නිදහසේ ආදීනව | සිළුමිණ

නිදහසේ ආදීනව

සෑම වර්ෂයකම පෙබරවාරි 04 වැනිදාට බ්‍රිතාන්‍ය කිරීට පාලනයෙන් නිදහස ලැබූ දිනය යෙදෙයි. රජය, විවිධ සංවිධාන, මෙවරත් හැත්තෑ දෙවන සංවත්සරය පවත්වයි. රජරට ගම් ඇත්තන්ට ලැබූ නිදහසේ සතුට යට යමින් තිබූ නිදහස ද නැති වනවා දැනෙයි. නුවර කලාවියේ හා තමන්කඩුවේ ඇත්තෝ සතුව තිබූ ජල සම්පත ඕනෑකමට ගළපා නිදහසේ භාවිත කළහ. ඇළකින් දොළකින් කුඹුරේ වක්කඩකින් දෝතට ගත් වතුර එක හුස්මට රසට බී පිපාසය සන්සිඳ ගත්තේ ය. වල්නාශක, කෘමිනාශක, පොහොර යොදාගෙන ගොවිතැන් කර ජලයට විෂ එකතු වීමෙන් ඒ නිදහස ද අහිමිව ඇත. වැවේ, ළිඳේ ජලය කිසිදාක මිල නොකළ අපටත් ගම්වටා ඇවිදින පිරිසුදු යයි කියන වතුර මුදලට ගන්න සිදුව ඇත. පෙරදා කුඹුරු ඇළ වේලි ලියදිවල කුඩමසුන් නිදහසේ ජීවත්වූහ. අද දියෙහි පමණක් නොව අපගේ ගොවිතැන රැකදුන් පසයට සිටි ගැඩවිල්ලන්, ගොයම මත්තෙහි සිටි මකුළුවන් බත් කූරන් වැනි හිතකර සතුන්ගේ ‘නිදහස’ ද අහිමිවීමේ විපාක ගොවි අපට ද විඳින්න සිදුව තිබේ.

එදා අලි ඇතුන්ට ගෝළු ගා, කෑමොර දී, ගිනි මැල ගසා පලවා හැරියත් අද ඒ නිදහස අලි අපට නොදෙයි. ගෙවල් දොරවල් කඩා බිඳ කුඹුරු වතුපිටි වනසා ජීවිත හානි ද පමුණුවයි. අලි ඇතුන්ගේ ‘නිදහස’ ද අපෙන් ඇහිරී ඇත. අලි යන එන මඟ අහුරා පාරවල්, වතු පිටි, කුඹුරු අස්වද්දා ඇත. උන්ගේ ආහාර ලැබුණ කැලෑ, ලඳු අද එළිකර ඇත. ඉතා කලාතුරකින් බිය වැද්දීමට පීරංග, ගසා (කලං පඩි) බේත් කොටන තුවක්කුවකින් පෙරදා අහසට වෙඩි තැබුවේ ය. අද ඇත්තෝ අලි ඇතුන්ටම මානා වෙඩි තබයි. වට්ටක්කා ගෙඩිවලට වෙඩි බේත් දා හකු පුපුරවයි. මංගල වස්තු ගන්න අලි ඇතුන් මරා දමයි. මෙසේ අපේ සත්දන්තයන් ගේ ‘නිදහස’ ද ද්වේශයෙන් මිනිස්සු උදුරාගෙන ඇත. මේ දෙගොල්ලගේ ම නිදහස රැකෙන්නේ සොබාදහමේ තීරණයන්ට අනුව කටයුතු කිරීමෙන් පමණකි. පාලක ඇත්තෝ ඒ දිගුකාලීන වැඩසටහන් අමතක නොකළ යුතු ය‍.

‘නිදහස’ වදන විවිධත්ව අර්ථ දෙයි. බැඳීමෙන් ගැලවීම, යටහත් බවෙන් මිදීම, වහල් බවෙන් ගැලවීම, හිරවීමෙන්, ගැට ගැසීමෙන් මිදීම, ඇලීම ගැටීම වැනි ක්‍රියාවන්ගෙන් බැහැරවීම ඉන් කීපයකි. නිදහස හා බැඳුන වඩාත් සමීප අරුතක් ‘නිවහල්’ වදනෙන් ප්‍රකට වෙයි. නිදහස, පුද්ගල, සමූහ, ආයතන, ප්‍රදේශ, රට වශයෙන් ද ප්‍රාර්ථනා කරයි. අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබුණි. එයින් නිදහස් වීමට අපේ රට වැසියන්, පුද්ගල වශයෙන් හා සාමූහික වශයෙන් ක්‍රියා කළහ.

සීහළයින් පරදේශික පාලනයන්ට එරෙහිව නිදහස් සටන්, රාවණ, දුටුගැමුණු, වලගම්බා රාජ යුගයන්හී ද, සටන් කර ජය ලබාගත්හ. පරංගි, ලන්දේශි හා ඉංග්‍රීසින් රට යටත් කරගන්නා කාලය වන විට ශ්‍රී ලංකාවේ දෙමළ, මුස්ලිම් ජාතීහු ද ශ්‍රී ලාංකිකයන් ලෙසටම පිළිගැනුණි. එනිසා බටහිර ඉංග්‍රීසි යටත්විජිතයෙන් නිදහස් වීමේදී ඔවුන් ද කොටස්කරුවන් කර ගන්නා ලදී. රට ස්වාධීන කරගැනීමේ අරගලයට අපේ අතීත අත්දැකීම් ශක්තියක් විය. වාරියපොළ නායක හිමි, ගොන්ගාලේ ගොඩබණ්ඩා, වීරපුරන් අප්පු, බූටෑවේ රාල, මොණරවිල දිසාවේ ආදී වීරයන් එම පෙරගමන් කරුවෝය.

නිදහස් සටන මුවහත් කිරීමට සාහිත මඟ ද, කවි මඟද බෙහෙවින් ඉවහල් විය. මුනිදාස කුමාරතුංග, ඩබ්.ඒ. සිල්වා, පියදාස සිරිසේන, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි විද්වතුන්ගෙන් ඊට ලද සහය අපමණය. සිංහල බෞද්ධ අනන්‍යතාව රැක්මට මුළු ජීවිතයම කැප කළ අනගාරික ධර්මපාල තුමන්, වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමන් වැනි අය ජාතිකත්වය මතු කරමින් ජනබලය අවදි කළේ ය‍. වාම දේශපාලනයේ සූරිය මල් ව්‍යාපාරයේ පුරෝගාමින් වූ එඩ්මන් සමරක්කොඩි, ආචාර්ය ඇන්.එම්. පෙරේරා, මැතිදුන්ලාගේ දේශපාලනය නිදහස ලබා ගැනීමට ද මග පෑදවූවේ ය. මේ නිසාම පිලිප්, රොබට්, ඇන්.ඇම්. යන සුරතල් නම් ලැබූ වාම නායකයින්ට සිරබත් කෑමට ද සිදුවිය. අවසන් නිදහස් සටනේ ක්‍රියාකාරකම්, එෆ්.ආර්. සේනානායක, ටී.බී. ජායා, සිද්ධි ලෙබ්බේ, පොන්නම්බලම් රාමනාදන්, අරුණාචලම්, සර් ඩී.බී‍. ජයතිලක, ඩී.එස්. සේනානායක වැනි ජාතික නායකයෝ එක්ව සිදු කළෝය. 1932 දී ඩී.එස්. සේනානායක හා එස්.ඩබ්ලිව්.ආර්.ඩී.‍ බණ්ඩාරනායක මැතිවරුන්ගේ ‘ලංකා ජාතික සංගමය’ පිහිටුවීමෙන් නිදහස් සටන තවත් ශක්තිමත් විය. ඒ ව‍ර්ෂයේදීම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් ‘සිංහල මහ සභාව’ පිහිටුවා බෞද්ධාගමික පාර්ශ්ව, සාහිත්‍යධරයන්, ප්‍රමුඛ කලාකාමීන් ද නිදහස් සටනට සජිවී ලෙස ම සම්බන්ධ කළෝය. රටපුරා විසිරී තිබූ මහ පිරිවෙන්වල අධිපතිත්ව දැරුම හා සඟරුවන පෙරමුණට වැඩි සේක. පසුකාලේ දී මහ පිරිවෙන් විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කළේ ය. සිරිමත් ඕල්කොට්තුමන් ආනන්ද, නාලන්ද විදුහල් ඇති කරන විට හරිස්චන්ද්‍ර නවෝදයෙන් රජරටට මහා බෝධි සිංහල විද්‍යාලය ඇති කළේය. බ්‍රිතාන්‍ය රජය සමඟ කෙරුණ සාකච්ඡා ලිපි ගනුදෙනුවලින් පසු මහා රාජනිය 1948 පෙබරවාරි 04 දාට තම කිරීම පාලනයෙන් අපේ රට නිදහස් කළේ ය. එදා මේ පණිවිඩය යාපනය, මඩකලපුව, මාතර, හලාවත සතර දෙසින් කඩින් කඩ දුව ආ සෙනඟ නිදහස් චතුරශ්‍රයට ගෙන ඒමෙන් ශ්‍රී ලාංකික ජාතිකත්වය ද සංකේතවත් කළේ ය.

ඉන් පසු ඩී.එස්. සේනානායක අගමැතිඳුන් නටබුන් වූ වැව් අමුණු, යෝධ ඇළවල්, පුනරුත්ථාපනය කළේ ය. සේනානායක සමුද්‍රය වැනි මහ වැව් සාදා ජන ව්‍යාප්තියත්, කෘෂි සංවර්ධනයටත් නව ගොවි ජනපද පිහිටුවිය. ඩී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් නිදහස් අධ්‍යාපනයට මුල පිරීය. ලැබූ නිදහස අර්ථවත් වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමන් කළ 1956 විප්ලවයෙනි. මුදලට ඉගැන්වූ පාසල් රජයට ගෙන නොමිලේ උගැන්වීය. බස්, වතු, ජනසතු කෙළේ ය. ජාතික වැදගත්කමින් යුතු ත්‍රිකුණාමලය වරාය ලබා ගත්තේය. අපටම ආවේණික ජනරජ ව්‍යවස්ථා ඇති විය. අද අපි ඒවායේ හොඳ නරක විඳිමින් සිටිමු.

අද වනවිට එදා නිදහස් වූ අධ්‍යාපනය අතිරේක පන්තිකාරයන්ට මුදල් ගෙවා ලබන්ට සිදුවී ඇත. දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන පාසල් සෙවීම දරුවා බඩට එනවිට ම අම්මා පදිංචිය වෙනස් කරගත යුතු තත්ත්වයට පත්ව ඇත‍. දරුවන් ශිෂ්‍යත්වයට පෙනී සිටියත් දෙමවුපියන් සියලු බර කරට ගෙන තරගයේ දුවති. වැඩිහිටි දරුවන් ඉගැන්නුම් පන්තිවලට මුවාවී වටිනා ජීවිත හානි කරගන්නා අවස්ථා බහුලය‍. විවෘත කළ ආර්ථිකය සුනාමියක් සේ පැමිණ අපට ආවේණික ආර්ථ ක්‍රම ද විළි බිය ඇතිව හැදුණ මනුෂ්‍යා ද, මහා සාගරයට ගෙන ගොස් හමාරය. ‘නිදහස’ අප කුඩා කල ඉගෙන ගත් වල් බූරු තත්ත්වයට පත්ව ඇත. පුද්ගලිකත්වය ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයට හසුව ‘නිදහසේ’ නිරුවත් කරයි. ඇසට කනට ඉල්ලන දේ නොව දෙන දේ බලහත්කාරකම් කරයි. මේ විකෘතිය සියලු ආගම්, දර්ශන කෙරේ ද බලපෑම් කරයි. මේවා කොටු ගම් ගොඩරළු ගම් යයි නිර්මලව පැවතුණ අපේ ගම්මානයන් තුළ ද අඩු වැඩි ලෙසින් දැකීම දුකට කරුණකි.

‘නිදහස’ සමරන මේ උතුම් අවස්ථාවේ අලුතින් සිතන ර‍ටේ ප්‍රධාන නායකතුමාට, ගමන් බිමන් යැමේ ‘ජීවත්වීමේ නිදහස’ ට මුල් තැනදී ජාතික ආරක්ෂාව තහවුරු කරදුන් අයුරින් ම අනෙකුත් ගිලිහුණ ‘නිදහස’ ලබාදීමට ද සියලු දෙනාගේම සහය ලැබිය යුතු වන්නේ ය.

මාමිනියාවේ ඉලංගසිංහ

Comments