අවිස්සාවේල්ල පතලේ මාරයාගේ කතා වස්තුව | සිළුමිණ

අවිස්සාවේල්ල පතලේ මාරයාගේ කතා වස්තුව

- පතලට බැස ඇත්තේ කුකුළන් බේරා ගැනීමටයි

පසුගිය මස අසර්බයිජානයේදී මෙරට සිසුවියන් තිදෙනෙකු මරණයට පත්වූයේද විෂක් ආඝ්‍රාණය වීමෙනි. එම සිසුවියන් තිදෙනාගේ මරණ සිදුවී මසක් ගතවීමටත් මත්තෙන් තවත් එලෙසම විෂ ආඝ්‍රාණය වීමකින් ඛේදවාචකයක් වාර්තා වන්නෙ අපේ රටේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙනි.

එසේ පසුගිය දෙවැනිදා රාත්‍රියෙහි අවිස්සාවේල්ල මාලිගාව මාවතෙහි නිවෙසක් අසල පිහිටි මැණික් පතලකට බැසීමට ගොස් විෂ ආඝ්‍රාණය වීමෙන් මරණයට පත්වූ තිදෙනා ගැන ගෙවි ගිය සතියේ රටම කම්පාවට පත්වූයේය.

පසුගිය පස්වැනිදා අවිස්සාවේල්ල මාලිගාව මාවත නුගේවත්තට යන-එන මාර්ගය ඇතුළු ප්‍රදේශ සුදු කොඩිවලින් සැරැසී තිබුණේ සිදුවූ ඛේදවාචකයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයම කම්පාවට පත්කරවමිනි. නුගේවත්ත සහ අවට ගම්මු මෙන්ම අවිස්සාවේල්ලේ බොහෝ පාසල් දරුවන් නුගේවත්ත මාර්ගයේ එක පෙළට ගමන් කළේ කුෂාන්, අසංක සහ දිනුෂගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමටයි.

අවාසනාවන්ත ලෙස පතලෙහි මියගොස් සිටියේ 28 හැවිරිදි අසංක රාජපක්ෂ, 26 හැවිරිදි කුෂාන් ධනංජය ලේකම්ගේ සහ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලෙහි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දිනුෂ ලක්ෂාන් චන්ද්‍රසිරි සිසුවායි. අසංක සහ කුෂාන් පෑස්සුම්කරුවන් ලෙස එක්ව රැකියාව කළ අඹ යහළුවන් දෙදෙනෙකි.

තිදෙනාගේ අවමංගල්‍ය සිදුවූ පසුගිය පස්වැනිදා එම නිවෙස් කරා ගිය අපට දක්නට වූයේ නුගේවත්ත අවට සියලු ජනයාගේ ශෝකාලාපයයි. 

ඒ අතර දිනුෂගේ මව නීතා ප්‍රියදර්ශනී විලාප දුන්නෙ සිය වැඩිමහලු පුත්‍රයාට මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් සිදු නොවේවායි පතමිනි. දරුවන් සිවුදෙනෙකුගේ මවක වන නීතාගේ එක් දරුවකු ආබාධිත තත්ත්වයෙන්ද පෙළේ.

එම දරුවාට දෙමාපියන් නිවෙසේ නොමැති විටදී සියලු ආවතේවකර බලාකියාගත්තෙ දිනුෂ බව සිහිපත් කරමින් තම පුත්‍රයාට අත්වූ ඉරණම ගැන නීතා මහත්මිය හඬ අවදි කළේ හැඬු කඳුළින් යුතුවය.

“මායි මහත්තයයි ගෙදර නැති වෙලාවට බාල දරුවෝ බලාගත්තෙ මගේ ලොකු පුතා. එදා මං ගෙදර උයමින් හිටියේ. කෙනෙක් දුවගෙන ඇවිත් කෑගහගෙන ගියා අසංක අයියා ළිඳකට වැටිලා කියලා. ඒ වෙලාවේ මගේ ලොකු පුතා දිනුෂ ළඟ ගෙදරක කැරම් සෙල්ලම් කරමින් ඉඳලා තියෙන්නෙ. පස්සෙ එයත් ඒ ආරංචියට එතැනට දුවලා. ඒ ගිහින් මගේ පුතත් බැහැලා පතලට. ඊට පස්සෙ තමයි ඔය දේ වෙලා තියෙන්නෙ... අනේ මගේ අසරණ දරුවට වුණ දේ” ඇයට තවත් කතා කිරීමට නොහැකි වූයේ දුක වාවාගත නොහැකිව හඬා වැටුණ හෙයිනි.

මියගිය දිනුෂ සහ අසංක යාබද නිවෙස්හි විසූ ඥාති සහෝදරයන්ය. දෙදෙනාගේ දේහයන් තැන්පත් කර තිබුණේද යාබද එම නිවෙස් තුළමය. සහෝදර සහෝදරියන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ අසංක විවාහකයෙකි. වයස අවුරුදු තුනහමාරක දරු පැටියෙක්ද සිටින අසංකගේ බිරිය ඉරේෂා, සිය දරු පැටියාද තුරුලු කරගෙන ස්වාමියාගේ දේහය ඉදිරිපිට හඬා වැටුණ ආකාරය දකින සැමගේ නෙතඟට කඳුළක් එක්කළේ නිරායාසයෙනි.

තිදෙනාට අකල් මරණ අත්වූ පතල පිහිටා තිබුණේ දිනුෂ සහ අසංකගේ නිවෙස්වලට මීටර් දෙසීයක් පමණ එපිටින් පිහිටි මාලිගාව මාවතෙන් නුගේවත්තට හැරෙන තුංමං හන්දියේ පිහිටි කුෂාන්ගේ නිවෙස පිහිටි ඉඩමේයි. එම ඉඩමෙහි වූ අත්හැර දැමු අඩි 40ක් පමණ ගැඹුරැති එම පතල කුෂාන්ගේ පියා විසින් වෙනත් පුද්ගලයකුට පැවැරීමෙන් කරගෙන ආ බවකි. වසර කීපයකට පෙර එහි වැඩ ආරම්භකර තිබුණත් මීට මාස කීපයකට පෙර වැඩ කටයුතු අත්හැර දමා තිබේ. කුෂාන්ලාගේ නිවෙසෙහි මුළුතැන්ගෙයට අඩි පහක හයක දුරකින් පිහිටි පතල කෙතරම් අනාරක්ෂිතද යන්න එම නිවෙසට ගිය අපටද දිස්විණි.

මුළුතැන්ගෙහි මිදුලෙහි අනාරක්ෂිතව පතල පිහිටා ඇත්තෙ කුඩා දරුවකු වැන්නෙකුට මාරක අනතුරකට අත වනමිනි. කුෂාන්ගේ මාමා කෙනෙකු වන අජිත් කුමාර මහතා අපට සිය දරුවන්ට වූ ඛේදවාචකය ගැන මෙසේ විස්තර කළේය.

“මාසයක පමණ කාලෙක ඉඳලා පතලේ වැඩ කළේ නෑ. මීට පෙරත් මැණික් පතල් කීපයක්ම ඔය ඉඩමේ කැපුවා. මේ අවාසනාවන්ත සිද්ධිය වූ දිනයේ අල්ලපු ගෙදර කුකුළන් දෙන්නෙක් දවල් කාලයේ පතලට වැටිලා. පස්සෙ ඒ දෙන්නා නරක් වෙලා ගඳ ගහයි කියලා අරන් දාන්නයි කුෂාන් පතලට බැහැලා තියෙන්නෙ. ඒ අසංකත් එක්ක වැඩ කරලා ඇවිත් හැන්දෑවේ. අසංකයි කුෂානුයි කියන්නෙ ගජ යාළුවෝ. දෙන්න එකට පෑස්සුම් වැඩ කළේ. කුෂාන් මඳක් පහළට බහිනකොට ඇතුළට වැටිලා කියලා තමයි කියන්නෙ. පස්සෙ අසංකත් බැහැලා කුෂාන් ගන්න. අන්තිමට අසංකටත් ඒ දේම වෙලා. දිනුෂ ඇවිල්ලා බැස්සම ඔහුටත් ඒකම වෙලා කියලා තමයි...”

අවසානයේ තිදෙනාම එලෙස පතලට වැටී සිටින බව තටු ලැබුණ පුවතක් සේ අවට ගම් සිසාරා පැතිරි ඇත. පසුව අසංකගේත්, දිනුෂගේත් ඥාතියෙක් වන සරත් මුණසිංහ මහතා ඇතුළු පිරිස එක්ව ඔක්සිජන් වායුව පතල තුළට යවා තිදෙනාගේ සිරුරු ගොඩගෙන තිබුණේ දැඩි පරිශ්‍රමයක් යොදමිනි. කෙසේ හෝ රාත්‍රි නවය පමණ වෙද්දී තිදෙනාගේ සිරුරු අවිස්සාවේල්ල රෝහලට ගෙන ගියත් කිසිවෙකුට ජීවත්වීමේ වාසනාව නොලැබිණි. එම සිරුරු ගොඩගත් සරත් අපට කීවේ, අවාසනාවන්ත සිදුවීම නැවත නැවතත් සිහිපත් කිරීමට තමන් කැමැති නැති බවත් එවැනි විපතක් සතුරෙකුටවත් සිදු නොවන ලෙසයි.

තිදෙනාගේ සිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවිස්සාවේල්ල අධිකරණ වෛද්‍යවරයා තිදෙනාගේ මරණවලට හේතුව පතලෙන් පිටවූ විෂ වායුවක් ආඝ්‍රාණය වීම නිසා සිදුවූ මරණ බවට නිගමනය කෙරිණි.

තරුණ වයසේදීම තිදෙනාට ඛේදනීය මරණඋරුමවීම පිළිබඳව ගම්මු චෝදනා කරන්නෙ පතල් පිළිබඳ වගකිවයුතු ආයතනය වන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටයි. ඒ පතල් ගැන නිසි අධීක්ෂණයක් නොකොට මෙලෙස අනාරක්ෂිතව නිවෙස් ආසන්නයේ පතල් කැපීමට ඉඩ හැරීම මාරක අනතුරුවලට අත වැනීමක් බඳු වන නිසාවෙනි.

“ඇත්තටම අධීක්ෂණ නිලධාරින් එනවා... නමුත් ඒ අයගේ අධීක්ෂණය කිසිම වැඩක් නෑ. හරියට අධීක්ෂණය වෙලා තියෙනවානම් මේ වගේ විනාශයක් වෙන්නෙ නෑනේ... ගෙවල් ආසන්නයේ මෙලෙස පතල් කැපීමට ඉඩ නොදිය යුතුයි... මෙහෙම අත්හැර දාපු පතල් වහන්න නියෝග කළ යුතුයි...” ඒ කුෂාන්ගේ අවමංගල්‍ය අවස්ථාවට එක්වූ ගම්වැසියෙක් අපට කී කතාවයි.

තිදෙනාගේ මරණයන් පිළිබඳව විමර්ශන සිදුකළ අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විකුම් වීරසේකර මහතා පවසන්නෙ මෙවැනි අත්හැර දැමූ පතල් රැසක්ම අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශයේ තිබෙන බවයි. එය ඉතාම අනාරක්ෂිත තත්ත්වයක් බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කෙරිණි.

“ඒ පතල පිහිටා තියෙන්නෙ ඉතාම අනාරක්ෂිත ආකාරයටයි. නිවෙස් අවට එවැනි පතල් කැණීමට අවසර දීම ඉතාම අවදානමක්. මේවා ගැන සොයා බලන පුද්ගලයන්ගේ අධීක්ෂණය ඉතාම දුර්වල බවයි මෙවැනි සිදුවීම්වලින් පෙන්නුම් කරන්නෙ. මේ මිනිස්සු සෙල්ලම් කරන්නෙ අහිංසක ජීවිත සමඟයි.

බලපත්‍ර සහිත මෙවැනි අනාරක්ෂිත පතල් රැසක්ම මගේ පොලිස් බලප්‍රදේශයේ පිහිටා තිබෙනවා. ඒ පිළිබඳව වහාම පියවරක් ගන්නා ලෙස මම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.”

අප මේ පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් විමසූ කල එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ එම ඉඩමට පතලක් කැපීමට ජූලි මාසය තෙක් බලපත්‍ර නිකුත් කර ඇති බවයි. එහෙත් පතලක් කැපිය යුත්තෙ නිවෙසක සිට අඩි 33ක දුරකින් බවත් මෙකී පතල නිවෙස ආසන්නව කපා ඇත්තෙ කොන්දේසි කඩකරමින් හොර රහසේය. එම නිසා අදාළ ඉඩමට අයත් බලපත්‍රය අහෝසි කිරීමට කටයුතු කරන බව කී ප්‍රකාශකයා පතලක බලපත්‍රය අහෝසි වී මාස දෙකක් ඇතුළත පතල වසා දැමිය යුතු බවත් එසේ නොමැති වුවහොත් ඇප මුදල් ලබා නොදෙන බවයි.

එම ප්‍රකාශකයා පවසන පරිදි පතල කොන්දේසි කඩකොට කපා ඇත්නම් අධිකාරියේ එම ප්‍රදේශයේ අධීක්ෂණ නිලධාරියා මේ පිළිබඳව නිසි ලෙස සොයා බැලීමක් සිදුකර නැති බව ගම්‍ය වේ.

මැණික් පතල්හි විෂ වායු ආඝ්‍රාණය වීම නිසා මීට පෙරද අවස්ථා කීපයකදීම මිනිස් ජීවිත අහිමි වී තිබේ. මීට වසර කීපයකට පෙර නිවිතිගල ප්‍රදේශයේදීත් තිදෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ. එසේම රත්නපුර ගිලීමලේ ප්‍රදේශයේදීද පතලක සේවයෙහි නියුතු සිවු දෙනෙක් මෙලෙසම විෂ වායුවක් ආඝ්‍රාණයෙන් පතල තුළට ඇද වැටී මියගොස් ඇති බව සඳහන් වේ.

කෙසේ හෝ අවිස්සාවේල්ල පතලෙහි ඛේදවාචකයෙන් මේ වන විට අහිංසක මවුපිය පිරිසකට දරුවන් තිදෙනෙක්ද, දරු පැටියෙකුට පියෙක් මෙන්ම බිරියකට සිය ස්වාමියා අකාලයේ අහිමිවී ගොස් හමාරය.

එම අහිංසක ජීවිත තුනට අත්වූ ඉරණමට වගකිවයුත්තෝ කවරහු ද? එම නිසා මෙවැනි අනාරක්ෂිතව කැණීම් කරන පතල් පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය මීට වඩා යොමුවිය යුතු කාලය එළැඹ ඇති බව පසක් කරමු.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

Comments