් දිනයක් ලෙසින් නිවාඩු ලබා දී ඇති පොහොය දිනයන් අතර වසරේ දෙවන පුර පසළොස්වක පොහෝ දිනය වන නවම් පුර ‍පසළොස්වක් පොහොය දිනය ශාසනික වශයෙන් ඉතාම වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදු වූ පොහොය දිනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

විශේෂයෙන්ම සම්බුද්ධ චරිතය සම්බන්ධයෙන් ඉතාම වැදගත් සිදුවීම් 3ක්ම මේ පෝය දිනයේ සිදු ව තිබේ.

එයින් එක් වැදගත් සිදුවීමක් වන්නේ සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීමය. එසේම භික්ෂූන් වහන්සේ උදෙසා ‘ඔවාද ප්‍රාතිමෝක්ෂය‘ දේශනා කිරීමද මෙහිලා වැදගත්කමක් උසුලන්නා වූ විශේෂිත කරුණකි.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් ආයු සංස්කාරය හැරීමද ශාසනික වශයෙන් නවම් පුර පසොළොස්වක පොහෝ දින විශේෂිතම වූ දිනයකි. ඒ ප්‍රධානතම සිදුවීම් 3 ඇසුරින් බෞද්ධයන් වශයෙන් අපට මේ නවම් පුර පසොළොස්වක පොහෝ දිනය වැදගත් වන්නේය.

බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් හිමිවරුන් වෙත අග්‍රශ්‍රාවක තනතුරු පිරි නැමූ මේ දිනය ගැන අපි මඳක් විමසා බලමු.

මගධ රාජ්‍යයේ ගම් දෙකක ජීවත් වුවද උපතිස්ස හා කෝලිත නම් මේ මිතුරන් දෙදෙනා නිරතුරුවම විනෝද ගමන් ගියේ විනෝද වූයේ එක්වමය. ඔවුන් කන්දක් උඩ පැවැත්වූ ගිරග්ග සමජ්ජ නම් නර්තන සැණකෙළිය නරඹා අවසානයේ ලෝකයේ සැබෑ ස්වරූපය එය නොවන බව දැනගෙන නියම සැපත සොයා යන්නට විය. එහිදී ආස්වාදය, ආදීනව මෙන්ම නික්ම යන්න ගැන ඔවුහු විමසා බැලූහ.

එහෙත් අද සමාජයේ බොහෝ දෙනා ආස්වාදය ගැන පමණක් අවධානය යොමු කිරීම නිසා සමාජයේ ගැටලු නිර්මාණය වී තිබේ. පොහොය දින වැදගත්කම ගැන අවධානය යොමු කරන්නේ නම් ඒ පොහොය ඇසුරින් අපට ලබා ගත හැකි වැදගත් දේ හා ඒ අනුව අප විසින් කළ යුතු දේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. එසේ නොමැතිව පොහොය දින බුද්ධ ශාසනයේ සිදුවූ සිදුවීම් දෙස බලා ධර්මය අධ්‍යයනය කර ගැනීමෙන් පමණක් අපේ දිවිය සරිකර ගත නොහැකිය.

වර්තමානයේ රූපවාහිනියේ විකාශය වන ඇතැම් නාට්‍ය විනෝදයට අගනා වන්නට පුළුවන. එය සැබෑ ජීවිත යථාර්ථයද යන්න මෙහිදී විමසා බැලිය යුතුය. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් පාසල් දරුවන් නම් ඔවුන් කල්පනා කළ යුත්තේ එම නාට්‍යය බැලීමෙන් ‘මගේ අධ්‍යාපනයට එයින් කුමන සෙතක් සැලසෙන්නේද?‘ යන්න ගැනයි. එම කාලය තම අනාගත අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත්තා නම් ඒ පොහොය දින අර්ථාන්විතව ගත කළා හා සමානය.

මේ ලෙසින් සත්‍යය සොයා ගිය උපතිස්ස තරුණයාට පස්වග තවුසන්ගෙන් එක් හිමිනමක් වූ අස්සජි හිමියන් හමුවී උන් වහන්සේගෙන් ධර්මය අසා පසුව තම මිතුරා වන කෝලිත තරුණයාද සමඟින් බුදු රජාණන් වහන්සේ වෙත එළැඹ පසු කලෙක රහත් භාවයට පත් වූහ.

එම තරුණයින් දෙදෙනාගෙන් උපතිස්ස තරුණයාගේ මව වන රූපසාරිගේ නමද උපයෝගී කරගෙන සැරියුත් යන නමින් ද මොග්ගලී මාතාවගේ නම උපයෝගී කරගෙන මුගලන් යනුවෙන්ද මේ තරුණයින් දෙදෙනා ප්‍රසිද්ධියට පත් වූහ.

එයින් අපට විශේෂිත කරුණක් මේ උතුම් පුන් පොහෝ දින දිවියට එක් කර ගත හැකිය. ඒ දරුවන් විසින් කරනු ලබන සියලු යහපත් ක්‍රියාවන් හමුවේ දෙමාපියන්ටද එහි ගෞරවයක් හිමි වන බවයි. උතුම් පුන් පොහෝ දින සිහි කර ගනිමින් දරු දැරියන් විසින් කළ යුත්තේ දෙමාපියන් සතුටු වන එමෙන්ම සමාජයටත් තමාටත් වැඩදායක ක්‍රියාවන් පමණි.

එසේම සැරියුත් හා මුගලන් හිමිවරුන්ට ඒ තනතුරු හිමි වූයේ උන් වහන්සේ දෙනම විසින් කාලාන්තරයක් තිස්සේ ඒ වෙනුවෙන් පෙරුම් දම් පුරමින් පැමිණි නිසාය. ඒ සදහා සුදුස්සන් වූ නිසාය

නමුත් අද අපේ සමාජයේ පෙනෙන්නට නොමැත්තේද එයයි. සුදුස්සන්ට සුදුසු තැන ලබා දීම නිසා බුදු දහම, බුද්ධ ශාසනය අඛණ්ඩව පැවතීමට හේතු සාධක විය. ඒ ලෙසින් අප රටේද සුදුස්සන්ට නියමිත පරිදි සුදුසු තැන ලබා දෙන්නේ නම් රටක සංවර්ධනය මෙන්ම ජනතා සුව සෙතද සැලසීම අපහසු නැත.

මේ අනුව සැරියත් - මුගලන් මහ රහතන් වහන්සේ ට අග සවු තනතුරු පදවිය හිමිවීම නවම් පොහොය දින සිදුවූ අපට ඉතාම වැදගත් වන්නා වූ විශේෂිත සිදුවීමක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේ රැස් කරවා උන් වහන්සේ විසින් ශාසනයේ රඳා පැවැත්ම වෙනුවෙන් ‘ඔවාද ප්‍රාතිමෝක්ෂය ‘දේශනා කෙළේද මේ උතුම් නවම් පොහෝ දිනය. මීට පෙර බරණැස ඉසිපතනාරමයේදී භික්ෂූන් වහන්සේ රැස් කරවා එක මඟ දෙදෙනකු නොයන ලෙසත් සියලු දෙනාගේ හිත සුව පිණිස චාරිකාවේ නියැළෙන ලෙස උපදෙස් දීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ රැස් කරන ලද අවස්ථාව මෙය වේ.

‘ඔවාද ප්‍රාතිමෝක්ෂය‘ යනුවෙන් දේශනා කරන ලද්දේ..

‘ඛන්ති පරමං තපො තිතික්ඛා - නිබ්බානං පරමං වදන්ති බුද්ධා

තහි පබ්බජිතො පරූපඝාති - සමණො හොති පරං විහෙඨයන්තො‘

‘සබ්බ පා පස්ස අකරණං

කුසලස්ස උප සම්පදා

සචිත්ත පරියෝ දපනං

ඒතං බුද්ධාන සාසනං‘

....... ආදී ලෙසිනි.

‘භික්ෂූන් වහන්සේ මෙසේ හික්මිය යුතු යැයි‘ සෑම බුදුවරයන් වහන්සේ විසින්ම දේශනා කරන අනුශාසනය ඕවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හඳුන්වයි.

එහි අදහස සරලව දක්වන්නේ නම් එයින් පෙන්වා දෙන්නේ,

‘සියලුම පව්වලින් මිදී කුසල් දහම්හි යෙදෙන්න. සිත දියුණු කරගෙන විදර්ශනා ප්‍රඥාව ලබා ගන්න‘ යන්නයි. බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූ සංඝයා වෙත ශික්ෂා පද පනවන ලද්දේ බුද්ධ ශාසනයේ ආරම්භ වී වසර 20කට පසුව වන අතර ඒ තරම් කාලයක් විනය ශික්ෂාපද පැනවීමට අවශ්‍ය නොවුණේ මේ ඔවාද ප්‍රාතිමෝක්ෂය අනුව භික්ෂූන් වහන්සේ දිවි ගෙවූ නිසාය.

තෙවනුව අපට නවම් පොහොය වැදගත් වන්නේ බුදු රජාණන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හළ නිසාය. එනම් පිරිනිවන් පෑමට අධිෂ්ඨාන කරගත් ප්‍රතිඥාව ලබා දුන් නිසාය.

අසූ වයස් සපිරිණු බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළහ.

‘‘ආනන්ද මම දැන් අසූ වයස් සපුරා ඇත. මාගේ ශරීරය දිරා යන කරත්තයක් බඳුය‘‘

එමෙන්ම බුදු රජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට අවස්ථා කිහිපයකදී වදාරා සිටියේ ‘සතර ඍද්ධි පාද වඩන ලද බුදු රජාණන් වහන්සේට අවශ්‍ය නම් කල්පයක් වුවද ජීවත් විය හැකි‘ බවයි. එහෙත් ආනන්ද හිමියන්ගෙන් ඒ සඳහා පිළිතුරක් නොලැබුණි.

වසවර්ති මාරයා ඒ අවස්ථාවේදී බුදු රජාණන් වහන්සේ වෙත ගොස් පැවසුවේ ‘ඔබ වහන්සේ මීට පෙර අවස්ථාවලදී පිරිනිවන් පෑමට මා ආරාධනා කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කෙළේ ‘ශාසනයේ බහුශ්‍රැත වියක්ත ධර්මධර භික්ෂූන් ඇතිවන තුරු මම පිරිනිවන් නොපානා බවයි‘ බුදුරජාණන් වහන්ස දැන් ඒ සියල්ල ඉටුව තිබෙන හෙයින් හා ඔබ වහන්සේ අසූ වයස් ගෙවා ඇති නිසා දැන් පිරිනිවන් පෑමට කාලය එළැඹ ඇත‘ යනුවෙනි.

ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් තමන් තව 3 මසකින් පිරිනිවන් පානා බව වදාළ සේක එනම් ආයු සංස්කාරය හළ සේක. ඒ චාපාල චෛත්‍යය අසලදීය.

එකිනෙහිම මිහිකත කම්පා වන්නට විය. ඇති වූ මේ භූ චලනය පිළිබඳව ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි අතර බුදු රජාණන් වහන්සේ එවිට ඒ සඳහා හේතු පැහැදිලි කළ සේක.

බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ බව දැනගත් ආනන්ද හිමියෝ ලෝ සත්ත්වයාගේ හිත සුව පිණිස බුදු රජාණන් වහන්සේගෙන් දීර්ඝ කාලයක් ජීවත් වන ලෙස ඉල්ලා සිටියද තමන් වහන්සේ ආයු සංස්කරාය අත් හළ බව වදාළමින් උන්වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

තමන්ට කෙතරම් වැදගත් වුවත් අවාසියක් වුවත් ලබා දුන් පොරොන්දුවක් ඉටු කිරීමේ වැදගත් කමද ඒ අනව අපට බුද්ධ ශාසනයෙන් දැකගත හැකිය.

ඒ අනුව මේ මහා සංසාරයෙන් එතෙර වීම සඳහා පොහොය දින වැදගත්කම දැනගෙන එයින් ධර්මය මැනවින් උකහාගෙන ඒ ධාර්මික ප්‍රතිපත්ති අනුව අපගේ දිවිය සකස් කර ගත යුතුය. එසේ නොවුණ හොත් පොහොය වැදගත් වන්නේ කුමන කරුණු නිසාද පමණක් යන්න දැනගෙන එයින් අපේ ජීවිතයට හෝ සමාජයට වන වැඩක් නැත. එහෙයින් අප කළ යුත්තේ අපේ ජීවිතය ධර්මයට අනුව හැඩ ගස්වා ගැනීමය. එවිට ධර්මය විසින්ම අප රැකදෙනු ඇත.

Comments