සිරිපා නඟින්න නඟින්න සැහැල්ලු වන නඩේ අයගේ පොකැට්ටු | සිළුමිණ

සිරිපා නඟින්න නඟින්න සැහැල්ලු වන නඩේ අයගේ පොකැට්ටු

කුරු­විට ප්‍රාදේ­ශීය ලේකම් තිලිණි ධර්ම­දාස මහ­ත්මි­යගේ මෙහෙ­ය­වී­මෙන් සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් කේ.ඩී.නිහාල් මහතා ඇතුළු පිරි­සක් කුරු­විට එරත්න පාරේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමින්.
කුරු­විට ප්‍රාදේ­ශීය ලේකම් තිලිණි ධර්ම­දාස මහ­ත්මි­යගේ මෙහෙ­ය­වී­මෙන් සහ­කාර ප්‍රාදේ­ශීය ලේකම් කේ.ඩී.නිහාල් මහතා ඇතුළු පිරි­සක් කුරු­විට එරත්න පාරේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමින්.

සිරිපා වැද නඩේට කෑමට දූන් හොද්දේ පණුවෝ. ඒ ඉකුත් සතියේ දිනක පළ වූ පුව­ත්පත් හෙඩි­මකි. කතාව කෙළ­වර වී තිබුණේ සිද්ධි­යට මුහුණ පෑ තරු­ණ­යන් මස්කෙ­ළිය පොලී­සි­යට සහ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරී කාර්යා­ල­යට ගොස් පැමි­ණිලි කොට කඩ­හි­මියා නීතියේ රැහැ­නට හසු කර­දෙ­මිනි.

වාර්ෂික සිරිපා වන්දනා වාරය ආරම්භ වූයේ ඉකුත් උඳු­වප් පෝ දින­යෙනි. එළ­ඹෙන වෙසක් පුන් පොහො දිනය දක්වා පැවැ­ත්වෙන ශ්‍රී පාද වන්දනා වාරයේ වැඩිම බැති­ම­තුන් පිරි­සක් වන්ද­නා­වට පැමි­ණෙන්නේ ජන­වාරි පෙබ­ර­වාරි මාර්තු යන මුල් මාස තුළය. ඒ අතු­රින් දිග සති අන්ත සහ නිවාඩු දින­වල වඩ වඩාත් වන්ද­නා­ක­රු­වන් පැමි­ණෙන දින වේ.

ඉකුත් දූරුතු පොහොය හා යාවුණු සති අන්ත නිවා­ඩුව එවැ­න්නකි. සිරිපා මළුවේ රාජා­කා­රියේ නිය­ළුණු පොලිස් නිල­ධා­රි­යෙකු පැව­සුවේ එම සති අන්තයේ සිරිපා මළු­වට පැමිණි පිරිස ලක්ෂය ඉක්මවූ බවය.

සීමිත ඉඩ­ක­ඩක් ඇති සිරිපා මළුව තුළ අසී­මිත බැති­ම­තුන් පිරි­ස­කට පහ­සු­කම් සැල­සීම අසී­රුය. එහෙත් සිරිපා කාර්ය මණ්ඩ­ලය සහ බල­ධා­රීන් ඔවු­නට හැකි උප­රිම මට්ට­මින් අවශ්‍ය පහ­සු­කම් සපයා ඇත. විශ්‍රාම ශාලා පම­ණක් නොව වැසි­කිළි කැසි­කිළි පහ­සු­කම් සහ ජල පහ­සු­කම් ද සපයා ඇත. එප­ම­ණක් නොව ඇති හැකි පම­ණින් ආහාර වේලක් දීමට ද බොහෝ විට ඔවුහු කට­යුතු කරති.

අප මුලින් සඳ­හන් කළ ආකා­රයේ දුෂ්ක­ර­තා­වන්ට බැති­ම­තුන් වැඩි වැඩි­යෙන් මුහුණ දෙන්නේ සිරිපා මළු­වට යන එන ගම­නේ­දීය. සිරිපා වන්ද­නා­වට පිවි­සෙන ප්‍රධාන මාර්ග දෙකකි. ඒ රත්න­පුර සහ හැටන් පාරයි. හැටන් පාර නල්ල­ත­න්නි­යෙන් පටන් ගෙන සැත­පුම් 6ක් පමණ ගම­නකි. රත්න­පුර පාරෙන් පලා­බ­ද්දල සිට සැත­පුම් 8ක් පමණ වේ.

හැටන් පාර සුව­ප­හ­සුය. කෙටිය. රත්න­පුර පාර තර­මක් දුර වුවත් වඩාත් ප්‍රිය­ජ­න­කය, චම­ත්කා­රය. එප­ම­ණක් නොව පැරණි රජ මාවත ලෙස සැල­කෙන්නේ රත්න­පුර පාරය. රත්න­පුර පාරට අත­ර­ම­ඟදී එක් වන කුරු­විට එරත්න පාර ද සිරිපා වන්ද­නා­ක­රු­වන් අතර වඩාත් ජන­ප්‍රි­යව ඇත්තේ මද පවනේ තුරු සෙවන සහ දිය­ක­දුරු අත­රින් වැටී ඇති මඟ වඩාත් මන­ස්කාන්ත නිසාය.

මේ ලිපි­යෙන් අව­ධා­නය යොමු කර වන්නේ සිරිපා වන්දනා ඉති­හා­සය හෝ මඟ­තොටේ අසි­රිය ගැන කිය­න්නට නම් නොවේ. ලිපිය ආර­ම්භයේ සඳ­හන් කළ අන්ද­මට වන්ද­නා­ක­රු­වන්ට මුහුණ පෑමට සිදු වන ආහා­ර­පාන සහ පොදු පහ­සු­කම් ලබා­ගැ­නී­මේදී අත්වි­ඳී­මට සිදු වන දූෂ්ක­රතා ගැනය.

වර්ෂ­යක් පාසාම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීමට පෙරා­තු­වම ශ්‍රී පාද­ස්ථා­නා­ධි­පති නාහි­මි­පා­ණන් වහ­න්සේගේ අනු­ශා­ස­න­යෙන් යුතුව නුව­ර­එ­ළිය සහ රත්න­පුර දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් පව­ත්වන රැස්වී­ම­කදී ඉදිරි වන්දනා වාරය තුළ කාර්ය සංවි­ධා­නය සාක­ච්ඡා­වට ගැනේ. ආග­මික වාතා­වත් ගැන පම­ණක් නොව බැති­ම­තුන්ට සැප­යෙන ජලය සහ විදූ­ලිය සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් ගැන ද අවශ්‍ය පරිදි කට­යුතු යොදනු ලබයි

වන්ද­නා­ක­රු­වන් අප­හ­සු­වට පත් වන්නේ වන්ද­නා­ක­රු­වන් වෙනු­වෙන් සේවය සැප­යී­මට එක් වන අත­ර­මැ­දි­යන් නිසාය. හැටන් පාරෙන් සහ රත්න­පුර පාර යන දෙකෙන්ම සිරිපා වන්ද­නා­වට යන ගමන ආයා­ස­කා­රිය. ඉස්සර නම් සිරිපා වන්ද­නාවේ ගිය අය අන්තිම කැමැ­ත්තත් ලියා ගිය බව කියන්නේ ගමනේ තිබුණ දුෂ්ක­ර­තාව නිසාය. එහෙත් දැන් එවැනි දුෂ්ක­රතා නැත. හයිය ගාය ඇති අය උදේ නැඟ හව­සට ආපසු එති. ඒ පුරු­දු­කා­ර­යෝය.

ගායට සම­නල නඟි­න්නන් මෙන් නොව සිරිපා වන්ද­නා­වට කාරු­ණා­ක­රන ගමේ නඩ අත­රි­න්ප­තර දක්නට ලැබේ. ශීත ගඟු­ලෙන් දිය නා පිරු­වට ඇඳ පන්සිල් ගෙන පෙවී වඳින්න යන නඩ­ය­කට නම් පැය හත අටක් ඒ ගම­නට ගත වේ.

වඳින්න එන ඒ නඩේට අම්බ­ලන් දෙක තුනක නතර වන්නට සිදු වේ. සැහැ­ල්ලුවේ දාගෙන ආ අග්ගලා එක දෙකක් ගිල දමද්දී උණු උණුවේ කෝපි කොප්ප­යක රස බැලී­මට ඇති වෙන්නේ කිසි­යම් උත්තේ­ජ­නක් ලබනු රිසි නිසාය.

ඒත් ඒ ආශාව ඉටු කර­ග­න්නට තැබු අඩිය පස්සට ගන්නට වෙන්නේ කෝපි කෝප්ප­යක මිල ඇසූ පසු­වය. මිල අසන්නේ නැතිව බීවා නම් වෙන්නෙ වන්ද­නාව මඟ තබා කඩේ වළන් පිඟන් සොද­න්න­ටය. මේ අති­ශෝ­ක්ති­යෙන් කියන කතා නොව ඇසු දුටු දේවල්ය. කෝපි කෝප්ප­යට තේ කොප්ප­යට පම­ණක් නොව උණු වතුර කොප්ප­යට පම­ණක් නොව ඇතැම් විට­කදි ඇල් වතුර කොප්පය ගන්නට වෙන්නේ ද මුදල් ගෙවාය. ඇතැම් වෙළෙ­ඳ­ස­ල්වල ආහා­ර­පාන නාවා­තැන් පම­ණක් නොව වැසි­කිළි විකු­ණන්නේ මුද­ල­ටය. අපි මේ ගැන වග­කිව යුත්තන් කිහිප දෙනෙක් සමඟ කතා කළෙමු. තොර­තුරු සොයා සිරිපා අඩ­වියේ ඇවිද ගියෙමු.

සිරිපා වන්ද­නාවේ යන බැති­ම­තුන්ට ඇති පහ­සු­කම් සහ අප­හ­සු­කම් ගැන විමසා බැලු­වෙමු. ඔවුන් බොහො දෙනෙ­කුගේ අද­හස වූයේ මීටර 2200 ගණ­නක් උස හුදෙ­කලා ගිරි­ශි­ඛ­ර­යක සිරිපා වන්ද­නාවේ ඇති පහ­සු­කම් විස්මිත බවය. සීමිත ඉඩ­ක­ඩක් තුළ බැති­ම­තුන් වෙනු­වෙන් සපයා ඇති පහ­සු­කම් ඉතා ඉහළ මට්ට­මක පව­තින බවය. එහෙත් වන්දනා මාර්ගය අත­ර­ම­ඟදී වන්ද­නා­ක­රු­වන් විවිධ ගැහැට වලට මුහුණ පෑමට සිදු වන බවද ඔහු පැව­සු­වේය.

හැටන් සහ රත්න­පුර මාර්ගයේ ගව්වෙන් ගව්වට හැදුණු අම්බ­ලන්ය. ඒවාට පොදූ පහ­සු­කම් අඩු­කම ගැන වන්ද­නා­ක­රුවෝ නිතර නිතර දොඩ­මලු වෙති. තවත් පැමි­ණි­ල්ලක් ලැබුණේ වන්දනා මඟේ රෑට දැල්වෙන විදූලි පහන් කණු ගැනය. ඇතැම් තැන්වල කඩ­යක් පසු කර යා යුතුය ඇත්තේ තද අඳු­රේය. අඳුර වැඩි­ක­මට පොඩි පොඩි නඩ ඉදි­රි­යට යන්නට මැළි වෙති. ඔවුන්ට සිදු වන්නේ තවත් නඩ­යක් හෝ එළි­යක් එන තුරු කඩේ ඉස්ස­රහා මැස්සේය. ඒ ඉන්න අතර තුර මුද­ලා­ලිගේ ලාච්චුව දෙතුන් විඩක් ඇරෙන්නේ වැහෙන්නේ නඩේ අයගේ මඩි­ස්ස­ලය ද සැහැල්ලු කර­මිනි. කඩේට ඉහ­ළත් පහ­ළත් අන්ධ­කාර වුණේ මන්දැයි නඩේ අයට තේරුම් යන්නේ ටික දුරක් යන විටය.

සිරිපා වන්ද­නා­ක­රු­වන් මුහුණ දෙන දූෂ්ක­රතා ගැන සොය­න්නට ගිය ගමනේ දී අපට මුලින්ම හමු වූයේ රත්න­පුර ශ්‍රී පාද රජ මාවතේ පටන් ගැන්ම වන ශ්‍රී පලා­බ­ද්දල ක්‍රීර්ති ශ්‍රී රාජ­සිංහ විහා­රයේ විහා­රා­ධි­පති කල­ල්ඇල්ලේ සුනන්ද හිමි­පා­ණන් වහ­න්සේය.

“සිරිපා වන්ද­නා­වට එන අය මුහු­ණ­පාන ගැටලු ගැන අපි­ටත් අස­න්නට ලැබෙ­නවා. ඒවා අපේ මට්ට­මින් විස­ඳී­මට හැකි ඒවා නොවේ. අපට පුළු­ව­න්ටත් වඩා වන්ද­නා­ක­රු­වන්ට අවශ්‍ය පහ­සු­කම් සල­සලා අලු­තෙ­නුත් විශ්‍රාම ශාලා දෙකක් හැදූවා. ඒවා දෙන්නේ නොමිලේ. අවශ්‍ය නම් කාම­රත් තිය­නවා. වැසි­කිළි තිය­නවා හැම පොහො­ය­ටම අවශ්‍ය තරම් දන්සල් තිය­නවා. මට මේ හැම දෙයක්ම කරන්න ලැබිලා තියෙන්නේ සිරි­පාද අඩ­වියේ භාවා­නා­යෝ­ගීව වැඩ වසන කුඩාවි ප්‍රේමාලෝක ස්වාමීන් වහ­න්සේගේ ආශි­ර්වා­ද­යෙන්. පොහොය දව­සට උන්ව­හ­න්සේ­ගෙන් බණ අස­න්නට මෙතැ­නට එන බැති­ම­තුන් අපට උදව් කර­නවා.

තවත් පොඩි කාර­ණා­වක් කිය­න්නට තිය­නවා

ඊළ­ඟට අපට හමු වුණේ ගීලී­මලේ රංජිත්ය. ඔහු වෙළෙ­න්දෙකි. අප ඔහු­ගෙන් ඇහුවේ කඩ­වල බඩු ගණන්ය.

“මහ­ත්තයෝ පහළ දෙන ගණ­න්ව­ලට උඩදී දෙන්නේ කොහො­මද සිරි­පාද පාරේ කඩ බිම් ගන්නේ වෙන්දේ­සි­යට ලංසු තියලා. ඉස්සර හත්අ­ට­දා­හට ගත් කඩ දැන් යන්නේ ලක්ෂ ගණ­න්ව­ලට. බිම අර­ගෙන කඩ හදා­ගන්න ඕනෑ. කැලෙන් ලී කෑලි ගන්න බෑ. ඒවා ගෙනි­යන්නේ පහ­ළින්. කැලේ කොච්චර ගස් දිරලා ගියත් දර කෑල්ලක් ගන්න තහ­නම්. අරන් අහු­වු­ණොත් දඩ. උයන්නේ ගෑස් වලින් කිලෝ 25 බරක් ගෙනි­යන්න රුපි­යල් 2500ක් ගන්නවා. සේවක පඩි­නඩි බේරු­වාම බඩු­වක් කීයට විකු­ණ­න්නද? මම නැහැ කියන්නේ නෑ සම­හර වේලා­වට අක­ට­යු­තු­කම් වෙනවා ඇති. හැබැයි මහ­ත්තයෝ එහෙම කරන අයට පැවැ­ත්මක් නැහැ

අපට ඊළඟ තොර­තුර ලැබුණේ ත්‍රීවීල් රථ රිය­දු­ර­න්ගෙනි.

“දැන් සිරි­පාදේ යන අයට ෂෝර්ට්කට් තියෙ­නවා. පඩි නඟින්නේ නැතිව අත­ර­ම­ඟින් ගිහින් මැදදි එකතු වෙන්න පුළු­වන්. කාර්නියේ ඉඳලා උඩ පව­නැ­ල්ලට පඩි 1000කට වැඩිය මඟ­ඇ­රලා යත හැකියි. ලොකු වාහන යන්න බැහැ. ත්‍රීවීල් විත­රයි. ඒ වගේම ගාස්තු­වත් කිලෝ මීටර ගානට නෙමෙයි ඕන­කමේ හැටි­ය­ටයි. ටිකක් රෑ බෝ වෙලා පහ­ළට එද්දී යන්න බස් නැහැ. පෞද්ග­ලික වාහන ආසා­ධා­රණ විදි­යට අය කර­නවා.

ඔහු පොලිස් නිල­ධා­රි­යෙකු වුණත් හිටියේ සිවිල් ඇඳු­මෙනි.

“මේ පාර­වල් හැදෙන්නේ, කඩ වැටෙන්නේ, එළිය වෙන්නෙ මේ ටික කාලෙ­ටයි. ගමේ අහල පහල අය පොඩි පොඩි බිස්නස් කරලා එදා වේල හොයා ගන්නවා. ඒ ගොල්ලෝ දෙයි­යන්ගේ රටේ දේව කරු­ණා­වෙන් ලැබෙන දෙයක් උපයා ගන්නවා.

තව කට්ටි­යක් ඉන්නවා වාරෙට දෙපැත්තෙ කඩ දාග­න්නවා. ගිනි ගණ­න්ව­ලට කඩ බිම් අර­ගෙන ගිය විය­දම විත­රක් නෙමෙයි අවු­රු­ද්දම ජීව­ත්වෙන්න සල්ලි හොය­නවා. ඒ අය තමයි සල්ලි හොයන්න නොයෙක් වැඩ කරන්නේ. මත්ව­තුර විත­රක් නෙමෙයි දැන් ගංජා, හෙරො­යින්, අයිස්, අසීස්, වගේ දේව­ලුත් අර­ගෙන එනවා. අපි සිවිල් පිට ඉන්නේ ඒවා ‍හොයන්න. මුර පොළ­වල විත­රක් නෙමෙයි සැක හිතු­ණොත් මඟ­දීත් චෙක් කර­නවා. සිරි­පාදේ වඳින්න එන අයට කර­ද­ර­යක් නොවෙන්න වග බලා­ගන්න එක අපේ රාජ­කා­රිය.

අප ඊළ­ඟට ගියේ කුරු­විට ප්‍රාදේ­ශිය ලේකම් කාර්යා­ල­ය­ටය. මුලින් ම හමු වූයේ සහ­කාර ප්‍රාදේ­ශිය ලේකම් ට්. ඩි. එන්. නිහාල් මහ­තාය.

“හැබැයි ඔය කියන තරම් අක­ට­යුතු මේ පාරෙන් නම් වෙන බවක් අපට පෙනෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් අපිට තොර­තුරු ලැබෙ­නවා. අපි භාණ්ඩ මිල නියම කරලා තිය­නවා. ඒක කරන්නේ කමි­ටු­ව­කින්. පරීක්ෂා කරන්න අපේ නිල­ධා­රීන් ඉන්නවා. අපි කොක­ටත් මැඩම්ව හමු­වෙමු.

කුරු­විට ප්‍රාදේ­ශිය ලේකම් තිලිණි ධර්ම­දාස මහ­ත්මිය

සහ­කාර ප්‍රාදේ­ශිය ලේක­ම්තුමා නිතර නිතර හිමේට ගිහින් තොර­තුරු හොය­නවා. අඩු­පාඩු හොය­නවා. මට කිය­නවා. අපි එකතු වෙලා හොඳම විස­ඳුම් දෙනවා. අපේ පාරේ අම්බ­ලන් හදලා වැසි­කිළි ජලය සප­යලා උප­රිම මට්ට­මෙන් පහ­සු­කම් සප­යලා තිබෙ­නවා.

බඩු මිලත් අපිට දැනෙ­නවා. බඩු ප්‍රවා­හ­න­යට තියන දූෂ්ක­රතා, ප්‍රවා­හන විය­දම් එකතු කළාම ලාභය තියලා තියෙන්නේ සීය­යට විස්සයි. එහෙම නැතිව ව්‍යාපා­ර­යක් කරන්න බැහැනේ. “

එතු­මිය අව­සා­න­යට කිව්වේ, මේ කියන දේවල් ඇත්තද කියලා බලන්න ටිකක් දුර නැඟලා එන්න කියාය. අපද ඇය කී ලෙස ටිකක් දුර යෑමට හිතා­ගෙන එරත්න පාරෙන් ගමන පටන් ගත්තෙමු. එත් කුරු­විට සිට කිලෝ මීටර 15ක් විතර මඟ ගෙවා අඩවි කන්දට ආපු මට එතැ­නින් එහාට කරු­ණා­ක­ර­න්නට බැරි වුණේ ධාරා­නි­පා­තව ඇද හැලුනු වැස්ස නිසයි. වර­ණ­ගල දිය ඇල්ල පෙන මානයේ අපි ගමන නතර කෙළෙමු.

 

Comments