‘සැමට සෙවණ’ ගෙවල් හැදුණු හැදිල්ල...? | සිළුමිණ

‘සැමට සෙවණ’ ගෙවල් හැදුණු හැදිල්ල...?

ඉකුත් රජයේ නිවාස අමාත්‍යාංශය සිදු කළ ආදර්ශ ගම්මානවල තිත්ත ඇත්ත

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිවාස සංවර්ධන අධිකාරිය පසුගිය රජය සමයේ ජනතාවාදී ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් 2015 වර්ෂයේ සිට අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ නිවාස තනා දීමේ ව්‍යාපෘතියේ ගම්මාන 2562 කින් වැඩ අවසන් කර තිබෙන්නේ 367ක් බව අනාවරණය වේ. මෙයින් වැඩි වශයෙන් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කළ දිස්ත්‍රික්කය හම්බන්තොට වන අතර එහි ගම්මාන 337 ක නිවාස ආරම්භ කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 337 කට අධික මුදලක්ද යොදවා ඇතත් ඉන් වැඩ අවසන් කර ඇත්තේ ගම්මාන 84ක නිවාස පමණි. මෙහිදී තවත් නිවාස ගම්මාන 253ක වැඩ අවසන් කිරීමට තිබෙන බව අනාවරණය වෙයි. මේ එහි අක්‍රමිකතා පිළිබඳ අනාවරණයකි.

ශ්‍රී ලංකාව තුළ වෙසෙන නිවාස අහිමි සෑම පවුලකටම නිවෙසක අයිතිය උරුම කර දීමේ අරමුණින් පසුගිය රජය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හරහා “සැමට සෙවණ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන තුළින් නිවාස ගම්මාන 367ක් තනා අවසන් කළේය. මෙම නිවාස ව්‍යාපෘතීන් සියල්ලම රජය මඟින් නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබා දුන් රුපියල් ලක්ෂ හතරක උපරිම ණය මුදලක් ලබා දී රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් නිවසක් තනා ගැනීම සඳහා අදාළ නිවාස හිමියාට පවරනු ලබන අතර එසේ කළ හැකි නොවුවහොත් රජය මඟින් ලබා දුන් ඉ‍ඩමද යළි පවරා ගැනීමට නිවාස සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කර තිබේ.

ආදර්ශයක් නොවූ ආදර්ශ ගම්මාන

ඉඩමක් හෝ නි‍ෙවසක් නොමැති පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන බව පවසමින් ක්‍රියාත්මක වූ මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන මහා භාණ්ඩාගාරය විසින් ලබා දුන් රාජ්‍ය අරමුදල් භාවිතා කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලදී.

(තොරතුරු දැන ගැනීමේ පනත මඟින් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මඟින් ලබාගත් තොරතුරු)

2015 වර්ෂයේ සිට 2018 දක්වා මහා භාණ්ඩාගාරය මඟින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත ලබාදී ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 35,139ක් වන අතර ඉන් රුපියල් මිලියන 22,237ක්ම යොදවා ඇත්තේ ග්‍රාමීය නිවාස ණය ව්‍යාපෘති සඳහා බව මින් තහවුරු වේ. මෙම තොරතුරු සලකා බැලීමේදී පෙනී යන්නේ පසුගිය රජය මඟින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය වෙත ලබා දී ඇති මුදල් ප්‍රමාණය ඉතා අධික ප්‍රමාණයක් වුවත් ඉන් බොහොමයක් මෙම නිවාස ණය ව්‍යාපෘති සඳහා ලබා දී ජනතාව ණයකාරයන් කර ඇති බවකි.

මෙම ණය ලබා දෙනු ලබන්නේ මාසික ආදායම රු. 25,000.00 හෝ ඊට අඩු ප්‍රතිලාභීන් සඳහා රු. 400,000.00 ණය මුදලක් 5%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ආපසු ගෙවීමේ හැකියාව හා කැමැත්ත සැලකිල්ලට ගෙනය.

ණය බරිත භාවය

2015 වර්ෂයේ සිට 2018 වර්ෂයේ මැයි මස 31 වැනිදා දින දක්වා ජාතික නිවාස සංවර්ධනය අධිකාරිය මඟින් 12900 දෙනෙකුට මෙම ණය මුදල් ලබා දී ඇති අතර ඉන් ණය මුදල් නැවත ගෙවා දැමීමට නොහැකි පිරිස 11343 බව තොරතුරු දැනගැනීමේ පනතට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබා ගත් තොරතුරු මඟින් අනාවරණය විය. මේ තුළින් පෙනීයන්නේ මෙම නිවාස ව්‍යාපෘතිය මඟින් 11343 පිරිසක් ණය බරිත කර ඇති බවය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් මාසිකව මිලියන 40ක පමණ මාසික ණය වාරික ලැබිය යුතු වුවත් පසුගිය නොවැම්බර් මාසය තුළදී හම්බන්තොට නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයට ණය එකතු වී ඇත්තේ මිලියන 18 ක පමණි. මේ වන විට මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නිවාස ගම්මාන 2562 ක ආරම්භ කර ඇති අතර මේ යටතේ දිවයින පුරා ආදර්ශ ගම්මාන 367 ක ප්‍රමාණයක් තනා අවසන්ය. එහි පවුල් 62000 ක පමණ විශාල සංඛ්‍යාවක් සඳහා නිවාස ණය ලබා දී ඇති ඔවුන්ගෙන් බොහෝමයකට එම ණය ගෙවිය නොහැකි වී ඇත.

“අපිට මේ ගේ හදාගන්න නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ලබා දුන්නේ රුපියල් ලක්ෂ තුනක මුදලක්. ඒකත් දුන්නේ කොටස් වශයෙන්. බැංකුවලින් ණයට සල්ලි අරගෙන තමයි මේ ගේ හදා ගත්තේ. දැන් අපි ණයයි. අපිට හරියට රස්සාවක්වත් නැතිව මේ ණය ගෙවා ගන්න විදියක් නෑ. අපි තවත් අසරණ වුණා” එසේ පැවසුවේ සූරියවැව මදුනාගල සෙවණගම පදිංචි වී.පී. ආරියසේනය.

“නිවාස සංවර්ධන අධිකාරියෙන් අපිට මදුනාගල රක්ෂිතයට යාබදව ඉඩමක් දුන්නා ගෙයක් හදා ගන්න කියලා. මීට පෙරත් එතනම නිවාස ගම්මානයක් හදල තියෙනවා. නමුත් ඒ ගමේ මිනිස්සු ගම අතහැරලා ගියා අලිත් එක්ක ඉන්න බැරිව. දැන් අපිටත් එතනම ඉඩම් දීල තියනවා ගෙයක් හදා ගන්න කියලා. ඒ අය කියන දිනයට ගේ හදා ගන්න බැරි වුනොත් ඒ ඉඩම නැවත පවර ගන්නවා කියනවා. නමුත් අපිට සල්ලි නෑ ඒ කියන විදියට ගෙයක් හදා ගන්න. මුලින්ම දුන්නේ රුපියල් 75000ක්..“ එසේ පැවැසුවේ වී.පී. ආරියසේනය.

“මට ජීවත් වෙන්න ස්ථිර තැනක් නැති නිසා මගේ ළමයි දෙන්නත් එක්ක අවුරුදු හතරක් තිස්සේ ඉන්නේ පාර අයිනේ. මම ආබාධිත කෙනෙක්. හැම කෙනෙක් ළඟටම ගියා. පස්සේ මට සජිත් ඇමතිතුමාගෙන් නිවසක් හදා ගන්න ඉඩමක් හම්බවුණා. මම මගේ කරාබු දෙකත් උගස් තියලා ඒ ඉඩමේ අඩිතාලම දැම්මා. නමුත් ඒ අය කියපු දවස්වලට මට ගේ හදා ගන්න බැරි වුණා. ඒ ඉඩම නිවාස සංවර්ධන අධිකාරියෙන් ආපසු ගත්තා.” නැවතත් දරුවන් දෙදෙනා සමඟ මහ පාරට වැටුණු ඇය කේ.බී.ජී. මධුෂිකා ලක්මාලිය.

ඔප්පු නැහැ

මේ වන විට උද්ගත වී ඇති බරපතළ ප්‍රශ්නයක් වන්නේ මේ ආකාරයෙන් ලබා දුන් නිවාස සඳහා මේ වන තෙක් නිසි ඉඩම් බලපත්‍ර ද ලබා නොදී සිටීමයි. බොහොමයක් නිවාස ඉදිකර ඇත්තේ රක්ෂණ, වනජීවී රක්ෂිත තුළ නීති විරෝධීවය. ණය බරිත වී නිවාස තනා ගත් පසුව එම නිවාස විවෘත කිරීමේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් කෝටි ගණනක මහජන මුදල් නාස්ති කර ඇත. 2015 වර්ෂයේ සිට 2018 මැයි 31 වැනිදා තෙක් සැමට සෙවණ උදාගම්මාන ව්‍යාපෘතිය යටතේ මහජන ‍උත්සව සහ ක්‍රියාකාරකම් සඳහා පමණක් රුපියල් මිලියන 119 ක මුදලක් වැයකර ඇති බව වාර්තා වෙයි.

රටක ජීවත්වන ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය එරට රජයේ වගකීමකි. ඒ තුළ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය නිවාස විධිමත්ව ලබාදීමද එම රජයේ යුතුකමකි. නමුත් නිවාස සංවර්ධන අමාත්‍යාංශය මඟින් එම වගකීම නිසි ලෙස ඉටු නොකළ අතර ඒවා විවෘත කිරීම සඳහා විශාල ලෙස රාජ්‍ය මුදල් නාස්ති කර ඇත.

ප්‍රචාරක වියදම්

නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබා දුන් තොරතුරුවලට අනුව සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2015 ජනවාරි සිට 2018 මැයි මස 31 වැනිදා තෙක් මාධ්‍ය ආයතන සඳහා ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් පමණක් රුපියල් පහළොස් කෝටි අට ලක්ෂ හැත්ත පන්දහස් හත්සිය විසි හතක (150875727.01) මුදලක් වැය කර තිබේ. ඒ නිවාස ගම්මාන 95කට අඩු ප්‍රමාණයක් වෙනුවෙන් පමණි. එය නිවාස ඉදිකිරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් මිලියන 28,787ක මුදලින් රුපියල් මිලියන 150කට අධික ප්‍රමාණයකි. දේශපාලන ඉලක්කයන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ප්‍රචාරණය සඳහා වැයකළ මෙම මුදල් නාස්තිය තුළින් අහිංසක මිනිසුන් ණයකරුවන් නොකර ලක්ෂ 10ක පමණ වටිනා නිවාස 150ක් පමණ නොමිලයේ සාදා දීමට තිබිණ.

එමෙන්ම 2015 වර්ෂයේ සිට 2018 මැයි දක්වා කාලය තුළ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාල 27 කින් යුතු ශාඛා මඟින් ක්‍රියාත්මක කරනු ලබන සැමට සෙවණ උදා ගම්මාන ව්‍යාපෘති යටතේ වාර්ෂික මහජන උත්සව සඳහා රුපියල් මිලියන 199 ක් වැය කොට ඇති අතර 2015 රුපියල් මිලියන 8.850ක්, 2016 රුපියල් මිලියන 20.634ක්, 2017 රුපියල් මිලියන 60.967ක්, 2018 රුපියල් මිලියන 109.063ක් වියදම් කොට තිබේ.

2015 සිට 2018 දක්වා නිවාස සාදාදීම සඳහා වෙන්කොට තිබූ රුපියල් මිලියන 28,787 ක මුදලින් රුපියල් මිලියන 476ක් ම වියදම් කර ඇත්තේ අදාළ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් නාම පුවරු මුද්‍රණ ගාස්තු, ප්‍රචාරක වියදම්, මහජන උත්සව සහ වෙනත් කටයුතු සඳහා ය. එය හුදෙක් මහජන මුදල් අවභාවිත කිරීමකි.

එමෙන්ම බො‍හෝමයක් පුවත්පත් දැන්වීම් තුළ සෙවණ ලොතරැයියේ නම සඳහන් කළත් එම දැන්වීම් හා සෙවණ ලොතරැයිය සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බව ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව ලබා ගත් තොරතුරුවලින් හෙළි වූ අතර එය ද එම දැන්වීම් ජාතික ලොතරැයි මණ්ඩලය මඟින් පළ කරන ඒවා බව ජනතාවට හඟවමින් නිවාස අමාත්‍යාංශය ජනතාව රැවටීමේ කූට උපක්‍රමයක යෙදී තිබුණි.

එමෙන්ම මෑත කාල‍යේ දී නිවාස ගම්මාන විවෘත කිරීමේදී ඒ වෙනුවෙන් සකසන සමරු පලකය සඳහා රුපියල් ලක්ෂ 05කට ආසන්න මුදලක් වැය කර තිබෙන අතර එය එක් නිවෙසක් අඩක් නිම කිරීමට තරම් සරිලන මුදලකි.

අනුරාධපුරයේ නිවාස ව්‍යාපෘතියක් සිදුකෙරේ නම් ඒ වෙනුවෙන් රට පුරා පෝස්ටර් ඇතුළු විවිධ දැන්වීම් පළකරනු ලැබීම මඟින් ම පෙනී යන්නේ මෙය හුදු ජනතාවාදී ව්‍යාපෘතියකට වඩා යම් දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් සිදුකරනු ලැබූ ප්‍රචාරණයක් බවයි.

“අපි මෙච්චර කාලයක් ටවුමේ කුලියට හිටියේ. අපේම ගෙදරකට එන්න ලැබුණු එක සතුටක්. නමුත් නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ 4ක ලෝන් එකක් දුන්නා. ඉඩම රජයෙන් දුන්නා. අපිට මේක අවසන් කරන්න ලක්ෂ 17ක් ගියා. මේ ගමේ මූලික පහසුකම් නැති නිසා ගොඩාක් අය පදිංචියට ඇවිත් නැහැ. ගමනාගමන පහසුකම් නැහැ. හැම එකටම ත්‍රීවීල් ගන්න ඕනේ. එසේ පැවැසුයේ ත්‍රිකුණාමලයේ තච්චනාපුරම් ප්‍රදේශයේ පදිංචි කේ. වසන්ත රාජාය.

බො‍හෝ අවස්ථාවන්හි එකම ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘති කීපයක් එකම වර්ෂයක් තුළ ඇති කරමින් ඒ වෙනුවෙන් උත්සව පවත්වමින් විශාල මුදල් නාස්තියක් කර තිබෙන අයුරු හම්බන්තොට ඉදිකර තිබෙන මෙම නාම පුවරුම කියාපායි.

සැලසුම් රහිත ඉඩම් පරිහරණය

2015 සිට අද වන තෙක් ආදර්ශ ගම්මාන විශාල ප්‍රමාණයක් ඉදිකර ඇති අතර නිවාස ප්‍රමාණය 64000 කට අධිකය. මෙහි කුඩා නිවාස ඉදිකිරීම මත විශාල ඉඩම් අහිමි වීමක් රජයට සිදුවිය. එක් නිවාස ව්‍යාපෘතියක් සඳහා අවම නිවාස ප්‍රමාණය 25යි. එක් අයෙකුට දෙන ඉඩම් ප්‍රමාණය ඒ ප්‍රදේශයේ ඉඩම් භාවිතය අනුව වෙනස් වන අතර ගම්මානයක් සෑදීමට අක්කර 2ක පමණ භූමියක් ‍යොදා ගනියි. ඒ අනුව මෙම සැලසුම් රහිත කුඩා නිවාස සෑදීම නිසා අහිමි වූ ඉඩම් ප්‍රමාණය අක්කර 5000 කට අධිකය.

වන විනාශය

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයකට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් වනජීවීන් වෙසෙන ප්‍රදේශ තුළ රක්ෂිත හෙළිකරමින් සිදුකරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘති සඳහා එවැනි කිසිදු පරිසර ඇගයීම් වාර්තා ගෙන නොමැත.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන ලද ගම්උදාව නිවාස ව්‍යාපෘති සඳහා යොදා ගත් ඉඩම් ලබා ගැනීම අතර බොහොමයක් නීති විරෝධී ඉඩම් පරිහරණය මෙන්ම මිනිසුන් හට ජීවත් වීමට නුසුදුසු වනගත වන අලින් ජීවත්වෙන ප්‍රදේශයන් බව අනාවරණය වන දෙයකි. නිදසුන් ලෙස කැකිරාව ඉහළගම පස්වන සැතපුම් කණුව ආසන්නයේ ඉදිකර තිබෙන නිවාස ව්‍යාපෘතිය, සූරියවැව මදුනාගල ප්‍රදේශයේ වන අලින් ගැවසෙන ප්‍රදේශයක රක්ෂිතයක් ආසන්නයේ නිවාස ගම්මානයක් ඉදිකිරීම, හම්බන්තොට කුරුදාන අලිමංකඩ හෙළිකර නිවාස ව්‍යාපෘතියක් ආරම්භකර තිබීම පෙන්වා දිය හැකිය. එමෙන්ම තල් සංවර්ධන මණ්ඩලයට අයත් හම්බන්තොට වීරවිල තල් වගා භූමියේ ඉඩම් ලබා ගැනීම පෙන්වා දිය හැකිය.

හම්බන්තොට කුරුදාන 10 කණුව ආසන්නයේ ඇති අලිමංකඩ සහිත රක්ෂිත ප්‍රදේශය නීති විරෝධීව නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මීට වසර දෙකක පමණ කාලයක සිට හෙළි කරමින් මේ වන විට එහි “සිවරජගම” නමින් නිවාස ගම්මානයක් සාදා තිබේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් පසුගිය වසර කීපය තුළ මෙම සැමට සෙවණ ආදර්ශ ගම්මාන සඳහා ඉඩම් ලබාදීම් සම්බන්ධයෙන් ලබා ගත් ‍තොරතුරුවලට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් 2015 සිට 2018 මේ දක්වා නිවාස ගම්මාන 50ක් සඳහා අවශ්‍ය අක්කර 510ක් මේ වන විට ලබා දී ඇති බව අනාවරණ විය. නමුත් එසේ ලබා දුන් ඉඩම් අතර හම්බන්තොට මත්තල ප්‍රධාන මාර්ගයේ කුරුදාන 10 කණුව ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක් සඳහා හෙළි පෙහෙළි කර ඇති නිවාස ව්‍යාපෘතිය සඳහා කිසිදු ඉඩම් ලබා ගැනීමක තොරතුරක් නොමැති වීමෙන් පෙනී යන්නේ මෙය හුදු දේශපාලන අධිකාරියේ ඕනෑ එපාකම් ඉටුකරමින් විශාල පරිසර විනාශයක් ද ඇති බවයි.

වන විනාශයේ බලපෑම

සූරියවැව මදුනාගල ඉදි කර තිබෙන සෙවණගමද මදුනාගල රක්ෂිතයට යාබදව ඉදි කර තිබෙන බැවින් වන අලින් නිරන්තරයෙන් ගම් වැදීම් සිදුවී සෙවණ ගම සෙවණක් නොමැති සෙවණ ගමක් බවට පත් වී ඇත. බොහොමයක් නිවාස වන අලින්ගේ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් එම ගම්මානය අත්හැර එම ගමේ ජීවත් වූ ජනතාව පිටව ගොස් ඇති බව මදුනාගල ප්‍රදේශ වාසියෙකු වන සුමනානන්ද මහතා පෙන්වා දෙයි.

මේ සියලු කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ පසුගිය රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් ජනතාවාදී නිවාස ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරගෙන යන මෙම සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය සැබවින්ම එසේ නොවූ එකක් බවයි. එය හුදු රටේ ඉඩම් සම්පත ශීඝ්‍රයෙන් ගිලගනිමින් අහිංසක දුප්පත් ජනයා ණයකරුවන් කරමින් ඔවුන් ආර්ථික අගාධයක් වෙත තල්ලු කරමින් කෝටි ගණනක රටේ මහජනතාවගේ මුදල් නාස්ති කරමින් තම දේශපාලන අරමුණු උදෙසා සිදු කරමින් ගිය එකක් බවයි.

Comments