විෂම භාග! | සිළුමිණ

විෂම භාග!

ලලිත් රත්නායක එක් ප්‍රවේශ පත්‍රයකින් අපට චිත්‍රපට දෙකක් නැරඹීමට අවස්ථාව ලබා දෙයි. ඒ “විෂම භාග” තුළිනි.

සිනමා ව්‍යාකරණය සහ අදාළ සම්මතයන්ට අනුව විෂම භාග යනු ළමා ප්‍රේක්‍ෂයා උදෙසා වූ රාමුවකට අයත් විශිෂ්ට සිනමා කෘතියක් බව අවිවාදිතය. හොඳ ළමා නිර්මාණයක් යනු වැඩිහිටියන්ට ද රස විඳිය හැක්කක්ය යන කතාවද ඒ තරමට ම විවාදයෙන් තොර වූවෙකි.

එහෙත් අප දකින ළමයින් සඳහා වූ බොහෝ නිර්මාණ වැඩිහිටියන්ට රසවිඳීමට සිදුවන්නේ ඒවා ළමයින් සඳහා හොඳ ඒවා වශයෙන් පමණක් සලකමිනි.

ඒ තත්ත්වය යටතේ ලලිත් රත්නායකගේ “විෂම භාග” මේ සම්මත රාමුවෙන් ඔබ්බට ප්‍රේක්‍ෂකයා රැගෙන යන්නකි. තම දරුවාද කැටුව සිනමාහලට යන වැඩිහිටියාට දකින්න ලැබෙන්නේ දරුවා තිරයේ දකින “විෂම භාග”වපසරියෙන් ඔබ්බට ගියා වූ අපේ ජීවිත සමීකරණයේ ද එක් පැටලිලි සහගත අවස්ථාවකි.

එනයින් මේ කෘතිය කියවා බලන කළ ඇත්තට ම පෙනී යන්නේ දරු පැටවුන්ගේ ප්‍රශ්නයක් මුල්කර ගැනීම නිසාත් සෙසු සුවිශේෂ අනන්‍යතා නිසාත්, ළමා කෘතියක් ලෙස සැලකෙනවා මිස “විෂම භාග” පොදු ප්‍රේක්‍ෂකයා අරබයා තැනූ චිත්‍රපටයක් ලෙස වටහා ගැනීම ද අසීරු නැති බව ය. ප්‍රේක්‍ෂකයාට එක්වර කෘති ‘දෙකක්’ නැරඹිය හැකිබව අප පැවසුවේ එහෙයිනි. එනිසා මේ අවස්ථාව සුවිශේෂ සිනමා අත්දැකීමක් වන්නේ ඒ හේතු කොට ගෙන එකකින් අනෙකේ අගය වැඩිවනවා විනා ජීවන අත්දැකීමෙහි අඩුවීමක් නොවීම නිසා ය.

අධ්‍යක්‍ෂ ලලිත් රත්නායක ස්වකීය සිනමා කෘතියට පාදක කර ගනු ලබන්නේ අනාදිමත් කාලයක පටන් අපේ වැඩිහිටි සමාජය විසින් නොකලකා හරින ලද දරුවන් උදෙසා වූ අතිශයින් සංකීර්ණ ගැටලුවකි. ඔහු මෙයින් ඉස්මතු කරන්නේ වැඩිහිටියෙකුගේ එක් වචනයකින් දරුවෙකුගේ මනසට කෙතරම් බලපෑමක් කළ හැකිද යන්න ය. පස්වෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කුඩා පිරිමි ළමයෙකු රළු පරළු ගණිත ගුරුවරයා විසින් දෙනු ලැබූ නියෝගයක් නිසා ආධ්‍යාත්මිකව කෙතරම් අසරණ භාවයට පත්වන්නේ ද යන්න ප්‍රේක්‍ෂකයාට සන්නිවේදනය කරවීම අධ්‍යක්‍ෂවරයාගේ අරමුණ වී ඇති බව පෙනේ.

ගණිතව, විද්‍යාව වැනි සම්මත විෂයන් සඳහා පෙන්වන ලබන දක්‍ෂතාවය පමණක් ම මුල්තැන්හි ලා අගය කරන, සංගීතයට, නර්තනයට, සහ චිත්‍ර කලාව ආදී විෂයන්ට සහජ කුශලතා ඇති දරුවන්ට සිදුවන්නේ කුමක්ද යන ප්‍රශ්නය තවමත් ඉතිරිව ඇති සමාජයක දිවි ගෙවන සංවේදී දරුවකුගේ හු‍ෙදකලා ආත්මය ඔහු අපට මෙතුළින් ස්පර්ශ කරවයි.

ශ්‍රී ලංකාව මතුනොව, සමස්ත ආසියානු රටවල ම දරුවන්ගේ යථාර්ථය හෙළි කරවන මේ අත්දැකීම ගැන අපව සවිඥානක තලයකට ගෙන ඒමට ලලිත් රත්නායක මෙමඟින් සමත් වේ. නමුත් ඔහු තමාගේ සිනමා වපසරිය තුළ මේ කාරණයෙහි නිරත වන්නේ කෘතියේ අන්තිම රූප රාමුව දක්වාම එහි කලාත්මක අගය නොනැසී පවත්වාගෙන යෑම සඳහා ප්‍රශංසනීය උත්සහයක නිරත වෙමිනි. ඒ සඳහා ඔහු විසින් ම රචනා කරන ලද අති සියුම් තිර රචනය මේ සඳහා මනා පාදමක් සකසන අතර, ඉන් නිරූපිත භූගෝලීය පසුබිම මේ කටුක ජීවන යථාර්ථය හා කදිමට සැකසෙන්නක් බවට ද පත් වේ.

මින් කියැවෙන පරිදි ම ඒ සඳහා පසුබිම් ව ඇත්තේ දරුවන්ට “විෂම භාග” තරමට ම වැඩිහිටි අපට ද විසඳාගත නොහැකිව අවුල් වූ, බත් කෑමට ගොස් වස කා මිය යෑමේ ගැටලුවට මුහුණ දෙන රජරට ගොවි පවුලක සිදුවීමකි. බොහෝ ගී සින්දු වලින් වර්ණනා කෙරෙන්නා වූත්, රූපවාහිනී කැමරා කෝණවලින් ඔපවත්ව රූප රාමු තුළින් පමණක් ළෙලදෙන්නාවූත්, රන්වන් කරල් සහිත අලංකාර කුඹුරු යායක් වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ, ඉතිරිව ඇති වී කරල දෙක පවා කෘමීන්ගේ ග්‍රහණයට අසුවූ කණාටු වෙල් යායකි.

වකුගඩු රෝගයෙන් සැමියා මිය යෑමෙන් පසු දරුවන් ජීවත් කරවන්නට දර විකුණන ගැහැනියකි. හිඟා නොකා ජීවත් වන්නට නම් ගණන් ඉගෙන ගත යුතු යැයි පවසන, සද්භාවයෙන් ම ඒ සඳහා කැපවී කටයුතු කරන සැර පරුෂ ගුරුවරයෙකි.

සහජයෙන් ම උරුම වූ අසීමිත ලෙස ගී ගැයීමේ කුශලතාවයෙන් පිරිපුන් නමුත් ගණිතයට අදක්‍ෂ පිරිමි දරුවෙකි.

රුවන්සිරි නම් වූ මේ සංවේදී ගායන කුසලතා පූර්ණ දරුවාට ගැටලුවක් වූ විෂම භාග තරමට ම සමාජ ගැටලුවක් බවට ද පත් වූ මෙම කාරණය අරබයා අධ්‍යක්‍ෂවරයා ස්වකීය අවධානය යොමු කරන්නේ ඉතා හොඳ නළු නිළි වරණයකින් ද, ශිල්පීන් කණ්ඩායමකින් ද ඉහත සඳහන් කළ ආකාරයේ නිර්මාණාත්මක තිර රචනයකින් ද යුතුව ය.

රජරට වියළි කර්කශ පරිසරයේ රළුපරලු ස්වභාවය කලාකෘතියකට ගෝචර වන සෞන්දර්යවත් රූපමාලාවක රඳවා ගනිමින් පාලිත පෙරේරා විසින් සිදුකෙරෙන කැමරාකරණයෙන් ද, තිස්ස සුරේන්‍ද්‍ර විසින් නිශ්චිතම ලක්‍ෂයේ දී සිදුකෙරෙන සංස්කරණයකින් ද, කෘතියේ අන්තර්ගතය ඉස්මතු කෙරෙන චාමර රුවන්තිලකගේ සංගීත රචනයෙන් ද, ලලිත් රත්නායකගේ ‘විෂම භාග’‘ අඩිතාලම තවදුරටත් ශක්තිමත් වෙයි.

මේ උදෙසා එහි භූමිකාවන්ට පණදෙන ජැක්සන් ඇන්තනි, කෞශ්‍යලා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ මෙන් ම තිලක්‍ෂණී රත්නායක, ප්‍රියන්ත සිරි කුමාර, ළමා නළුවන් වන පංකජ වික්‍රමරත්න, සහ පන්සිළු වික්‍රමරත්න ද “විෂම භාග” ප්‍රේක්‍ෂක සහෘදයා වෙත සමීප කරවීමෙහි ලා මහා කැපවීමක් සිදු කළාහු වෙති.

“විෂම භාග” චිත්‍රපටයේ අපට එක එල්ලේ සමීපවන නළු නිළියන්ගේ මේ චරිත නිරූපණ එකී පරිසරයේ මහා පොළොවේ ස්වභාවයට අනුවම ගොඩනැඟුණෝ වෙති. එකී භූමිකාවන්හි අනන්‍යතාවයන් තමතමන්ගේ ජීවන අත්දැකීම් වල ස්වභාවයට අනුරූප වේ.

මේ නිසා සාම්ප්‍රදායික කතන්දර සිනමාවේ දී අපට දක්නට ලැබෙන බොහෝ දර්ශනවලින් මේ චිත්‍රපටය වියුක්ත වෙයි. එ නමුදු රුවන්සිරි නැමැති දරුවා ස්වකීය ගැටලුවට අවසානය දක්වා මුහුණ දෙන ආකාරය දැක ගැනීමට ප්‍රේක්‍ෂකයා රඳවාගත හැකි නිර්මාණශීලී වියමනක අධ්‍යක්‍ෂවරයා රැඳී සිටියි.

මේ අනුව ආරම්භක ජවනිකාවේ සිට ම යම් රූපමය කියැවීමක් අරබයා ප්‍රේක්‍ෂකයා රැගෙන යන්නට සිනමාකරුවා උත්සාහ ගෙන තිබේ. නිසරුව ගිය කර්කශ වෙල් යාය මැදින් යම් දුරක් ගමන් කොට පිරිසුදු දිය දහරකින් බීමට ජලය රැගෙන ඒම, පියා මෙන් ම මව ද වකුගඩු රෝගයෙන් මිය යනු ඇතැයි දරුවා තුළ ඇති ආත්ම අනුකම්පාව මෙන් ම බිය ද, මහලු සීයා තුළ ඇති ඒ දරුවා කෙරෙහි ඇති බැඳීම, මෙන්ම වසු පැටවා සහ එළදෙන ද අප තුළ රජරට පවුල් සංස්කෘතියක චිත්‍රයක් මෙන්ම ඔවුන්ගේ ඛේදවාචකය ද ප්‍රතිනිර්මාණය කරයි.

ඒ සංස්කෘතික ඒකකය කලා අධ්‍යක්‍ෂවරයා අතින් වර්ණ ගැන්වී ඇත්තේත්, කැමරා ශිල්පියා අතින් රූපගතවී ඇත්තේත් ස්වකීය තේමාවට අත්‍යන්තයෙන් ම සරිලන පරිද්දෙනි. අධ්‍යක්‍ෂණයෙහි ලා කිසිදු චරිතයකට සීමාව ඉක්මවා භාවතීෂ වීමට ඉඩ නොතබන ලලිත් රත්නායක අවසන් මොහොතේ දී කුඩා දරුවාගෙන් හැර, එකදු කඳුළු බිඳුවක් හෝ දෙඇසකින් එළියට නොගැනීමට ප්‍රවේසම් වන්නේ මනා ශික්ෂණයකිනි.

එනයින් ප්‍රේක්‍ෂකයා තුළ කුළු ගැන්වෙන මෝචනය නොවූ භාවයන් දිගින් දිගටම රඳවා ගන්නා සිනමාකරුවා, එය ප්‍රේක්‍ෂකයා හා තමා අතර, අඛණ්ඩ සබඳතාවක් බවට පත් කර ගන්නට සමත් වෙයි.

චෙකොෆ්ගේ කෙටිකතාවක එක වදනක් හෝ ඉවත නොදැමිය හැක්කාක් මෙන් මෙහි සෑම රූපරාමුවක් ම අර්ථවත් ජීවන ප්‍රකාශනයක් සඳහා යොදා ගන්නා අධ්‍යක්ෂවරයා අපට පෙන්වා දෙන්නේ කිසිදු ජනප්‍රිය ලක්ෂණයකින් තොර අන්තර්ගතයක් සහිත චිත්‍රපටයකින් වුවද, සිනමාවේදය නිසිලෙස අවබෝධ කර ගත් කලාකරුවකුට ප්‍රේක්ෂකයා දිනාගත හැකි බව ය.

අනෙක් පැත්තෙන් ඕනෑම සමාජීය හා දේශපාලන ප්‍රශ්නයක් ප්‍රචාරකවාදී නොවී විවරණය කිරීමට සිනමාව කොතෙක් කලාත්මකව භාවිතා කළ හැකිද යන්න ය. මීට අඩසිය වසකුත් වසර ගණනාවකට පෙර, කුමාරතුංඟ මුනිදාසයන් විසින් සිය “ප්‍රබන්ධ සංග්‍රහය” කෘතියේ කතා වස්තුවකින් විවරණ කරනු ලැබුවේ ද අද ලලිත් රත්නායක “විෂම භාග” මගින් විමසන මේ ගැටලුවේ ම තවත් පැතිකඩකි.

එහෙයින් මා “විෂම භාග” කෘතිය දකින්නේ ලලිත රත්නායක ළමා පරපුර වෙනුවෙන් කළ මාහැඟි කෘතියක් වශයෙන් පමණක් ම නොවේ. මෙහි දකින රුවන්සිරිලාගේ පරපුර වෙනුවෙන් කලාකරුවකු සිදු කළ අරගලයක් ද වශයෙනි.

 

Comments