නවකවධයේ වින්දි­ත­යන් වෙනු­වෙන් කමි­ටු­වක් පත් කි­රීම හොඳද? | Page 2 | සිළුමිණ

නවකවධයේ වින්දි­ත­යන් වෙනු­වෙන් කමි­ටු­වක් පත් කි­රීම හොඳද?

මෙරට විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ පව­තින සංස්කෘතික පසුගාමීත්වයේ ලක්ෂණයක් බවට පත්වී තිබෙන නවකවධය සාප­රාධි හිංස­න­යක් දක්වා වර්ධ­නය වී ඇත. විශේ­ෂ­යෙන් මේ නවකවධය හේතු­වෙන් විශ්ව­වි­ද්‍යා­ලය හැර­ගිය එසේ ම ‍සදහ­ටම ආබා­ධිත තත්ත්වය පත්වූ, මර­ණ­යට පත්වූ සහ සිය­දිවි හානි කර­ගත් අති­වි­ශාල පිරි­සක් ද වෙයි. මේ පසු­ගාමී සංස්කෘ­තික ලක්ෂ­ණය පිටු දැකී­මට කෙතෙක් උත්සාහ ගත්ත ද වරි­න්වර නවකවධය නිසා සිසුන් විශ්ව­වි­ද්‍යාල හැර­යන තත්ත්ව­ය­කට පත් වන අවස්ථා වර්ත­මා­නය වන විට වර්ධ­නය වී ඇති බව සංඛා­ලේ­ඛන වලට අනුව පැහැ­දිලි වේ. ඒ අනුව එලෙස 2018 වර්ෂයේ විශ්ව­වි­ද්‍යා­ලය හැර ගිය පිරිස 2000 ක් වෙන බව එ් වාර්තා­වල සඳ­හන් වන බව රජය පව­සයි.

මෙලෙස උසස් අධ්‍යා­ප­නය හැර­ගොස් ඇති නවකවධයේ වින්දි­ත­යන්ට සහන සැලැ­සී­මට රජය පිය­ව­ර­ගෙන තිබේ. ඒ සඳහා රජය විද්වත් කමි­ටු­වක් පත්කර ඇත‍. එ් කමි­ටුව සභා­පති ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ හිටපු විනි­සුරු ආචාර්ය සලිම් මර්ෂුක් ඇතුළු විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය, මහ­ාචා­ර්ය­­ව­රු­ විද්වතුන්ගෙන් සැදුම් ලද්දකි.

එ් කමි­ටුව විසින් නිර්දේශ කරන ලද තොර­තුරු මාස තුනක් ඇතු­ළත උසස් අධ්‍යා­පන අමා­ත්‍ය­ව­ර­යාට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව අමාත්‍ය මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී‍මෙන් පසුව අසා­ධා­ර­ණ­යට ලක්වූ ආසන්න වසර වල ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට නැවත සර­සවි වරම් ලබා­දී­මට රජය තීර­ණය කර තිබේ. මේ සම්බ­න්ධ‍යෙන් විවිධ දේශ­පා­ලන පක්ෂ නියෝ­ජ­නය කරන විද්ව­තු­න් සහ නියෝජිතයන්ගෙන් ගෙන් කළ මත විම­සී­මකි මේ.

ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට නැවත විශ්ව­වි­ද්‍යාල  වරම් ලැබීම  හොඳ ක්‍රියා­වක්

දේශ විමුක්ති ජනතා පක්ෂයේ සහ මානව සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති  කළු­ප­හන පිය­ර­තන හිමි

කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ වාම මත­ධාරි ශිෂ්‍ය සංගම් නියෝ­ජ­නය කර­මින් භික්ෂු ශිෂ්‍ය ක්‍රියා­කා­රි‍ ­දේ­ශ­පා­ල­න­යක නිරත වූ එව­කට විශ්ව­වි­ද්‍යල සිසු සිසු­වි­යන්ගේ අයි­තීන් වෙනු­වෙන් සටන් කළ ශිෂ්‍ය ක්‍රියා­කාරි කමි­ටුවේ ප්‍රබල සාමා­ජි­ක­යෙක් වන කළු­ප­හන පිය­ර­තන හිමියෝ දැනට දේශ විමුක්ති ජනතා පක්ෂ සභා­පතිවරයා ලෙස ක්‍රියා­ක­රයි. උන්ව­හන්සේ සඳ­හන් කරන්නේ අධ්‍යා­ප­නය ලැබී­මට වරම් ලැබූ ශිෂ්‍ය­ය­කුට හිංසා­ව­කින් තොරව තම අධ්‍යා­ප­නය ඉටු­කර ගනි­මින් විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිටව යෑමට අයි­තිය තිබිය යුතු සේ ම මෙවැනි ක්‍රියා­කා­ර­කම් නිසා පීඩා­වට ලක්වූ ශිෂ්‍ය­යන් නැවත විශ්ව­වි­ද්‍ය­ල­යට පැමි­ණි­මට ඉඩ ලබා දීම නිවැ­රදි ක්‍රියා­වක් බවයි.

මම හිතන්නේ මේ කමි­ටු­වක් පත් කිරීම සහ එවැනි අසා­ධා­ර­ණ­යන්ට ලක්වූ ශිෂ්‍ය ශිෂ්‍ය­වන්ට නැවත විශ්ව­වි­ද්‍යාල වරම් ලැබීම හොඳ ක්‍රියා­වක්. යම් ශිෂ්‍ය­යෙක් විශ්ව­වි­ද්‍යාල වලට ඇතු­ළත් වෙන්නේ‍ ­අ­ධ්‍යා­ප­න­යක් ලබා­ගෙන උපා­ධි­යක් අර­ගෙන පිට­වෙන්න නේ. ඒක ඒ ශිෂ්‍ය­යාගේ අයි­තිය. එ් ශිෂ්‍ය­යාගේ පෞද්ග­ලික හේතු­ව­ලින් පිට වෙනත් කාර­ණා­වක් නිසා අධ්‍යා­ප­නික අයි­තිය නැති­වෙ­නවා නම් අපි ඒ ගැන වඩා වග­කී­ම­කින් බලන්න ඕන. ඒ ළම­යින්ට අධ්‍ය­ප­නය ලබන්න සාමා­ජිය පාරි­ස­රික වට­පි­ටාව අපි හදන්න ඕන. ඒ වට­පි­ටාව නොති­බුණු නිසයි ඒ ළමයි විශ්ව­වි­ද්‍යාල හැර­යන්නේ. නවකවධය අපි ඉස්සර අහල තිබුණේ යම් කිසි ආකා­ර­ය­කට නව ශිෂ්‍ය­යන් හඳුනා පිළි­ගැ­නීමේ විනෝද­කාමී කට­යු­ත්තක් ලෙසයි. පසු­කා­ලී­නව යම් ආකා­ර­යක හිංසා­කාරි ක්‍රියා­වක් බවට පත්වුණා. අපි විශ්ව­වි­ද්‍යා­ල­යට යන කාලයේ ඒ තරම් දරුණු දේවල් තිබුණේ නැහැ; ‍විනෝද ජනක දේවල් තමයි අපි දැක්කේ. නවක සිසුන් පවා එයින් සතුටු වුණා; ඒ දේ වින්දා. හැබැයි පසු­කා­ලි­නව සාප­රාධි ක්‍රියා­වක් ලෙසට පත්වුණා. මෙය ඉතා­මත් බර­ප­තළ තත්ත්ව­ය­කට පත් වෙලා තියෙ­නවා. අද අපේ සමා­ජ­යම සාප­රාධි පැත්තට ගමන් කරලා තියෙ­නවා. අපි වසර තිහක් ත්‍රස්ත­වා­දය දැක්කා; පාතාල ඝාතන දැක්කා; ප්‍රච­ණ්ඩ­ත්වය දැක්කා. සම­හරු ඉන්නවා අනුන්ව හෙළා තළා සතුටු වෙන. එය එක්තරා මාන­සික තත්ත්ව­යක්. එය විශ්ව­වි­ද්‍යා­ලය කරාත් ගමන් කරලා තියෙ­නවා. යම් දේශ­පා­ල­න­යක් මේ සඳහා බල­පාලා තියෙ­නවා. සම­හර අය ඉන්නවා තමන්ගේ දේශ­පා­ලන පක්ෂ­යට සාමා­ජි­ක­යන් එකතු කර­ග­න්නත් මේ නවකවධය ආයු­ධ­යක් බවට පත් කර­ගෙන තියෙන.

 

රටටම  මානව හිත­වාදී සංස්කෘ­තික  පුන­රු­ද­යක්  අවශ්‍යයි

හෙළ උරුමයේ පාර්ලි­මේන්තු මන්ත්‍රි  කරු පර­ණ­වි­තාන

ඔහු කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ මහ ශිෂ්‍ය සංග­මයේ සභා­ප­ති­ව­රයා හා ජනතා මිතුරෝ සංවි­ධාන‍යේ මුල්පෙළේ නාය­ක­යකු වශයෙන් කටයුතු කළේය. නව­ක­ව­ධය පිටු­දැ­කී­මට ඔහු විශ්ව­වි­ද්‍ය­ලය සමයේ ක්‍රියා­කා­රීව කට­යුතු කළේය.

නව­ක­ව­ධය විශ්ව­වි­ද්‍යාල තුළ කෙරෙන සාප­රාධි ක්‍රියා­වක්. සමා­ජය ගැන බොහෝ සෙයින් විවේ­ච­නය කරන, කතා­ක­රන පිරි­සක් තුළ මේ වගේ දේවල් කෙරෙ­නවා කියන එක අපිට අදහා ගන්න­වත් බැහැ. සමා­ජය හදන්න උත්සාහ කරන බුද්ධි­මත් පිරි­සක් ඉන්න විශ්ව­වි­ද්‍යා­ල­යක් ඇතුළේ මේ දේ සිදු­වෙ­නවා අනෙක් තැන් ගැන කවර කතාද? අවා­ස­නා­ව­කට ‍අපේ රටේ තරුණ ප්‍රජාව ඇතු­ළත මේ අභ්‍ය­න්තර විවේ­ච­නය හරිම අඩුයි. අපි විශ්ව­වි­ද්‍යා­ල­වල ඉන්න කාලයේ ‍මීට වඩා‍ ­ද­රු­ණු­වට මේ නවකවධය තිබුණා. අපි පුළු­වන් තරම් උත්සාහ කළා නවකවධය නවතා දමන්න. මම දරුණු විදි­හට නවක වද­යට ලක්වෙච්ච කෙනෙක්. අපි වැඩ කළේ ඒ හිංස­න­යට විරු­ද්ධ­වයි. කවුරු හරි මේක නතර කරන්න ඕන කියන තැන අපි හිටියා. නමුත් අවා­ස­නා­ව­කට අපේ සංස්කෘ­තික පසු­ගා­මී­ත්වය නිසා මේ දේ වෙන්නේ. ඒ සංස්කෘ­තික පසු­ගා­මී­ත්වය නිසා අස් කොන් ඉති­රි­වෙලා තියෙන්නේ. මේ ගැන කවු­රුත් කතා කරන්නේ නැහැ. ජීවිත නැති වුණ, අංග­වි­කල වුණ විශ්ව­වි­ද්‍යාල හැර­ගි­ය­වුන් පිළි­බ­ඳව කවු­රුත් කතා කරන්නේ නැහැ. මේ නවකවධය නිසාම තමන්ගේ ජීවි­තයේ ඉතිරි කොටස විනාශ වුණ අය රාශි­යක් ඉන්නවා. කිසිම දෙයක් නැතුව බොරු මත­වාද වලින් මේ නවකවධය කියන දේ යුක්ති සහ­ගත කර­ගෙන තියෙ­නවා. සම­හරු තමන්ගේ දේශ­පා­ල­නය ව්‍යාප්ත කර­න්නත් මෙය පාවිච්චි කර­නවා. මෙය අන්තිම තිරි­සන් සාප­රාධි ක්‍රියා­වක්. නවකවදය නවත්වන්න නීති රීති නම් ඕනෑ තරම් ගෙනත් තියෙ­නවා. නව නීති රීති අලු­තින් අවශ්‍ය නැහැ.

රිචඩ් පති­රණ අධ්‍යා­පන ඇමැති කාලයේ නවකවධය සාප­රාධි වර­දක් කරපු නීති රීති තියෙ­නවා. දැන් ඇත්ත වශ­යෙන්ම අවශ්‍ය වෙලා තියෙන්නේ විශ්ව­වි­ද්‍යාල ගුරු­වරු සහ පුරෝ­ගාමී ශිෂ්‍ය පර­පුර එකතු වෙලා මේ වද­ක­යන්ට එරෙ­හිව අභ්‍ය­න්තර අර­ග­ල­යක් ගෙන යෑමයි. එසේ නොමැ­තිව වින්දි­ත­යන් නැවත විශ්ව­වි­ද්‍ය­ල­ව­ලට බඳ­වා­ගැ­නී­මට කට­යුතු කළත් මේ තත්ත්වය මේ ආකා­ර­යෙන්ම පැවැ­තිම තුළ එහි ප්‍රති­ඵ­ල­යක් නැහැ. සෑම වස­රක ම ප්‍රථම වසරේ ශිෂ්‍ය කණ්ඩා­ය­මට එක­ඟ­තා­වක් ඇති කර­ග­න්නට පුළු­වන් නම් ­අපි ගිය වසරේ නවකවධය වින්දා; යළිත් මෙය නොව­න්නට කට­යුතු කරමු කියලා අන්න හරි. එහෙ­මත් නැති­නම් ගුරු­වරු, ඉදි­රි­ගාමි ශිෂ්‍යයෝ සහ ජන­මාධ්‍ය එයට තල්ලු­වක් දෙනවා නම් ඇත්ත වශ­යෙන් ම ශිෂ්‍ය­යන් වින්දි­ත­යන් වීම තුළ මේ තත්ත්වය පාල­නය කර­ග­න්නට පුළු­වන්. කමිටු සම්බ­න්ධ­යෙන් නම් මට ඒ තරම් විශ්වා­ස­යක් නැහැ. අපි දන්න කාලයේ ඉඳලා සියලු දේවල් වලට කමිටු පත් කළා ‍. නමුත් මෙහි මූලා­ර­ම්භ‍යේ­දිම නතර කරන්න පුළු­වන් විශ්ව­වි­ද්‍යා­ලය තුළම; එයට විශ්ව­වි­ද්‍යා­ලය තුළම ප්‍රවේ­ශ­යක් ඇති­විය යුතුයි.

පර­පී­ඩක කාමය අද උඩු­දු­වලා තිය­නවා. හඬ­ප­ට­ව­ලි­නුත් පේන්නේ ඒ දේ. විශ්ව විද්‍යාල හැර යන පිරි­සක් සහ එ් වින්දි­ත­යන් නැවත විශ්ව­වි­ද්‍යා­ලය තුළට ඒමට කට­යුතු කිරී­මට පෙර මේ තත්ත්වය වළක්වා ගැනී­මට විශ්ව­වි­ද්‍යා­ලය තුළම යම් ගාමක බල­යක් ගොඩ­නැ­ගිය යුතුයි. පසු­ගිය දින­වල හඬ­ප­ට­ව­ලින් පේන දේයක් තමයි, මේ පටි­ගත කරපු අයගේ සහ ඒවා බෙදා හරින අයගේ අපේ­ක්ෂා­වත් පර­පී­ඩ­නය. මාධ්‍ය­ව­ලත් සාප­රාධි බවක් තියෙ­නවා. මේ වගේ පර­පී­ඩක නිද­න්ගත උව­දු­රක් තුරන් කරන්න පුළු­වන් දෘෂ්ටි­වා­ද­යක් හදන්න පුළු­වන් වට­පි­ටා­වක් ඇත්තේම නැහැ. නීති­රි­ති­ව­ලට මෙය කරන්න පුළු­වන් වෙයිද කියලා මට සැක­යක් තියෙ­නවා. ඒ නිසා ඇත්ත වශ­යෙන්ම රටට අවශ්‍ය යි මානව හිත­වාදි සංස්කෘ­තික පුන­රු­ද­යක්. සමස්ත සමා­ජය තුළම මෙවැනි කති­කා­වක් ගොඩ­නැ­ගෙ­නවා නම් විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් නවකවධය හේතු­වෙන් හැර යන ශිෂ්‍ය පිරිස අඩු කර­ගැ­නී­මට හැකි­වෙ­නවා. කමිටු දාලා ‍හෝ නොදා හෝ නැවත වින්දි­ත­යන්ට විශ්ව­වි­ද්‍යාල වරම් ලබා දීම වඩා විය යුතු වන්නේ; අප­රාධ වීම වළක්වා ගැනි­මයි කළ­යුතු වන්නේ. අපේ විශ්ව­වි­ද්‍යාල චර්යාව මනු­ෂ්‍ය­ත්ව­ය­ටත් නිගා­වක්.

නවකවධය නිසා හිංස­න­යට ලක්වූවන්ට සහන සැල­සී­මේ වැඩපිළිවෙළක්

තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ උසස් අධ්‍යා­පන තාක්ෂණ සහ නවෝ­ත්පා­දන ඇමැති  බන්දුල ගුණ­ව­ර්ධන

පසු­ගිය කාලය පුරා නවකවධය නිසා මෙරට විශ්ව­වි­ද්‍යා­ලය හැර­ගිය ශිෂ්‍ය ශිෂ්‍යා­වන් වෙනු­වෙන් සධා­ර­ණ­යක් ඉටු කිරීමේ අර­මු­ණින් මෙය අප­රා­ධ­යක් ලෙස සලකා; හිංස­න­යට ලක්වු වින්දි­ත­යන්ට සහන සැල­සී­මට කමි­ටු­වක් වහාම පත් කිරී­මට කට­යුතු කර­නවා.

මේ ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට නැවත සාධා­ර­ණ­යක් ඉටු­කි­රීම සදහා කමි­ටු­වක් පත්ක­ර­න්නට අපි තීර­ණය කර තියෙ­නවා. ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට 30,000ක් ඇතු­ළත් කර­ගන්නා විට තවත් පිරිසක් මේ ශිෂ්‍ය පිරිස අතර නවකවධය නිසා දේශීය විශ්වවිද්‍යාල හැරගිය අයද වනවා. විසි­ද­හ­කට අධික පිරි­සක් වි‍දේශ රට­වල විශ්ව­වි­ද්‍යා­ල­වල අධ්‍ය­ප­නය ලබන්න යනවා. අපේ විශ්ව­වි­ද්‍යාල පටන් ගන්න උස­ස්පෙළ ප්‍රති­ඵල ලැබි­මෙන් පසු වසර දෙකක් එක­හා­මා­රක් පමණ යනවා. නමුත් ප්‍රති­ඵල නිකුත් වූ වහාම අපේ අය විදේශ රට­වල විශ්ව­වි­ද්‍යාල වල අධ්‍ය­ප­න­යට යනවා. අපේ රටේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට යවන්න බය තත්ත්ව­යක් දෙම­ව්පි­යන් අතර ඇති­වෙලා තිය­නවා. අපි විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට යන්න කැමැති වුවත් නැතත් එවැනි තත්ත්ව­යක් ඇති­වෙලා තියෙ­නවා‍. 2018 වර්ෂයේ දි විත­රක් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යා­ව­න්ගෙන් 2000කට ආසන්න පිරි­සක් නවකවධය නිසා විශ්ව­වි­ද්‍යාල අත­හැ­රලා තිය­නවා.‍ මම අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා ලෙස මේ වාර්තාවේ තියෙන දේ පොලිස් වාර්තා පිළි­ගන්නේ නැතුව ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­ර­යා­ගෙන් අද­හස අනුව ශිෂ්‍ය ශිෂ්‍යා­වන්ට වෙච්ච දේ ගැන සොයා බලන්න ඕන. විශ්ව­වි­ද්‍යා­ලය තුළදි හිංසා­වට ලක්වුණ මේ අයට වෙච්ච වද­හිංසා සම්බ­න්‍ධ­යෙන් සොයා බලන්න විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සන් සභා­වට දැනුම් දුන්නා; මේ අයව කමි­ටු­වක් පත් කරන්න කියලා. එ් කමි­ටුවේ සභා­පති ශ්‍රේෂ්ඨාධි­ක­ර­ණයේ හිටපු විනි­සු­රු­ව­රු­ව­ර­යෙක් වන සලිම් මර්ෂුප්; සාමා­ජි­ක­යන් ලෙස ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති මහා­චාර්ය නාරද වර්ණ­සූ­රිය, පාලි හා ‍බෞද්ධ අංශ‍යේ අංශා­ධි­පති මහා­චාර්ය මාග­ම්මන ප්‍රඥා­නන්ද, ජාතික ධර්මෝ­ප­දේශ අධ්‍යක්ෂ ආචා­ර්යය බෙනට් ශාන්ත පිය­තුමා ඇතුළුව ඌව විශ්ව­වි­ද්‍යා­ලයේ හිටපු උප­කු­ල­පති චන්ද්‍රා ඇඹු­ල්දෙ­නිය ජනා­ධි­පති නිතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා පත් කර ඇති අතර, එහි කැඳ­වු­ම්කරු සහ කමිටු ලේකම් ලෙස විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ උප සභා­පති මහා­චාර්ය ජනිතා ලිය­නගේ මහ­ත්මිය පත්කර තිබෙ­නවා. මේ කමි­ටුවේ නිර්දේශ මාස තුනක් ඇතු­ළත මා වෙත ලබා දීම‍ට නිය­මිත අතර; ඒ නිර්දේශ අමාත්‍ය මණ්ඩ­ල­ව­ලට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව නවක වදයේ වින්දි­ත­යන් වීම හේතු­වෙන් විශ්ව­වි­ද්‍යාල හැර ගිය ආසන්න වසර වල සිසුන්ට නැවත් සර­සවි වරම් ලබා­දිමේ වැඩ­පි­ළි­වෙ­ලක් සකස් කිරී­මයි මෙහි අර­මුණ.

‍මේ අය ඉදිරි සති­වල විශ්ව­වි­ද්‍යාල ‍ප්‍රතිපා­දන කොමි­සන් සභාව විසින් ලියා­ප­දිංචි තැපෑ­ලෙන් කැද­වයි. ඇත්තට ම නවකවධය නිසා ද මේ විශ්ව­වි­ද්‍යල හැර­ගියේ ද කියලා එහිදී විම­ර්ශ­නය කරලා; විභාග සාක්ෂි කැද­වලා කරුණු විම­සී­මෙන් අන­තු­රුව වාර්තා­වක් සකස් කර­නවා. එය කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කර­නවා.

මේ දරු­වන්ට ජිවිතේ විශාල වර­ප්‍ර­සා­ද­යක් අහිමි වෙලා තියෙ­නවා. එය නැවත ලබා­දෙන්නේ කෙසේද යන්න පිළි­බඳ ව සාකච්ජා කරලා පාර්ලි­මේ­න්තු­ව­ටත් දැනුම් දිලා නීති­වල වෙන­සක් කර­න්නට අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රියා කර­නවා. ඒ අයට නැවත ජිවිතේ ගොඩ නඟා ගන්න කට­යුතු කර­නවා. ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට රට බාර දීලා තියෙන්නේ එක රටක් එක නීති­යක් ඇති­කි­රී­මට.

කෙනෙ­කුට වද දීම සභ්‍ය­ත්ව­යක් ඇති සමා­ජ­යක අනු­මත කෙරෙන්නේ නැහැ

ජාතික නිදහස් පෙරමුණේ  පාර්ලි­මේන්තු මන්ත්‍රි පද්ම උදය ශාන්ත

කෙනෙ­කුට වද දීම කිසි­සේත්ම සභ්‍ය­ත්ව­යක් තියන සමා­ජ­යක, සංස්කෘ­ති­ක­මය උරු­ම­යක් ඇති සමා­ජ­යක විශේ­ෂ­යෙන් බෞද්ධ උරු­ම­යක් ඇති රටක සදා­චාර සම්මු­තිය තුළ අනු­මත කෙරෙන්නේ නැහැ. මේ රට සිංහල බෞද්ධ උරුමය සභ්‍ය­ත්වය උරු­මය සහිත රටක්. නවකවධය ඔස්සේ කෙරෙන්නේ තවත් කෙනෙක් යට­පත් කිරීම, තව කෙනෙක් අස­රණ කිරීම වැනි ප්‍ර‍ාථ­මික ක්‍රියා­ව­ලි­යක්.

වැවයි දාගැ­බයි ගමයි පන්ස­ලයි සංකල්ප බිහි වුණා. ඒ කාල­යේත් දඬු­වම තිබුණා; එය නිති­යට යටත්ව තිබුණා. නොකළ වර­කට දඩු­වම් දෙන්න අපිට ඉති­හා­සය පුරා­කි­යලා දුන්නේ නැහැ. නමුත් මිනි­සුන්ට නිග්‍රහ කිරීම, ගැර­හීම, නොකළ වර­ද­කට දඩු­වම කිරීම අපි ඉති­හා­සය පුරා නොදැක්ක දෙයක්. ඇත්ත වශ­යෙන් ම සදා­චා­රා­ත්මක සමා­ජ­යක් අනු­මත නොක­රන දෙයක් තමයි මේ නවකවධය. විශ්ව­වි­ද්‍යා­ල­යෙන් මේ නවකවධය මුලි­නු­පුටා දම­න්නට ඕන.

නවකවධ­යට ලක්වූ­වන්ට  සාධා­ර­ණ­යක් ‍ ෙවනවා නම්  සිය­යට සිය­යක්ම  එක­ඟයි

අන්තරේ හිටපු කැඳවුම්කරු නීතීඥ උදුල් ප්‍රේම­රත්න

අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­බල මණ්ඩ‍ලයේ (අන්තරේ) කැද­වු­ම්කරු ලෙසත්, ශිෂ්‍ය ව්‍යාපා­ර­වල ක්‍රියා­කාරී සමා­ජි­ක­යකු ලෙසත් ක්‍රියා කළ නීතීඥ උදුල් ප්‍රේම­රත්න; නවක වදය සම්බ­න්ධ­යෙන් සිය විශ්ව­වි­ද්‍යාල ජිවි­තයේ දී නවක වද­යට සම්බන්ධ වන ශිෂ්‍ය­යන්ගේ ක්‍රියා­කා­ර­කම් හෙළා දකී. නීතීඥ උදුල් ප්‍රේම­රත්න මහතා මේ පසු­ගාමි සංස්කෘ­තික ලක්ෂ­ණය සමා­ජ­යෙන් ඉතා ඉක්ම­නින් ඉවත් කළ­යුතු බව ද පව­සයි.

අපේ සංස්කෘ­තිය ඇතුළේ තියෙ­නවා නවක වදය කියන පසු­ගාමී සංස්කෘ­ති­යක්. ඉති­හා­සයේ සිට වර්ත­මා­නය දක්වා මෙය අඛණ්ඩ ව පව­ති­න්නක්. නවක වද­යට ලක්වු­වන්ට යම් කිසි සාධා­ර­ණ­යක් වනවා සේම මෙය නතර කිරී­මට යම් පිය­ව­රක් ගන්නවා නම් එයට අපි සිය­යට සිය­යක්ම එක­ඟයි. දැනට වසර දහ­ය­කට පෙර අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­බල මණ්ඩ­ලයේ කැද­වුම්කරු ලෙස මා කට­යුතු කර තියෙ­නවා. මේ නව­කවධය සම්බ­න්ධ­යෙන් මටත් අත්දැ­කීම් තියෙ­නවා. අන්තර් ශිෂ්‍ය බල මණ්ඩ­ලය ලෙස අපි එකල නවකවධයට විරු­ද්ධයි. මේ අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ­ලය කියන්නේ පව­තින ආණ්ඩු­වට අභි­යෝ­ග­යක් කියලා ආණ්ඩුව හිතු­වත් මේ වගේ හොඳ පිය­ව­රක් දෙස අපි බුද්ධි­මත් ලෙස බල­නවා. නවකවධය කියන දේ සංස්කෘ­ති­යක් ලෙස ගත්තොත් එය කාල­යක සිට පැව­ත‍ ­එන පසු­ගාමි සංස්කෘ­ති­යක්. මෙහිදී ප්‍රශ්නය වන්නේ නවකවධය කියන දේ හිඟ­න්නාගේ තුවා­ලය වගේ පාවිච්චි කරලා; නවකවධය මර්ද­න­යට පිය­වර ගේනවා. අසා­ධා­ර­ණ­යට ලක්වු­වන් සම්බ­න්ධ­යෙන් සොයා බල­නවා කියලා විශ්ව විද්‍යාල ඇතු­ළට මර්ද­නය ගේනවා නම් ඒක වැරදි. මම කියන්නේ කමි­ටු­වක් පත් කිරීම ‍හොඳයි; අසා­ධා­ර­ණ­යට ලක්වු­වන් සම්බ­න්ධ­යෙන් සොයා බල­නවා නම් හොඳයි.

ඉති­හා­ස­යෙන් අපිට අත්දැ­කීම් තියෙ­නවා. ඒ නිසා මේ දේ අවං­කව චේත­නා­වෙන් වෙනවා නම් හොඳයි කිය­න‍ දේ මම කියන්නේ. නවකවධ පනත ගැන කතා කළොත් නවකවධය ඉවත් කිරීම සඳහා වූ වගන්ති සිය­යට පහ­ක්වත් නැහැ . නවක වධය නතර කිරී­මට අවං­ක­වම අව­ශ්‍ය­තා­වක් ඇති නම් මේ පනත් සංශෝ­ධ­නය කළ යුතුයි. අන්තර් විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩ­ලය ලෙස අපි ඇතැම් වෙලා­වට අවං­ක­වම ශිෂ්‍ය­යන්ට නවකවධය සිද්ධ වෙලා තියෙ­නවා නම් ඒ වෙනු­වෙන් අසා­ධා­රණ ලෙස පෙනී සිටින්නේ නැහැ. අවු­රුදු ගණන් පන්ති තහ­නම් වෙලා තියෙන අවස්ථා අපි දැකලා තිය­නවා. 2018 වසරේ පම­ණක් සංඛා­ලේ­ඛන වලට අනුව 2000 නවකවධයට ලක් වී ඇති බව කිය­නවා. මම කියන්නෙ අවං­ක­වම මේ සංඛ්‍යා ලේඛන වැරදි කියලා. හැමෝම නවකවධය නිසාම විශ්ව­වි­ද්‍යා­ලය හැර යනවා කියන්න අමා­රුයි. විශ්ව­වි­ද්‍යාල හැර ගිය ‍2000 ම නවක වදය නිසා හැර යනවා කිව්වාම වැර­දියි. නවකවධයෙන් පීඩා­වට පත් වු වින්දි­ත­යන්ට සහ­න­යක් සැල­සිය යුතු සේම නවකවධය නතර විය යුතුයි. නවකවධය කියන හේතු කාර­ණාව පාවිච්චි කරලා ශිෂ්‍ය­යන් මර්ද­නය කිරීම හෝ ඔවුන්ගේ ක්‍රියා­කා­රී­ත්වය මර්ද­නය කිරිම සුදුසු නැහැ. ඉති­හා­සයේ ඉදලා තිබුණු ප්‍රශ්නය එයයි.

 

 

Comments