තවමත් තවලම් යන ලැමසූරිය ගමේ ගොවියෝ | සිළුමිණ

තවමත් තවලම් යන ලැමසූරිය ගමේ ගොවියෝ

- කුඹුරු යායාට යන්න හරි හමන් පාරක් නෑ. 
- ට්‍රැක්ටර් වලින් කුඹුරු වැඩ කරන්න බැහැ. 
- තියෙන ඇළ කණ්ඩියෙන් හරකෙකුටවත් යන්න බෑ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ලැමසූරිය ගම්මානයේ තවමත් සිටින්නේ බොහෝ දුෂ්කර තත්වයේය. අධිවේගි මාර්ග ඉදිව තිබෙන යුගයක ලැමසූරිය ගම්වැසියන්ට තවමත් භාණ්ඩ ප්‍රවාහනය කරන්නට සිදුව තිබෙන්නේ තවලම් මගිනි. ඒ ගම්මානයට යෑමට නිසි මාර්ග පහසුකම් නොමැති නිසාය. හෙක්ටයාර එකසිය විස්සක පමණ වගා වපසරියකින් යුතු ලැමසූරිය ගම්මානයේ වැසියන් වසර ගණනාවක් තිස්සේ දුෂ්කරතාවලින් පීඩා විඳින නමුත් බලධාරීන් කිසිවකුත් ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට මෙතෙක් උනන්දු වී නැත. වී වගාව ප්‍රමුඛ ගොවිතැන ජීවනෝපාය කරගගත් ගම්වැසියෝ යල හා මහ කන්නයේ අස්වනු ප්‍රවාහනය කර ගැනීමට මේ දක්වාම යොදා ගනු ලබන්නේ තවලම්ය. 

මහනුවර බදුල්ල රජ මාවතේ මහනුවර සිට කිලෝමීටර් හතළිස් පහක පමණ දුරින් ලැමසූරිය වෙල්යාය පිහිටා තිබේ. යල මහ දෙකන්නයේ වී වගා කෙරෙන මෙම කුඹුරු ආසන්නයට හෝ ඒමට මාර්ග පහසුකම් නොමැත. මේ නිසා නෙළා ගන්නා අස්වනු කුඹුරේ සිට මහා මාර්ගය දක්වාම තවලම් පිට රැගෙන යාමට ගම්වැසියන්ට සිදුව තිබේ. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ කීර්තිබණ්ඩාරපුර හා ලැමසූරිය ප්‍රදේශ වල පැතිර ගිය මැලේරියා වසංගතය හේතුවෙන් එම ගම්මාසීන් ප්‍රදේශය අතර හැර ගොස් තිබෙන අතර වගා කිරීමට ගොවීන් නොමැති නිසා පසුකාලීනව වෙල් යායේ කුඹුරු උඩවත්ත, මොරගොල්ල, ඉල්ලගොල්ල, උඩගල උඩ, වලපනේ, මුංවත්ත ඇතුළු ගම්මාන රැසක පදංචිකරුවන්ට ලබා දීමට උප ඒජන්ත ජේ.ආර්. මසූරියර් මහතා ක්‍රියාකර ඇත. රජයේ අනුග්‍රහය මත මසූරියර් මහතා විසින් කිලෝමීටර් හතකට අසන්න දුරකට ඇළ වේලි සකස් කරදී තිබේ. මේ නිසා සියලු කුඹුරු අස්වැද්දිය හැකි ලෙස ජල සම්පාදන ක්‍රමයක් අද ද එහි ඉතිරිව ඇත. මෙලෙස කුඹුරු වල හිමිකම ලබාගත් පිරිස් ලැමසූරිය වෙල්යාය ආසන්නයේ පදිංචිකරුවන් නොවන අතර ඔවුන් කුඹුරුයාය කිට්ටුව ජීවත් වන ගම්මාන වල ගොවීන්ට වී වගාව පිණිස අඳ ක්‍රමයට එම කුඹුරු ලබාදී තිබේ.

එකළ ප්‍රවාහන පහසුකම් පුළුල්ව නොමැති නිසා මෙම වෙල්යායේ සිට වී අස්වනු ප්‍රධාන මාර්ගයට ගෙන එනු ලැබ තිබෙන්නේ ගොනුන් බැඳ තවලම් මගිනි. මේ වන විට තාක්ෂණය දියුණුවී ප්‍රවාහන පහසුකම් පුළුල්වී තිබුණද සිය වෙල් යාය අසළට මාර්ග පහසුකම් නොමැති නිසා අවම අවශයෙන් කිලෝ මීටර් තුනක්වත් තවලම් මගින් වී ප්‍රවාහනය කිරීමට සිදුවන බව ගොවියෝ පවසති.

වෙල් යායේ ඈත කෙළවරේ ඇති කුඹුරු වගා කරන ගොවීන්ට තවලම් මගින් කිලෝ මීටර හතක් පමණ දුර වී ප්‍රවාහනය කරන්නට සිදුව තිබේ. ගොවි පවුල් තුන්සිය හැත්තෑපහක දහසකට අධික පිරිසක් මෙම වෙල් යාය අස්වද්දති. නමුත් අවාසනාවන්ත සිද්ධිය වන්නේ වෙනත් ඔවුන්ට මෙම වෙල් යායේ එක බිම් අඟලක හෝ නීත්‍යනුකූල හිමි කමක් නොමැති වීමයි. ඔවුන් කුඹුරු වගා කරන්නේ අඳ ක්‍රමයටය. මේ නිසා මෙහි කඹුරු වගා කරන්නට ගොවීන්ට අවස්ථාව ලැබෙන්නේ කන්නයක් හැර කන්නයක්ය. කුඹුරු හිමිකරුවෝ අතර මැද කන්නය වෙනත් අයෙකුට ලබා දෙන බව ගොවියෝ පවසති.

“බෙලිහුල්ඔය වෙල් යාය මැදින් ගලා බසිනවා. ඔයෙන් එගොඩ හා මෙගොඩ වගා කරන හැමෝම වී ප්‍රවාහනය කළ යුතුව තිබෙන්නේ තවලම් වලින්. අපි උදේ පාන්දර පහට ගෙදරින් පිටත් වෙලා ආවත් වෙල් යායට එද්දී උදේ දහය විතර වෙනවා. වැඩ අවසන් වෙද්දී රෑ අට විතර වෙනවා. ගෙදර යන්නේ රෑ සහයට එකොළහය.රට කොතරම් දියුණුයි කිව්වත් අපි තාමත් ඉන්නේ එක් දහස් අටසිය ගණන් වල. වෙනත් ගොවියන්ට වගේ අපිට පොහොර වෙල ළඟට ගේන්න විදිහක් නැහැ. කැලේ මැදින් කඳු බෑවුම් තියෙන පාරකින් තමයි අපි වෙල් යායට එන්නේ. ගාමිණී හිටිහාමු කියන්නේය.

වෙල් යායේ ඉඳලා වාහන යන පාරට කිලෝමීටර් තුනක විතර දුරක් තියෙනවා. තවලම් වලින් වී අරගෙන ගියාට ඒ පාරේ වාහනයක් හොයා ගන්න බැරි වුණොත් දියතලාව කඳු වැටිය ආසන්නයේ වනගත මාර්ගයකින් කිලෝ මීටර් අටක පමණ දුර ගෙවා ගෙන උඩ ගල උඩ ගම්මානයට යන්න ඕන. ගාමිණී හිටිහාමු මහතා පැවසුවේය.

“වෙල් යායාට එන්න ඕන කැලෑ පාරවල් වලින්. මේ වගේ දිවියෝ ඉන්නවා. රෑට යන්නේ එන්නේ හුළු අතු පත්තු කරගෙන. ගමේ හරක් කිහිප දෙනෙකුටම දිවියෝ පහර දීලා තිබුණා. අපි ඉල්ලන්නේ මේ කුඹුරට පාරක් හදලා දෙන්න කියලයි. අපි බැතක් සකස් කර තවලමක් එනතුරු දිනකට වඩා වැඩි කාලයක් බලා ඉන්න ඕන. ඉස්සර ගොන් වස්සන් 500ක් පමණ තවලමේ ආවා. දැන් ඉන්නේ 70 ක් විතර. මේ සත්තු නඩත්තු කිරීම අසීරුයි. ඉස්සර තවලම් කාරයින්ට වැඩ තිබුණා. දැන් වැඩ තිබෙන්නේ මේ වෙල් යායේ දෙකන්නයේදී විතරයි. මේ නිසා දැන් තවලමක් හොයා ගන්න එකත් දැන් අමාරුයි. මේ විදිහට ගියොත් අපිට කරෙන් තමයි වී අදින්න වෙන්නේ.” ඉල්ලගොල්ල ගම්මානයේ පදිංචි ගොවි කේ.ජී.දයාරත්න පැවැසුවේය.

කේ. ආර්. කුමුදුනි නිරෝෂා කියන්නේ වෙල් යායේ ඇල වේල්ල පිහිටලා තිබෙන්නේ උසකින් නිසා ඉන් පහළට බහින්නට පහසු වෙන්නට අඩු තරමින් ඇළ වේල්ල පහත් කරලා දෙනවා නම් ඒකත් හොඳයි කියාය.

ඔවුහු ගොවිතැන් කිරීම සදහා අපමණ මහන්සියක් වේ.

“මගේ පියාගේ කාලයේ සිට මම මේ වෙල් යායේ කුඹුරු කරන්න එනවා. ඉතා දුක් මහන්සියෙන් තමයි මේ ගොවිතැන් කරන්න වෙලා තියෙන්නේ. වියදම් වැඩි නිසා ගොවිතැන ලාබ දායි එකක් නොවෙයි. වී පෑලක් වැඩ කරන්න අද රුපියල් තිස්දහසකට වඩා මුදලක් වැය වෙනවා. අපි වැඩ මුර තුනක් කරන්න ඕන. වී පෑලකට පහළොස් දෙනෙකු වැඩ කරන්න වෙනවා. මී ගොන් බානකට රුපියල් හාරදාහක් දෙන්න ඕන. අද තාක්ෂණය දියුණු වෙලා තිබුණත් කුඹුරට ඒ තාක්ෂණය ගේන්න විදිහක් නැහැ. මේ නිසා හැම දේම මිනිස් ශ්‍රමයෙන්ම කරන්න වෙලා. ඇළ වේල්ල මතින් මාර්ගයක් ඉදි කර දෙන්න කියා අප ඉල්ලා සිටියත් ඒක ඉටුවෙන පාටක් නැහැ.” පිටියේ ගෙදර අබේරත්න පවසන්නේ කනගාටුවෙනි.

හරිහමන් පාරක් නැති කමින් සදා කාලික දුකින් කල් ගෙවන ගැමියෝ වෙනුවෙන් මඩවලතැන්නේ පදිංචි ආර්. එම්. ජී. ජී. අබේසිංහ බණ්ඩා කළේ මෙවැනි ඉල්ලීමකි.

“මේ වෙල් යාය මැදින් සිංහල රජ කාලේ බදුලු පාර නමින් පාරක් තිබිලා තියෙනවා. ඒක භාවිත නොවීම නිසා අද අඩි පාරක් බවට පත්වෙලා. මේ මාර්ගය හරි තරමක් දුරට සකස් කරලා දෙනවා නම් ඒක අපි හැමෝටම විශාල සහනයක්.”

Comments