වසර තුනකට පසු SSC පිටියේ එක්දින ක්‍රිකට් තරගයක් | සිළුමිණ

වසර තුනකට පසු SSC පිටියේ එක්දින ක්‍රිකට් තරගයක්

කොළඹ 22 දා හම්බන්තොට 26 දා පල්ලේකැලේ මාර්තු 01 දා

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සහ විස්සයි 20 තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය ලබන 22දා කොළඹ සිංහල ක්‍රීඩා පිටියෙන් ආරම්භ වෙයි. මෙකී ක්‍රිකට් තරගාවලිය එක්දින තරග 3කින් සහ විස්සයි 20 තරග දෙකකින් සමන්විතය. ශ්‍රී ලංකාව සහ සහ බටහිර ඉන්දීය කොදෙව් එක්දින ශ්‍රේණිගත කිරීම්වල අට වැනි සහ නවවැනි ස්ථානවල පසුවෙයි. විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් ශ්‍රී ලංකාව අටවැනි ස්ථානයේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් දහ වැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට පාකිස්තානයට එ‍රෙහිව පාකිස්තානයේ පැවැති එක්දින තරගාවලිය 2-0 කින් පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ ක්‍රිකට් තරගාවලියකට එක් වුයේ 2009 ලාහෝර් ප්‍රහාරයෙන් වසර දහයකට පසුවය. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට මෙරටේදී එක්දින තරගාවලියකට එක් වූයේ බංග්ලාදේශයට එරෙහිවය. එහිදී ශ්‍රී ලංකාව 3-0කින් එකී තරගාවලිය ජය ගැනීමට සමත් විය. බටහිර ඉන්දීය කොදෙව්වන් මෙරට ක්‍රිකට් තරගාවලියකට එක් වන්නේ 2015 ට පසුව වීම ද විශේෂත්වයකි. තරග තුනකින් සමන්විත වූ එකී තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. දෙපිල අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වා ඇත්තේ එක්දින තරගාවලි 3කි. 1975 – 2019 දී දෙපිළ අතර තරග 57ක් පවත්වා තිබේ. එහිදී ශ්‍රී ලංකාව තරග 28ක් සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජයග්‍රහණ 26 කි. බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන්වරට අයර්ලන්තය සමඟ තරග කළ අතර එහිදී 3-0 ක ජයක් හිමිකර ගැනිමට සමත්විය.

දෙපිල අතර පළමු එක්දින තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වෙයි. සිංහල පිටියේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 දීය. ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතරය. එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 70 ක ජයග්‍රහණයක් හිමි විය. සිංහල පිටියේ 1982-2017දී තරග 39 ක් පවත්වා තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාව තරග 23ක් ජය ගෙන තරග 11ක් පරාජය වී තිබේ. කොදෙව්වන් තරග 7ක් ක්‍රීඩාකර තිබෙන අතර ජයග්‍රහණ 2කි. පරාජයන් 4කී.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය 26 දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් වරට මෙහිදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරග කර ඇත්තේ 2017 දීය. සිම්බාබ්වේ එම තරගය කඩුලු 3කින් ජය ගැනීමට සමත්විය. ශ්‍රී ලංකාව මේ ක්‍රීඩාංගණයේදී තරග 19ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජය සහ පරාජයන් 8 බැගින් හිමිකර තිබේ. බටහිර ඉන්දීය කොදෙව්වන් මේ ක්‍රීඩාංගණයේදී තරග කරන්නේ ප්‍රථම වරටය.

දෙපිළ අතර තෙවැනි එක්දින තරගය මාර්තු 01 දා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් වරට පල්ලේකැලේ දී ශ්‍රී ලංකාව එක්දින තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2018 දී එංගලන්තයට එරෙහිවය. එම තරගය එංගලන්තය ලකුණු 18කින් ජය ගැනීමට සමත්විය. පල්ලේ කැලේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට ජයග්‍රාහී ක්‍රීඩාංගණයක් නොවේ. මෙහිදී ශ්‍රී ලංකාව තරග 12ක් පරාජය වී ඇති අතර ජයග්‍රහණයන් 10කි. බටහිර ඉන්දීය කොදෙව්වන් එහිදී තරගයක් ක්‍රීඩා කර තිබෙන අතර එකී තරගය පරාජය වී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් එක්දින තරගාවලියට එක් වූයේ නව නායක කිරාන් පොලාර්ඩ්ගේ යටතේය. තිස් දෙවැනි වියේ පසුවන පොලාර්ඩ් එක්දින තරග 110 කට ක්‍රීඩා කර තිබේ. නිරන්‍තරයෙන් කොදෙව් පාලක මණ්ඩලය සමඟ ගැටුම් ඇතිකරගත් පොලාර්ඩ් 2016 ට පසු බටහිර කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් වසර තුනකට පසු තරගාවලියකට එක් වූයේ පසුගිය වසරේදීය.

දෙපිල අතර පැවැත්වෙන තරග 2කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පළමු තරගය මාර්තු 4 දා සහ දෙවැනි තරගය 6 දා පැවැත්වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර ආරම්භ කළේ ඉන්දියාව සමඟ ඉන්දියාවේ පැවැති විස්සයි 20 තරගාවලියෙන්ය. තරග 2-0 ක් ලෙස එකී තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය විය. 2015දී ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරගාවලිය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙපිල අතර මෙතෙක් විස්සයි 20 තරග 9ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරග 6ක් ජය ගෙන තරග 3ක් පරාජය වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව් අවසන් වරට අයර්ලන්තය සමඟ තරග කළ අතර එකී තරගාවලිය 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

Comments