කබඩි ක්‍රීඩිකා සජිනිට වසර හතරක තහනමක් | සිළුමිණ

කබඩි ක්‍රීඩිකා සජිනිට වසර හතරක තහනමක්

ශ්‍රී ලංකා ජාතික කබඩි කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩිකාවක වන ගුවන් හමුදාවේ සජිනි මනෝරි ජයසිංහ තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් යැයි කියා සිවු වසරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය කටයුතු කර තිබේ. 2018 දී පොළොන්නරුවේ පැවැති ජාතික මහා ක්‍රීඩා උලෙළේ තරග පැවැති කාලය අතරතුරදී ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය අහඹු ලෙස ලබා ගත් මුත්‍රා සාම්පලයක ඩියුරටික් නැමැති තහනම් උත්තේජක සංඝටකය අඩංගු බවට ඉන්දියාවේ නවදිල්ලියේ පරීක්ෂණාගාරයක සිදු කරන ලද පරීක්ෂණයකදී හෙළිවී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් පවත්වනු ලැබූ විනය කමිටුවේදී සජිනි මනෝරි වැරැදිකාරියක කර තිබේ.

කෙසේ වෙතත් මෙකී තීරණයට අභියෝග කරන ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ ප්‍රකාශ කරන්නේ මෙකී තීරණය අභියෝගයට ලක් කරන බවයි.

“සල්ලි කීයක් වියදම් වුණත් අපි සංගමයක් විදියට සජිනි වෙනුවෙන් පෙනී සිටිනවා. මේ තීරණය අසාධාරණ එකක් බව පවසන අනුර පතිරණ ‍ලෝක තහනම් උත්තේජක මර්ධන නියෝජිතායතනය, වාඩා විසින් තහනම් කරන ලද පරීක්ෂණාගාරයක ප්‍රතිඵල බාර ගන්න අප ලෑස්ති නෑ. සජිනි මනෝරිට විතරක් නෙවෙයි පසුගිය කාලයේ ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට විරුද්ධව මේ ආයතනය වැරදි තීන්දු තීරණ දීලා තියෙනවා. ඒ වගේම ලෝක තහනම් උත්තේජක මර්දනායතනය මේ නවදිල්ලි පරීක්ෂණාගාරය මේ වගේ දේවල් සඳහා සුදුසු ප්‍රගතියක නෑ කියලා ඔවුන්ව තහනම් කරලා තියෙනවා. එහෙම තහනමකට ලක් වූ පරීක්ෂණාගාරයක ප්‍රතිඵල අප බාර ගන්න ලෑස්ති නෑ. 2018 පැවැති ජාතික මහා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩිකාව වූ සජිනිට මේ තහනම පැනවීමත් සමඟම 2018.10.12 දා සිට 2022 .10.11 දක්වා මේ වසර හතරක කාලය තුළ සියලුම ආකාරයේ තරග කටයුතු, පුහුණුවීම් ආදියෙන් ඉවත්ව සිටිය යුතු බවද ජාතික උත්තේජක මර්ධන නියෝජිතායතනය, ජනවාරි මස අවසන් සතියේ විනය කමිටුව මගින් කරන ලද නම් කිරීම නිසා මේ තීරණය ගත් බව එකී ලිපිය මගින් වැඩිදුරටත් දක්වා තිබේ. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් දන්වා ඇත්තේ එකී තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේනම් 2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ගැනීමට එරෙහි සම්මුති පනතේ 26 (1) (අ) උපවගන්තියට අනුව අදාළ තීරණය දැනුම් දී සති දෙකක කාලයක් ඇතුළත ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්ධන නියෝජිතායතනයේ අභියාචනා මූල මණ්ඩලය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ද තහවුරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ, සජිනි මනෝරි මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියාවේ මේ පරීක්ෂණය සිදු කළ පරීක්ෂණාගාරය ලෝක තහනම් උත්තේජක නියෝජිතායතනය විසින් තහනම් කරලා තියෙනවා. එවැනි පසුබිමක අපට බී සාම්පල පරීක්ෂණයකට යන්න විදියක් නෑ. සජිනි කියන්නේ ටිකක් තරබාරු ක්‍රීඩිකාවක්. සජිනි පුරුද්දක් විදියට තරබාරුකම අඩු කර ගන්න තමයි මේ ග්‍රීන් ටී වර්ගය භාවිත කරලා තියෙන්නේ. මේ තේ වර්ගය ස්වාභාවිකයි කියන නිසා තමයි හුඟක් ළමයින් පාවිච්චි කරන්නේ. එම තේ පැකට් එක පරීක්ෂා කර බැලූ අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය පවා එහි ඩියුරටික් නෑ කියලා තියෙනවා. මේ වගේ පසුබිමක අපි මේ ප්‍රතිඵලය පිළිගන්න ලෑස්ති නෑ යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.
 

 

Comments