වැරදි කාලහෝරාවක බිහි වූ අග්‍රගණ්‍ය කලාකාරිය රුක්මණී දේවි | සිළුමිණ

වැරදි කාලහෝරාවක බිහි වූ අග්‍රගණ්‍ය කලාකාරිය රුක්මණී දේවි

“මීට අවුරුදු හැට දෙකකට කලින් 1958 මැයි මාසේ දවසක මම මීගමුව අඟුරුකාරමුල්ලේ ජයරුක් දෙමහල් නිවසට ගියා. තාප්පයට පාපැදිය හේන්තු කරලා සීනුව නාද කළාම දිව්‍යාංගනාවක් වගේ ලස්සන කාන්තාවක් උඩු මහලේ ඉඳලා කාව හම්බවෙන්න ද ඇහුවා. ඇගේ රුවට වශී වුණ මට තප්පර ගණනාවක් යනතුරු කතාකර ගන්න බැරුව ගියා. ඩේසි අක්කා හමුවෙන්න කියලා මම කීවාම විනාඩි කීපයකින් ඇය එඩී ජයමාන්නත් එක්ක ඇවිත් මාව ගේ ඇතුළට එක්ක ගියා. මට රටක් රාජ්ජයක් ලැබුණා වගෙයි. එදා මම ගත්ත ඒ දෙන්නාගේ පින්තූරය ‘ලංකා චලන චිත්‍රය’ සඟරාවෙ මුල් පිටුවේ පළ වුණා. පසුකාලෙකදී ලෝකය ම හඳුනාගත් රුක්මණී දේවිය කරළියට එන්නෙ එහෙමයි“. මෙහෙම කියන්නේ වේදිකා නළුවකු; නාට්‍ය රචකයකු; නිෂ්පාදකවරයකු වගේම මාධ්‍යවේදියකු ද වන හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස්. ඇත්තට ම හෙළ නිළි රැජන - ගීත කෝකිලාවිය රුක්මණි දේවි නැත්නම් ඩේසි රාසම්මා ඩැනියල්ස් ‍ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ ඔහුටයි.

ජීවිතයේ දිඟු කාලයක් මුළුල්ලේ එඩී - රුක්මණි යුවළ ළඟින් ඇසුරු කළ හෙන්රි පසුගිය 2020 ජනවාරි 15 දින පැවැත්වුණු රුක්මණි දේවියගේ 97 ජන්ම දිනය නිමිත්තෙන් රුක්මණි දේවියක්මය. යනුවෙන් පොතක් මුද්‍රණයෙන් නිකුත් කළේය.

එඩී - රුක්මණි යුග දිවි ගමනේ ඔවුන් දිවි ගමනින් සමුගැනීම දක්වාම ඔවුන් හා සමීපව සිටි මේ මාධ්‍යවේදියා රුක්මණි - එඩී ගැන බොහෝ අය නොදන්නා කරුණු රැසක් අපට හෙළි කළේය. 

1930 වැල්ලවත්තේ සෙන්ට් ක්ලෙයාර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රුක්මණී දෙමටගොඩ සෙන්ට් මැතිව් විද්‍යාලයේ ඉගෙනීම ලබද්දී මුල්වරට පාසල් නාට්‍යයක් වූ රාමායණයේ රඟපෑ අතර ඒ වන විට වයස අවු:12කි. 1938 ඔක්. 29 හා පුරා කියා එච්.ඩබ්. රූපසිංහ මාස්ටර් සමඟ එච්.එම්.වී. තැටිය සඳහා ශ්‍රී බුද්ධගයා විහාරේ ගීතය ගැයුවාය. ජයන්ත වීරසේකර මහතා හා ඇගේ පියා විසින් රුක්මණි දේවි ලෙස ඇගේ නම කලාවට උචිත වන සේ සැකසීම සිදු කෙරුණි. 1939 දී ඇය ප්‍රසිද්ධ වේදිකාවට එක්වූයේ පී.සී. තාඹුගල සහ එම්. ද. සිල්වාගේ ‘මායාවතී‘ ඩික් ඩයස්ගේ ‘ජානකීහරණය‘, පී.පී. ආටිගලගේ ‘රෝහිණී‘ මොරටුවේ වේදිකාගත වූ ‘රංගල අප්පු‘, ‘රාජද්‍රෝහියා‘ හා විශාඛා විද්‍යාලයේ වේදිකාගත වූ ‘සිරිසඟබෝ‘, සී. ඒ. ෆොන්සේකාගේ ‘කීකරු බිරිය‘ නාට්‍යවල රංගනයෙනි. 1940 ග්‍රැමෆෝන් තැටි සඳහා ‘පුරුවේ කළා වූ පාප මේ‘, ‘පුන්සඳ පායා‘, ‘සැප නෑ සංසාරේ‘, ‘මේ භවේ ඇති සැපා‘ ගී ගයමින් රසික ජනාදරය ඉහළින් ම දිනාගැනීමට සමත් වුවා ය.

රුක්මණි දේවිය දිවි මඟ අරණේ වෙනත් මාවතකට පිළිපන්නේ 1940 මිනර්වා නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වීමෙන් අනතුරුව ස්ටැන්ලි මල්ලවආරච්චි විසින් එඩී ජයමාන්නව හඳුන්වා දීමෙන් පසුව ය. ‘අවතාරය‘ නාට්‍යයේ ගී ගැයීම, කඩවුණ පොරොන්දුව නාට්‍යයේ ‘රංජනී‘ ලෙස රඟපාමින් විශාල ආන්දෝලනයක් කිරීම, ‘පෙරළෙන ඉරණම‘ නාට්‍යයේ රඟපෑම ඒ අතර ප්‍රධාන වේ. 1942 දෙසැම්බර් 18 දෙමාපිය විරෝධය පවා නොතකමින් එඩී ජයමාන්න සමඟ රහසේ පැන යන ඇය වෙනුවෙන් ඇගේ පියා නඩුමගට පවා ගිය ද; 1943 පෙබරවාරි 18 ජා ඇළ වැලිගම්පිටිය දේවස්ථානයේදී ඇය එඩී සමඟ විවාහ වන්නී ය.

ප්‍රථම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ රඟපෑම සඳහා 1946 රුක්මණි - එඩී ඉන්දියාවට ගිය අතර; 1947 කඩවුණු පොරොන්දුව සිනමා සිත්තම කොළඹ කිංස්ලි සිනමා ශාලාවේදී තිරගත කෙරුණි. 1948 ‘වැරදුණ කුරුමානම‘ චිත්‍රපටයේ නමෝ මරියනි... කතෝලික ගීතිකාව ගායනා කිරීම, 1951 ඇය රඟපෑ ‘සැඟවුණු පිළිතුර‘ චිත්‍රපටය ද්‍රවිඩ බසින් ‘කුසුමලතා‘ නමින් ප්‍රදර්ශනය වීම, 1952 මැයි 9 දා ‘උමතු විශ්වාසය‘ චිත්‍රපටයේ මව හා දියණිය ලෙසින් ද්විත්ව චරිත නිරූපණය කිරීම, සිංහල නවකතාවක් වූ ‘කැලෑහඳ‘ චිත්‍රපටියේ මාලනී චරිතය නිරූපණය කිරීම ආදිය ඇගේ ජීවිතය හා සබැ‍ඳෙන සුවිශේෂ සිදුවීම් වේ.

1954 ලංකාදීප පත්‍රය මෙහෙයවූ දීපශිඛා සම්මානය කැලෑහඳ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඈට ලැබුණි. තමන්ගේ නිවෙස උකසට තබා නිෂ්පාදනය කරන ලද ‘සිරියලතා‘ තිරගත වුණු 1957 ජුනි 27 දිනයේ ය. ඇගේ පළමු ඓතිහාසික සිනමා කෘතිය ‘දෛවයෝගය‘ තිරගත වූයේ 1959 දී ය. එඩී රුක්මණි මුල්වරට අඹුසැමියන් ලෙස රඟපෑ කවට අන්දරේ චිත්‍රපටය තිරගත වූයේ 1960 දී ය. ඇය ප්‍රධාන චරිතය රඟපෑ මඟුල් පෝරුව තිරගත වූයේ 1967දී ය. ඇගේ අවසන් සංගීත ප්‍රසංගය 1978 ඔක්තෝබර් 27 මාතර උයන්වත්තේදී පැවැත්වුණි.

එඩී සමඟ රුක්මණි දේවියගේ සේයාරුවක් පළ කිරීමෙන් රසික ජනාදරය ලබා දී ඔවුන්ගේ ජීවන ගමන් මඟ වෙනස් කළ හෙන්රි ප්‍රියශාන්ත මෙන්ඩිස් කලාකරුවා, ඡායාරූප ශිල්පියා මාධ්‍යවේදියකු වූයේ රුක්මණිගේ ආරාධනාව සමඟින් ලැබුණු ඉමහත් ආශිර්වාදයෙනි. මේ ඈ පිළිබඳ හෙන්රිගේ මතක මන්දිරයෙන් බිඳක් ඔහුගේ ම හඬින්...

“හෙන්රි ලස්සනට පින්තූර ගන්නවා වගේම ලස්සනට ලියන්නත් පටන් ගත්තා කියලා මට කීවා. ඒ වදන් මගේ සිතේ දෝංකාර දුන්නා. රුක්මණී දේවි මියයන තුරාවටම මාත් සමඟ තිබුණේ සමීප සම්බන්ධයක්. ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ බොහෝ රහස් මා දන්නවා. රුක්මණි දේවී කියන්නේ හුඟාක් හිත හොඳ කාන්තා රත්නයක්. ඇය කවදාවත් තමන්ට ය කියලා කිසි දෙයක් ඉතුරු කරගත්තේ නැති කෙනෙක්. රුක්මණී දේවි හරි කැමතියි එයාගේ නිදියන යහනට මල් අතුරලා ඒ මත සැතපෙන්න. එයා නිතරම එයාගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටියේ එයාව හම්බවෙන්න එද්දී රෝස පාට මල් ගේන්න කියලා. නැති බැරිකම් කම් තියාගෙන එන කාට වුණත් උදව්වක් නොකර ආපසු නොයැවීම ඇගේ පුරුද්දක්. අනුන්ගේ දුකකදි නිතරම උණුවන හදවතක් තමයි ඈට තිබුණේ. 

‘සිරියලතා‘ චිත්‍රපටය නිපදෙව්වේ එයාලගේ ‘ජයරුක්’ නිවස උකස් තියලා. චිත්‍රපටයෙන් කොච්චර මුදල් ඉපෙව්වත්; ඒ මුදල්වලින් ඥාති මිත්‍රාදීන්ට හොඳට සැලකුවා වුණත්; ගෙයි උකස බේරාගන්න උනන්දුවක් වුණේ නැහැ. ඒ නිසා ගේ සින්න වුණා.

‘කැලෑහඳ’ චිත්‍රපටයේ රඟපෑම සම්බන්ධයෙන් ඇයට විශාල මුදලක් ලැබුණා. ඒකෙන් එයා මුලින් ම කළේ තමන්ට ගමන් යෑමට වාහනේ පැද වූ ඩෙන්සිල්ට මොරිස් මයිනර් රථයක් අරගෙන දීමයි. දෙවියන් වහන්සේ අපට ලබා දෙන දේ අන් අය සමඟ බෙදා ගත යුතුයි කියලයි රුක්මණී නිතරම කීවා.

දවසක් ඇයව හමුවන්න මම යද්දී බෝනික්කෙක් තුරුලු කරගෙන හිටියා. දෙවියන් වහන්සේ මට නොදුන් එකම දේ මෙයයි. දරුවකු නැති එක ගැන දේවි නිතරම තැවුණා. ඇය, ඇගේ දුක නැතිකරගත්තේ එහෙමයි. දෙදෙනා අතර නොපෑහීමක් තිබුණත් ඒ දෙන්නම ඇතුළේ ප්‍රශ්න කවදාවත් පිටට පෙන්නුවේ නැහැ. උත්සවයකට දෙන්නට වෙන වෙනම ආරාධනා කළත් අනිත් කෙනා යනවද අහලා එයාටත් දන්වන්න කියලා එතැනට දෙන්න ම එකට යනවා. රුක්මණී මියයන්නට කලින් මාතරදී පැවැත්වූ අවසාන ප්‍රසංගයේදී ඒ දෙන්නා ‘පාරේ නටන්න හිතුණා‘ ගීතය ගායනා කරමින් නැටුවා. ඊ‍ට කලින් රුක්මණි පුදුම දෙයක් කීවා. ඒක රහසක්.

“ඔයා දන්නවද හෙන්රි, එඩීගෙත් මගෙත් අපල කාලෙ ඉවරයි. මාතර ප්‍රසංගයෙන් පස්සේ අපි දෙන්නා එක වහලක් යටට වෙනවා“. ඉන්පසු දරු සුරතල් බැලීමේ ප්‍රාර්ථනාවක් ද එයාලගේ හිතේ තිබුණා.

“රුක්මණීගේ හඳහන බලපු සිනමා නිළි එඩ්නා සුගතපාල කීවා ඩේසි අක්කෙ ඔයාට මේ දවස්වල හරියට අපල තියෙනවා; පරිස්සම් වෙන්න කියලා. ඒකට රුක්මණී කීවේ ඕවා විශ්වාස කරලා කොහොමද එඩ්නා මම ජීවත්වෙන්නේ; අම්මාගේ බෙහෙත්වලට කොච්චර මුදල් යනවාද කියලා.

එදා රෑ මාතර ප්‍රසංගයේ ඉඳලා කොළඹ ඇවිත් එඩී හැඳලින් බැහැලා රුක්මණීට නවතින්න කීවා. අම්මට බේත් ටික අරන් දීලා ප්‍රසංගයට සූදානම් වෙන්න තියෙනවා කියලා, ඡායාරූප ශිල්පී දයා පෙරේරා සමඟ රුක්මණී ගිහින් තියෙන්නේ තමන් යන්නේ යළි නොඑන ගමනක් කියලා හිතාගෙන නෙමෙයි. ඇය එඩී සමඟ විවාහ වූ ජා ඇළ - කුඩැල්ල ශාන්ත මරියා දේවස්ථානය ළඟදී එයාලා බවුසරයක හැපිලා එතනම මිය ගියේ දෛවෝපගත විදිහට. රුක්මණීගේ දේහය කලාභවනෙ තියන්න අපි කොච්චර ඉල්ලුවත් රාජ්‍ය නායකයගේ වරම ලැබුණේ නෑ. රුක්මණීගේ රසිකයන් ඇයට කොපමණ ආදරය කළාද කියනවා නම් ඇගේ දේහය ඔසවාගෙන යන්න ඕනෑ වුණේ නැහැ. රසිකයන් අතින් අතට දේහය අරන් යැවුණා. කොච්චර සෙනඟ පොරකෑවද කියනවා නම් කොන්ක්‍රීට් කණුවකුත් කඩාගෙන වැටුණා.

ඒත් රුක්මණී දේවි මිය ගියාට පස්සේ ඇගේ කිසිම ඥාතියකුට ඇය ගැන උවමනාවක් තිබුණේ නැහැ. වසර 11ට පස්සේ අපි රුක්මණී දේවි අනුස්මරණ සංගමයක් පිහිටුවලා ඇය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට කටයුතු කළා. මොනතරම් බාධක ප්‍රශ්න ආවත් අපි ඇය වෙනුවෙන් අපිට පුළුවන් හැමදේම කරනවා. ‘රුක්මණී දේවියක් ම ය‘ කියලා ඇගේ ජීවිත කතාව පොතක් ලෙස මුද්‍රණය කළෙත් ඒ නිසයි. එදා මෙදා තුර ඇගේ ජීවිතය හා බැදුණු හැම දෙයක් ම එ් පොතට ඇතුළත්.

‘රුක්මණී දේවියක් ම ය‘ පොත ගැන ප්‍රවීණ මාධ්‍යවේදී ආතර් යූ අමරසේනයන් පසුවදනක් සපයමින් කියා සිටින්නේ පත්තරකාරයකු ලෙස හෙන්රි ප්‍රියශාන්ත තරම් දුක් වින්ඳ ලේඛකයෙකු තවත් දැක නැති බවයි. දැනට ජීවතුන් අතර සිටින හා පැරණි නළු නිළියන් ගැන අදටත් ලියන ඔහු රුක්මණී දේවිය ගැන ද ලිපි පෙළක් ලියා තිබේ. 

රුක්මණී දේවිය ගැන, තවත් බොහෝ දේ ලිවිය හැකියි. එහෙත් එදා මෙදාතුර රුක්මණී දේවිය ඇසුරු කළ අය අතරින් දැන් ජීවත්වන්නේ කිහිප දෙනෙක් පමණි.

රුක්මණී දේවිය පිළිබඳව සිරි කහවලයන් පවසන්නේ මෙවැන්නකි.

“රුක්මණී දේවිය කියන්නේ අපේ පළමු ගායිකාව හා පළමු නිළිය. ඇය දක්ෂ නිළියක් විතරක් නෙමෙයි; ඉතා නිහතමානී මනුෂ්‍ය කාන්තාවක්. හැමෝටම එකම විදිහට උදව් කළා. කොයිතරම් ප්‍රතිභාපූර්ණ නිළියක් වුණත් කිසිම ආඩම්බරයක් නැති හරිම නිහතමානී සැබෑ මනුෂ්‍යත්වයෙන් සපිරි කාන්තා රත්නයක්.

රුක්මණී දේවිය ගැන සිනමා විචාරක අජිත් ගලප්පත්ති පවසන්නේ මෙවැන්නක්.

“මම දකින්නෙ, රුක්මණී දේවි කියන්නේ වැරදි කාලෙක බිහිවුණු දක්ෂ කලාකාරියක් කියලා. පළමු කතානාද චිත්‍රපටයේ ඇය නිළියක් ලෙස රඟපාද්දී ලාංකික අනන්‍යතාවක් සිනමාවට තිබුණේ නැහැ. මේ විශිෂ්ට ගායිකාවට හා නිළියට ඇයට ම අනන්‍ය වූ රංගන පෞරුෂයක්, රූපයක් තිබුණා. නමුත් කාලය හා පුද්ගලයා අතර නොපෑහීමක් තිබුණු නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඇය හමුවන්නේ බොහෝ කල් ගිහින්. ඊට කලින් සුමිත්‍රා චිත්‍රපට කිහිපයක්ම කළත්, ඇයව ඇස ගැටෙන්නෙ නැත්තේ ඇය නිසි ලෙස ලංකාවේ භාවිත නොවුණු ප්‍රතිභාවක් නිසයි. ඊට හේතුව 1940 මැද භාගයේ ඇය මිනර්වා නාට්‍ය සම්ප්‍රදාය රඟපාද්දී ඉන්දියාව සමඟ ගනුදෙනු කළ ව්‍යාපාරිකයන් පමණක් ලංකාවේ සිටීමයි. එවකට ලංකාවේ චිත්‍රපට ගැන තීරණය කළ සමාගම් තුන ම සිනමාව තවත් ව්‍යාපාරයක් ලෙසටයි කටයුතු කළේ. කොටින්ම කියනවා නම් ඉන්දියානු සිනමා වෙ‍ෙළඳපොළේ පාවිච්චි වුණු භූමියක් ලෙසටයි ලංකාව සැලකුණේ. ඒ පටු අරමුණ ඇතුළේ රුක්මණී දේවියත් අවභාවිත වුණා.

 නිශානී හේරත් බන්නැහැක

Comments