සිනමා අර්බු­ද­යට පිළි­තුර : ළමා සිනමා කෘති බිහි කිරී­මයි! | සිළුමිණ

සිනමා අර්බු­ද­යට පිළි­තුර : ළමා සිනමා කෘති බිහි කිරී­මයි!

ප්‍රේක්ෂකයා යළිත් සිනමා හල් වෙත කැඳවා ගත හැකි උපක්‍රමයක් ලෙස විද්වතුන් පෙන්වා දෙන්නේ නිවසේ දී රූපවාහිනියෙන් ලබා ගත නොහැකි අලුත් දැකීමක් සිනමාහලේදී ලබා ගන්නට සැලැස්වීම ය.

විශේෂයෙන් ම සිනමා කර්මාන්තය සම්බන්ධයෙන් ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තුළ මේ තත්ත්වයට පිළියමක් සැලසීම අත්‍යවශ්‍ය කරුණක් ව පවතී.

ඒ සඳහා වූ සුදුසු ම ප්‍රතිකර්මයක් ලෙස පෙන්වා දිය හැකිව තිබෙන්නේ වඩ වඩාත් ළමා චිත්‍රපට නිර්මාණ කිරීම ය. එවිට මෙය දෙයාකාරයකින් රටට වැඩදායක විය හැකි බව අපගේ අදහසයි.

එක් පැත්තක් වන්නේ හොඳ නිර්මාණ අහේනියකින් පෙළෙනවා මදිවාට දවස මුළුල්ලේ අවර ගණයේ ටෙලි නාට්‍ය නැරඹීමේ අවාසනාවට ද මුහුණ දී සිටින ශ්‍රි ලංකාවේ ළමා පරපුරට රස වින්දනාත්මක ආස්වාදයක් ලැබීමේ අවස්ථාව උදා වීම ය. අනෙක් පැත්තෙන් සිනමාහල් කරා සාමාන්‍ය චිත්‍රපටයකට වඩා වැඩි පිරිසක් සිනමාහල් කරා ඇදී ඒමය. එසේ වන්නේ දරුවකු හෝ දෙදෙනකු සිනමාහලට පැමිණෙන සෑම අවස්ථාවක ම වැඩිහිටියන්ට ද ඒ සමඟ පැමිණීමට සිදුවන බැවිනි.

එහෙත් මේ තත්ත්වය අභියෝගාත්මක ය. සිනමා කෘති යැයි කියා මොනවා හෝ ඉදිරිපත් කරන්නන්ට මෙන් ම ඇතැම් විටක පළපුරුදු අධ්‍යක්ෂවරුන්ට ද අභියෝගාත්මක එය කටයුත්තක් වේ. එයට හේතුව වන්නේ ඔවුනට මුහුණ දීමට සිදු වන අවංකම ප්‍රේක්ෂක හා විචාරක පිරිස වන්නේ ළමයින් වන බැවිනි. ළමයාට ද තමා නැරඹූ චිත්‍රපටය ගැන ලොකු ලොකු කතන්දර කීමට නැතත් එය ඔහුගේ සිත් නොගත්තේ නම් නිර්භයව හොඳ නැති බව කියන්නට කිසිවිටක පසුබට නොවේ. පොදු ප්‍රේක්ෂකයා සඳහා චිත්‍රපට තනා වැඩේ අනාගත්විට විචාරකයන්ගේ නොතේරුම්කමත්, ප්‍රේක්ෂකයන්ගේ මන්දබුද්ධික කමත් ගැන චෝදනා කිරීමට ඇති හැකියාව ළමා ප්‍රේක්ෂකයා ඉදිරියේ දී චිත්‍රපටකරුවාට අහිමි වේ.

අපේ වැඩිදෙනකු ළමා චිත්‍රපට නොසාදන්නේත් ඒවාට විවිධාකාර හේතු ඉදිරිපත් කරන්නේත් ඔය කාරණා නිසා මිස අන් කිසිවක් නිසා නොවේ.

දශක හතක් ඉක්මවූ අපේ සිංහල සිනමා ඉතිහාසය මුළුල්ලේ ම ළමා චිත්‍රපට නිපදවා ඇති ප්‍රමාණය සියයකට අඩු ප්‍රමාණයක් යැයි පෙනෙන්නේ එහෙයිනි. සිංහල සිනමා ඉතිහාසයේ ළමා චිත්‍රපට කරණය ඉතා සාර්ථකව ජයගත් ටයිටස් තොටවත්තයන් “හඳයා” නිර්මාණය කොට රටට අන්තර්ජාතික කීර්තියක් අත්කර දෙන්නට සමත් වුවද ඒ මඟ ඔස්සේ නව මාවතක් තනා ගැනීමට අපේ සිනමාකරුවන් සමත් වූවේ නැත.

මේ නිසා කලකට වරක් තිරගත වූ ළමා චිත්‍රපට ප්‍රමාණය අතරින් ලෙස්ටර් ජේම්ස් පිරිස් අධ්‍යක්ෂණය කළ මඩොල්දූව, සෝමරත්න දිසානායකගේ සරෝජා, සූරිය අරණ, පුංචි සුරංගනාවි, සුනාමි ආදී චිත්‍රපට, අසෝක හඳගමගේ විදු, ඉන්දික ෆර්නැන්ඩස්ගේ හෝ ගානා පොකුණ, ජී. සිවගුරුනාදන්ගේ පහ සමත්, රෝහාන් පෙරේරාගේ ගෝල්, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අලි කතාව සහ දැනට තිරගත වන විෂම භාග ඇතුළුව තවත් චිත්‍රපටකරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණ ළමයින් වෙනුවෙන් අප රටෙහි තිරගත වී ඇත. ළමා චරිත තිබූ පමණින් ම සහ අධ්‍යක්ෂවරයා ප්‍රකට පුද්ගලයකු වූ පමණින් ම ළමා ප්‍රේක්ෂකයා චිත්‍රපටයකට සමීප වීමක් සිදුවන්නේ නැත. එහෙත් පොදුවේ ගත් කළ මේ සෑම චිත්‍රපටයකට ම පාහේ ළමා ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබූ බව පෙනී යන කරුණකි.

ඒ නිසා මෙම කටයුත්තට අත ගැසීමේ වගකීම චිත්‍රපට සංස්ථාව සිය පළමු යුතුකම කොට බාර ගන්නේ නම් අපට සිංහල සිනමාව උදෙසා මේ කර්මාන්තය යළි ස්ථාපිත කර ගැනීමේ නව මානයක් ගොඩනඟා ගැනීම අසීරු නොවනු ඇත. සංස්ථාව ආරම්භයේ දී කළ පරිදි හොඳ තිර නාටක සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ආකාරයටම හොඳ නිර්මාණශීලී තිර රචනා සඳහා ණය ලබාදිය යුතුය. එහෙත් මෙවැනි වැඩ පිළිවෙළවල් අතරමඟ ගසා කන්නන් අතින් කඩාකප්පල්වීම වැළැක්වීම උදෙසා නිර්දේශපාලනීකරණය වූ අඩුම වශයෙන් හොඳ චිත්‍රපට බලන කියන ප්‍රාමාණිකයන්ගේ මණ්ඩලයක් මගින් නියාමනය විය යුතුය. එසේ තැනෙන චිත්‍රපට සඳහා පාසල් සිසු දරුදැරියන් සහභාගි කරවීම ගැන කිසිවකුත් වරදක් නොදකිනු ඇත. අනෙක් පැත්තෙන් රස වින්දනය සහිත ළමා පරපුරක් බිහිවීම සඳහා කෙරෙන දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් බවට ද එය පත්වනු ඇත. මක්නිසා ද යත් ඉන් සිනමාපට අස්වාදනය කරන අනාගත පරපුරක් රට තුළ බිහිවන බැවිනි.

 

Comments