චේ සමඟ වරුවක් ගත කරන්න එන්න යන්න යහල්කැලයට | සිළුමිණ

චේ සමඟ වරුවක් ගත කරන්න එන්න යන්න යහල්කැලයට

වසර 47කට පසු එළිදුටු අර්නස්ටෝ චේ ගුවේරා මරා දැමූ අවස්ථාවේ ගන්නා ලද වර්ණ ඡායාරූප.

චේ කිර්තිය උදෙසා සටන් නොකළේය භෞතික සම්පත් උදෙසා හෝ අභිලාෂයන් උදෙසා සටන් නොකළේය ඔහු මුල සිටම නිවැරදි මිනිසෙක් විය පළමු සටනේ සිට ජීවිතය දීමට සුදානම් විය තවත් එක් සෙබළෙක් පමණක් ලෙස මියයාමට සුදානම්ව සිටියේය. 
- ෆිදෙල් ක්‍රැස්තෝ

* චේ වත්තෙන් යන්න කලින් මට සුරුට්ටු පෙට්ටියක් දීලා තව අවුරුදු දහයකින් නැවත එනවා කියලා ගියා 
* චේ අතින් රෝපිත ලොව දැනට ඇති එකම වෘක්ෂය යහලකැලේ මේ මහෝගනී ගහයි

චේ ගුවේරා ශ්‍රී ලංකාවට පැමිණියේ 1959 අගෝස්තු මාසයේ 07 දා ය. කියුබානු විප්ලවවාදී සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා ආර්ථික ඇමැතිවරයා මෙන් ම කියුබාවේ ජාතික බැංකුවේ සභාපති ධුරය ද ඇතුළු වගකීම් රාශියක් ‍උසුලමින් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණි චේ හොරණ මොරගහහේන යහල කැලේ වතුයායට පැමිණියේ ය. ඒ ආවේ 1959 අගෝස්තු 08 දින ය.

“මම ශ්‍රී ලංකාවට ආදරෙයි. ශ්‍රී ලංකාවේ පරිසරයට ගොඩාක්ම ආදරෙයි. මගේ ගමන සිහිවීමට පවතින ඉහළම මාර්ගය මෙයයි.”

එදා එසේ තේජාන්විතව පැවැසූ චේ ගුවේරා සිටවූ මහෝගනී වෘක්ෂය අද දැවැන්ත වෘක්ෂයකි‍.

චේ කියුබාවේ පුරවැසිභාවය ලබන්නේ 1959.02.09 දාය. චේ මෙන් ම අධිරාජ්‍යවාදයට නව යටත් විජිතවාදයට ධනවාදයට විරුද්ධව සටන් කළ අපේ අමරණීය ජාතික වීරවරයන්ගේ ලෙයින් කඳුළින් දහදිය සුවඳින් අවුරුදු 450කට අධික කාලයක් අප්‍රමාණ සටන් කර ලබාගත් නිදහස සමරන මේ නිදහස් සතියේම දිනක චේ කියුබාවේ පුරවැසිභාවය ලැබීම ඓතිහාසික සිදුවීමකි.

ආදරණීය චේ දේශයක් ජාතියක් උදෙසා සටන් කළේ නැත. ඔහු සටන් කළේ ද දුක් වින්දේ ද, ග්‍රන්ථ රචනා කළේ ද ලොව පුරා සංචාරය කළේ ද දේශන පැවැත්වූයේ ද සමස්ත මානව වර්ගයාගේ ම විමුක්තිය උදෙසා ය. 

ස්පාඤ්ඤ ජාතික ලින්ච් පවුලේ ප්‍රථම දරුවා ව‍ූ චේ උපත ලැබුවේ 1928 ජ‍ූනි 14 වැනිදා ය. අර්නස්ටෝ චේ ගුවේරා යන නම මවුපියන් ඔහුට තැබ‍‍ූවත් ඔවුන් ඔහු ඇමැතුවේ ටෙටේ යන සුරතල් නමින් ය.

චේගේ මව ආර්ජන්ටිනියා ජාතික සිලියා විය. චේගෙන් පසුව ලින්ච් පවුලට තවත් දූ පුතුන් සිව් දෙනෙක් උපන්හ. ආනා මාරියා, රොබට් ජුවාන් මාටින් සහ සීලියා චේගේ සොයුරු සොයුරියෝය. මේ දරුවන් හතර දෙනාම ඉගෙනීමේ දක්ෂයන් වුවත් චේගේ අධ්‍යාපනය පිළිබඳ මවුපියන් බලාපොරොත්තු තැබුවේ නැත. ඒ චේ අවුරුදු දෙකේදී ‍සිටම තදබල ඇඳුම රෝගයෙන් පෙළුණ නිසා ය. මේ නිසා චේට පුරා අවුරුදු දෙකක්ම අකුරු කළේ ඔහුගේ මවයි.

චේ පාසල් අවධියේ සිටම දේශ සංචාරයට ඇලුම් කළේය. චේගේ පාසල් සමයේදී ව්‍යාපාරික සමාගමක් සංවිධානය කළ පාපැදි ගමනට සහභාගි වී ආර්ජන්ටිනාවේ පළාත් 12ක් පුරා කිලෝමීටර් 4000 ක් සංචාරය කළේ ඔහු තුළ දේශ සංචාරයට පැවැති දැඩි ආශාව නිසාමය.

වසර 1946 සිට 1953 දක්වා බුවනොස් අයිරිෂ් ජාතික විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් චේ ගුවේරාගේ සරසවි සමයේදී පවා විනෝදාංශය වූයේ සංචාරයයි.

ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන් ම ලාදුරු රෝග විශේෂඥයෙකු ලෙසින් 1953 දී උපාධිය ලබාගත් චේගුවේරා අනතුරුව ලතින් ඇමෙරිකානු රටවල් වන බොලිවියාව, පීරු රාජ්‍ය, ඉක්වදෝරය, කොලොම්බියාව, පැනමා, කොස්ටාරිකා සහ සැල්වදෝර්හි සංචාරය කළේ ය.

තරුණ වෛද්‍ය සිසුවකු ලෙස මේ රටවල සංචාරය කිරීමේදී එහි පැවැති දුප්පත්කම දැකීමෙන් අතිශය කම්පාවට පත් විය‍. දිළිඳුභාවයට හා සමානාත්මතාවයක් නැතිකමට මූලික හේතුව විසම සමාජ ක්‍රමය බව ඔහුට අවබෝධ විය.

එම තත්ත්වය වෛද්‍ය ශාස්ත්‍රයෙන් ‍හෝ වෙද නළාවෙන් වෙනස් කළ නොහැකි බවත් එකම විකල්පය විසඳුම සමාජවාදී ලෝක විප්ලවයක් ආරම්භ කිරීම බවත් චේට අවබෝධ විය.

වෛද්‍ය විද්‍යාවෙන් බැහැර විසඳුම් සෙවීම, සංවිධානය, පුද්ගලයන් හඳුනාගැනීම විසඳුම් සාකච්ඡා කිරීම උදෙසා ඔහු 1953 – 1954 කාලය කැප කළේ ය.

එම අරමුණ ඇතුව ගෝතමාලාවේ සමාජ විප්ලවයට ජීවය දෙමින් ජනාධිපති ජාකෝමෝ අර්වෙන්ඩ් ගුප්මේත් සමඟ එක් විය. ජාකෝමේගේ ආණ්ඩුව ආරක්ෂා කිරීමේ අරගලය පරාජය වීම නිසා චේ මැක්සිකෝවට පැමිණියේ ය.

වර්ෂ 1954 සිට 1956 දක්වා මැක්සිකෝ රාජ්‍යයේ වෛද්‍ය සේවය ආරම්භ කළ ඔහු 1957 දී කියුබානු විප්ලවයට එක් වෙයි. කියුබානු විප්ලවීය හමුදාවේ මේජර් පදවියට පත් වන චේ ගුවේරා එහි සිව් වන සේනාංකයක් මෙහෙයවමින් 1958 දෙසැම්බර් 28 සිට 31 දක්වා පැවැති ශාන්ත ක්ලේරා සටනක් පණ ගන්වයි.

චේ ශාන්ත ක්ලේරා සටනේදී වර්ෂ 1959 ජනවාරි 01 වැනිදා කියුබා ජනාධිපතිවරයෙකු වූ Fulgencio Batistaගේ හමුදාව පරාජය කොට නගරය අත්පත් කර ගත්තේ ය.

චේ ජනවාරි 02 දා සිට සේනාංක සමඟ හවානා නුවරට ඇතුළු වෙයි.

ඒ කැප වීම් අගයා වසර 1959 පෙබරවාරි 09 දා කියුබා විප්ලවවාදී ජනරජයේ ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ ප්‍රමුඛ විශේෂ මණ්ඩලයකින් පැනවූ විශේෂ ආඥාවකින් චේගු වේරාට කියුබාවේ පුරවැසිභාවය ප්‍රදානය කෙරිණි. එම අවුරුද්දේ ජූනි 02 දා කියුබා ජාතික තරුණියක වන ඇලීඩා මාර්ච් සමඟ විවාහ වෙයි.

පිදෙල් ක්‍රස්තෝගේ ජූලි 26 ව්‍යාපාරයේ කියුබා විප්ලවයෙන් පසුව කියුබා රජයේ නියෝජිතයෙකු ලෙසට 1959 ජූනි 12 සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා සිව් මසක රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරකට එක් වෙයි.

සංචාරයේදී ඊජිප්තුව, සුඩානය, පාකිස්තානය, ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, ජපානය, මොරොක්කෝව, යුගෝස්ලෝවියාව, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව ඇතුළුව රටවලට සැපත්වන චේ‍ එම රටවල නායකයන් හමුවී අත්දැකීම් බෙදාහදාගනිමින් මිත්‍රත්වය තහවුරු කරමින් කියුබාව උදෙසා දැවැන්ත සේවයක යෙදුණේය.

එම සංචාරයේදී චේ ශ්‍රී ලංකාවට පැමිණියේ වර්ෂ 1959 අගෝස්තු 07 දා ය. 

අර්නස්ටො චේ ගුවේරාගේ සංචාරයේදී ඔහු ශ්‍රී ලංකාව කෙරෙහි සහෝදරාත්මක බැඳීමකින් ආකල්පයකින් යුතුව විශේෂ වුවමනාවකින් පැමිණීම තීරණය කර තිබිණි.

කියුබා අභිනව රාජ්‍යයට එරෙහිව අධිරාජ්‍ය ගැති සහ යටත් විජිතවාදී රටවල් විවිධ මත පළ කරද්දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය දිවංගත බණ්ඩාරනායක මැතිතුමන්ගේ රජය 1959 ජනවාරි මාසයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියුබා රජය පිළිගන්නා බවට ප්‍රසිද්ධියේම කළ හෙළි කිරීමයි.

මේ අතර චේ ශ්‍රී ලංකාවට පැමිණීම තවත් එක් සුවිශේෂී හේතුවක් වූයේ ශ්‍රී ලංකාව ලෝකයේ නොම්මර 01 හොඳම රබර් නිෂ්පාදනය කළ රටක් වීමයි. ශ්‍රී ලංකාවේ තේ සහ පොල් වගාව පිළිබඳ ද මේ අවධියේ ලෝකයේ ඉහළම ප්‍රසාදයක් පැවතිණි.

ඒ සියලු වගා සහ කර්මාන්ත පිළිබඳ අත්දැකීම් ලබාගනිමින් කියුබා ජනරජය සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගිතාව ප්‍රවර්ධනය කරගැනීමත් අපේ කම්කරු ව්‍යාපාරයේ අපේක්ෂා සමඟ සහජීවනයෙන් යුතුව ක්‍රියා කිරීමත් චේගේ අපේක්ෂා විය.

එම අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමේ අභිලාෂය ඇතුව අර්නස්ටෝ චේ ගුවේරාගේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වී දෙවැනි දා එනම් 1959 අගෝස්තු 08 චේගේ හොරණ යහළ කැලේ සම්ප්‍රාප්තිය සිදු විය.

“මේ වත්ත ඒ කාලයේ අක්කර 3000ක් පමණ විශාලයි. රබර් වගාවට අමතරව තේ, පොල් ආදිය ඉතා සශ්‍රීකව පැවැතුණා. කිරි කැපුම්කරුවන් සමඟ වතු අධිකාරිවරුන් උප පාලකයන් මුරකරුවන් කන්කානම්වරුන් ඇතුළු දහසකට වැඩිය පිරිසක් මේ වත්තේ රස්සාව කළා.

“මගේ ගම රත්නපුර එල්ලාවල. මම 1930 දීයි මේ වත්තට ආවේ. මේ වත්තේ බංගලාව ආරක්ෂා කරන රාජකාරියට අමතරව මම ඒ කාලයේ පැක්ටේරියේ රාජකාරිත් කළා.

ඒ කාලයේ දැන් වාගේ නෙමේ. මේ වත්ත හරි කාර්ය බහුලයි. සතියට නිතර නිතර ම රටේ ඉහළ නායක නායිකාවන්, ප්‍රභූවරුන් දේශ දේශාන්තරවල රට කරවන උත්තමයන් මේ වලව්වට එනවා.

ඒ කාලයේ තමයි චේ මේ වත්තට පැමිණියේ. එතුමා කියුබාවේ කර්මාන්ත ඇමැතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවට ආවාට පස්සේ ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ප්‍රගතිය සොයාබලා පරීක්ෂා කිරීමත් අරමුණක් වෙලා තිබුණා.

ඉතින් චේ ගුවේරා එදා ආණ්ඩුකාර සර් ගුණතිලකයන්ට මේ පණිවුඩය කියලා තියෙනවා. සර් ඔලිවර් ගුණතිලක ආණ්ඩුකාර උත්තමයාට යහල කැලේ වතුයායේ සුන්දරත්වය, ඉහළම රබර් පලදාව වාගේ ම බංගලාවේ පවතින රාජකීයයන් හට නවාතැන් ගැනීමට ඇති සුඛෝපභෝගී පහසුකම්, උද්‍යානයේ පවතින අතිශය දර්ශනීය නිර්මාණශීලී සැලැස්ම වාගේ ම ආගන්තුක සත්කාරය ආදී කටයුතු එක එල්ලේ ම මතක් වෙලා වතු අධිකාරිතුමා වශයෙන් ඒ කාලයේ සිටිය අපේ ලොකු මහත්තයාට ජේ.එල්.ඩී. පීරිස් මහතාට කතා කරලා තියෙනවා.

ලොකු මහත්තයා මට 07 දා කතා කළා. හෙට අගෝස්තු 08 උදේ අමුත්තන් පිරිසක් වත්තට එනවා. ඒ අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කරන්නට සූදානම් වෙලා ඉන්න කියලා මට දුරකතනයෙන් කිව්වා. මම දැන ගෙන සිටියේ නැහැ මේ එන්නේ කියුබා ආණ්ඩුවේ ලොකු කෙරුම්කාරයෙක් කියලා. ඒ කාලයේ කියුබා විප්ලවය ගැන අපි අහලා සතුටින් සිටියේ.

08 උදේ පාන්දරින් චේ ගුවේරා ආ‍වා. සම්බන්ධිකරණය කළේ අණ්ඩුකාර ගුණතිලක මහතාගෙයි වතු අධිකාරිතුමාගෙයි හිතවතෙකුව සිටිය එච්.ඩී‍. පෙරේරා මහත්තයායි. ඔවුන් සමඟ භාෂා පරිවර්තක මහත්තයෙකුත් සිටියා‍.

ආරක්ෂක භටයන් දෙතුන් දෙනෙක් එක්ක වත්තට ආපු ආකාරයෙන් ම මම දැනගත්තා මේ එන්නේ කවදාවත් ආපු නැති තේජාන්විත ඇත්තෙක් කියලා. විපරම් කරන කොට කිව්වා මේ තමයි කියුබානු ආණ්ඩුවේ අමාත්‍ය චේ ගුවේරා කියලා. චේ ගුවේරා සිටියේ කාකි ඇඳුමක් ඇඳලා. අනෙක් පිරිසත් ඒ සමානම ඇඳුම් ඇඳලා.

චේ ගුවේරා වතු බංගලා වලව්වේ දර්ශනීය දික් සගල පුටුවේ ඉඳගත්තා. මා සමඟ මුව පුරා සිනහා වෙලා කතා කළා. උද්‍යානයේ හතර වටේම සතුටින් ඇවිද්දා. ඊට පස්සේ වත්තේ රබර් කිරි කපන රබර් වත්තේ නෙළන සේවක පිරිස සමඟ සාකච්ඡා කළා.

රබර් කර්මාන්තය ගැන විස්තර විමසුවා‍. රබර් ෂීට් හදන ආකාරය, රබර් කිරි පෙරන අන්දම, රබර් දුම් ගෙට දාලා වේළන විදිය, කිරි කපන විස්තර හොඳින් බලා කියා ගත්තා.

මේ වත්තේ හෝරා දෙකක් ගත කළා. බංගලාවට ආවාට පසුව මම තේ මේසයට මේ කට්ටිය කැඳවාගෙන ගියා. උදේ තේ පානයට සීනි, තේ කුඩු, උණුවතුර වෙනම තිබ්බා. ආනමාලු - කෝලි කුට්ටු, නේත්‍රප්පලම්, මිදි, අන්නාසි, ගස්ලබු ආදී අපේ පලතුරු වෙනම සූදානම් කළා.

උදේ කෑමට ඉඳිආප්ප සමඟ සුදු ආප්ප ගෙනැවිත් තිබ්බා. චේ ගුවේරා ආප්ප ඉඳිආප්ප කෑවා. අපේ කෙසෙල් ගෙඩි, ගස්ලබු ආශාවෙන් ගත්තා. ඊටම ගැළපෙන කිතුල් හකුරුත් තිබුණා. චේ ගුවේරා සංග්‍රහ භුක්ති විඳලා මට අතට අත දීලා යන්න සූදානම් වෙලා අමුත්තන්ගේ පොතේ මම ශ්‍රී ලංකාවට ආදරෙයි. පරිසරයට වඩාත් ආදරෙයි කියලා ලිව්වා.

චේ ගුවේරා මගෙන් පැළයක් ඉල්ලා ගත්තා. මම වත්තේ තිබුණු මහෝගනී පැළයක් අතට දුන්නා. ඒ කාලයේ මහෝගනී පැළ රජයේ ආධාර ඇතුව වගා කරන අවධිය නිසා තමයි මේ මහෝගනී පැළය සිටෙව්වේ.

චේ ගුවේරා ඉතා ආදරයෙන් මේ පුංචි පැළය සිටෙව්වා. මේ ගස බලන්නටත් ඔබගේ සහ වත්තේ තොරතුරු දැක ගන්නටත් මම මේ ශ්‍රී ලංකාවට ලස්සන රටට අවුරුදු 10 කින් යළි එන්නම් කියලා සමු අරන් පිටත් වුණා. මට කතා කරලා හවානා සුරුට්ටු පෙට්ටියකුත් දුන්නා.

1984 ඉඳලා කියුබා රජයේ ලොකු ලොකු ඇමැතිවරුන් තානාපතිවරුන් එනවා. ඇවිදින් මහෝගනී ගස දිහා බලාගෙන ඉඳලා සතුටු වෙලා සරසලා උත්සව තියලා යනවා. මේ ගස මම අවුරුදු 60 ක් තිස්සේ ඇස වාගේ රකිනවා.

කවුරු දෝ කෙනෙක් මේ ගස කපලා කියලා ප්‍රචාරය කරලා. මට දැන් නඩු පවරලා තියෙනවා. හැබැයි ගහ නම් ඔය අගේට තියෙන්නේ වත්තේ වෙනත් ගහක් ඉවත් කරලා ඒක තමයි ඔය වැරදි විදියට ප්‍රචාරය වෙලා ඇත්තේ.

අවුරුදු 10කින් පසුව ලංකාවට යළි එන්නට ප්‍රාර්ථනා කළ ඒ වීරයා 1967 දී බොලිවියාවේදී CIC හමුදාව මරා දැම්මා.“ චේට එදා ආරක්ෂාව සහ ආහාර පාන සැපයූ බංගලාවේ භාරකරු ඩිංගිරි බණ්ඩා සෝකයෙන් පවසන්නට විය.

ලෝකයේ වාමාංශික පරම්පරා රාශියකට නායකත්වය සැපයූ බොලිවියාවේ විමුක්ති අරගලයේ අභීතව යෙදී සිටියදී 1967 ඔක්තෝබර් 09 දා ක්‍රෑර ලෙස ඝාතනයට ලක් විය.

ඊට 30 වසරකට පසුව 1997 දී ලී මංජුසාවක බහාලන ලද සිරුරේ ඉතිරි කොටස් ද කියුබාවට ලැබිණි.

හවානා නුවර අසබඩ සැන්තනියෝ ඩී ලෙස් වැනොස් හමුදා ගුවන් තොටුපොළේදී ජනාධිපති පිදෙල් ක්‍රස්තෝ සහ කියුබා විප්ලවයේ එකට සටන් කළ රතු සඟයන් භාර්යාව ඇලීඩා මාර්ච් සහ දරුවෝ ද පැමිණ චේ පිළිගත්හ. ලොව පුරා සිටින වීරෝදාර විමුක්තිකාමින්ගේ ද ගෞරව ආචාරය චේ වෙනුවෙන් පිරිනැමිණි.

අදත් ආසියා ශාන්තිකර කලාපයේ මෙන් ම ලෝකයේ ම චේ ගුවේරා විමුක්තිකාමී පරමාදර්ශී මානව හිතවාදියා අතින් රෝපිත විරාජමාන එකම වෘක්ෂය ද එම මහෝගනී ගස වන බව තහවුරු වෙයි.

චේගුවේරා ශ්‍රී ලංකාවට සැපත්ව රෝපණය කළ මහෝගනී පැළය චේ වෙනුවෙන්, ඔහු ගැන සිහිපත් වීමට ඔහු අපට දුන් මහඟු සම්පතක් බඳුය.

නන්දන ශ්‍රී කෝට්ටේගොඩ

Comments