සන්ති­යාගෝ උඹ තාම තරු­ණයි! | සිළුමිණ

සන්ති­යාගෝ උඹ තාම තරු­ණයි!

 

 


සිළුමිණ කෙටිකතා පිටුව දැන් ආධුනිකයන් සඳහා ද විවෘත ය. ආධුනික නිර්මාණකරුවන්ට අත්වැලක් ලෙස මෙවර ආරාධිත කෙටිකතාව ලියා ඇත්තේ ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා ය. දශක හතරකට ආසන්න කලක් තිස්සේ කෙටිකතා, නවකතා, යොවුන් නවකතා, චරිත කතා, පරිවර්තන පද්‍ය ඈ විවිධ ඉසවු ඔස්සේ සාහිත්‍ය නිර්මාණකරණයේ නිරතව සිටින කමල් පෙරේරා විචාරකයකු ලෙසද ප්‍රකටය. කමල්ගේ සාහිත්‍ය කෘති කිහිපයක්ම දමිළ හා ඉංග්‍රීසි භාෂාවලටද නඟනු ලැබ ඇති අතර, ඒවාද ඇතුළු ඔහුගේ කෘති රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප්‍රමුඛ විවිධ ඇගයුමට පාත්‍ර වූ අවස්ථා ගණනාවකි. ලංකා ලේඛක සංවිධානය, අන්තර්ජාතික ළමා හා යොවුන් පොත් මණ්ඩලය (IBBY) බඳු සාහිත්‍ය ව්‍යාපාරයන්හිදී මෙන්ම දිවයින පුරා පැවැත්වෙන සාහිත්‍ය වැඩමුළු, සම්මන්ත්‍රණ, සම්මාන ප්‍රදානෝත්සව ආදියේදීද කමල්ගේ සක්‍රීය දායකත්වය මඟින් පිළිබිඹු වන්නේ නව පරපුරට සාහිත්‍යය පවරාදීමට ඇති ඔහුගේ අචල උනන්දුවයි.

 

යෝද ජම්බෝ ගුරුළු රාජයා ලොකු හුස්මක් ඇල්ලුවා. එයා තවත් සවාරියක් අරඹන්නයි සූදානම. ඔන්න ඊළඟට කන් හිරිවට්ටන තරමෙ ගෙරවිල්ලක්. මනුස්ස ජීවිත සීයක් විතර බඩතුරේ රන්දගෙන දැන් ගුරුළු රාජයා ආකාසෙට පියාඹනවා. පපු කූඩුවෙ හිරවෙලා තිබුණ හුස්ම පොදක් හින්සීරුවෙ පිට වෙන්නෙ ඉබේටම වගෙ.

කියාගන්ඩ බැරි මොකක්දෝ තැවුලකින් හිත බරවෙලා. තැවුලක් කිව්වට ඒකට හරිම වචනෙ කාන්සිය ද කියලත් හිතෙනවා. ඔව් මොකක් හරි මේ වෙලාවෙ නිට්ටාවටම කියාගන්න බැරි මනෝභාවයක් කියල දැනට හිතාගමුකො. කොහොමහරි දැනටමත් මගේ ඇස් කවුළුවට ඇලවිලා හමාරයි. ආකාසෙ තරම්ම ඉමක් කොනක් හොයාගන්න බැරි මහා බිම්තලය ටිකෙන් ටික ඇස්මානෙන් දුරස් වෙනවා.

පෙදින් පෙද හීන්සීරුවේ දෘෂ්ටි පටයෙන් මැකි මැකී යන්නෙ චිකාගෝ පුරවරය නේද? හිත පතුලෙ ඉන්න අනිකා හෙමිහිට අහනව. මම පුළුවන් තරන් ඇස් ලොකු කරනවා. විසල් කොටුරූල් අභ්‍යාස පොතක පිටුවක් විදිහටයි දැන් චිකාගෝ භූමිය දිස් වෙන්නෙ. ඒ කොටු වෙන් කරන හීන් රේඛා දිගේ ඇදෙන වාහන පෙළින් මැවෙන්නෙ එකා පස්සෙ එකා දුවන කූඹි රැලක දසුනක්.

සමුදුරක්ද මේ විසල් ජල කඳ..? එක පිට එක නැඟෙන ප්‍රශ්නවලින් හිතට නැහැ ගැලවුමක්. නැහැ.. නැහැ.. මේ තමා පංච මහ විල් අතර කිරුළු පලන් මිචිගන් විල. එසැණින්ම අනිකා මතකයට නංවන්නේ ඉස්කෝල සමය. “සුනිල්ගේ මිම්ම හරියට ඊගහටම ඔන්න”...සූපීරියර්., මිචිගන්., හියුරෝ., ඊරි., ඔන්ටාරියෝ., හිත පියාඹාගෙන යනවා භූගෝල පාඩමට. මීදුම් සළුවකින් හැඩ වුණ මිචිගන් රැජන ආඩම්බරෙන් හිනා වෙනවා.

අපේ අසහාය මිත්‍රයා.. හෙමින්වේත් මිචිගන් විල් ඉවුරේ යාළු මිත්‍රයොත් එක්ක ගැවසෙන්නැති නේද...? අලුතෙන් ම මතු වුණ පැනයත් එක්ක හිත ඔට්ටු වෙනවා ආයෙමත්... ඇයි නැත්තේ. වැව් ඉවුරේ කරක් ගැහුවා විතරක් නෙමේ. හෙමින්වේ මිත්‍රයා ගොන් පොර නරඹන ගමන් මිවිතක රහ බැලුවෙත් මේ විල අසබඩදිම තමා...අනිකාගෙ මිමිනිල්ල දැවටෙනව හිත කොනක. අනේ ඒක නං හරිම සුන්දර කතාවක්. හෙමින්වේ මිත්‍රයත් එක්ක ඒ කාලෙ අඩියක් ගහන්න වාසනාවක් ලැබෙන්න ඇත්තෙ කීයෙන් කී දෙනාටද?

බොන්න කැමති මොනවද..? ඉමිහිරි හඬක් හීනෙන් වගේ ඇහෙනව. කවුළුවෙන් ගැලවෙන ඇස් දෙක එසැණින් හැරෙන්නෙ හඬ ආ දිසාවට. ගුවන් ළඳකගේ පොපියන නෙත් සඟළක් මා ළඟ ම. විස්කි වඩියකට ඇණවුමක් නිකුත් වෙන්නෙ දෙපාරක් නොහිතාම. ආහ්.. මොන තරම් සොඳුරු ද හීනයක හැංගිල නොගිය ඒ මොහොත .. හෙමින්වේ ගැන මතක් කරනකොටම මීවිතක් අරන් සුරංගනාවක් ප්‍රාදූර්භූත වීම. හෙමින්වේ මිත්‍රයගෙ විශ්වකර්ම පන්හිඳට ප්‍රණාමයක් පුදන්නත් එක්ක සුරංගනාවියක් අතින් පිරිනැමුණු මීවිතක්... හිත කය දෙකම උණුසුම් වෙනකොට චිකාගෝ පුර වීරයා ගැන තව තවත් හිතුවිලි රඟන්න පටන් ගන්නවා හිත් මඬල මත.

ආයුබෝවන් සහෝදරයා... ඔහේ හෙමින්වේ ගැන නේද කල්පනා කර කර ඉන්නෙ?..මගෙ ළඟම වාඩි වෙලා ඉන්න මනුස්සයගෙ ආමන්ත්‍රණෙන් මාව ගැස්සිල යනව. පරණ පහේ තොප්පයකින් හිස ආවරණය කරගෙන ඉන්න උන්නැහැ මට හිනාවක් පාන්නෙ සුදු රැවුළ පිරිමදිමින්. අතක තියෙන වීදුරුවෙන් උගුරක් බීලා එයාගෙ තියුණු ඇස් දෙක ආයෙමත් මගෙ පැත්තට හරවනවා.

මෙහෙම කිව්වට අමනාප වෙන්නෙපා ලොකු උන්නැහැ.. මටනං එකපාරටම ඔහේව ඇඳිනගන්න අමාරුයි.... මම වචන ගළපගන්නෙ සෑහෙන අමාරුවෙන්.

කනගාටුයි සහෝදරයා, මුන්නැහැට මාව හඳුනාගන්න බැරි වුණ එක ගැන.. කියවල තියෙනවද මහල්ලා හා මුහුද.. නැත්නං රතු ඉන්දියානුවන් දස දෙනා හරි හිරුත් උදාවෙයි වගේ පොත් එහෙම.. ඒවා කියෙව්වනං මතක ඇතිනෙ තල්මහෙක් එක්ක ඔට්ටු වුණ සන්තියාගෝ නාකියාගෙ චරිතෙ ගැනත්. අන්න ඒ නාකි වීරයව බිහි කරපු හාදයා තමයි මම.

අනේ සමාවෙන්ඩ හෙමින්වේ මහත්තයෝ.. හීනෙකින්වත් හිතන්න පුළුවන්ද මෙහෙම තැනක ඔබතුමා වගේ උත්තමයෙක් මුණගැහෙයි කියලා.. ඇත්තටම කියනවනං ආයිබොවන්ඩ කිව්වට ඇස්වහක් කටවහක් නැහැ.. මිනිහෙක් පරාජය කළ හැකි වුණත් කවදාවත් විනාශ කරන්න බැරිය කියල මහල්ලා හා මුහුද පොතේ ලියපු අර මසුරන් වාක්කිය රුවන් වැකියක් තරමටම අපිට වටිනව.. එහෙව් උදාර අදහස් දරන තමුන්නැහැව මේ විදිහට මුණගැහිච්ච එක මගෙ ජීවිතේ රන් අකුරෙන් ලියවෙන සිද්දියක් හැටියට සලකනවා හෙමින්වේ මහත්තයෝ..

මොකද සහෝදරයා ඔය තරං මිනිස්සු ඉස්සරහා බාල්දු වෙන්නෙ.. සමාව ඉල්ලන්ඩ තරං දෙයක් මෙතන සිද්ද වුණේ නැහැනෙ.. අනිත් අතට බලන්ඩ සහෝදරයා පාවිච්චි කරන වචන..මහත්තයෝ කියනව..තුමා කියනව..සහෝදරයගෙ මව් බාසාව ඔය තරං පාච්චල් කරන්නෙ ඇයි හැබෑටම..හා හා අපි තව අඩියක් ගහලම කතා කරමුකො.. හැබැයි මටනං ඔය අපරබංස වචන අල්ලන්නෙ නැහැ හොඳේ.. සහෝදරයා කියල කතා කළහම හොඳටම ඇති..

දන්නෙම නැතුව අපි දෙන්නගෙම වීදුරු හිස්වෙලා..හෙමින්වේ සහෝදරයා කියන්න වගේ අහවල් එකකට අපේ භාෂාවට මේතරන් වචන ගොඩගැහිල තියෙනවද මංදා. ලැජ්ජෑවේ බැහැ එතුමා පොල්ලෙන් ගැහුව වගේ කියපු කතාවට..චැහ්..ආයෙමත් ඒ ජාතියෙ වචනම ඔළුවට එන හැටි..කිව්වත් වගේ ඇඟ තව ටිකක් රත් කර ගත්තොත් තමා හෙමින්වේ සහෝදරය මුණගැහුණ මේ මහඟු අවස්තාව ඉහළින්ම සමරන්න පුළුවන් වෙන්නෙ.. මීවිත කරත්තෙ තල්ලු කරන් එන සුරූපිනිය දිහාට අපි දෙන්නගෙම වීදුරු දිග් වුණේ තරගෙට වගෙ. නිතරම සුකොමල හිනාවකින් මුව සරසගෙන ඉන්න ඇය ලෝබ නැතුව බෝතල් කට අපේ වීදුරුවලට ඇල කරනව.

දෙවෙනි වඩිය ගත්තට පස්සෙ තමා මගෙ හිතට සෑහෙන හයියක් ආවෙ. හැබැයි ඉතිං හෙමින්වේ සහෝදරයනං ඇලි වතුර උගුරට හලාගන්න ගානටයි ඒ වීදුරුවත් හිස් කරල දැම්මෙ...සහෝදරයා පුහු ආටෝප බාසාවට අකමැති බව කිව්වහමයි මට මතක් වුණේ.. මං උගුර ටිකක් පාදල කාරිය හරිබරි ගැහිල වාඩි වුණේ මමත් පොතපත කියවන හාදයෙක් බව පෙන්නන්නත් එක්කයි...ආරියවංශ රණවීර කියල අපිට ඉන්නවා බොහොම දැනුම් තේරුං ඇති කවියෙක්.. උන්නැහැ හෙමින්වේ සහෝදරයගෙ නිර්මාණ ගැන පුංචි පොතක් ලියල තියෙනව.. ඒකෙ එක තැනක තියෙනවනෙ ඔහේ ටොල්ස්ටෝයිගෙ ‘යුද්ධය හා සාමය‘ නවකතාවෙ තියෙන සමහර දාර්ශනික අදහස් විවේචනය කළා ය කියල..ඒක හැබෑද සහෝදරයා..?

මට තේරුණා ඔය සහෝදරයා මිචිගන් විල දිහා බලාගෙන හයියෙන් හුස්ම ගන්නකොට තරමක හැඟීම් දැනීම් ඇති මනුස්ස ප්‍රාණයක් කියල.. ඇත්ත තමා.. මම ඔය බොරු පුරසාරම් වලට කැමති මිනිහෙක් නෙමේනෙ.. සමහර ලියන්නො ඉන්නව තමන් හුඟක් දේවල් දන්න බව පෙන්නන්න කතාවල එන චරිත ලව්වා බොරු පණ්ඩිතකම් වමාරවනව.. අපරාදෙ කියන්න බැහැ ටොල්ස්ටෝයි එහෙම පුරාජේරුකාරයෙක් නෙමේ...ඒත් ‘යුද්ධය හා සාමය‘ පොතේ සමහර තැන් ටිකක් සංස්කරණය වුණා නං හොඳයි කියල මම අද වුණත් කියනව..

හෙමින්වේ සහෝදරය සංස්කරණය කියන වචනෙ පාවිච්චි කරපුවහමයි මටත් මතක් වුණේ.. අපේ රටේ හුඟක් ලේඛකයන්ට ඔය වචනෙ වහකදුරු වගේ තිත්තයිනෙ සහෝදරයා.. සමහරු ඉන්නවා තමන් ලියපු වාක්කියක ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් කරන්න ඉඩක් දෙන්නෙ නැති.. මම මේ මූනිච්චාවට කියනව හෙම නෙමේ..අනේ ඉතිං ඔහේ වගේ කෙළින් කතා කරන්න පුළුවන් කසේරුකාවක් තියෙන උදවිය දැන් හරි අඩුයි සහෝදරයා.. කියවන විට ලිවිම කරන ලියන මහත්තුරු තමා වැඩි හරියක්ම ඉන්නෙ...

හෙමින්වේ වචනවලින් ඒකට උත්තර බැන්දෙ නැහැ. ඒ වෙනුවට කළේ හිස් වීදුරුව පැත්තකින් තියල උන්නැහැගෙ ගොරෝසු අත් දෙක මගේ දෙඋරට තියල හොඳට ම පුංචි කරගත්තු ඇස් දෙක මා දිහාට දල්වගෙන ඉන්න එක විතරයි...උඹ ජීවිතේ ගැනයි-ලෝකෙ ගැනයි මොනවද දන්නෙ සහෝදරයා..? ඒ ඇස් දෙකේ ලියවිල තිබුණෙ එහෙම කතාවක් ය කියලයි මට එකපාරට ම දැනුණෙ. කරකියාගන්න දෙයක් නැතුව මම එක එල්ලෙම හෙමින්වේගෙ මුහුණ දිහා බලගෙන උන්න. එහෙම ඉන්නකොට තමා මට පෙනුණෙ. ඒ මුහුණ ක්‍රමක්‍රමෙන් වෙනත් රූපෙකට රූපාන්තරණය වෙන විත්තිය. කාගෙද මේ අලුත් රූපෙ. හෙමින්වේගෙම හැඩතල ගත්තු යෝද පුරුෂයෙක්. පෙනුමෙනුත් හැඩිදැඩියි. යකඩින් වාත්තු කළා වගෙ මිනිස් රුවක්.

ඇඳින්නද මාව.. හෙමින්වේගෙම හෙවණැල්ල කියල හිතුවත් කමක් නැහැ. මොකද මගෙ සරීර කූඩුව ඇතුළෙ තමයි තාමත් හෙමින්වේ ජීවත් වෙන්නෙ...බොහොම ජවසම්පන්න කටහඬක්. මා ළඟින් වාඩිවෙනකොට මට දැනුණා එයාගෙ ජීවන පුසුඹ.

හා.. ආයිබොවන්ඩ සන්තියාගු මිත්‍රයා. මං ඔහේව අඳුරගත්තෙ මුහුදු හුළඟෙ සුවඳින්..කිව්වත් වගේ ඉතිං හෙමින්වේගෙ වීරයා ඔහේනෙ. කිව්වට කමක් නැහැ නේද මිත්‍රයා. රැවුල-හිසකෙස් සුදු වුණාට වයස ගතියක්නං අහලකවත් නැහැ.. කොටින්ම කියනවනං සන්තියාගු තාමත් තරුණයි..

අහල නැද්ද කියමනක් තියෙනව වයස යනු ඉලක්කමක් විතරය කියලා..එහෙම හිතල තමා හෙමින්වේ උන්නැහැ මාව නිර්මාණය කළේ. තරුණ මදේ හිතේ නොතිබුණනං අර යෝද තල්මහත් එක්ක ඔට්ටු වෙනව බොරු.. හොඳයි බොරුද මං කියන්නෙ මිත්‍රයා..

සහතික ඇත්ත සන්තියාගු උන්නැහැ... ඒක නෙමේ යාළුවා මට ඇත්තම කියනවද තමුන්නැහැයි තල්මහයි අතර සිද්ද වෙච්ච හටන ගැන..හෙමින්වේවත් ඕකට හරි උත්තරයක් දුන්නෙ නැති හන්දයි අහන්නෙ... කව්ද ඒ හටනින් අන්තිමට දින්නෙ සන්තියාගු..

ඔය එක එක විචාරකයො කියන්න වගේ හටනක් අපි දෙන්න අතර සිද්ද වුණේ නැහැ මිත්‍රයා..කොටින්ම කියනවනං අපි අතර ඇති වුණේ හටං සම්මුතියක්.. අපි දෙන්නම අපේ ආත්ම ශක්තියට ගරු කළා.. අපි දෙන්නටම ඒ හටන හොඳට ම එපා වෙලයි තිබුණෙ.. මොකද ඒක අපි දෙන්නගෙ උවමනාවට සිද්ද වුණ එකක් නොවන බව පහු වෙනකොට අපිට තේරුණ හින්දා...ඒක හන්දා ඒ සටනෙන් අපි දෙන්නගෙන් කවුරුවත් දිනුවෙත් නැහැ; පැරදුනෙත් නැහැ මිත්‍රයා..

ඒක හරි ප්‍රහේලිකාවක්නෙ යාළුවා..කොහොමද දවස් ගානක් තිස්සෙ කරපු හටනක් දිනුම් පැරදුම් නැතුව අවසන් වෙන්නෙ...එහෙමනං ඔහෙල බොරු රඟපෑමක් නේද කරල තියෙන්නෙ..? සන්තියාගො හෙමින්වේට වඩා මට සමිප වුණ ගතියක් දැනුණ හින්දා මාත් බයක් හැකක් නැතුව වාදෙට බැස්සා.

ඔය එක එක ග්‍රහලෝකවලට රොකට් ඇරියට විතරක් ලෝකෙ හරි දියුණුයි කියල හිතන්න එපා මිත්‍රයා... සොබාදර්මෙ ඇසුරෙන් මිනිහා ලබන දැනීම ඊට වඩා ඉහළයි..මායි තල්මහයි පිළිපැද්දෙ සොබාදර්මේ නීතිය..ඒක තේරුම් ගන්න තරම් ඔහෙලගෙ ඔළු ගෙඩිවලට දැනුමක් තේරුමක් නැහැ..ඔහෙලත් දැන් රොබෝල වගේ යාන්ත්‍රික මෙවලම් ටිකක් විතරයි..මේ වතාවෙ ගෙදර ගියහම ඔය ඔළුකට්ට ඇතුළෙ තියෙන කුණු කන්දල් පැත්තකින් තියල නිවී හැනහිල්ලෙ මායි තල්මහයි ගනුදෙනු බේරගත්ත හැටි කියවල බලන්නකො..එතකොට ඔය ප්‍රහෙ­්ළිකාවට උත්තර ලැබෙයි...

සන්තියාගු අන්තිමට හෙළපු බැල්ම හෙමින්වේගෙ බැල්මට දෙවෙනි නැහැ.. තව දුරටත් ඒ තියුණු බැල්ම දිහා බලා ඉන්න බැරුව මං ඇස් පියාගත්තා. ආයෙමත් මගෙ දෑස විවර වුණේ කොච්චර වෙලාවකට පස්සෙද කියල මට නිච්චි නැහැ. ඒත් මම ඊළඟට ඇස් ඇරල බලනකොට සන්තියාගුත් අතුරුදන් වෙලා.

ආයෙත් දරාගන්න බැරි කාන්සියක්. ගුරුළු රාජයා හුළං පාරත් එක්ක පොරබදන කීං සද්දෙ විතරයි එකම තානයකට ඇහෙන්නෙ..කාන්සිය මග ඇරගන්නත් එක්ක මම ඇස් දෙක රවුමක් කැරකෙව්ව... හැමෝම ගල්ගැහිල... ඝන පොරෝන ඇතුළෙ ගුළිවෙලා..කෑම-බීම කරත්ත තල්ලු කරගෙන ගිය සුකුමලියොත් පේනතෙක් මානයකවත් නැහැ.. ටිකකට කලින් ගුරුළු රාජයා නගපු කීං සද්දෙත් නතර වෙලා. ගිමන් නිවන්න ගුරුළත් එකම තැනක නතර වෙලා වගේ..කොහොමද සන්තියාගු තනි මම මේ මහා පාළුව-නිහඬබව උහුලගන්නෙ.

මටත් හෙරෙන් ඇස්ගෙඩි දෙක ආයෙමත් හැරුණ කවුළුව පැත්තට... ආහ්.. මොනතරන් මනස්කාන්තද..? ගුරුළු රාජයා පුළුන්කැටි යායක් මැද සැතපිලා ඉන්න ගානයි..ඇහැ පොව්වන මානෙක නැහැ වෙන කිසිම දසුනක්..,එකම එක සුදෝසුදු වලා මණ්ඩපයක් හැරෙන්න. මේ පුංචි කවුළුවෙන් පිට මා දකින්නේ කවරනම් ලෝකයක්ද..? රුදු සතුන්- රුදු ගැටුම් කිසිවකින් තොර සුර ළඳුන්- දෙව් බඹුන් වැඩ වසනවාය කියන බ්‍රහ්ම ලෝකය ද දෙනෙත් අබියස මේ මැවී පෙනෙන්නෙ..? නන් දෙසින් ඇවිත් නන් දෙසට යන ජාතියක්-ජන්මයක් නොදන්නා මිස් රොත්තක් එක්ක ගෙවන මේ නිමේෂයටද ඇත්තෙන්ම සසර ගමනයි කියන්නෙ..? හෝරා ගණනාවක් පුරා නිහඬව හුන් අනිකා අවදි වෙලා ප්‍රශ්න පත්තරයක්ම මා හමුවේ දිගහරිනව... බැරිද නොගොසින් ඒ විසඝෝර ගොඩබිමට යළි මේ සුදු වලා යායෙම නවතින්න..? අනිකා අහන ප්‍රශ්න එකකටවත් උත්තර මා ළඟ නැහැ... මම කරන්නෙ තුෂ්නිම්භූත වෙලා බලාගත්තු අතම බලාන ඉන්න එක විතරයි.

මිනිස් හඬක් ඇහෙනවා ඈතකින් වගේ මේ මෙහොතෙ..ඒ හඬ තරමක් ගොරොසු වුණත් ළෙන්ගතුයි. ඒත් එක්කම හොඳටම හීතල වෙලා ගල්ගැහිල තියෙන හිතයි-ගතයි දෙකටම උණුහුම් ගතියක් දැනෙනව...ඔහේ මනස්ගාත වලින් ඔළුව විකාර කරගන්නව දැනිලයි මං ආවෙ.. මම කව්ද, කින්ද-මන්ද කියන එක වැඩක් නෑ.. මේ අහනව මිත්‍රයා.. ටිකක් උඩු ගුවනට ආ පළියට මහපොළොව අමතක කරන්න හදන්න එපා..මහ පොළව තමා අපේ අම්මා..ඒකෙ ගලන ඇළ-දොළ-ගංගාවල තියෙන්නෙ අපේ ලේ-කඳුළු...ඒක බලාකියා ගන්න ඔහේටත් ලොකු වගකිමක් තියෙනව.. ඒ බාරදූර රාජකාරිය අමතක කොරල දාල ආකාස මාලිගාවක් හදාගන්නද හීන මවන්නෙ..?

ඇඳුරුවා.. ඇඳුරුවා.. මේ අපේ මහා පරිසරවේදි සියැටල් මුත්තා නොවැ.. කොයිතරන් දෙයක්ද මං මේ පාළුවේ-කාන්සියේ පිස්සු වැටිල ඉන්න වෙලාවෙ තමුන්නැහැ මෙතෙන්ට සම්ප්‍රාප්ත වුණ එක..

අන්න වරද්දගත්ත තැන.. මොකක්ද ඔය මහා පරිසරවේදි කියන අප්‍රභංස තේරුම..අනේ මට නං ඔය වගේ විකාර නම් පටබඳින්න හදන්න එපා ළමයා.. අපි බොහොම අමාරුවෙන් ආරක්ෂා කොරගෙන ඇවිත් ඔහෙලට බාර දුන්නු ගස්කොළන්.. දිය උල්පත්..සතා සීපාවා වගෙ දේවල් ටික රැකබලාගන්න ආයෙ පරිසරවේදි කියල අමුතු පදවි-තානාන්තර තියෙන්න ඕන නැහැ ළමයො.. තමා දන්නවද ඔය මහ පොළොවෙ තියෙන හැම සම්පතක් ම අනාගත පරම්පරාවෙන් ණයට ගත්තු දේවල් බව. අපි ඔහෙලට පරිස්සම් කොරල බාර දුන්න වගේම ඒවා තවත් වැඩි දියුණු කොරල අනාගත පරම්පරාවට පවරන එක තමා තමුන්ගෙ යුතුකම. කිව්වට අමනාප වෙන්නෙපා ළමයා. මට නං හරිම කනගාටුයි; අද ඔහෙල හැමෝම එකතු වෙලා මහපොළෝ මෑණියන්ට කොරන හානිය ගැන..ඔය ළමය දන්නවද සුනාමි, ගංවතුර, නාය යෑම්, ඉඩෝර වගේ විපත් ලෝකෙට කඩාපාත් වෙන්නෙ ඔහෙල පොළෝ මාතාවට කොරන අසාධාරණකම්වල ප්‍රතිඵලයක් හැටියට ය කියල..

අනේ අපි නිතර දෙවේලෙ තමුන්නැහැ කියපු කරපු දේවල් ගැන කතා කරනව සියැටල් මුත්තෙ.. ඒත් ඉතිං අහිංසක නරපණුවො වෙච්චි අපි අහවල් දෙයක් කියල කරන්නද..රාජ සබාවල වැජඹෙන ලොකු ලොක්කො නරන වැරදිවලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ අසරණ අපිට බව නොතේරෙනව නෙමේ මුත්තෙ..පුළුවන්කමක් තියෙනව නං ආයෙමත් ලියුන් කඩදාසියක් ලියන්නකො ලෝක කෙරුන්කාරයන්ට... මහ පොළෝ මෑණියන්ට කරන මේ අපරාදය වහාම නතර කරන්න කියල.

දැන් ලියුං කෑලිවලින් කොරන්න පුළුවන් කෙංගෙඩියක් නැති බව දන්නෙ නැද්ද ළමයා.. අහල නැද්ද කියමනක් තියෙනව තමන් හිසට තම අතමය හෙවණැල්ල කියල.. ඒක හන්දා දැන්වත් අනුන් ලව්වා පුරස්න විසඳගන්න ක්‍රමය අතඇරලා තාමත් මනුස්සකම ඉතුරුවෙලා තියෙන නරපණුවො ටික එකතු කොරගෙන තේරුමක් ඇති වැඩක් කොරන්න බලපන් ළමයා..

එතනින් එහාට වචනයක්වත් කතා නොකරපු සියැටල් මුත්තා අසුනෙන් නැගිට්ටෙ නෝක්කාඩු බැල්මක් මා දිහාට පා කරන ගමන්. උන්නැහැගෙ කැරලි ගැහුණ දිග කෙස් වැටියයි; ශෘඛ පත්‍ර ඔටුන්නයි තාමත් ඉස්සර වගේම අභිමානවත්... අනේ තව ටිකක් වෙලා ඉන්න කියලා අතකින් අල්ලගෙන කියන්න හදනකොටත් මහ වනස්පතියා මගෙ ඇස් මානෙන් වසං වෙලා අහවරයි.

දැන් ඉතින් කාගෙ පිළිසරණක් පතම්ද කියලා ඒ වංගියෙ අනිකා ප්‍රශ්න කළේ මටත් වඩා එයා අසරණ වුණ විදිහට. මොනව වුණත් පුංචි හරි සහනයක් පැතිය හැක්කේ කවුළුවෙන් පිට අවකාශයෙන් විතරය කියා මට හිතුණා... ඇත්ත.., එකම ශූන්‍ය කලාපයක් බවට පත්වෙලා තිබුණු ගුවන් ගැබ මන්දස්මිතියකින් හැඩ වෙලා. බිරන්තට්ටු වෙලා වගේ හිටපු ගුරුළු රාජයත් නිදහසේ පියාසර කරන බවක් දැනෙනව. නිද්‍රාවකට පත් වෙලා තිබුණු ලෝකය ම අවදි වෙලා.

අනිකත් එක්ක පැටලිලා උන්නු පඹගාලෙන් යාන්තමට මිදෙනකොටම වගේ අසුන් පෙළ මැදින් හුරුබුහුටි කරත්තෙත් තල්ලු කරගෙන සත්කාරක ගුවන් කොමලිය මතු වුණා.

මේ වතාවෙ බොන්නෙ මොනවද? මුදු හඬින් ඈ රෝස තොල් පෙති විහිදුවෙ හීන් ඇස් නටවන ගමන්.

සන්තියාගු.. මගෙ යහපත් මිත්‍රයා... එහෙනං මේ අලුත් මිවිත පුරවන්නේ උඹ වෙනුවෙන්මයි... සුමුදු අතකින් පිරිනැමුණු මධු බඳුන මා ඉත සිතින් බාර ගත්තෙ ඒ ප්‍රාර්ථනය හිත දරාගෙන.

Comments