මරණය අතේ අරන් ගල්දොරොව්ව පාලමේ යන මිනිස්සු | සිළුමිණ

මරණය අතේ අරන් ගල්දොරොව්ව පාලමේ යන මිනිස්සු

- පාලම කැඩිලා අවුරුදු හතයි තාමත් හැදුණේ නෑ 
- ගඟ පිරුණාම කිලෝමීටර ගානක් පයින් යන්න ඕන 
- පාලම තිබුණා නම් රෝහලට කිලෝමීටරයකවත් දුර නැහැ

මහවැලි නදියේ අතු ගංඟාවක් වන කොට ගඟ මැද දුම්බර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හරහා ගමන් කරන්නේ ඊට අයත් ගම්මාන ගඟෙන් එගොඩ හා මෙගොඩ ලෙස බෙදා වෙන් කරමිනි. ගඟ නිසා දෙපැත්තට බෙදී ගිය නාගොල්ල, බැද්දේගම, ගලබොඩවත්ත, ඇල්ලියද්ද, තුරිස්ගල, ගෝමරේ, වේරපිටිය, බුලත්වත්ත ගම්මාන වල ජනතාව අඩසියවසක පමණ කාලයක් තිස්සේ එක් කළේ ගල්දොරොව්ව පාලමයි. නමුදු මේ ගම්මාන වල ජනතාව දශක ගණනාවක් එහා මෙහා ගිය පාලම මතට ගසක් කඩා වැටී දැන් වසර හතකට ආසන්නය. කඩා වැටුණු පාලම සකස් කර දෙන ලෙස ගම්මු දේශපාලනඥයන්ගෙන් මෙන්ම රජයේ නිලධාරීන් ගෙන්ද කොතෙක් ඉල්ලීම් කළත් එය ඉටු නොවීම නිසා අද නාගොල්ල, බැද්දේගම, ගලබොඩවත්ත ගම්මානවල පවුල් හැට හැත්තෑවකට අයත් ජනතාවට තෙල්දෙණිය නගරයට යෑමට සිදුව තිබෙන්නේ ගල්දොරොව්ව පාලමේ සිට කිලෝ මීටර පහක පමණ දුරින් පිහිටි කුඩා පාලම හරහාය. පාලම පිළිසකර දෙන ලෙස කළ ඉල්ලීම් ගඟට කැපූ ඉනි මෙන් වීම නිසා මේ වන විට ගම්වාසීන් ගඟ හරහා එයා මෙයා යන්නේ ගඟට ඔවුන් විසින් පෙරළා දමන ලද විශාල ගල් මතිනි. වැසි සමයේ ගඟේ ජල මට්ටම ඉහළ ගොස් මේ ගල් සියල්ල ජලයෙන් යට වූ විට ගඟෙන් එගොඩ වීමට සිදු වන්නේ කිලෝ මීටර පහක පමණ දුර ගමන් කිරීමෙනි.

තෙල්දෙණිය ඩිපෝවට අයත් තෙල්දෙණිය හා වේරපිටිය අතර ධාවනය වන බස් රථයේ සේවය කරනු ලබන නිමල් ජයවීර මහතා සේවය සඳහා දිනපතා නි‌ෙවසින් පිටව යන්නේ පාන්දර 4.30 ට පමණය. පාලම නොමැති වීම නිසා ඔහුට දිනපතා සේවයට යන්නට එන්නට කිලෝ මීටර 10 ක පමණ දුරක් පයින් යන්නට සිදුව ඇත.

“බස් එක පාක් කරන්නේ වේරපිටියේ. උදේම ටර්න් එක ගන්න මම නාගොල්ලේ ඉඳලා බස් එක තියෙන තැනට යනවා. පාලම තිබුණා නම් ගේ ළඟ ඉඳලා වේරපිටියට කිලෝ මීටරයක දුරක් තියෙන්නේ. දැන් කිලෝ මීටර පහක් විතර පහළට ගිහින් ගල්කොටුව පාලමෙන් එගොඩ වෙන්න ඕන. ගඟේ වතුර අඩු වුණාම ගල් වලින් පැනලා එගොඩ වෙන්න පුළුවන්.

මේ දවස්වල වැස්ස නිසා වතුර පාර සැරයි. දුන්හින්න ඉස්පිරිතාලේ තියෙන්නේ ගඟෙන් එගොඩ. පාලමෙන් යන්න පුළුවන් වුණා නම් කිලෝ මීටරයටත් අඩු දුරක් තියෙන්නේ. හුඟ දුරක් යනවාට වඩා තේලදෙණිය රෝහලට ලෙඩා ගෙනියන එක ලේසියි. ගලබොඩවත්ත කනිෂ්ඨ විද්‍යාලේ අපේ පැත්තේ තියෙනවා. ගඟෙන් එගොඩ තියෙන දුන්හින්න ඉස්කෝලේට එන්න නම් තෙල්දෙණියට ගිහින් එන්න ඕන. එතන කිලෝ මීටර 27 ක දුරක් තියෙනවා. ඒ නිසා තෙල්දෙණිය ඉස්කෝලෙටම දරුවෝ යවන එක ලේසියි.”

රියැදුරු ජයවීරගේ බිරිය වන අනෝජා කුමාරි ඒ කතාබහ මැද්දට එක් වූයේ මෙසේ පවසමිනි. “පාන්දර වැස්සොත් මහත්තයා පයින් පල්ලෙහා පාලම ළඟට ගිහින් එතනින් ගඟ එගොඩ වෙලා බස් එක තියෙන යනවා. වැස්ස කාලෙට එයා බස් එක දාලා ගෙදර එනකොට රෑ 11.00-12.00 වෙනවා. අපිට ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ගඟේ වතුර වැඩි වුණොත් එදාට මහත්තයා ගෙදර එන්නේ නැතුව බස් එකේ නිදියනවා. මේ පාලම කැඩුණ දවසේ ඉඳන් අපි පුදුම දුකක් විඳින්නේ.”

පාලමෙන් එයා මෙහා ගම්මාන වල ජීවත් වන අය නෑ හිතවතුන්. මළ ගෙයක් වුණාම දෙගොල්ලෝ දෙපැත්තට ගියේ මේ පාලමෙන්. ඡන්ද මධ්‍යස්ථානයට යන්නත් ගඟ හරහා යන්න ඕන. පාලම නැති නිසා වැස්ස වැඩි කාලයට ගඟ හරයා යන්න බැහැ. ගඟෙන් එගොඩ වෙන්න කිලෝ මීටර තුනක විතර දුරකින් පොඩි පාලමක් තියෙනවා. එතන්ට යන්න හරිම දුෂ්කර මාර්ගයක් තියෙන්නේ. ත්‍රීවිල් එකකින් වත් යන්න බැහැ. පස්වලින් හදපු පාරක් නිසා වැස්සට මඩ වෙනවා. දැන් අවුරුදු පහ හයක් තිස්සේ අපි පාලම හදලා දෙන්න කියලා ඉල්ලනවා. මම නාගොල්ලේ සහ බුලත්වත්තේ හිටපු ග්‍රාම නිලධාරීවරයා විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් දැනුම් දෙන්න ඕන හැම තැනටම කිව්වා. ආණ්ඩුවේ මහත්වරු වගයක් ගිය අවුරුද්දේ ගමට ඇවිත් මේ පාලම බැලුවා. ඉක්මනින් මොනවා හරි කරනවා කියලා ගියා ගියාමයි ඒ මහත්තුරු ආයේ ආවේ නැහැ.” ප්‍රාදේශිය සභා බුලත්වත්ත ග්‍රාමයේ පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරී මහින්ද කරුණාරත්න මහතා පැවසුවේය.

නාගොල්ල, බැද්දේගම, ගලබොඩවත්ත, ඇල්ලියද්ද, තුරිස්ගල හා ගෝමරේ යන ගම්මාන වල දරුවෝද අනෙක් ප්‍රදේශවල දරුවන් මෙන් අධ්‍යාපන කටයුතු සඳහා නගරයේ පන්ති වලට යති. මහනුවර නගරයේ පන්ති වලට සහභාගිවී ආපසු නිවෙස් කරා මේ දරුවෝ පැමිණි ගල්දොරොව්ව පාලම නැති කමින් බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටී.

“මගේ දරුවා දවසක් නුවර පන්තියකට ගියා. එදා හවස හොඳටම වහිනවා. දරුවා හවස් වෙනකල්ම ගෙදර ආවේ නැහැ. මම වැස්සෙම ගඟ ළඟට ගියා. ගඟෙන් එගොඩට වෙන්න බැරුව දරුවා බලාගෙන ඉන්නවා එගොඩ. පැය දෙකක් දරුවා එතන ඉඳලා. මහත්තයා මේ පැත්තේ ගහක කඹයක් බැඳලා ඒක ගඟ හරහා අරන් ගිහින් තමයි දරුවා මොගොඩට ගෙනාවේ.” චන්ද්‍රා පද්මිණි පැවසුවාය.

“මහජන නියෝජිතයින් අපේ ගමට එන්නේ නැහැ. ඒ අය එන්නේ ඡන්දය කාලෙට විතරයි. කාලයක් ගියා. තාමත් පාලම හැදුණේ නැහැ. අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ ගල් වලින් පැන පැන මරණය අතේ අරන්.” දීපානි සමරසිංහ පවසන්නීය.

ඡායාරූප-කරල්ලියද්ද සමූහ

Comments