කොරෝනා ක්‍රීඩා තරගාවලි රැසක් බිලි ගනී | සිළුමිණ

කොරෝනා ක්‍රීඩා තරගාවලි රැසක් බිලි ගනී

චීනය කේන්ද්‍ර කර ගනිමින් පැතිර යන කොරෝනා වෛරසය නිසා මේ අවධානම පහව යන තෙක් ම අග්නිදිග ආසියානු කලාපයේ පැවැත්වෙන කිසිම ක්‍රීඩා තරගාවලියකට සහභාගි නොවීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල පවසයි.ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ අපෙන් විමසීමක් නොකර අග්නිදිග ආසියානු කලාපයේ ක්‍රීඩා තරගාවලියකට, තරගයකට එක්වන කිසිවකු සම්බන්ධයෙන් තමන් වගකීමක් බාර නොගන්නා බවයි.

චීනයේ ලබන සතියේ ආරම්භ වීමට තිබූ ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු ක්‍රීඩා තරග රැසක් ම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. මේ අතර ලබන 15 දා නුවරඑළියේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය පිළිබඳ තීරණය හෙට (03 වැනිදා) ගන්නා බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මේ අතර චීනයේ පැවැත්වීමට නියමිත සියලුම ක්‍රීඩා තරග ලබන අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට එරට බලධාරින් තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

 

ක්‍රීඩිකාවන්ගේ මෙන් ම රටේ ආරක්ෂාවට මුල් තැන දිය යුතු නිසා හොංකොං දැල්පන්දු තරගාවලිය කල් දමන මෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනි වික්ටෝරියා ලක්ෂ්මි පවසන්නීය. ආසියානු තරගාවලියට තව මාස හතරයි තියෙන්නේ අපි අපේ ක්‍රීඩිකාවන් ඒ සඳහා ආරක්ෂා කර ගන්න ඕනෑ යැයි ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනිය වැඩිදුරටත් පැවැසුවාය.

12 සහ 13 දිනවල චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය අවලංගු කිරීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. මෙවර නේපාලයේ පැවැති දකුණු ආසියානු තරගාවලියේදී රන් පදක්කම් 15ක් දිනූ ලාංකේය ක්‍රීඩක - ක්‍රීඩිකාවන් අතරින් හත් දෙනකුට මේ තරගාවලියට එක්වීමට අවස්ථාව උදා විය. අරුණ දර්ශණ, ඉඳුනිල් හේරත්, ඩිල්ෂි කුමාරසිංහ, සාරංගි ද සිල්වා, හෂිනි බාලසූරිය, ලක්ෂිකා සුගන්ධි සහ නිලානි රත්නායක ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගෙන තිබුණි.

මේ අතර ජපානයේ ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිත තිස්දෙවැනි ඔලිම්පික් උලෙළ සඳහා මෙරටින් වැඩිම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරවීම අරමුණ කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශය, ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, මලල ක්‍රීඩා සංගමය එක්ව දිගු කාලීන වැඩපිළිවෙළකට අත ගසා තිබේ. අවසන් වරට මෙරටට ඔලිම්පික් පදක්කමක් හිමි වූයේ 2000 සිඩ්නිහි පැවැති තරගාවලියේදී. ඒ සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. එතැන් පටන් දශක දෙකට ආසන්න කාලයක් තුළ පරිසාදන මට්ටමින් ඔලිම්පික් වරම් හිමිකර ගැනීම ද මෙරට ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට දැඩි අභියෝගයක් බවට පත්ව තිබේ.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් 27 දෙනකුගෙන් සමන්විත මලල ක්‍රීඩා සංචිතයක් නම් කර තිබෙන අතර, නව ජාතික මළල පුහුණුකරු වයි.කේ. කුලරත්නගේ මූලිකත්වයෙන් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධීක්ෂණය වෙයි.

Comments