මහ මැතිවරණය අප්‍රේල් 25? | සිළුමිණ

මහ මැතිවරණය අප්‍රේල් 25?

- පාර්ලිමේන්තුව මාර්තු 2 විසුරුවන ලකුණු 
- පක්ෂ රැසක් අර්බුදයක 

පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනාධිපතිවරයාට මාර්තු මස 2 දිනෙන් පසුව හිමි වන බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පවත්වනු ඇතැයි තතු දත් ආරංචි මාර්ගවලින් පසුගිය සිකුරාදා අනාවරණය විය.

පාර්ලිමේන්තු නිල කාලය මේ වසරේ සැප්තැම්බර් 1 වැනිදා දක්වා පැවතියද ජනාධිපතිවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුව ඊට මාස 6කට පෙර විසුරුවා හැරීමේ හැකියාව ඇති බැවින් මේ තත්ත්වය උද්ගත වී ඇත.

මේ අනුව සිකුරාදා වනවිට සියලු ප්‍රධාන පක්ෂයන්හි අර්බුද රැසක් හට ගෙන තිබූ අතර දේශපාලන ක්ෂේත්‍රය ද එමඟින් උණුසුම්ව තිබිණි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සිළුමිණට කියා සිටියේ මහ මැතිවරණය අප්‍රේල් මස 23 වැනිදා හා මැයි මස 6 වැනිදා අතර කාලයක පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සන්ධානයකට පැමිණ තරග කිරීමට දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් පක්ෂ කිහිපයත් එකඟතාවය පළ කර ඇති බව අනාවරණය ව්වද නාමයෝජනා බාර දෙන තෙක් නිල වශයෙන් එය ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම වෙනම පක්ෂයක් හා ලකුණක් යටතේ තරග කිරීමට සූදානමින් සිටින අතර එය ඉදිරි දෙසතිය තුළදී ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටී.

දැනටමත් එම පක්ෂය මුල් කරගත් සන්ධානයේ මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා තෝරා පත් කර ගත්තද ඒ සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ශ්වයන් විසින් නවීන් දිසානායක මහතා එම තනතුරට ගෙන ඒමට කටයුතු කර ඇති හෙයින් මේ අර්බුදය ඉදිරියටත් දිග්ගැසෙන ලකුණු පහළව ඇත.

(තාරක වික්‍රමසේකර සහ භක්ති මෙන්ඩිස් විසිනි)

Comments