
පාලින්ද නුවර රජ කළ වීදියබණ්ඩාර රණ ශූරයා දියවලකඩ (දිවලකඩ) සටනින් පැරද පලායමින් සිටියදී අතරමඟදී හමු වූ පිරිසකගෙන් ‘‘බොලත් සිංහලද’’ යැයි ඇසූ බවත් එතැන් පටන් එම ප්‍රදේශය බුලත්සිංහල වූ බවත් පවතින ජනප්රවාදයකි.
1964 සිට ආදායම් පාලක කොට්ඨාසයක් (ඩීආර්ඕ) වශයෙන් පැවති බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බවට පත් වී ඇත්තේ 1992 දීය. ඉංගිරිය, අයගම, පාලින්දනුවර, අගලවත්ත සහ මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලින් මායිම් වී පවතී. වර්ග කි.මි. 212ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.
ස්වාභාවික ආපදා අවදානම් කොට්ඨාසයක් වශයෙන් හඳුනාගෙන තිබෙන බුලත්සිංහල ජනගහනය 72000ක් පමණ වන අතර සමාන්‍ය පවුල් වශයෙන් ගත් විට 17 000 පමණ වේ. ජනගහනයෙන් 8%ක් දෙමළ වන අතර මුස්ලිම් ජනතාව 2%ක් පමණ වේ.
කළු ගඟේ සහ කුඩා ගඟේ බලපෑම හේතුවෙන් වසරකට වරක් ගංවතුර ආපදාවකට මුහුණ දීමට නිරන්තරව සූදානමින් සිටින බුලත්සිංහල වැසියෝ මෑතක සිට නායයෑම් අවදානමටද මුහුණ දී සිටිති. ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික වගාව ලෙස තිබූ රබර් වගාව ඉවත් කර තේ වගාවට පිවිසීමත් ඒ සදහා ඉඩම් සකස් කිරීමත් නිසා නායයෑම් අවදානම ඇති වූවා යැයි වැසියෝ අදහස් කරති. මේ වන විට නායයෑම් අවදානමට ලක් වී සිටින පවුල් 700ක් පමණ ඉවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත. ජල පෝෂිත ප්‍රදේශ බහුල වුවත් වර්ෂාව අඩු වන කාලයට පානීය ජල අවශ්‍යතාවද පවතින ගැටලුවකි.
ප්‍රධාන ආර්ථික භෝගය වූ රබර් වගාවෙන් ඉවත් වූ වැසියන් මේ වන විට කුඩා ගෙවතු පවා තේ වගාවට යොදාගෙන තිබීම දැකිය හැකිය. හැම පවුල් ඒකකයකටම පාහේ අඩු වශයෙන් අක්කර බාගයක පමණවත් තේ ඉඩමක් හිමි වන අතර මේ නිසා වැඩි දෙනාගේ යහපත් ආර්ථික තත්ත්වයක් පෙන්නුම් කරයි. 60%කගේ පමණ ආදායම් මාර්ගය තේ වගාවයි.
බුලත්සිංහල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ වතු 13කි. දෙමළ ජනතාව සම්පූර්ණ වශයෙන්ම පදිංචි වී සිටින්නේ එම වතු ආශ්‍රීතවය.
එවන් පසුබිමක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටු වන්නේ මහඟු ජනතා මෙහෙයකි. ඒ උපතේ සිට මරණය දක්වාම ඔවුන්ගේ අවශ්‍යතා සැලසෙන්නේ එමඟින් හෙයිනි. එසේ වුවද විවිධ භූ විසමතා සහිත පිහිටීම් නිසා ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ දෙන ඔවුහු තම අවශ්‍යතා සඳහා කාර්යාලයට පැමිණියේ අපහසුවෙනි. එසේ පැමිණියද තම කාර්ය කරගැනීමට වරු ගණන් පෝලිම්වල ගත කිරීමට සිදු විය. එහෙත් බොහෝ විට ඔවුන්ට ආපසු යන්නට සිදු වූයේ තම අවශ්‍යතාව ඉටු නොවුණ වාතාවරණයක් තුළය.
දැනට වසරකට පමණ පෙර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් පත් වී එන පී.ආර්.ප්‍රසාද් පෙරේරා නම් වූ තරුණ ලේකම්වරයාට ජනතාව පෝලිම්වල රැඳී සිටිමින් විඳින දුෂ්කරතාව පිළිබඳ ඇති වන්නේ නොසතුටකි. දිනෙන් දින දැනුම තාක්ෂණය දියුණුවෙමින් පවතින ලෝකයක ඒවා නිසි ලෙස භාවිතයට නොගෙන තවමත් අනුගමනය කරන්නේ ප්‍රාථමික ක්‍රම නොවේදැයි හේ තමන්ගෙන්ම ප්‍රශ්න කළේය. ඒ සඳහා වැඩ පිළිවෙළක් සැකසිය යුතු යැයි ඔහු කල්පනා කළේය.
ප්‍රාදේශීය ලේකම් එම කාර්යාලයේ ප්‍රධානියා වුවත් ජනතාව සමඟ ඍජුව කටයුතු කරන්නේ කාර්යාලයේ නිලධාරි පිරිසය. ඒ නිසා මේ කටයුත්තේදී නිලධාරීන්ගේ දායකත්වය අත්‍යවශ්‍යමය. රජයේ කාර්යාල පිළිබඳ ජනතාව තුළ පවතින්නේ නොසතුටකි. රාජ්‍ය නිලධාරින් පිළිබඳ ජනතාවගේ ආකල්පද සුබවාදී නොවේ. ඒ නිසා ඔහුගේ පළමු පියවර වූයේ තම නිලධාරීන්ගේ ආකල්ප වර්ධනය කිරීමය.
ඒ පිළිබඳ අදහස් දක්වන ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහතා
‘‘මම මේ කාර්යාලයට ඇවිත් වසරක් පමණ වෙනවා. බදදා දවසට කාර්යාලය පිරෙන්න සෙනඟ එනවා. සමහර අය ආපසු යන්නේ අවශ්‍ය කාරණය ඉටු කරගෙන නොවෙයි. අපේ නිලධාරිනුත් පීඩාවට පත් වෙනවා. බොහෝ අය විවිධ දුෂ්කරතා මැද තමයි එන්නේ. වැඩි දෙනෙක් ආපසු යන්නේ සතුටෙන් නොවන බව මම නිරීක්ෂණය කළා. ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙලකට යා යුතුයැයි මා තීරණය කළා.
සාම්ප්‍රදායික රාජකාරි රටාවකට පුරුදු වී සිටින නිලධාරි පිරිස පළමුවෙන්ම ආකල්පමය වශයෙන් වෙනස් කළ යුතුව තිබුණා. ඒ සඳහා විවිධ කණ්ඩායම් හැදුවා. වගකිම් පැවරුවා. සමහර විට ටිකක් තදින් ඉන්නත් සිදු වුණා. දැඩි පාලනයක් ද කියල නිලධාරින්ට හිතුණ වේලාවලුත් තියෙන්න ඇති. හැබැයි අද වන විට හැම දෙනාම තේරුම් අරන් තියෙනවා ඒ සියල්ල නිවැරැදි බව. දැන් හැමෝම සතුටින් වැඩ කරනවා.
බොහෝ ප්‍රශ්න විසඳා ගැනීමට අයිටී (IT) තාක්ෂණයෙන් හැකි බව අපි කල්පනා කළා. අපි ඒ ගැන මුලින්ම කතා කළේ 2019 මාර්තු මාසයේ පැවති E - කවයේ දී. අප්‍රියෙල් මාසයේ ඉඳලම ඒක ක්‍රියාත්මක කළා. ඒ සඳහා ආයතනයේම ඉන්න පරිගණක තාක්ෂණය දන්න අයගෙන් වෙනම ඒකකයක් හැදුවා.
පළමුවෙන් අපි අවධානය යොමු කළේ ආපදා කළමනාකරණය පැත්තටයි. කළු ගඟ, කුඩා ගඟ සහ නාය යන ප්‍රදේශවල ඉන්න අයගේ තොරතුරු රැස් කළා. කුකුළේ ගඟේ ජල මට්ටම ඉහළ යන විට එසැණින්ම අපි අදාළ ජනතාවගේ දුරකතන අංකවලට එස්එම්එස් එකක් යවනවා. මෙහිදී අපේ ග්‍රාම නිලධාරින් ඉතා විශාල වැඩ කොටසක් ඉටු කළා. ඒ ක්‍රමය ඉතා ජනප්‍රිය වුණා.
අද සමාජයේ 35% වන පිරිසක් ෆේස්බුක් බලනවා. එන්න එන්නම ඒ පිරිස වැඩි වෙනවා. ඒ නිසා සතියකට දවසක් බදාදා දිනයේ සවස 5 සිට 7 දක්වා මම ඍජුවම ෆේස්බුක් ඔස්සේ පිළිතුරු දෙන්න අත්හදා බැලීමක් කළා. ඒ පිළිබඳ ජනතා ප්‍රතිචාරය ඉතා යහපත්.
දැන් ජනතාව යම් යම් කාරණා සඳහා කාර්යාලයට ඉල්ලුම් පත්‍ර බාර දීල එතැන රැඳී ඉන්න වුවමනා නෑ. වැඩේ ඉවර වූ ගමන් එස්එම්එස් එකක් යවනවා. ඔවුන්ගේ කාලයත් ඉතිරි වෙනවා. කාර්යාල පෝලිමත් නැති වෙනවා.
ආදායම් සහතිකයක් නිකුත් කරන්න ප්‍රාදේශිය ලේකම් තම කාර්යාලයේ සිටිය යුතුයි. නමුත් අපි තාක්ෂණය භාවිත කරලා ප්‍රාදේශීය ලේකම් ඉන්න තැනට එය යවලා අනුමත කරවාගෙන අදාළ නිලධාරියා මඟින් නිකුත් කරනවා.
ලංකාවේම උපත්, මරණ සහතික දැන් අපි අපේ කාර්යාලයෙන් නිකුත් කරනවා. කාර්යාලයට එන්න පළමුවෙන් එය ලබාගත හැකිද යන්න වයිබර් ඔස්සේ දැනගත හැකි ක්‍රමයක් ද සකස් කර තියෙනවා.
අපේ ෆේස් බුක් පේජ් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වැඩිම ෆලෝවර්ස්ලා (Followers) ප්‍රමාණයක් ඉන්න පේජ් එක බවට පත්වෙලා තියෙනවා.
තාක්ෂණය දන්න අයෙකුට නම් කිව්ආර් කෝර්ඩ් එකෙනුත් අපේ තොරතුරු දැනගත හැකියි. අපේ ලෙටර් හෙඩින්ස්වල පවා දැන් කිව්ආර් කෝර්ඩ් එකක් තියෙනවා.
මේ ප්‍රදේශයේ වැඩි වශයෙන් තියෙන්නේ ඉඩම් ගැටලුයි. ඒවාට ජංගම සේවා 35ක් විතර තිබ්බා. විසඳීමට අවුරුදු 10ක් පමණ ගත විය හැකි ඉඩම් ප්‍රශ්න මේ කාලය තුළ විසඳා අවසන් කළා. අපේ ප්‍රගතිය සියයට 2000යි.
අපි අභ්‍යන්තර හරිත සංකල්පය යටතේ බලශක්තිය, කසළ, ගෙවත්ත යන අංශ කළමනාකරණය කළා. කාර්යාලයේ ගෙවත්තේ මල් පැලයක් පවා හිටවන්නේ නියමිත ක්‍රමවේදයකට භූමි සැලැස්මකට අනුවයි.
කසළ ගැනත් එහෙමයි. ගෙදරින් කෑම ගෙනෙන නිලධාරීන් ඉතිරි ඉඳුල් පවා ආපසු ගෙන යනවා. කිසිම උත්සව අවස්ථාවකවත් කිරි පැකට්, වතුර බෝතල් භාවිත කරන්නේ නෑ. රජයත් දැන් ඒ වැඩ පිළිවෙළ අනුගමනය කරනවා. අපි ඊට මාස 10කට කලින්ම ඒක පටන්ගත්තා.
එක පැත්තක් පමණක් භාවිත කළ කඩදාසියක් ඉවත දමන්නෙ නෑ. අනෙක් පැත්ත තවත් වැඩකට භාවිත කරනවා. භාවිත කළ නොහැකි කඩදාසි වෙනම එකතු කර කඩදාසි සංස්ථාවට යවනවා.
සාමාන්‍ය ටියුබ් ලයිට් වෙනුවට එල්ඊඩී බල්බ් භාවිත කළා. කාර්යාලයේ වායු සමීකරණ භාවිත කරන්නේ උදේ 10ත් සවස 2ත් අතර කාලයේ පමණයි. අපට තියෙන යහපත් පාරිසරික තත්ත්වය යටතේ එය අසීරු දෙයක් නොවෙයි. විදුලි බල්බයක් වුණත් දල්වන්නේ එතැනට ඒ මොහොතේ අවශ්‍ය නම් පමණයි.
විදුලි පංකා කැරකෙන වේගය අංක 3 තිබුණත් අංක 5ට සමාන ප්‍රමාණවත් වායු ධාරාවක් ලැබෙන බව අපි නිරීක්ෂණය කළා. ඒ අනුව කටයුතු කළා. 52,000ක්ව තිබූ විදුලි බිල 39, 000ට අඩු කළා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය ලබාගැනීමට පැමිණ සිටි කිහිප දෙනෙක්ද සිළුමිණට අදහස් පළ කළා.
චන්දන ප්‍රියන්ත (48) - බටේගල්ලෙන
‘‘දැනට කාලෙකට ඉස්සර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට වැඩක් කරගන්න එනවා නම් දවසම වෙන් කරලා එන්න ඕනෑ. ඒ ආවත් එදාම කරගන්න කොහෙත්ම ලැබෙන්නෙ නෑ. ඒ හින්දා අපට විසඳා ගත යුතුව අත්‍යවශ්‍යම ප්‍රශ්න තිබුණත් අපි කාර්යාලයට ආවේ නෑ. ඒත් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අලුතින් පටන්ගත් මේ වැඩපිළිවෙළ නිසා අවුරුදු 14ක් තිස්සේ පැවැති මගේ ඉඩමක මුල් අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් එක දවසින් විසඳගන්න හැකි වුණා. ගමටම ඇවිල්ලාම වැඩේ කර දුන්නා. මේ කාර්යාලයේ ක්‍රියාත්මක කරන ස්මාට් වැඩපිළිවෙළ ඒ සඳහා ඉතාම ඉවහල් වුණා. අපි දැන් ඉන්නේ තාක්ෂණික ලෝකයකයි. එයට අනුගත වීම අත්‍යවශ්‍යයි. ග්‍රාම නිලධාරින්ටත්, සංවර්ධන නිලධාරින්ටත් දැන් ලොකු පහසුවක් වෙලා.’’
පොල්වත්තගේ නන්දාවතී (67) - ගම්පළකන්ද
‘‘මේ ගමේ අයට ඉඩම් ප්‍රශ්න තමයි ගොඩක් තියෙන්නේ. ඒවා විසඳගන්න අවශ්‍ය ලිපි ලේඛන මොනවාද කියල දැනගන්නත් කාර්යාලයට එන්න වෙනවා. ඒකටත් දවසක් ගත වෙනවා. නමුත් මේ කාර්යාලයේ අලුත් ස්මාට් වැඩපිළිවෙල නිසා ඒ තොරතුරු එස්එම්එස් එකක් මඟින් දැනගත හැකි වෙලා තියෙනවා. අපි නම් ඔය තාක්ෂණය ගැන දන්නේ නෑ. ඒ වුනාට අපේ දරු මුනුපුරන් ළඟ ඕන තරම් පෝන් තියෙනවා. ඒ අය ලවා අපි ඒ පහසුකම ලබා ගන්නවා. අවුරුදු 45ක් තිස්සේ පදිංචි වී සිටි මගේ ඉඩම නිරවුල් කරගන්න ජංගම සේවය මඟින් හැකි වුණා. ඒ තොරතුරු හුවමාරු කරගන්න ස්මාට් සේවාව ප්‍රයෝජනවත් වුණා’’
වසන්ත ආරියවංශ (56) - දෙල්මෑල්ල
‘‘ගෙදර වුවමනාවකට කොස් ගසක් කපා ගන්න ගියාම ඉස්සර සතියකින්වත් කරගන්න බෑ. මම ගිය සදුඳා උදේ 9.00 ට විතර ඉල්ලුම් කළා. 10.15 ට එස්එම්එස් එක ආවා අනුමතයි කියලා. හිතාගන්නවත් බැරි කාර්යක්ෂමතාවක්. අලුත් තාක්ෂණය රාජකාරියට යොදාගැනීම නිසයි එය සිදු වුණේ. දැන් ඉන්න තරුණ නිලධාරීන් පවා පුදුම සුහදතාවක් තියෙනවා. ඒ ගැන ගමේ මිනිස්සු වශයෙන් අපි හරිම සතුටකින් ඉන්නේ’’
ප්‍රාදේශීය ලේකම් ප්‍රසාද් පෙරේරා මහතා කියන්නේ මේ වැඩපිළිවෙළ තම තනි වැඩක් නොවන බවයි.
“සියලුම ගෞරවය ග්‍රාම නිලධාරින් ප්‍රධාන අපේ නිලධාරීන්ට හිමි විය යුතුයි. ඒ අය ඇත්තටම හොඳයි. ඒ අය තුළ හොඳ හැකියාවන් පවතිනවා. ඒ අයව නිවැරදිව මෙහෙයවීම පමණයි මා කළේ.
අද රාජ්‍ය සේවයට තාක්ෂණය භාවිතයට ගැනීම ගැන රජයෙන් අදහස් ප්‍රකාශ වෙනවා. අපි මුලින්ම ඒ කඩඉම ජයගත්තා නේද කියලා දැන් ඒ අය සතුටු වෙනවා. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපිට පොඩි ගැම්මක් තියෙනවා දැන් අපි යා යුතු තැනට යමින් සිටිනවා කියා.
‘Nothing Beyond The Innovation- නව්‍යකරණයට වඩා කිසිවක් නැත’ යන්න දැන් අපේ ආදර්ශ පාඨය බවට පත්වෙලා’’