දරුවකු පාසල් යෑමට බලාගෙන සිටින්නේ මහත් ආසාවෙනි. මවුපියන් තම දරුවා පාසලට ඇතුළත් කරන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ අපේක්ෂා රැසක් පොදි බැඳගෙනය. මේ නිසාම ජාතික පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා අති විශාල තරඟයක් නිර්මාණය වී තිබේ.
ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක්ද මේ තරඟයට මුහුණ පා ඇති බවට විවාදයක් නැත. පළමුවසරට ළමයින් ඇතුළත් කිරීම සඳහා තෝරාගත් සීමිත පිරිසකට මේ පාසල්වල දොරගුළු විවෘත වෙයි.
පසුගිය දා ගාල්ල සංඝමිත්තා බාලිකාවේ අධ්‍යාපනයට වරම් ලැබූ සිසුවියෝ සිය ගණනක් මහත් ඉහළින් පිළිගැනීමේ උත්සවයක් පැවැතිවිණි.
උත්සවය අවසානයේ දරුවෝද සිය දෙමවුපියන් සමඟින් තමන්ට හිමි පන්ති කාමරවලට ගිය අතර පාසලේ ගුරුභවතුන් කියා සිටියේ 'දැන් ඔයාලට දීපු සිසු තොරතුරු පොතේ ඔයාලගේ ඇත්තටම පදිංචි ලිපිනය ලියන්න. අපිට දරුවා ගැන දැන්වත් ඇත්ත තොරතුරු දෙන්න. යනුවෙනි. ජනප්‍රිය පාසලකට සිය දරුවන් ඇතුළත් කරන්නට දෙමාපියන් විසින් ව්‍යාජ ලේඛන සත්‍ය ලේඛන වංචා සහගතව සකස් කළ බව දන්නා ගුරුවරු එසේ පැවසීම පුදුමයක් නොවේ.
ඒත් ගැටලු මතු වන්නේ සංඝමිත්තා විද්‍යාලය අසලම පදිංචි දෙමාපියන්ගේ දරුවන්ට මේ වංචා හා ව්‍යාජ ලේඛන නිසා පාසල අහිමිවී යාමයි. එලෙස සංඝමිත්තාවේ දොර වැසුණු දරුවන් හය දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියෝ පාසල ඉදිරියිට අඛණ්ඩ උපවාසයක නිරතව සියේ ඒ නිසාවෙනි.
ගාල්ල බටගන්විල වේවැල්වල පාරේ පදිංචි සබීතා සුමනසිංහ මහත්මිය (29) මෙසේ කීවාය.
“මම සංඝමිත්තේ ආදි ශිෂ්‍යාවක්. ආදි ශිෂ්‍ය පදනමෙන් දරුවා පාසලට දැමීමට නම් ලක්ෂ ගණනක් ව්‍යාපෘතිවලට කියා වියදම් කරන්න වෙනවා. මම රජයේ සේවකයෙක්. අපිට එහෙම වියදම් කරන්න සල්ලි නැහැ. උපන් දා සිට මම පදිචිව ඉන්නේ වේවැල්වල පාරේ. මගේ ගෙදරට මීට වඩා ආසන්න පාසලක් නැහැ. ඒ නිසා වෙනත් පාසල්වලට ඉල්ලුම් කළෙත් නැහැ. සම්මුඛ පරීක්ෂණයෙන් ලකුණු 90ක් තිබුණා. දෙසැම්බර් 24 වැනිදා විරෝධතාවක් තියෙනවා කියා කැඳෙව්වා. දෙසැම්බර් 31 සහ ජනවාරි 06 වැනිදා නැවත කැඳෙව්වා. ජනවාරි 06 වැනිදා සවස 3.00ට කැඳවලා නැවත රෑ 7.30ට කැඳෙව්වා. ඒ වෙලාවේ රවුමක් ගහලා පෙන්නලා කිව්වා රිපන් විද්‍යාලයට ලකුණු කපනවා කියලා. මේක ලොකු අසාධාරණයක්....“ ඇය පැවසුවේ වේදනාවෙනි.
කේ.එල්.ශෂිනි ප්‍රසංගිකා (30) මහත්මිය මෙසේ කීවාය.
“මගේ අම්මත් මමත් සංඝමිත්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන්. මුල් පරික්ෂණයේ දී ලකුණු 95ක් තිබුණා. දෙසැම්බර් 26 විරෝධතා කැඳෙව්වා. විදුහල්පතිනිය විතරමයි හිටියේ. මම ගමේ පදිංචි නෑ කියලා විරෝධතාවයක් මතුවෙලා කියලා ගමේ පදිංචි බවට දිවුරුම් ප්‍රකාශයක් ලියවා ගත්තා. පොරොත්තු ලේඛනයේ මගේ නම 53ට වැටිලා. මේ ලේඛනය එනවිට මට තිබුණේ ලකුණු 85යි.“
එම්.එම්.ජී. සුජිත් නිශාන්ත (40) මහතා පවසන්නේ පොරොත්තු ලේඛනයේ 11 වැනියාට ලකුණු තිබූ තමන්ට විරෝධතාවක් තියෙනවා කියා නැවත කැඳවා පරීක්ෂා කර ලකුණු වෙනස් නොවන බවට අත්සනක් පවා රැගෙන තිබිය දී අසාධාරණ ලෙස ලකුණු 86 දක්වා අඩුකර ඇති බවයි. මේ නිසා තම දියණියට පාසලක් අහිමිවූ බව ඔහු පවසයි.
මගේ නිවසේ ඔප්පුව තියෙන්නේ මගේ නමට. පාසලට දුර කිලෝ මීටරයයි. නමුත් ලකුණු කපලා. ලකුණු කැපුවේ ඇයි කියලා කිව්වේ නැහැ. මේ ගැන කතාකරන්න විදුහල්පතිනිය හමුවෙන්න අවස්ථාවක් ඉල්ලුවත් කිසිම වෙලාවක අවස්ථාවක් ලැබුණේ නැහැ. මේක ලොකු අසාධාරණයක්. අපිට අඩුම ගණනේ ඇයි මගේ ළමයා පාසලට ඇතුළත් කරගන්නේ නැත්තේ කියලා දැන ගන්න අයිතියක් තියෙනවා.
ප්‍රමිලා ගීතානි මහත්මිය (36) ද මේ ප්‍රශ්නයට මැදි වූ තවත් එක් මවකි.
“මම පදිංචිව ඉන්නේ උපන් ගෙදර. ඒ ගෙදර ඉදලා තමයි මමත් සංඝමිත්තේ ඉගෙන ගන්න ගියේ. මගේ අම්මත් සංඝමිත්තාවේ ආදි සිසුන්. ස්ථිර පදිංචි නිසා ආදි ශිෂ්‍ය පදනමෙන් අයැදුම් කළේ නෑ. අපි පදිංචි නිවසට ඔප්පුවක් තිබුණේ නැහැ. අපිට ප්‍රකාශන ඔප්පුවක් 2015 වර්ෂයේ ලැබුණා. ඒ ඔප්පුව අම්මා 2017 මගේ නමට හැරෙව්වා. ඉඩමට ඔප්පුවක් නෑ කියලා සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු දුන්නේ ම නැහැ. අභියාචනා දැම්මාම ලකුණු දීලා පරමානන්ද විද්‍යාලයට ලකුණු පහක් කපනවා කිව්වා. අනිත් පාසල්වලට සම්මුඛ පරීක්ෂණවලට ගියාම කිව්වා සංඝමිත්තේ ඉස්සරහනේ ඉන්නේ ඒකට දාගන්න කියලා අපිට මේ පාසලෙන් දුන්නේ ලකුණු 85.7යි. ළමයා ඇතුළත් කරගන්න බැරිවුණා.
සංඝමිත්තා විද්‍යාලය ඉදිරිපිටින් දිවෙන දුම්රිය මාර්ගයේ දෙපස අනවසර පදිංචිකරුවෝ රැසක් සිටිති. ඔවුන්ට ප්‍රවේණිගත ඉඩම් ඔප්පු නැත. අනවසර පදිංචිකරුවන් යැයි කියා එවැනි ඉඩමක පදිංචි කේ.එම්.ඩී.ප්‍රියදර්ශන (33) මහතාගේ දියණිය සංඝමිත්තා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අවස්ථාව අහිමිවී ඇත.
'අපි රේල් පාර අයිනේ අනවසර පදිංචිකරුවන් කියා සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු දුන්නේ නැහැ. මට තියෙන්නේ ප්‍රකාශන ඔප්පුවක්. ඒ ඔප්පුව 2016 දී ලියාපදිංචි කළා. ඒ ඔප්පුව පවරන්න බැහැ. සම්මුඛ පරීක්ෂණයට පෙර දිනයේ කතා කරලා කිව්වා ස්ථිර ලේඛන ඉදිරිපත් කරන්න කියලා. අභියාචනා දැම්මා. ඒ වෙලාවේ දැක්කා ඔප්පුවට දී තිබෙන්නේ ලුකණු 12යි.
ඩී.ජී.චින්තක සඳරුවන් මහතා (34) සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවේ සිට මීටර 20ක් පමණ දුරින් නිවසක් ඉදිකරගෙන පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර හතරකට පෙරාතුවය. ඔහුගේ පදිංචි කාලය වසර හතරක් යැයි පවසමින් ඔප්පුවට ලකුණු පහක් අඩුකර ඇත. ඡන්ද හිමි නාම ලේඛනයේ ද නම සඳහන්ව ඇත්තේ අවුරුදු හතරක් බැවින් ලකුණු අඩුකර ආසන්නතාවට හිමිවිය යූතු ලකුණු 50 ම ලබා දී ඇත. ප්‍රතිඵලය වී ඇත්තේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට නොහැකි වීමයි. ඔහු පවසන්නේ සංඝමිත්තේ ගේට්ටුව ඉදිරිපට පදිංචි තම දරුවාට රජයේ ප්‍රතිපත්තිය අනුව සංඝමිත්තා බාලිකා විද්‍යාලයට යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවය.
පසුගිය වසරේ දී මෙවැනිම ගැටලුවකට මුහුණ දී සිටි ගාල්ල නගරයේ පදිංචිකරුවන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කරලීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් සැපයූ නිදහස් අධ්‍යාපනය සඳහා සිසු ජන ව්‍යාපාරයේ රත්කරව්වේ ජිනරතන හිමියෝ මෙසේ කීහ.
'2018/25 අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය නිසා පසුගිය වසරේදීත් මේ වගේම ප්‍රශ්න ඇතිවුණා. ළඟම පාසල හොඳම පාසල කියා බොරු පොරොන්දු දීලා ප්‍රචාරයන් ගෙන ගියාට එය යථාර්ථයක් වෙන්නේ නැහැ. මේ ඊනියා චක්‍රලේඛ නිසා පාසලට ළමුන් ඇතුලත් කිරීමේ දී මුදල් ගැනීම පවා නීතිගත වෙලා තියෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ දරුවන්ට සාධාරණයක් කරන්න කියා. මුදල් ඇති සහ නැති සියලු පවුල්වල දරුවන්ට පාසලක් හිමිවිය යුතුයි.
මේ සම්බන්ධයෙන් සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි චාන්දනී උඩකුඹුර මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.
'පාසල ඉදිරිපිට විරෝධතා කරන දෙමාපියෝ මා හමුවන්නට ආවේ නැහැ. ඔවුන් කවුරුන්ද කියා මා දන්නේ නැහැ. මම රජයේ චක්‍රලේඛ අනුව කටයුතු කර තිබෙනවා. පළමු වටයේ පාසලට තේරුණු ඇතැම් දරුවන් විරෝධතා සහ අභියාචනාවල දී කැපී ගියා. මේ අභියාචනා මණ්ඩලයේ සිටියේ මම නොවෙයි. ඔවුන් අභියාචනා මණ්ඩලයේ දී කැපී ගිය බව කියනවා. අභියාචනා මණ්ඩලයේ සිටියේ ආසන්න පාසලක විදුහල්පතිවරයෙක්. අපි මේ තෝරාගැනීම් විනිවිද භාවයෙන් සිදුකළා. පාසලට අයදුම්කරන හැම දරුවෙක් ම පාසලට ඇතුළත් කරගන්න අපි කැමති වුණත් ඉඩ පහසුකම් අනුව තෝරගැනීමක් කරනවා. එය මගේ හිතුමතයට කරන්න පුළුවන් දෙයක් නොවෙයි.”
මවුපියන් සමග අට්ටාලයට වී සිටින දරුවන් දුර බැහැර සිට විවිද ආකාරයේ වාහනවලින් පැමිණ පාසල ඇතුළට යන තම සම වයසේම පසුවන අනෙකුත් සහෝදරියන් දෙස බලා සිටින්නේ කවදා හෝ තමන්ට ද මේ පාසලේ දොර විවෘතවනු ඇතැයි සිතමිනි.