ජීවි­තයේ අනිත්‍ය බව කියා නික්ම ගිය හිමිනම | Page 3 | සිළුමිණ

ජීවි­තයේ අනිත්‍ය බව කියා නික්ම ගිය හිමිනම

බුදු­ර­ජා­ණන් වහන්සේ දර්ශ­නයේ හරය සියලු දේම නැසෙ­න­සුලු බවයි. බුද්ධ පුත්‍ර­ය­කුට වුවත් ජීවි­තයේ අනිත්‍ය බව එසේම උරුම වූවකි. ඒ බව පසක් කර­මින් අන­පේ­ක්ෂිත ලෙස එල්ල වූ වෙඩි ප්‍රහා­ර­ය­කින් බුද්ධ පුත්‍ර­යා­ණන් වහන්සේ නමක ගෙවී ගිය සතියේ අප­වත් වූයේ රටම කම්පා­වට පත් කර­මිනි.

එසේ අප­වත් වූයේ විසි­දෙ­හැ­වි­රිදි වියේ පසුවූ බුත්තල, උණා­ව­ටුනේ සීල­ර­තන හිමි­පා­ණන්ය. උන්ව­හන්සේ ඇතුළු හිමි­ව­රුන් හත් නමක් දහ­වල් දාන­මය පින්ක­ම­කට වඩි­මින් සිටි­යදී එම ඛේද­වා­ච­කය වී තිබුණේ පසු­ගිය 19 වැනිදා දහ­වල් එකො­ළ­හට පම­ණය.

උණා­ව­ටුනේ සීල­ර­තන හිමි­පාණෝ හුංගම හාතා­ගල පුරාණ රජ­මහා විහා­රයේ වැඩ විසූහ. හාතා­ගල පුරාණ රජ­මහා විහා­ර­ස්ථා­නයේ ශ්‍රී සුමං­ගල විද්‍යා­ය­තන පිරි­වෙ­ණෙන් අධ්‍යා­ප­නය ලැබු සීල­ර­තන හිමි­යන් විශ්ව­වි­ද්‍යා­ල­යට තේරී පත් වී ගත වූයේ වස­රක් වැනි කෙටි කාල­යකි.

ආගම, දහ­මට මෙන්ම රට­දැය වෙනු­වෙන් ඉම­හත් සේව­යක් කිරී­මට බලා­පො­රො­ත්තු­වෙන් විද්‍යා­ලං­කාර විශ්ව­වි­ද්‍යා­ලයේ පළමු වසරේ ශිෂ්‍ය හිමි­න­මක ලෙස ඉගෙන ගනි­මින් සිටි සීල­ර­තන හිමියෝ පසු­ගිය 19 වැනි­දාද පෙර­වරු දහ­යයි තිහට පමණ විශ්ව­වි­ද්‍යා­ල­යට යෑමට පිටත් වූහ. ඒ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නිවාඩු ලැබ දින දහ­යක පමණ කාල­යක් විහා­ර­ස්ථා­නයේ ගත කිරී­මෙන් අන­තු­රු­වයි. විශ්ව­වි­ද්‍යා­ල­යට යෑමට පිටත්වූ සීල­ර­තන හිමියෝ හාතා­ගල පුරාණ රජ­මහා විහා­රා­ධි­පති පල්ලේ­ගම ජින­ර­තන නායක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේගේ පාද නම­ස්කාර කළහ. නායක ස්වාමි­න්ද්‍ර­යන් වහන්සේ සීල­ර­තන හිමි­යන්ට ඒ මොහොතේ පවසා සිටියේ,

“පොඩි­නම අද දවල් දානෙට එක නම­කගේ අඩු­පා­ඩු­වක් තියෙ­නවා... මොකද කරන්නෙ..“

“එහෙ­නම් නායක හාමු­දු­රු­වනේ... මම දානේ වළ­ඳ­ලාම විශ්ව­වි­ද්‍යා­ල­යට යන්නම්...“ යැයි සීල­ර­තන හිමියෝ නායක හිමි­යන්ට පව­ස­න්නට වූහ.

ඒ අනුව හාතා­ගල පුරාණ විහා­රයේ නායක ස්වාමි­න්ද්‍ර­යන් සහ උණා­ව­ටුනේ සීල­ර­තන පොඩි හාමු­දු­රු­වන් ඇතුළු සංඝයා වහන්සේ හත් නමක් එදින දහ­වල් විහා­ර­ස්ථා­නයේ දාය­ක­යෙ­කුගේ දාන­මය පින්ක­ම­කට වැඩී­මට පිටත් වී තිබුණේ වෑන් රථ­ය­කිනි. ඒ හුංගම දෙණිය මාර්ග­යේයි. විහා­ර­ස්ථා­න­යෙන් පිටත්වූ වෑන් රථ­යට ගමන් කිරී­මට ලැබී ඇත්තෙ විනාඩි පහක් වැනි කාල­යකි.

හුංගම පොලි­සියේ රථ­වා­හන අංශ­යට අනු­යු­ක්තව රාජ­කාරි කරන සාජ­න්ව­ර­යකු සහ කොස්තා­ප­ල්ව­ර­යකු පොලිස් යතු­රු­පැ­දි­යෙන් ගමන් කර­මින් සිටියේ දෛනික රාජ­කාරි සඳ­හායි. එසේ ගමන් කර­මින් සිටි­යදී පොලිස් නිල­ධා­රින් දෙදෙ­නාගේ ඇස ගැටුණේ නුහුරු හැසි­රී­මක් පාමින් ස්කූටර් යතු­රු­පැ­දි­ය­කින් ගමන් කළ පුද්ග­ල­යෙකි. එම යතු­රු­පැ­දියේ ගමන් කර­මින් සිටි තැනැත්තා හෙල්ම­ට­යක්ද පැලඳ නොසිටි බවකි. පොලිස් නිල­ධා­රින් දෙදෙනා යතු­රු­පැ­දි­ක­රුට අණ කර තිබුණේ නතර කරන ලෙසයි. එහෙත් යතු­රු­පැ­දි­කරු එම අණ නොතකා පලා යන්නට විය.

වේලාව හරි­ය­ටම එදින දහ­වල් එකො­ළ­හට ආසන්න වෙමින් තිබිණි. අණ නොතකා පලා යමින් සිටි යතු­රු­පැ­දි­කරු පසු­පස පොලිස් නිල­ධා­රීහු හඹා යන්නට වූහ. ඒ අතර එම මාර්ගයේ දාන­මය පින්ක­මට වඩි­මින් සිටි සංඝයා වහන්සේ රැගත් වෑන් රථ­යද ගමන් කර­මින් තිබිණි.

වෑන් රථය පරයා විදුලි වේග­යෙන් ඇදී ගියේ අණ නොතකා පලා යන යතු­රු­පැ­දි­යයි. ඒත් එක්කම ක්ෂණ­යෙන් වෑන් රථය පසු කළේ පොලිස් යතු­රු­පැ­දි­යයි. ගත වූයේ තත්පර ගණ­නකි. එසේ වේග­යෙන් පලා ගිය ස්කූටි යතු­රු­පැ­දිය හුංගම දෙණිය මාර්ගයේ මොල­ටි­යාය මංස­න්ධි­යේදී එක්ව­රම දකු­ණට හැර­වී­මට තැත් කිරී­මේදී පෙරැළී ගියේය.

ඒත් එක්කම ඇද වැටුණු යතු­රු­පැ­දි­කරු පොලි­සි­යට බියෙන් දිව යෑමට තැත් කර ඇත. පසු­ප­සින් පැමිණි පොලිස් නිල­ධා­රීහු පලා යෑමට තැත් කළ පුද්ග­ලයා ඒ මොහො­තේ­දීම අල්ලා­ගත්හ. පසුව තිදෙනා අතර පොර බැඳී­මක්ද සිදු විණි.

ඒ මොහොතේ එම ස්ථානය පසු කර ගියේ සංඝයා වහන්සේ පැමිණි වෑන් රථ­යයි. පොලිස් නිල­ධා­රින් සහ සැක­ක­ට­යුතු පුද්ග­ලයා අතර සිදු වන පොර බැදීම නිසා වෑන් රථ­යද එම ස්ථාන­යේදී මඳක් වේගය අඩාළ කර­මින් ධාව­නය කෙරිණි. වෑන් රථ­යට ගමන් කිරී­මට හැකි වූයේ මීටර් කීප­යක් පමණි. රියැ­දුරු අසු­නට පසු­පස අසුනේ සිටි සීල­ර­තන හිමි­නම හිස පහත් කර ඇලවී ගියේ ළඟ සිටි හිමි­නම දෙස­ටයි. පිටු­පස හැරී බැලූ ඉදිරි අසුනේ සිටි ජින­ර­තන නායක හිමි­යන් දුටුවේ ඛේද­නීය දසු­නකි.

එසැ­ණින් රථය නතර කෙරිණි. සියලු දෙනා එක්ව පරීක්ෂා කිරී­මේදී දුටුවේ වෑන් රථයේ ලේ ගංගා­වකි. ඒ, සීල­ර­තන හිමි­යන්ගේ දකුණු ඇළ­පත දෙසින් පසාරු කර­ගෙන ගොස් තිබූ වෙඩි උණ්ඩය නිසාය.

උන්ව­හ­න්සේට වෙඩි වැදී තිබුණේ පොලිස් නිල­ධා­රින් දෙදෙනා සහ සැක­ක­ට­යුතු පුද්ග­ලයා හා පොර බැදී­මේදී එක් පොලිස් නිල­ධා­රි­යෙ­කුගේ ඉණේ තිබූ පිස්තෝ­ල­යක් ක්‍රියා­ත්මක වීමෙනි. එම ස්ථාන­යේදී වෑන් රථයේ සිටි සීල­ර­තන හිමි­යන් හිස මඳක් ජනෙල් කවු­ළු­වෙන් එළි­යට යොමා ඇත.

වෙඩි පහ­රට ලක්වූ උණා­ව­ටුනේ සීල­ර­තන හිමියෝ රථයේ රියැ­දුරු, පොලිස් නිල­ධා­රින් දෙදෙනා සහ ගම්වා­සීන් එක්ව අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස ප්‍රාදේ­ශීය රෝහ­ලට ඇතු­ළත් කරන විටත් අප­වත් වී සිටි­යහ.

පොලිස් නිල­ධා­රින් දෙදෙනා හඹා ගිය පුද්ග­ලයා එම ප්‍රදේ­ශයේ මත්ද්‍රව්‍ය ජාවා­රමේ නිරත අයෙකු බව පොලි­සිය පව­සයි. ඔහු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණි. වෙඩි ප්‍රහා­රය එල්ලවූ ගිනි­අ­විය ළඟ තබා­ගෙන සිටි පොලිස් නිල­ධා­රින් දෙදෙනා පිළි­බඳ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව වෙනම පරී­ක්ෂ­ණ­යක් සිදු කර­මින් සිටී. ඒ තංගල්ල දිසා බාර නියෝජ්‍ය පොලි­ස්පති ජගත් පලි­හ­ක්කාර මහ­තාගේ පුර්ණ අධී­ක්ෂ­ණ­යෙන් තංගල්ල සහ­කාර පොලිස් අධි­කාරි II රත්න­වීර එල්. අඩ­ස්සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙනි.

හිමි­න­මගේ අප­වත් වීම පිළි­බඳ සිදු කෙරෙන පරී­ක්ෂණ පිළි­බඳ ජාතික පොලිස් කොමි­ස­මද වැඩ­බ­ලන පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහ­තා­ගෙන් වාර්තා­වක් කැඳවා තිබිණි.

එසේම වෙඩි ප්‍රහා­රය එල්ල වූ ගිනි­අ­වි­යද රජයේ රස පරී­ක්ෂ­කට යොමු කොට වැඩි­දුර කරුණු වාර්තා කරන ලෙස අඟු­ණ­කො­ළ­පැ­ලැස්ස මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය. වෑන් රථයේ රියැ­දුරු මාධ්‍ය­යට පවසා සිටියේ පොලිස් නිල­ධා­රින් දෙදෙනා වෙඩි ප්‍රහාර එල්ල කර­මින් පැමිණි බවකි. එහෙත් එය තව­මත් නිශ්චිත ලෙස අනා­ව­ර­ණය නොවේ. ඒ මොහොතේ රථයේ ගමන් කළ හාතා­ගල විහා­ර­ස්ථා­නයේ නායක ස්වාමින් වහන්සේ අවා­ස­නා­වන්ත සිදු­වීම පිළි­බඳ පැවැ­සූවේ මෙසේය.

“වෑන් එකේ අපි දානෙ­කට වඩි­මින් හිටියේ. ස්කූටි වර්ගයේ බයික් එකක් අපේ වෑන් එක ඉස්සර කර­ගෙන වේග­යෙන් ගියා. ඒත් එක්කම පොලිස් බයික් එකත් අපේ වෑන් එක ඉස්සර කර­ගෙන ගියා. ටික දුරක් ගියාම දැක්කා ස්කූටි බයික් එක වැටිලා තිබුණා. එතැන මොක­ක්හරි සිද්ධි­යක් වෙලා... අපේ වෑන් එක එතැන පහු කර­ගෙන ගියා... මීටර දෙක තුනක් ගිහින් පිටි­පස්ස හැරිලා බල­න­කොට තමයි පොඩි­නම තවත් නම­කගේ දෙසට ඇල­වන ආකා­රය දැක්කෙ... එත­කොට තමයි වෑන් එක ඇතුළේ ලේ ගංගා­වක් දැක්කෙ...“ උන්ව­හන්සේ පව­සන්නේ ඒ මොහොතේ ඇසින් දුටු සිදු­වී­මයි.

බුත්තල, උණා­ව­ටුන ප්‍රදේ­ශයේ ඉපදී හැදී වැඩුණු සීල­ර­තන හිමියෝ පහ ශ්‍රේණියේ ඉගෙන ගනි­මින් සිටි­යදී පැවිදි දිවි­යට ඇතු­ළත් වී ඇත. අහිං­සක ගැමි­යන් දෙදෙ­නෙකු වන එම්. ඩී. ප්‍රේම­රත්න සහ ජී. එච්. මාලනී උන්ව­හ­න්සේගේ මවු­පි­යෝය. පවුලේ වැඩි­ම­හල් සහ එකම පුත්‍ර­ර­ත්නය සීල­ර­තන හිමි­යෝය. උන්ව­හ­න්සේගේ එකම නැඟ­ණිය එම්.ඩී. සුභා­ෂිණි මේ වන විට අට ශ්‍රේණියේ ඉගෙ­නුම ලබ­මින් සිටි­න්නීය. හාතා­ගල පුරාණ රජ­මහා විහා­රයේ පසු­ගිය 22 වැනිදා උන්ව­හ­න්සේගේ ආදා­හන පූජෝ­ත්ස­වය තෙක් තැන්පත් කර තිබූ දේහය ඉදි­රි­පිට හඬා වැටුණු ගිහි පැවිදි පිරිස දහස් ගණ­නකි. ඒ අතර සීල­ර­තන පොඩි හාමු­දු­රු­වන්ගේ මෑණි­යන්ගේ දුක් අඳෝ­නාව දුටු­වන්ගේ නෙත­ඟට කඳු­ළක් එක් කළේ නිරා­යා­ස­යෙනි.

“මට හිටිය එකම පුතා මට අද නැති­වෙලා. මං ආයිත් දුවත් එක්ක පන්ස­ලට එන්නෙ කාව බල­න්නද... මං දැන් වඳින්නෙ කාටද... අනේ මගේ සුදු පුතා නැඟි­ටින්න... “

පසු­ගිය දින කීපයේ හුංගම හාතා­ගල අවට ප්‍රදේ­ශ­වා­සීහු කහ කොඩි­යෙන් මුළු ප්‍රදේ­ශ­යම සරසා දුක ශෝකය පළ කර­මින් හාතා­ගල පුරාණ විහා­ර­යට පැමි­ණියේ සීල­ර­තන පොඩි හාමු­දු­රු­වන්ට අව­සන් ගෞරව දැක්වී­ම­ටයි. එසේ දහස් ගණ­නක ජන­කා­යක් එක්රොක් වූයේ උන්ව­හ­න්සේගේ තිබූ නිහ­ත­මානී ගති­ගුණ මෙන්ම ශාස­න­යට කෙටි කලක් තුළ කළ මහත් මෙහෙ­වර නිසාය.

ඡායාරූප - ලුනම සමූහ / සනත් ගමගේ

 

Comments