ඔබ පෝස­තෙකු කරන ඔබ තුළ සැඟ­වුණු නොදත් බලය | සිළුමිණ

ඔබ පෝස­තෙකු කරන ඔබ තුළ සැඟ­වුණු නොදත් බලය

අප සියලු දෙනාගේම ජීවිතේ හීන තිබෙනවා. නමුත් ඒ හීන හැබෑ කරගන්න හැමෝටම හැකියාවක් ලැබෙන්නේ නැහැ. හීන හැබෑ කර ගන්න නම් වැදගත්ම දේ ඒ හීනෙට අරමුණක් තිබීමයි. ඉන් පසු ඒ අරමුණ යථාර්ථයක් කර ගැනීම අපහසු නැහැ. අද මේ කතා කරන්නේ ඔබේ ජීවිතේ තියෙන එවැනි හීනවලට අරමුණක් දෙන්නයි. ඒ අරමුණුවලට ළඟා වෙන්නත් මේ සටහන ඔබට තරමක් හෝ මඟ පෙන්නාවි.

 

ලැබෙන මුලද තව වැඩි කර ගන්න ඔබ හීන දකිනවා ද?..

තමන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය ආදායම, එසේත් නැත්නම් මුදල් ප්‍රමාණය උපයා ගන්න පුළුවන් ශක්තියක් ඕනෑම කෙනකුට තියෙනවා. හැබැයි ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණය ගැන පැහැදිලි පණිවුඩයක් ඔබේ මොළයට හා යටි හිතට දිය යුතුමයි. ආදායම ගැන කතා කිරීමේදී බොහෝ දෙනෙක් අනුගමනය කරන සුලබ ක්‍රමය වන්නේ අය වැය ලේඛනයක් පවත්වාගෙන යෑමයි. හැබැයි ඒ හැමෝම පුරුදු වෙලා ඉන්නේ ලැබෙන ආදායම වියදම් කරන විදිහ හෝ වියදම් කළ විදිහ අනුව අය වැය ලේඛනය සකස් කරන්න. නමුත් අය වැය ලේඛනයක් සෑදීමේ නිවැරැදි ක්‍රමය එය නොවන බව ඔබ දැනුම්වත්ව සිටියාද?

 

මෙන්න හරිම ක්‍රමේ..

 

අප ළඟ අය වැය ලේඛන දෙකක්වත් තිබිය යුතුයි. පළමු ලේඛනය සටහන් විය යුත්තේ ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණයේ ඉලක්කය සපුරා ගන්නා තුරු ඔබට ලැබෙන ආදායමෙන් කොහොමද වියදම් කරන්නේ යන්න පිළිබඳ දළ අදහසයි. එය පසුගිය මාසවල දත්ත ආශ්‍රයෙන් කරගන්නත් පුළුවනි. දැන් හැමෝම වගේ පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන් නිසා ඔබට පුළුවනි ඒ ස්මාර්ට් ෆෝන් එකේ බජට් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන මේ වියහියදම් සටහන් කරගන්න. ඔබ එයට පුරුදු වුණොත් ඉබේම ඔබේ ඉතිරි මුදල් ප්‍රමාණය හා වත්මන් තත්ත්වය, නැතිනම් ඔබේ එදිනෙදා කටයුතුවලට තවත් මුදලක් අවශ්‍යද යන්න පිළිබඳ දළ අදහසක් ලබා ගන්න පුළුවන්.

 

ඔබටත් ‘සිහින බජට් ප්ලෑන්‘ එකක්

 

අප හැමෝටම හීන ජීවිතයක් තියෙනවා. ඒ හැම හීනයක්ම ජීවිතේ එකපාරටම හැබෑ කර ගන්න බැරි වුණත් දකින හීන එකින් එක හැබෑ කර ගන්න අපට පුළුවන්. ඒ නිශ්චිත සැලැස්මක් ඇතිව. ඔබ සමහර වෙලාවට හීන මවනවා ඇති වාහනයක් ගන්න. ගෙයක් හදන්න. ඒ හීන හොඳයි. ඒ හීනවලට ළඟා වෙන්න නම් මුලින්ම සරල දේවල් ටිකකින් පටන් ගන්න. ඔබ කළ යුතු අත්‍යවශ්‍යම දේවල් ටිකක් තෝර ගෙන ඒවාට ඉලක්ක තියාගන්න. ඔබ මේ වසරේ පුංචි ව්‍යාපාරයක් ගැන හීන මවනවා වෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදලක් ආයෝජනය කරන්න හිතනවා වෙන්නත් පුළුවන්. ඒ් මුදල බැංකුවකින් ණයක් විදිහට ගන්නවා නම් මාසයකට ගෙවිය යුතු වාරිකය පිළිබඳ කලින්ම දැනුම්වත් වී සැලැස්මක් හදා ගන්න පුළුවන්. ඒ සැලැස්ම අනුව ඔබේ ආදායම ටික ටික වැඩි කර ගන්න හෝ ඒ ලැබෙන ආදායමෙන් ඉතිරි කරගන්න ඒයින් හැකි වේවි. මේ කරුණු එක්ක ඔබේ හීන අය වැය ලේඛනය දැන් හදා ගන්න පුළුවන්. දැනට තිබෙන මුදල වගේ සමහර විට හතරපස් ගුණයක්, එහෙමත් නැතිනම් අට ගුණයක වගේ ලොකු මුදල් ප්‍රමාණයක් ඔබේ බජට් එක විදිහට ඒ තුළ හැදේවී. ඔබ මේ දේ ඔබේ හිතට කොයි තරම් ඒත්තු ගන්නවාද යන්න මතයි ඒ මුදල උපයා ගන්න, ඔබට අලුත් උපක්‍රම පෑදෙන්නේ. ඒ තමයි අපේ ඔළුවේ තිබෙන සුවිශේෂි ශක්තිය. ඔබට යම් මුදලක් අවශ්‍ය නම්, එම මුදල ඔබ උපයා ගන්න උත්සාහ කරන්නේ ඔබ ඉන්න මට්ටමෙන් ඉහළ තැනකට එනවා යන සාධාරණ සිතිවිල්ල මත නම් ඒ හීනය හැබැවක් කරන්න අප පෙර කියූ ශක්තියට පුළුවන්. ඔබේ ඔළුවට ඒ පණිවිඩය දුන් පසු ඔබ විසින් කොපමණ මුදලක් වියදම් කළ යුතුද යන්න ඔබව ඔළුවෙන් ක්‍රියාත්මක වේවි.

මේ හීන අයවැය ලේඛනය හැදීමේ මුලු කාර්යයම ඔබ කළ යුත්තේ බොහොම සතුටකින්. ඒ කියන්නේ ඒ හීනත් එක්ක ජීවත් වෙමින්. ඒ හීන මනසින් දකිමින්. එවිට ඒ හීන අය වැය ලේඛනය ලියා ගන්න ඔබේ මනස මඟ පෙන්නාවි. ඒ කාලය පුරාවටම ඔබට ඒ ඉලක්ක සපුරාගත හැකි බවට හා එයට අවශ්‍ය ශක්තිය ඔබ තුළ තිබෙන බවට නිතරම සිහිපත් කරන්න. ඒ අනුව ඔබට විකල්ප ආදායම් මාර්ග ලබාගන්න පුළුවන් යන විශ්වාසය ද ඔබේ හිතට නිතරම මතක් කරන්න. ඔබේ ලේඛනය හැදුවාට පස්සේ දැන් ඔබ සතුව තිබෙනවා ඔබේ හීන ජිවිතය ගෙවන්න නම් මසකට ඔබ උපයාගත යුතු මුදල් ප්‍රමාණය. මේ හීන මවන යථාර්ථය සාධනය කරගැනීම සඳහා දැන් තියෙනවා වගේ කීප ගුණයක ආදායමක් උපදවා දෙන්න අවශ්‍ය විභය උපදවන්න අපේ මනසට පුළුවන්.

උදාහරණයක් ලෙස අපි මෙලෙස කල්පනා කරමු. අප උපයන්නෙ මසකට රුපියල් හැට දහසයි. නමුත් අප සිහින මවන ජීවිතය ගත කරන්න නම් මසකට රුපියල් ලක්ෂ දෙකක ආදායමක් තිබිය යුතුයි. මාසෙට ලක්ෂ දෙකක ආදායමක් ලැබෙන්න ඕනේ කියල දැන් හිතට ඒත්තු ගැන්විලා (convince) තියෙන්නෙ. දරුවාගේ වියදම, බිරියගේ හෝ සැමියාගේ වියදම, නිවසක් හදන්නට සැලසුමක් වේ නම් ඒ සඳහා වැයවන වියදම වැනි නිශ්චිත වියදම් තෘෂ්ණාවෙන් තොරව පෙළ ගැස්විය යුතුයි. තිරසාර අවංක හැඟීමකින් සැලසුම සකස් විය යුතුයි. එවිට ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා අවශ්‍ය ශක්තීන් ඔබ වටා එක්වනු ඇති. යම්කිසි මුදලක් වියදම් කරන කොට “මට මේ මුදල වියදම් කරන්නට ලැබුණා“ යනුවෙන් අපේ සිත තුළ ඇතිවිය යුත්තේ ලොකු සතුටක්.

නැවතත් මෙහෙම කල්පනා කරමු. මෙපමණ කාලයක් තිස්සේ බස්රියේ පාසල් යවන ඔබේ දරුවන් පාසල් වෑන් රථයක යවන්න අවශ්‍ය බව ඔබ හිතනවා නම් සැබෑ කරගත යුතු සිහිනය පිළිබඳ සිතිවිල්ල ඔබ තුළ උපදිනවා. ලබන මස සිට දරුවන් වෑන් රථයක යවන්න වැයවන මුදලක් තියනවා. දැන් බස් රථයකින් දරුවන් ගමන් කරවන්න වැයවන මුදලක් තියනවා. ඔබ වැඩිපුර මුදල වියදම් කරලා දරුවන්ව වෑන් රථයක යවනවා. මේ කරන වියදමින් අනෙක් අයට ලැබෙන වාසිය, සතුට පිළිබඳ කල්පනා කරමින්, ඒ සම්බන්ධව මෙනෙහි කරමින්, ඔබට මෙවැනි මුදලක් වියදම් කළ හැකි බව සිතමින්, වියදම් කරන මුදල ගැන පසුතැවිලි නොවෙමින් වියදම් කළ යුතුයි. ඔබ වියදම් කරනවිට යම් අකැමැත්කින් හෝ කනස්සල්ලකින් එම වියදම් කරන්නේ නම් එයින් සිදු වෙන්නේ ඔබ ඔබේ ශක්තිය හීන කර ගැනීමයි. එයින් ඔබ ඔබේ හිතට දෙන පණිවිඩය ඔබට එවැනි වියදමක් දැරීමට ශක්තියක් නොමැති බවයි. ඔබට එය අයිති නැති දෙයක් බවයි. එය අතිශය හානිකර සිතිවිල්ලක්.

කලෙක වත්කම් සහිතව ජීවත් වී මේ වනවිට ආර්ථිකව අසීරු අඩියක ජීවත්වන මිනිස්සුන්ගේ තිබෙන ප්‍රධානම ලක්ෂණය ඇනුම් පද, අඩුපාඩු කීම. එයින් සිදු වෙන්නේ අපිම අපේ හිතට “අපිට බැහැ“ යන සිතිවිල්ල ඇතුළු කරගැනීමයි.

මා වැය කරන මුදලින් මිනිසුන් කී දෙනකුගේ මූණුවල සිනා ඇඳෙනු ඇති ද, ඔවුන්ට යහපතක් වෙනු ඇතිද, ඔවුන්ට ආදායමක් ලැබෙනු ඇතිද, යන්න ගැන යහපත් ප්‍රාර්ථනාවක් අවශ්‍යයයි. මේ විශ්වය තිබෙන ස්වභාවයම තමයි ගුණාකාරවලින් ලැබෙන්නේ. අප මුදල් රැස් කිරීමම නොවේ කළ යුත්තේ... රැස් කරන තරමට අප මුදල් වියදම් කළ යුතුයි. ඒ වියදම් කරනකොට තමයි එම මුදල නැවත ගුණකාරවලින් ලැබෙන්නේ.

ඊළඟට ඉතාම වැදගත් කාරණාවක් ති‍ෙයනවා. අපේ ආදායම වැඩි කරගන්න නම් අපි අනවශ්‍ය විදිහට නාස්ති කිරීම සහමුලින්ම අත්හරින්න. ඒ සඳහා දැඩි විනයකින් කටයුතු කරන්න ඕනි. අපි සරල දේවල් ටිකක් කල්පනා කරමු. උදෑසන මුහුණ සෝදන්න ගිය පසු දත් මැදලා මුව සෝදන්න අපි කරාමය ඇරගෙන ඉන්නවා. එහෙත් ඒ සඳහා අවශ්‍ය වතුර වීදුරුවකට ගන්න පුළුවන්.

එදිනෙදා අප අතින් අතපසු වන මේ පුංචි දේවල් ගැන පමණක් හිතුවත් ජීවිතේ යහපත් අතට කළමනාකරණය කරගන්න පුළුවන්. මතක තබා ගන්න ඔබ වියදම් කළ යුත්තේ මුදල්වලට ස්තූති කරමින් බව.

මානව හැකියා විශේෂඥ/පුහුණුකරු සනත් ගමගේ
071-1658658

Comments