මිනිස්කමේ නාමයෙන් දියරකුසා සමඟ සටන් වදින රාසික් | සිළුමිණ

මිනිස්කමේ නාමයෙන් දියරකුසා සමඟ සටන් වදින රාසික්

“මහ පොළොවේ පය ගහලා දෙපයින් හිටගෙන ඉන්නකං තමයි මහත්තයෝ මේ ජාති, ආගම්, කුලමල බේද ඔක්කොම. ගඟට වැටිලා ජීවිතයයි මරණයයි අතර සටන් කරන කොට මේ ඔක්කොම දේවල් යට ගිහිල්ලා ජීවත් වෙන්න තියෙන ආසාව උඩට එනවා. ඒ වෙලාවට ගඟේ ඉන්න කෙනා මගේ ජාතිය, ආගම බලන්නේ නැතුව කරේ එල්ලෙනවා. මහ පොළොවේ පය ගහලා ඉන්නකොටත් මේ විදිහට අපිට හිතන්න පුළුවන් නම් මේ ජාති, ආගම් බේද ඇති කරගෙන මිනිස්සු මරාගන්නේ නැහැ මහත්තයෝ...” මහවැලි ගඟේ ගිලී මිය යන්නට ගිය දෙදහසකට පමණ යළි ජීවිතය දුන් මොහොමඩ් අලී රසීක් ෆරීඩ් පවසයි.

‘රාසික් තම්බි’ ලෙස කා අතරත් ප්‍රසිද්ධ ඔහුගේ නවාතැන කොළඹ නුවර පාරේ පේරාදෙණිය ආසන්නයේ මහවැලි ගඟට යාබද ස්ථානයකි. ගඟේ සිට මීටර 100ක පමණ දුරින් නිවෙස පිහිටා තිබීම නිසා රාසීක්ට කුඩා කල සිටම ගඟේ දියරැලි මුවක හසරැලි තරම් සමීප වූවේය.

“ගඟට වැටුණු හය-හත්සීයක් විතර මං ගොඩ අරන් තියෙනවා. පේරාදෙණිය පාලමෙන් රෑ මැදියම ගඟට පනින සමහරුන්ගේ මළ කඳන් තමයි උදේට ගොඩට ගේන්නේ. මැරෙන්න කියලා හිතලා ගඟට පනින ඕනෑම කෙනෙක් වතුරේ ගිලෙන කොට බේරෙන්න දඟලනවා. ඒ කෙනා සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ගඟට වගක් නැහැ. ගඟ බලන්නේ ඕනෑම කෙනෙක් තුරුලට ගන්න. ගඟත් එක්ක පොරබදලා ගිලෙන්න යන කෙනෙක් බේරගන්න එක ලේසි නැහැ. එක මොහාතක වරදකින් මගේ ජීවිතෙත් නැති වෙන්න පුළුවන්. දියේ ගිලෙන කෙනා බලන්නේ අහු වෙන දේ එල්ලෙන්න. අපි ඒක නොදැන ගියොත් අමාරුවේ වැටෙනවා. මොකද ගිලෙන කෙනා අපේ ඇඟේ එල්ලෙනවා. එතකොට අපිට පීනගන්න බැරි වෙනවා. මම උපතින් ඉස්ලාම් භක්තිකයෙක් වුණාට මගේ යාළුවෝ ගොඩක් සිංහල අය. පාස්කු ප්‍රහාරයත් එක්ක මුස්ලිම් ජනතාව දෙස සිංහල ජනතාව සැකයෙන් බලන්න පටන් ගත්තා. ගඟට වැටුණු කෙනෙක් බේරගන්න ගියාම මම කවදාවත් ජාතිය, ආගම බැලුවේ නැහැ. අපි හැමෝම මිනිස්සු. මගේ අම්මා තාත්තා මුස්ලිම් නිසා මම මුස්ලිම් වුණා. සිංහල අයත් එහෙමයි. පුංචි පුංචි දේවල් නිසා අපි මනුස්සකම් අතහැරලා ජාති වශයෙන් බෙදෙනවා නම් අපි හැමෝම පරදිනවා...” රාසික් පවසන්නේ වයස අවුරුදු දහයක පමණ තරම් වයසේ සිට ගඟේ සැඟවී යන්නට ගිය මිනිස් ජීවිත බේරාගැනීමට කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් සමඟය.

“මට දැන් අවුරුදු පනහක් වෙනවා. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ නෝනා සිංහල කෙනෙක්. එයාගේ නම සුමිත්‍රා. ආදරයට ජාති, ආගම් කුල බේද නැහැ. සුමිත්‍රාව දැක්කම මට ආදරයක් ඇති වුණා. අපි විවාහ වුණේ 1995දී. ලොකු පුතාට දැන් අවුරුදු 17ක්.අනිත් දෙන්නා දියණියන්...”

තුනේ පන්තියෙන් පාසල් ගමන නිමා කළ රාසික්ගේ ජීවන වෘත්තිය යතුරුපැදි අලුත්වැඩියා කිරීමය. ඔහුගේ පියාගේ මස්සිනා සතු ගරාජයෙන් මෝටර් බයිසිකල් හදන්න ඉගෙනගත් ඔහු අද තමන්ගේම කියා ගරාජයක් පේරාදෙණියේ පවත්වාගෙන යයි. යතුරු පැදියක් හදමින් ඉන්න විට කවුරුන් හෝ ගඟට පැන්නොත් කාගේත් මතකයට එන්නේ රාසික්වය. “රාසික්! මිනිහෙක් ගඟට පැනලා...” යැයි ඇසුණු සැණින් ඔහු දෙවරක් නොසිතා ගඟ කරා දිව යන්නේ මොහොතක ප්‍රමාදය ජීවිතයක් අහිමි වීමට හේතු වන බව අත්දැකීමෙන් දන්නා බැවිනි.

“මමයි, චූටියයි, අතුලයි, ඩොරිසුයි, සනයි, ගාමිණියි, උක්කුනුයි, මෝගනුයි... අපි හැමෝම පුංචි කාලේ දවසම ගත කළේ ගඟේ. සෙල්ලම් කළේ ගඟේ ගල් අස්සේ. එදා ඉඳන් මේ ගඟේ පුංචි වෙනසක් වුණත් අපට දැනෙනවා. ඒ කාලේ වන්දනා නඩ ඇවිත් ගම්පොළ පාරට හැරෙන තැන තියෙන ලොරි ස්ටෑන්ඩ් එක ළඟින් පහළට බැහැලා නානවා. පිටින් එන අය ගඟේ තරම දන්නේ නැහැ. වතුරේ ටිකක් ඈතට ගිය ගමන් ගිලෙනවා. බේර ගන්න කියලා කෑගහනකොට අපි ගිහින් ගොඩට ඇදන් එනවා. ගිලුණු කෙනාව බේරගත්තම වන්දනා නඩේ අනිත් අය අපිට පින් දෙනවා. ඒ කාලේ මේක විනෝදයක් වුණා. 

“සතියකට දෙන්නෙක් තුන්දෙනෙක් අපි බේරගන්නවා. කොල්ලා කෙල්ලට බූට් එක තිබ්බම කෙල්ල ගඟට පනිනවා. කෙල්ල කොල්ලට බූට් එක තිබ්බම කොල්ල ගඟට පනිනවා. විශ්වවිද්‍යාලේ ඉගෙනගන්න ළමයි ගඟට පනින අවස්ථා තියෙනවා. මම එහෙම ගොඩක් අය බේරගෙන තියෙනවා. අද ඒ අය ලොකු රස්සාවල් කරනවා ඇති. මම ගඟට පැනලා දහස් ගානක් බේරගත්තත් ඒ අය අතරින් තාමත් මාව බලන්න එන්නේ එකම එක්කෙනයි. ගඟට පැනලා ජීවිතේ බේරුණාට පස්සේ ගොඩක් අය තමන් ගත්ත තීරණය ගැන දුක් වෙනවා. ඒ සිද්ධිය යළි සිහිපත් කරන්න වත් මේ අය කැමැති නැහැ. පවුල්-පන්සල් වුණාම තමන්ගේ අතීතය යළි ඉස්මතු වෙනවාට කැමැති නැහැ. ඒ නිසා කවුරුවත් මාව බලන්න නොඑන එක ගැන මම දුක් වෙන්නේ නැහැ...”

රාසික් බේරාගත් බොහෝ දෙනා ගඟට පනින ලද අයයි. ගඟට වීසි කරන ලද පුද්ගලයන් පස්-හය දෙනෙකු බේරාගෙන තිබෙන ඔහු එම අත්දැකීම මෙසේ විස්තර කළේය.

“1988 භීෂණ කාලේ පේරාදෙණියෙ පාලම උඩට තරුණයන්ව ගෙනල්ලා ගඟට වීසි කරනවා. ඒ අයට හොඳටම පහර දීලා තමයි ගඟට දාන්නේ. සමහර අයගේ ඔළුව නැහැ. සමහර අයගේ අත්පා නැහැ. වතුරට දාන්න කලින්ම ඒ අයව මරනවා. දවසක් තරුණයෝ හතර දෙනෙක් පාලම යට වැටිලා හිටියා. මම ගිහින් බලන කොට ඒ අයට පණ තිබුණා. ගහලා වතුරට දානකොට පාලම යට වතුර නැති තැනකට වැටිලා. මම ඒ අයව ගොඩට ගෙනත් රෝහලට අරන් ගියා. ඊට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ...”

මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට ගොස් මුහුණ දුන් අපූරු සිදුවීම් රැසකින් රාසික්ගේ ජීවිතය පිරී තිබේ.

“දවසක් පාලම උඩ මිනිස්සු කෑගහනවා ඇහිලා මම ගඟ දිහා බැලුවා. මනුෂ්‍යයෙක් ගඟේ දඟලනවා වගේ දැක්කා. මම දෙවරක් නොහිතා ගඟට පැනලා මනුස්සයව ගොඩට ගෙනාවා. ගොඩට ගෙනාපු ගමන් පොලීසිය ඇවිත් මිනිහව අල්ලාගත්තා. බලන කොට මිනිහා පොලිසියෙන් බේරිලා පැනලා යන්න ගඟට පැනලා තියෙන්නේ. ඒ මනුස්සයා මට බැණ බැණ තමයි එතනින් ගියේ!

“මං කැමතියි මගේ පුතා මා එක්ක ඇවිත් මේ වැඩේ ඉගෙනගන්නවා නම්. මොකද මං මැරුණ දවසක මේ ග‍ඟට වැටෙන අය බේරාගන්න කවුරු හරි ඉන්න ඕනෑ. ඒත් ප්‍රශ්නේ දැන් ගඟත් මිනිස්සු වගේ හිටි හැටියේ දරුණු වෙනවා. ඉස්සර එහෙම නැහැ. අපේ දරුවෝ වැල්ලෙම නැටුවේ නැහැ. පුතාට අනතුරක් වුණොත් මම ජීවත් වෙලා වැඩක් නැහැ. මට ජීවිතේ කියා දුන් මේ ගඟ නිසා මට මේ ලෝකේ දරුණුම පීඩාව ලැබුණොත් මං මේ ගෙවපු ජීවිතේ තේරුමක් නැති වෙනවා මහත්තයෝ...” යැයි රාසික් පැවසුවේ දිය යට සිට ගොඩට පැමිණ හෙළන සුසුමකටත් වඩා දිගු සුසුමක් හෙළමිනි.

ඡායාරූප - රුවන් මීගම්මන

Comments