භික්ෂුව සහ දේශපාලනය: කැප ද? අකැප ද? | සිළුමිණ

භික්ෂුව සහ දේශපාලනය: කැප ද? අකැප ද?

ලාංකීය වාමාංශික දේශපාලන පක්ෂවල ආරම්භයේ සිටම භික්ෂූහු දේශපාලනයේ ක්‍රියාකාරී වූහ. ලංකා කොමියුනිස්ට් පක්ෂය 1943 පිහිටුවාගත් අවස්ථාවේ එහි ආරම්භක සභාපතිවරයා වූයේ උඩකැන්දවල සරණංකර නාහිමිය. භික්ෂූන් සංවිධානාත්මකව විශාල වශයෙන් පක්ෂ දේශපාලනයට සම්බන්ධ කරගත් වාමාංශික දේශපාලන පක්ෂය වන්නේ, 1965 බිහි වුණු ජනතා විමුක්ති පෙරමුණය.

භික්ෂුව දේශපාලනයේ නිරත විය යුතු ද යන කරුණ සම්බන්ධයෙන් නිරන්තර සමාජ කතිකා ගොඩ නැගෙයි. ඇතැම්හු භික්ෂුව ක්‍රියාකාරී දේශපාලනයෙන් තොර විය විය යුතු බව පවසති. නිරන්තරයෙන් දේශපාලන කරළියේ මතු වන මේ මාතෘකාව සම්බන්ධයෙන් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන ස්වාමීන් වහන්සේ සහ මෙරට විද්වත් භික්ෂූන් වහන්සේ මේ භික්ෂු දේශපාලනය පිළිබඳ විවිධ අදහස් පළ කරති.

මෙරට සමස්ත භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 40,595කි. ඉන් උපසපන් භික්ෂූන් සංඛ්‍යාව 19,580 වන අතර සාමණේර භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 21,015කි. මේ සියලු භික්ෂූන් වහන්සේ ශ්‍රීී ලංකාවේ ප්‍රධානතම නිකාය තුනක් යටතේ පිළිගත් පාර්ශ්ව 32කට පමණ අයත් වෙති. එමෙන්ම දසසිල් මාතාවෝ 2,168ක් දිවයින පුරා සිටිති.

මේ අතරින් භික්ෂූහු සුළු පිරිසක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙති. අතීතයේ පටන් භික්ෂුව සහ රාජ්‍ය පාලනය අතර ඉතා කිට්ටු සම්බන්ධයක් පවතී. එයට හේතුව එදා පටන් රාජ්‍යත්වයට පත්වන රජු සියලු කාර්යයන්හිදී භික්ෂුව සහ බෞද්ධ ධර්මය පෙරදැරි කරගත් බෞද්ධ සම්ප්‍රදායක් මෙරට ස්ථාපිත කළ බැවිනි.

 

වත්මන් දේශපාලන ක්‍රමයේ වෙනස් වීමත් සමඟ ඇතැම් භික්ෂූන් ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයේ නිරත වෙමින් ඍජු ව ම දේශපාලනයට අවතීරණ වන අවස්ථාද විය; වෙමින් පවතී. භික්ෂූන් වහන්සේ භික්ෂූත්වය ආරක්ෂා කරගනිමින් ගෞරවනීය ලෙස රට ජාතිය ආගම විනාශ වන අවස්ථාවන්වලදී නොබියව පෙරමුණ ගත් බව ඉතිහාසයේද සඳහන් වෙයි. රට කරවන පාලකයන්ගේ බලයට වඩා ඉහළින් බලයක් භික්ෂූන් වහන්සේට ඉතිහාසය විසින් ‍ගොඩනැඟී තිබුණි. මේ, ඒ පිළිබඳ විද්වත් භික්ෂූන් වහන්සේ කිහිප නමක් සමඟ කළ සංවාදයකි.

මහ වන මැද ‍ බවුන් වඩන යතිවරයකුටවත් දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්න බෑ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි 
- කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා සහ පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශය

පක්ෂ දේශපාලනය සහ ජාතික දේශපාලනය කියලා දේශපාලනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහිදි පක්ෂයක් ජයග්‍රහණයක් කරවීම උදෙසා තමයි පක්ෂ දේශපාලනය කරන්නේ. පක්ෂයක් කියනකොට ඒ පක්ෂයට තවත් පක්ෂ ගොඩාක් අයිතියි. රටක් ලෙස ගතහොත් ශ්‍රී ලංකාවට ආවේණික විවිධ මතවාද පමණක් මතු කරගත් පක්ෂ ගොඩක් ති‍ෙයනවා. එහිදී ජාතික දේශපාලනය කියන්නේ රටට වටින, රට විතරක් ඉලක්ක කොට කරගත් දේශපාලනයක්. එය පක්ෂ දේශපාලනයට මඟ පෙන්වන මාර්ග දර්ශකයක්. පක්ෂ දේශපාලනයෙන් තමයි මන්ත්‍රීවරුන්්‍ තෝරාගනු ලබන්නේ. මන්ත්‍රීවරුන් තෝරා ගන්නා සංයුතියෙන් තමයි අපි ජාතික දේශපාලනය ක්‍රියාවට නැංවිය යුතු වන්නේ. ‍භික්ෂුන් වහන්සේ කළ යුතු වන්නේ ජාතික දේශපාලනයයි. එකී ජාතික දේශපාලනය යනු පක්ෂ දේශපාලනයේ පුරෝගාමී මාර්ග දර්ශකයයි. එහිදී භික්ෂූන් වහන්සේගේ තත්ත්වයත්; රට සහ ජාතියේ තත්ත්වයත්; දේශපාලනයේ තතත්වයත් පාරිශුද්ධ නිවැරදි විනිවිද පෙනෙන සුලු විය යුතුයි. පක්ෂයකට සිමා වුවහොත් පක්ෂ නායකයාගේ සාමාජිකයෙක් බවට නිතැතින්ම පත්වෙනවා. සාමාජිකයෙක් වෙනවා කියන්නේ භික්ෂූන් වහන්සේගේ භූමිකාව වෙනස් වෙනවා. රට ගැන හිතනවා වෙනුවට පක්ෂයේ ව්‍යවස්ථාව ගැන සිතන්නට වෙනවා. භික්ෂූන් වහන්සේ පෙනී සිටිය යුතු වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා මිසක පක්ෂ ව්‍යවස්ථාවක සාමාජිකයකු වීමට නොවෙයි. මම කල්පනා කරන විදිහට භික්ෂුවගේ කාර්යය භාරය එයයි. බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය සහ ජාතියේ සභ්‍යත්වය ආරක්ෂා කරගැනීම; සභ්‍යත්වය‍ට හිමි උරුමය ආරක්ෂා කරගැනීම; වර්ග කිලෝමීටර් හැට පන්දහස් හයසිය තිස් දෙකක මේ බිම ආරක්ෂා කරගැනීම; එකී ‍බිමේ ජිවත් වන සියලු ජාතීන් සුවදායිව ජිවත් කරවීම; ඒ වගේම අතීත උරුමයේ සභ්‍ය ජීවන රටාව මේ මහ පොළව මත රැක ගැනීම කියන කාරණා සියල්ල සාක්ෂාත් කරගත හැක්කේ එකී දේශපාලනයේ මාර්ග දාර්ශකයකින් පමණයි. ඒ වගේ ම පක්ෂ දේශපාලනයට උඩින් හිටියොත් විතරයි. එකී ජාතික දේශපාලනය යටතේ ධර්මය, රට, ජාතිය, ආගම සියල්ල සුරක්ෂිත වන බව නිසැකයි. කෙටියෙන්ම කියනවා නම් හැමදාම කියනවා වගේ බුදු රජුන් ගේ දේශනාව නැමැති කසාය ආරක්ෂා කරගත හැක්කේ රට නැමැති මුට්ටිය ආරක්ෂා කරගැ‍නීමෙන් පමණයි. භික්ෂුව‍ උප්පැන්න සහතිකයේ ඇති නම ක්‍රම දෙකකට වෙනස් කරගන්නවා. සාමාන්‍යයෙන් තාත්තාගෙන් පෙළපත් නාමය වෙනු‍වට රටින් නමක් ගන්නවා; අම්මාගෙන් ආව ආදරණීය නාමය වෙනුවට බුදු හාමුදුරුවන්ගෙන් නමක් ගන්නවා. එහි සංකේතය තමයි රට වෙනුවෙන් සහ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් අපි කැප වෙන්නට ඕන කියන එක. හමන සුළඟත් දේශපාලනික නම්; මහපොළවේ සෑම වැලිකැටයක් ම දේශපාලනික නම්; සාමාන්‍යයෙන් මානවයා ‍දේශපාලනික සත්ත්වයෙක් නම්; භික්ෂුන්වහසේ ද මානවයෙක් නම් එයින් මිදී වෙන්ව වියුක්ත ජිවිතයක් තියෙන්න විදිහක් නැහැ. මහ වන මැද ‍බවුන් වඩනා යතිවරයකුටවත් දේශපාලනයෙන් තොරව ජීවත් වීමේ හැකියාවක් නැහැ. මම කතා කරන දේශපාලනය එයයි.

භික්ෂුව පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය නැහැ 

- මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි 
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති

දේශපාලනය කියන්නේ දේශයක් පාලනය කිරීමක්. ඒ දේශය පාලනය කිරීමේ අයිතිය මේ රටේ භික්ෂූන් වහන්සේට තියෙනවා. එය පක්ෂ දේශපාලනය නෙමෙයි; යහ පැවැත්මක්. යහපත් ආර්ථිකයක් ඇතිකිරීමට; යහපැවැත්මක් ඇති කිරීමට ඉතිහාසය විසින් අයිතියක් ලබාදී තියෙනවා; එයට දේශපාලනය කියලා කියනවා. භික්ෂූන් වහන්සේලා කිසියම් පක්ෂයකට සහය දක්වනවා නම් ඒ පක්ෂය මා ඉහත කියන ලද පරමාර්ථ ඔස්සේ ගමන් කරන්නේ එය පක්ෂ දේහපාලනය නොවෙයි. පාර්ලිමේන්තුවට භික්ෂුව යන්න අවශ්‍ය නැහැ. එතනට වඩා හුඟක් උසස් තැනක තමයි භික්ෂුන් වහන්සේ ඉන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය නැහැ. භික්ෂුව තමයි මහරජවරුන්ට, මහ අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේ; රට පාලනය කරන ආකාරය ගැන භික්ෂුවට දේශපාලනයට ඍජු ව ම සම්බන්ධ වෙන්න පුළුවන්; මම කියන්නේ මේ දහජරා‍ දේශපාලනය නොවෙයි. ඍජුව සම්බන්ධ වෙන්නේ උපදෙස් දෙන්නයි. එසේ කීර්තිමත් ඉතිහාසයක් අපිට තියෙනවා.

භික්ෂූන් ලෙස අප පක්ෂග්‍රාහී නොවිය යුතුයි

- කෝට්ටේ ශ්‍රී නාග විහාරවාසි කොටහේනේ නාරද හිමි 
ත්‍රෛනිකායික තරුණ භික්ෂු සම්මේලනයේ කැඳවුම්කරු

 ඇත්තව‍ශයෙන් ම ඉතිහාසයේ සිට ගත් විට භික්ෂුව දේශපාලනයේ නියැළීම සම්බන්ධයෙන් සලකා බලන විට රටේ රාජ්‍යත්වයේ අර්බුද කාරි තත්ත්ව උද්ගත වූ සෑම අවස්ථාවකදි ම භික්ෂුව පෙරමුණ ගත්තා. රජවරුන්ට උපදෙස් දීම පමණක් නොවෙයි; ඇතැම් අවස්ථාවලදී ඉතිහාසය ගත් විට සිවුරු ඇරලා රටේ රජකම පවා අරගෙන රට බේරාගත් අවස්ථා වගේම යුද්ධයට ගිය අවස්ථාත් අපේ ඉතිහාසයේ තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලාංකීය දේශපාලනය තුළත් භික්ෂුව සුවිශාල කාර්යය භාරයක් ඉටු කළා. 1818 දී කැරැල්ල, 1815 උඩරට ගිවිසුම සිංහල ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළා. අපේ සිංහල නොවන භික්ෂූන් වන ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැනි භික්ෂූන් පවා රට පරදේසින් ගෙන් බේරා ගැනීම උදෙසා ජාතිකත්වය වෙනුවෙන් කතා කළේ. ශාසන මාමකත්වය ජාතිය තුළ තිබුණ නිසා පසුකාලීනව ගත්තත් අපේ රටේ අර්බුදකාරී සෑම අවස්ථාවක ම භික්ෂුව පෙරමුණ ගත්තා. පසුගිය තිස්වසරක කාලයේදී මේ රටේ ත්‍රස්තවාදය නිසා ජනතාව පිඩා විඳින විට යුද හමුදාවට තරුණයන් එන්නේ නැතිවෙන අවස්ථාවලදී ඒ සඳහා තරුණයන් කැප වුණා සිවුරු ඇරලා යුද්ධයට ගිය අවස්තා අපිට ඉතිහාසයේ පුරා දකින්නට ලැබෙනවා. ඒ ‍වගේ ම එදා අපේ රටට විරුද්ධ ව ගිවිසුම් ගේන විට ඒ සඳහා භික්ෂු පෙරමුණ ගත්තා. වර්තමාන රජය දෙස බැලු විට ගෝඨාභය මහතා බලයට ගෙන ඒම උදෙසා ඇප කැප වී කටයුතු කළා. 2015 මහතා පරාජයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා යළිත් දේශපාලනයට කැඳවා ගැනීමේ ප්‍රමුඛ කාරණාව ඉටු කිරීමට පළමුවැනියට ම කතරගම කිරි වෙහෙරේ පුජාව තියලා අපි තමයි ආරම්භ කළේ. ඒ අනුව තමයි රට පුරා භික්ෂූන් වහන්සේ සංවිධාන ගතවෙලා රට පුරා විහාරස්ථාන වල බෝධි පුජා පවත්වමින් එතුමා නැවත මේ රටේ නායකත්වය කරා ගෙන ඒමට පෙරමුණ ගනිමින් සන්නද්ධ වුණේ ශ්‍රී ලංකීය භික්ෂුව විසිනුයි. ඒ වැනි භික්ෂු දේශපාලනයක අපි හැමවෙලාවෙම ඉන්නවා. නමුත් අපි අකමැති භික්ෂුව පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෝ ඒ භික්ෂුවගේ කාර්යය භාරයට එහා ගිහින් දේශපාලඥයකුගේ කාර්යය භාරයට යන එක සම්බන්ධයෙන්. අපි විරෝධය දක්වන්නේ පක්ෂවල සාමාජිකත්වය අරගෙන දේශපාලනයේ නිරත වීම සම්බන්ධවයි. රටට හිතැති රටේ ජාතික කාර්යයකදී භික්ෂුව පෙරමුණ ගත යුතුයි. භික්ෂුවගේ දේශපාලනය කියන කාරණාවේ දි භික්ෂුව දේශපාලඥයකු වීම කියන්නේ වෙනත් කාරණාවක්. කිසි‍විටක අපි භික්ෂූන් ලෙස පක්ෂ ග්‍රාහී නොවිය යුතුයි. බුදු රජාණන් වහන්සේට පමණයි පක්ෂ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇත්ත ඇති සැටියෙන් දකින්න කියල. ඒ නිසා ඒ ඇත්ත තුළ අපි හිටගන්න ඕන. අපි දැක්කා සමහර භික්ෂූන් පාර්ලිමේන්තු ගියා. නමුත් රටට වුණු දෙයක් නැහැ. ඊට වඩා කර්යයක් ජාතික දේශපාලනයේ නියැලුණු අය කළා. එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට අපේ භික්ෂුන් අරගල කළා. භික්ෂුව නොබිය ව ඉදිරියට අාවා. භික්ෂුවගේ කාර්යය භාරය අපි තේරුම් ගත යුතුයි. එය නොදන්නේ නම් වල්පොල රාහුල හිමිගේ පොතේ තියනවා; භික්ෂුව දේශපාලනයේ නිරතවිය යුතු ආකාරය.

වරප්‍රසාද ලබාගන්න දේශපාලනය කරන එක සුදුසු නෑ

- මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමි 
පුරාවිද්‍යා චක්‍රවර්තී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

දේශපාලනය කිව්වා ම වර්තමාන දේශපාලනේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් රට, ජාතිය, ආගම රැක ගැනීම උදෙසා කරනු ලබන දේශපාලන ක්‍රියාවලිය; අනෙක් කාරණාව රට පාලනය කරන්න කියලා පාර්ලිමේන්තුවට පැමිණිලා මිනිස්සු රවටමින් හරි හම්බ කරන ජරා දේශපාලනය. අපේ රටේ ‘භික්ෂු දේශපාලනය‘ කියන කාරණාව වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේදී නොවෙයි; රාජාණ්ඩු ක්‍රමය පැවැති කාලයේදීත් ලංකාවේ තිබුණා. භික්ෂූන් වහන්සේ භික්ෂූත්වය ආරක්ෂා කරගෙන ගෞරවනීය ලෙස රට ජාතිය ආගම විනාශ වන අවස්ථාවලදී ඉදිරිපත් වෙලා; පාලකයන්ට ඒ පිළිබඳ ව කරුණු පැහැදිලි කරලා දීලා; පාලකයන්ගේ බලයට වඩා ඉහළින් යන බලයක් උන්වහන්සේ ගොඩනඟලා; රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනීමේ කර්තව්‍ය අතීතයේ සිට ම භික්ෂූන් වහන්සේ කළ යුතු කාර්යයක් බවට පත් වෙලා තිබුණා. එය දේශපාලන ඉතිහාසය, වර්තමාන‍ය, අනාගතය කියන කාල ත්‍රිත්වයේදී ම කළ යුතුයි. එසේ නැතිව අපි කිසියම් දේශපාලන පක්ෂයකට ගැතිවෙලා ඕනෑම නරක වැඩක් අනුමත කරමින් වාසිය උදෙසා කරන දේශපාලනයට මම කැමැති නැහැ. ඒ කියන්නේ භික්ෂුව ලාබ, ප්‍රශංසා බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් කළේ නැහැ. දේශපාලනය කළේ රට, ජාතිය, ආගම ආරක්ෂා කරගැනීමටයි. ඒ අර්බුදය ඉවර වුණාට පස්සේ පුරුදු ආකාරයට ම බණ භාවනා කරමින් භික්ෂූත්වය ආරක්ෂා කරමින් කටයුතු කරනවා. එබදු දේශපාලනයක් නොවෙයි අද තියෙන්නේ. වැඩිදෙනාගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ බලයට එන්න ලාබ, ප්‍රශංසා ලබා ගැනීමටයි. පහත් අදහස් වලට තමයි; අද බොහෝ අය දේශපාලනය කරන්නේ. ඒ නිසා තමයි භික්ෂූත්වයට නොගැළපෙන ක්‍රියාවලි භික්ෂූත්වය තුළ අද සිදු වෙන්නේ. මා පෞද්ගලිකව 1955 සිට දේශපාලනය කළා. අපි කවදාවත් දේශපාලනයට සම්බන්ධ වෙලා හිටියාට අල්පෙනෙත්තක දෙයක් ලබා ගෙන නැහැ. ත්‍රස්තවාදය ආරම්භ වූ වකවානුවේ සිට ජාතික මට්ටමේ මෙහෙය වීමක් කළා. අපි සම්පූර්ණයෙන් පුරාවිද්‍යා ගවේෂණ කරමින් මාධ්‍ය හරහා දැනුම්වත් කිරීමක් කළා. ඉන්පසුව භික්ෂූන් වහන්සේ එක අරමුණකට අර‍ගෙන රට, ජාතිය, ආගම රැක ගැනීමට ඇති බාධක දුරලා, ත්‍රස්තවාදය මැඩලීමට මෙහෙයවූවා. අන්තිමට ගිහි පිරිස සහ පැවිදි පිරිස අතරින් යෝජනාවක් ආවා, අපි දේශපාලනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් මේ සඳහා හඬක් නඟමු කියලා. මම හය වැනි වතාවටත් එයට විරුද්ධ වුණා. ඉන්පසුව හත්වැනි වතාවට තියන ලද සාකච්ඡාවේදී බොහෝ කරුණු පැහැදිලි කරලා දුන්නා. දේශපාලනයට සම්බන්ධ භික්ෂුවගේ කාර්යය භාරය කවරේද කියලා මමත් කල්පනා කරලා තියෙනවා. එසේ නම් ත්‍රස්තවාදය පරාජයට පමණක් සහය දෙන්න; රට, ජාතිය, ආගම වැනි කටයුතු වලදී මේ වාරයට පමණක් පාර්ලිමේන්තුවට යනවා කියන අදහසින් මම ඉදිරිපත් කළා. එයින් පසුව හෙළ උරුමය පිහිටවලා ඡන්දයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුට ගියා. එදා ඒ කාර්යය අපි ඉටු කළා. මම පෞද්ගලිකව කිසිදු වරප්‍රසාදයක් අරගෙන නැහැ. ඒ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා පාර්ලිමේන්තුවේ නඟපු හඬ ත්‍රස්තවාදීන්ගේ දෙමළ නිජබිම් සංකල්පය මැඬලන්න හේතු වුණා. අපි මේ රට බේරා ගැනීමට ශක්තිය ලබා දුන්නා. අන්‍ය සංස්කෘතියට අපි විරුද්ධ නැහැ; නමුත් මේ රට සිංහල බෞද්ධ රටක්. ඒ තුළ ජීවත්වෙන අන්‍ය සංස්කෘතීන්ට අයත් අයට අපි ගරු කළ යුතුයි. ඒ අයගේ අයිතීන්වලට අපි විරුද්ධ නැහැ; හැබැයි රට බෙදීමේ කාර්යයට අපි විරුද්ධයි කියලා අපි සත්‍ය වටහලා දුන්නා. ඒ ශක්තිය හේතු වුණා යුද ජයග්‍රහණයට. ඉන් පසුව දෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවට යන්න අපිට හැකි වුණා. පාදඩ දේශපාලනයට අප සම්බන්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තුවට ගියත් අපි ආචාර සමාචාර අනුව ජීවත් වුණා. පාර්ලිමේන්තුවට භික්ෂුව එනවාට මම කැමැති නැහැ; මා විරුද්ධයි. ඒ පවතින අවස්ථාවේ හැටියට දේශපාලනයට ආයුතු වෙලාවන් තියෙනවා. ගිහියන් වගේ නිතරම රැඳිලා දේශපාලනය කිරිම ‍නොවෙයි. එය අපි ප්‍රතික්ශේප කළ යුතු යි. ශාසනික වශයෙන් සලකා බැලූ විට මෙය පරිහානියට හේතු වන කාරණාවක්. ධර්මයට අනුව සත්‍යව ක්‍රියා කරන්නට අනුබල දෙන්න කියලා මම අදහස් කරන්නේ. රට ජාතිය ආගම රැක ගැනීමේ දේශපාලනය මිසක රට පාලනය කිරීමට වෙනත් වරප්‍රසාද ලබාගැනීමට සඳහා කරනු ලබන දේශපාලනයක් කිසිසේත් උචිත වෙන්නේ නැහැ.‍

අපේ බැඳීම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් පමණයි

- බද්දේගම සමිත හිමි 
බද්දේගම ශ්‍රී පාද චෛත්‍යාරාමාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

මේ රටේ භික්ෂුව ‍ දේශපාලනයට අවතිර්ණ වෙලා තියෙන්නේ; රටේ, ඉතිහාසයේ, අවශ්‍යතාව අනුවයි. යටත් විජිතවාදයට විරුද්ධව, අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ,ව නිදහස් අර‍ගලවලදි පෙරමුණ ගෙන කටයුතු කර තියෙනවා. මේ අනුව ජනතාවගේ අවශ්‍යතාවකට අනුව මිසක් භික්ෂුවගේ අවශතාව අනුව භික්ෂුව දේශපාලනයට ආවේ නෑ. අද වෙන විටත් මේ රට විශාල අහේනියකට පත්වෙලා තියනවා. මිනිස්සු ප්‍රශ්න කතා කරන්නේ ජනතාවට වඩා සමීපව ඉදිරිපත් කරන්නේ භික්ෂූන් වහන්සේට. ඇති නැති පරතරයෙන් දුක් විඳින මිනිසුන්ගේ දුක කියන්නේ භික්ෂුන්ටයි. මේ වර ස්විට්සර්ලන්තයේ පැවැති ලෝක රාජ්‍ය නායක සමුළුවට ඔක්ෂෑම් කියන ආයතනය ඉදිරිපත් කරපු වාර්තාව කියවද්දි අපිට තේරුම් ගන්න පුළුවන්; ඇති නැති පරතරය වැඩිවෙලා තියනවාද කියලා. ලෝකයේ මුළු ජනගහනය සතු ධනය සමානයි. බිලියනපතියන් දෙසිය පනස් තුන් දෙනකු සියයට හැටක ධනය හිමි කරගෙන තියෙනවා. මේ තත්ත්වය උඩ පීඩාවට පත්වන ජනතාව අනිවාර්යයෙන් අපට දුක කිව්වාම අපිට රටේ පාලකයන් සමඟ එ් සම්බන්ධයෙක් කතා කරන්න ඍජු සම්බන්ධතා තිබිය යුතු යි. අපිට සිද්ධ වෙනවා කිසියම් ජනතා බලයක් අරගෙන ඒ ජනතාවගේ ප්‍රශ්න අඳුන ගෙන ඒ පාලකයන්ට කියන්න. හාමුදුරුවෝ අනුශාසනා කරනවා කියලා කිව්වාට; ඒ හාමුරුවන්ගේ අනුශාසනා කවුරුත් පිළිගන්නේ නැහැ. බලයක් ඇතිව කියන්න නම් ජනතා බලයක් අපිට තිබිය යුතුයි. උදාහරණයක් ලෙස මා ගාලු දිස්ත්‍රක්යේ කළ සේවාව කිසිදු කෙනෙක්ට කරන්න බැහැ; රාජ්‍ය බලය සමඟ සම්බන්ධ නොවුණා නම්. සියලු දෙනා නොවෙයි මේ විෂයයට කැමැත්ත දක්වන; ජනතාව‍ගේ දුකට ඇහුම් දෙන භික්ෂුවක් ජනතාවගේ අවශ්‍යතාව සැපිරීමට ක්‍රියා කිරීම සාධාරණ ක්‍රියාවක් කියලා මම හිතන්නේ. එයට දේශපාලනය සහ සමාජ සේවය කියලා කියන්නට පුවවන්. නමුත් කරන්නේ ජනතාගේ දුකට ඇහුම් කන්දීලා ඒවාට සුදුසු පිළියම් යෙදීමට පාලක අවධානය යොමු කළ යුතුයි. අපේ බැඳීම තියෙන්නේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් පමණයි.

දේශපාලනය සියලු ජනතා සුබසිද්ධියට විය යුතුයි

- මාපිටිගම විමලසාර හිමි 
රත්මලාන පරමධම්මචේතිය මහ පිරිවෙන් විහාරාධිපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති

 මෙහිදී මා පැහැදිලි කිරීම් දෙකක් සිදු කළ යුතුයි. ‍ලෝකයේ අන්තර්ජාතික වශයෙන් භික්ෂුවට දේශපාලන භූමිකාවක් තියෙනවා. දලෙයි ලාමා තමන්ගේ රට නිදහස් කරගැනීමට මුළු ලෝකයේ ම දේශපාලන මතවාදයක් ගොඩනැඟුවා. එය උසස් දේශපාලනයක්. තායිලන්තය, බුරුමය වැනි රටවල භික්ෂුව දේශපාලනයේ නිරත වෙනවා. පරිපාලන කටයුතු උදෙසා දේශපාලන කටයුතු වල නිරත වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ භික්ෂුව ඊට වඩා ඉහළින් දේශපාලන ව්‍යුහයක් මත ක්‍රියාත්මක වෙනවා. දේශපාලනයෙන් රටේ ශක්තිමත් බව, ජනතා‍වගේ දියුණු ව ගැන කතා කරනවා. සමස්තයක් ලෙස ගත් විට මුළුරටම දියුණුවිය යුතුයි. අපි මෙහිදී ලෝක දේශපාලනය ගැන කතා කරලා ඉන් අනතුරුව ලංකාව ගැන සලකා බැලිය යුතුයි. දේශපාලනය ගැන කතා කිරීමේ දී ලංකාව ගැන කතා කරනවා ද; එසේ නොමැති නම් ලෝකය ගැන කතා කරනවා ද කියන තර්කය මෙහිදී වැදගත්. භික්ෂුව කියන්නේ ලංකාවට පමණක් අයිති කෙනෙක් නොවෙයි; දේශපාලනය කියන්නෙත් ලංකාවට විතරක් අයිති දෙයක් නොවෙයි. භික්ෂුව දේශපාලන‍යේ නිරත වීම එක ජන කොට්ඨාසයකට, එක ආගමකට පමණක් සිමා කර කතා කිරීමට නොහැකියි. ජනතාවගේ සුබ සිද්ධිය රටේ ආරක්ෂාව පිණිස මේ කියන උසස් මාතෘකා යටතේ භික්ෂුව ඉදිරිපත් වුවාට ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවට යන භික්ෂුව පාර්ලිමේන්තුවේ සිට සමස්තයක් ලෙස පොදුවේ ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ස්වාමීන් වහස්සේ හෝ අනෙකුත් ආගමික නියෝජිතයන් ජනතා සුබ සිද්ධිය උදෙසා කටයුතු කළ යුතුයි. විශේෂයෙන් බෞද්ධ ධර්මය අනුව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා පෙරදැරි කරගෙන භික්ෂුව විසින් කටයුතු කළ යුතුයි. ලෝක දේශපාලනය සලකා බැලීමේදී දලයි ලාමා, ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි වැනි භික්ෂූන් රට, ජාතිය නිදහස් කරන්න ක්‍රියා කළ අාකාරය සලකා බැලීමේ දි ටිබෙටය නිදහස් කරන්න ඒ භික්ෂුව පෙරමුණ ගෙන කටයුතු කළා. භික්ෂුන් වහන්සේ එක් ආකල්පයක් මත සිටිමින් දේශපාලනයේ නිරත වීම වැරදි ‍දේශපාලනයේ නිරත වෙනවා නම් සමස්ත සියලු ජනකොටස් වෙනුවෙන් කටයුතු කළ යුතුයි. පක්ෂ දේශපාලනය කියලා කියන්නේ පටු ප්‍රශ්නයක්. පක්ෂයකට සිමා වන විෂයයක් නොවෙයි දේශපාලනය. එය ඉතා පුළුල් මාතෘකාවක්.

Comments