සුමි­හිරි සුව­ඳැති මල් ඇයි මෙත­රම් හණි­කට පර­වන්නේ? | සිළුමිණ

සුමි­හිරි සුව­ඳැති මල් ඇයි මෙත­රම් හණි­කට පර­වන්නේ?

තැම් මිනි­සුන් කායි­කව මිය ගිය ද ඔවුන් ජීවත් වූ කාලයේ මානව වර්ග­යාගේ යහ­පත උදෙසා ඉටු කරන ලද අප­රි­මිත මෙහෙය හේතු කොට­ගෙන ඔවුන්ගේ කිතු සිරුර නොදිරා නොමැරී දීර්ඝ කාල­යක් මානව චිත්ත සන්තා­නයේ සුමි­හිරි මතක සැම­රුම් ලෙස ලැගුම් ගනී. චක්‍රා­වා­ටයේ ඇතැම් තාරකා නිවී ගොස් බොහෝ කාල­යක් ගත වුව ද ඒ තරු­ව­ලින් ගලා ආ කාන්තිය දීර්ඝ කාල­යක් පොළො­වට ගලා එන්නා සේ ඔවුන් පිළි­බඳ මතක අපගේ අඳුරු ජීවන මංපෙත ආලෝ­ක­වත් කරයි. මේ තීරු ලිපි­යෙන් අපේක්ෂා කෙරෙන්නේ එබඳු මතක සැම­රුම් ශේෂ කළ අම­ර­ණීය මිනි­සුන් පිළි­බඳ ආව­ර්ජ­න­යක යෙදීම ය. ලාංකේය පුව­ත්පත් කලා­වට සහ සාහිත්‍ය ක්ෂේත්‍ර­යට අමිල මෙහෙ­යක් ඉටු කළ දයා­සේන ගුණ­සිංහ පිළි­බඳ මතක ආව­ර්ජ­න­ය­කින් මේ තීරුව ඇර­ඹීම කාලෝ­චිත යැයි සිතමි.

සිය ජීවිත කාලයේ නිමග්න වූ හැම ක්ෂේත්‍ර­යක ම ඔහු පර­මා­දර්ශී ලෙස සිය වග­කීම් ඉටු කළේ ය. අද අප ජීවත් වන්නේ පර­මා­දර්ශ විරල සමා­ජ­යක ය. උදාර පර­මාර්ථ උදර පර­මා­ර්ථ­යට යට වෙයි. මිනිසා වෙනු­වට ඉතු­රුව තිබෙන්නේ මිනිස් සෙව­ණැලි ය. බැලු බැලූ අත රජ­යන්නේ අන්ධ­කා­රය යි, අවි­ද්‍යාව යි, අව­ර­සි­ක­ත්වය යි, මෝහය යි. අන්ධ­කා­ර­යෙන් ආලෝ­කය සොයා යෑම­ටත්, අවි­ද්‍යා­වෙන් විද්‍යාව මතු කර­ගැ­නී­ම­ටත්, අව­ර­සි­ක­ත්ව­යෙන් රසි­ක­ත්වය පාදා­ගැ­නී­ම­ටත්, මෝහ­යෙන් ප්‍රඥාව කරා ගමන් කිරී­ම­ටත් තව­මත් මානව සමා­ජ­යට ආලෝක ධාරා මුදා හරින අප හැර දමා ගිය චරිත පිළි­බඳ ආව­ර්ජ­න­යක යෙදී­මෙන් උත්තේ­ජ­න­යක් ජනිත වෙයි.

ඉංගි­රි­යට නුදුරු ඌරු­ගල ගම්මා­නයේ උපත ලද දයා­සේන ගුණ­සිංහ මතු­ගම ආනන්ද ශාස්ත්‍රා­ල­යෙන් පාසල් අධ්‍යා­ප­නය නිම කොට උසස් අධ්‍යා­නය සඳහා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ප්‍රවේශ වන්නේ ඒ විශ්ව­වි­ද්‍යා­ලය ශාස්ත්‍ර නිකේ­ත­යක් ලෙස විරා­ජ­මාන වෙමින් පැවති සම­යක ය. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යෙන් උසස් ශාස්ත්‍රීය ශික්ෂ­ණ­යක් ලැබුව ද එම අධ්‍යා­ප­නය ලාංකික සමා­ජයේ යහ­පැ­වැ­ත්මට කොතෙක් උප­කාරී වන්නේ යන්න පිළි­බඳ ගුණ­සිං­හගේ මනසේ ප්‍රති­රාව නංවූ විත­ර්ක­යක් ද පැවති බව විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නික්ම ගොස් ලියූ කාව්‍ය නිර්මා­ණ­ව­ලන් අනා­ව­ර­ණය වෙයි. උපා­ධිය සම්පූර්ණ කිරී­මෙන් පසු බොහෝ උපා­ධි­ධා­රීන්ට තිබුණේ රට­වැ­සි­යාගේ ජීවන තත්වය නඟා­ලීම සඳහා උර දීමට වඩා තම ජීවන තත්ත්වය ඉහළ නංවා­ගැ­නීමේ විමුක්ති මාර්ග සෙවීම බව ‘තුන්ව­ස­රක් සහ එක් රැයක්’ නමැති කාව්‍ය නිර්මා­ණ­යෙන් ධ්වනිත වෙයි;

‘හිසින් දැරූ වන­පොත් බර

කඩ­දහි පිටු වෙත පවරා

සැන­සුම ලද­වුන් එක­තුව

ගැයූ සුරා ගී නිම විය

ඉඳ­හිට කුටි­ව­ලින් අවට

දොඩ­මලු වන සිහින මැදින්

ඇසෙයි ඔවුනගේ පා හඬ

විල්ලුද බුමු­තු­රුණු තළන’

‘නර කෙස හා සෙනෙ­හස’ නමැති කාව්‍ය නිර්මා­ණ­යෙන් ධ්වනිත වන්නේ ද රටේ පොදු ජන­යාගේ ජීවන අපේක්ෂා ගැන අබ­මල් රේණු­ව­කි­නුදු සංවේදී නොවන අහස් විම­නක් බඳු විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ගැන උපන් සැක සංකා ය.

‘නිල් අහස තණ පලස කඳු රැලිය දිය කඳුර

තුරු සෙවණ ලිය ගොමුව සිනා­සෙන මිනිස් කැල

අය­දි­මින් අප ඇසුර අත් විදා සිටින කල

උනිමු ගහ ලෝ අතර ගුවන් පිය­සක සිරව’

විශ්ව­වි­ද්‍ය­ලයේ අධ්‍යා­ප­නය ලබන සමයේ පටන් දයා­සේන ගුණ­සිංහ කාව්‍ය­ක­ර­ණ­යට අවශ්‍ය ව්‍යුත්ප­ත්තිය ලැබුව ද එක් රැය­කින් කවි විජි­තයේ කිරුළු දැරීමේ විජි­ගී­ෂා­වක් ඔහුට නොවිණ. 1959 දී විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය නිම කළ දයා­සේන ගුණ­සිං­හගේ ප්‍රථම කාව්‍ය සංග්‍ර­හය වන රන් තැටි­යක කඳුළු කෘතිය එළි දකින්නේ 1974 පෙබ­ර­වාරි මාසයේ ය. එනම් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නික්ම වසර විසි පහ­කට පසුව . සමාජ-ජීවන අත්දැ­කී­ම්ව­ලින් මුහු­කුරා ගිය පරි­ණත කවි­යකු ලෙස කල­එළි බැසී­මට තරම් ඉව­සී­මක්-වින­යක් ඔහුට තිබිණි.

නිර්මා­ණ­ක­රු­වකු ලෙස එලෙස දීර්ඝ පාර­මිතා පුරා බිහි කළ ප්‍රථම කාව්‍ය සංග්‍ර­හ­යට ඒ වසරේ පළ වූ හොඳම කාව්‍ය සංග්‍ර­හ­යට හිමි රාජ්‍ය සම්මා­නය හිමි විය. දයා­සේන ගුණ­සිං­හගේ දෙවන කාව්‍ය සංග්‍ර­හය වූ ‘නොව­ඳිම් සිදු­හත්’ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍ර­හය ද ඉක්මවා යන තරම් කලා­ත්මක පරි­ස­මා­ප්ති­ය­කින් යුක්ත වුව ද ඒ වසරේ ප්‍රශස්ත කාව්‍ය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මා­නය පිරි­නැ­මුණේ වෙනත් අයකුට ය. ගුණ­සිං­හ­යන්ගේ තෙවැනි කාව්‍ය සංග්‍ර­හය වන දොර­ම­ඬ­ලාව පළ වුයේ දෙවන කාව්‍ය සංග්‍රය පළ කොට වසර දහ­ය­කට පසු ව ය.

ජීවිත කාල­යට ම දයා­සේන ගුණ­සිංහ රචනා කළේ කාව්‍ය සංග්‍රහ තුනකි. වස­රින් වසර රළින් රළ නඟන කටුක ලවණ රසින් පිරුණු කවි සයු­රක් තැනී­මට උව­ම­නා­වක් නොවිණ. නික­රුණේ පොත් රාක්ක­වල ඉඩ අවු­රා­ලී­මට තරම් මාන­සික ව්‍යාධි­යක් ද නොවිණ. එහෙත් ඔහු ලියූ කවි පොත් තුනෙන් අන් සිය­ල්ලන්ට ඉහ­ළින් විසි වන සිය­වසේ හොඳම කවියා ලෙස කවි ලොව කිරු­ළට ඔහු හිමි­කම් ලද්දේ නිතැ­තිනි. ඔහුගේ කවිය ලේසර් කිර­ණ­යක් මෙන් සමාජ දේහය විනි­විද ගියේ ය. අද අප ගත­ක­රන අපා අඳු­රින් පිරි ජීවි­තය ඔහු දුටුවේ 1974 දී පමණ ය. ඔහු ඒ ලෝකය දැක්කේ ‘කවුළු තුළින් බලා සිටින බිහි­සුණු අඳු­රට මැදි ව සතුටු සලා­කය ලෙව­කන, සුළි කැවෙ­මින් බමන ලොවක්’ ලෙසිනි. ‘අලෙ­විය බලය කොට බලය අලෙවි කරන’ වත්මන් දේශ­පා­ලන පරි­හා­නිය ඔහු කල් වේලා අතුව දැක අන­තුරු හැඟ­වීමේ සංඥ කවි­යෙන් නිකුත් කළේ ය.

දයා­සේන ගුණ­සිංහ පිවිසි හැම ක්ෂේත්‍ර­යක ම ඔහුගේ පිය සට­හන් සල­කුණු වූයේ ගැඹු­රට කිඳා බැස ය. ‘කැනල් පාරේ නිශා­ච­රයෝ’ කෙටි­කතා සංග්‍ර­හ­යෙන් ඇරඹී ‘කේතු­මතී හෝට­ලයේ රාත්‍රි­යක්’ සහ ‘මරු­වාගේ හෝරාව’ කෙටි­කතා සංග්‍ර­හ­ව­ලින් ද ඔහු රම­ණීය ලෙස සිතු­වම් කළේ කුණු වී ඕජස් ගලන සමාජ ඛේද­වා­ච­කය යි. වෘත්තා­කාර බන්ධ­නා­ගා­රය කෙටි­ක­තාවේ නිරූ­පිත එක් අව­ස්ථා­ව­කින් පාරි­භෝ­ජ­න­වාදී ගොහො­රුවේ කර වටක් එරුණු මිනිස් ජීවිත අපට මුණ ගැස්සුවේ මෙලෙ­සිනි.

“අම්මාගේ දෑස රූප­වා­හිනී තිරය මත මැලි­යම් ගා ඇල­වූවා වැනි ය. කථාව නිම වී ගී ප්‍රසං­ගය එළැ­ඹෙන තුරු ඕ නොඉ­ව­සි­ල්ලෙන් බලා සිටින්නී ය. එහෙත් කතාව අව­ස­න්වත් ම රූප­වාහිනී තිරය කෑම මේස­යක් බවට පරි­ව­ර්ත­නය විය. කුඩා දරුවෝ එහි පැමිණ, බඩ කට පුරා කිරි බී, මුව වටා රැඳුණු පෙණ සුඹුලු දිව­ගින් පිස දමා ගත්හ. ඉක්බි­තිව දුම් දමන සොසේ­ජස් පිඟා­නක් පහළ වී ය. පිති ප්‍රහා­ර­යෙන් ජාතිය කුල්මත් කරන ක්‍රිකට් ශූර­යෙක් කඩුල්ල පැන සොසේ­ජස් සුවඳ ඔස්සේ ඒ දෙසට දිව ගියේ ය.’

එයින් පෙනි යන්නේ තමා ජීව­ත්වන සමා­ජය හාත්පස එක මිට­කට ගෙන විදහා දක්වා සමා­ජ­වා­සීන් ගිලී සිටි නිද්‍රා­වෙන් මුදා­ගැ­නී­මට ඔහු තුළ වූ අභි­ලා­ෂය යි. දයා­සේන ගුණ­සිංහ කවිය මෙන් ම කෙටි­ක­තාව ද සමා­ජය විනි­විද යන තියුණු දැක්ම­කින් යුත් භාවි­ත­යක් ලෙස ආඪ්‍ය­ත්ව­යට පත් කිරී­මට පුරෝ­ගාමී මෙහෙ­යක් ඉටු කළේ ය.

දයා­සේන ගුණ­සිංහ අතින් විපුල මෙහෙ­යක් ඉටු වූයේ මෙරට පුව­ත්පත් කලා­වට ය.

Comments