දේශාභිමානි ගීත සාහිත්‍යයක් අපට උරුම වූයේ ශ්‍රී ලංකාව වසර 133ක් මුළුල්ලේ යටත්විජිතයක් ලෙස පැවතීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම දේශාභිමානි ගීත අතරින් මීට දශක ගණනාවකට පෙර ලක්ෂ්මි බායි ගායන ශිල්පිනිය විසින් ගැයූ “ආදි සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා” ගීතය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූයේ දේශීයත්වය අගයන සිතිවිලි එයින් මනාව උද්දීපනය කරමින් පරගැතිභාවය හෑල්ලුවට ලක්වන නිසා විය යුතුය. “කිරි නැති හින්දා රටකිරි දීලා සිංහල දරුවො මරන්නා” යනුවෙන් එදා ඈ එහි ගැයුවේ කිරිපිටි භාවිතය සිංහල අපට ආවේණික දෙයක් නොවු නිසාය. තේ, කෝපි වෙනුවට බෙලිමල්, රණවරා පානය කළ අපේ මුතුන් මිත්තන් එදා කිරිපිටි වෙනුවට පානය කළේ නැවුම් එළකිරි පමණි. එහෙත් පිටරැටියන් පුරුදු කළ කිරිපිටි පානය සමඟ වැස්සියගෙන් දොවා ගන්නා එළකිරි බෝතල් විකුණා ගත් මුදලින් දරුවන්ට කිරිපිටි පැකැට්ටුවක් මිල දී ගැනීමේ පුරුද්දක් අපට ඇති විය. අද වන විට එය අත් හැර ගත නොහැකි තරමට ම ඇබ්බැහියක් වී තිබේ.
එහෙත් අප විසින් භාවිතයට ගනු ලබන කිරිපිටි මෙරටට ලැබෙන්නේ විදේශීය රටවල්වලින් ගෙන්වීමෙනි. අපේ රටේ සකස් කර ගැනෙන දේශීය කිරිපිටි තිබෙන්නේ වර්ග 2ක් පමණි. මෙසේ ආනයනය කෙරෙන කිරිපිටි මගින් ලෙඩරෝග රැසක් ඇති කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි. ඔහු සඳහන් කරන ආකාරයට වර්තමානයේ බෝ නොවන රෝගවලට ගොදුරු වන අයගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමට කිරිපිටි පරිභෝජනය හේතු වී තිබේ.
“ආනයනික කිරිපිටි ගැන කාලයෙන් කාලයට කතා කරනවා. කාලයකදී ඒවායේ ෆාම්තෙල් තියෙනවා කියනවා, තවත් කාලයකදී ඌරු තෙල් තියෙනවා කියනවා. එක්කෝ බැක්ටීරියා තියෙනවා කියනවා. මේ විදිහට හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. රජයේ වෛද්‍යවරුන් කිරිපිටි පරිභෝජනයේ අවැදගත්කම ජනතාවට පැහැදිලි කර දුන්නත් කිරිපිටි ගෙන්වන සමාගම් ගෙන යන ප්රචාරක වැඩ පිළිවෙළ එක්ක වෛද්‍යවරුන්ගේ හඬ යටපත් වෙනවා. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා කිරිපිටි නිසා බරපතළ රෝග 21ක් හැදෙන බව. ඒකට හේතු වී තිබෙන්නේ කිරිපිටිවල අඩංගු වී තිබෙන රසායනික සංයෝග. නවසීලන්තයේ කිරිපිටි නිෂ්පාදනය කරන සමාගමක NZMP වෙබ් අඩවියේ කිරි මේදය කිලෝ 1ක මිල සඳහන් වී තිබෙනවා. එය ලංකාවේ මුදලින් රු. 900ත් - රු.1000ත් අතර වෙනවා. ෆාම්තෙල් කිලෝ 1කට වියදම් වන්නේ රු. 200.00ක් වැනි මුදලක්. ලංකාව වැනි රටවල්වලට නියම කිරි මේදය අඩංගු කරලා කිරිපිටි විකුණන්න අමාරු නිසා තියෙන මේදය ඉවත් කරලා මේදය පිරවූ තෙල් යොදාගෙන කිරිපිටි නිෂ්පාදනය කරන බව මෙම වෙබ් අඩවියේ සඳහන් වී තිබෙනවා. නියම කිරි මේදය අඩංගු කිරිපිටිවල මිල ඉතා ඉහළයි. ඒ මිලට ලංකාවේ කිරිපිටි විකුණන්න බැහැ. ඒ නිසා තියෙන මේදය ඉවත් කරලා නිශ්චිත තෙල් ප්‍රමාණයක් අවශ්‍ය නිසා ඒ වෙනුවට එළවළු තෙල්, ෆාම්තෙල් සංයෝග කරනවා. ලංකාව වැනි රටවල්වලට එවන්නේ ඒ කිරිපිටි. ඒ කිරිපිටිවලින් පෝෂණයක් ලැබෙනවාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අනික කටුපොල්වල තෙල් එකතු කළොත් මොකද වෙන්නේ. පිළිකා හැදෙනවා. කටුපොල් කියන්නේ පිළිකා කාරකයක්.
අනික නවසීලන්තයේ සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 99.05% ක්ම ඒ රටේ පරිභෝජනයට යොදා ගන්නවා. ඒ අය අපිට කිරිපිටි එව්වාට එයාලා බොන්නේ දියර කිරි. එතකොට කිරිපිටි නිෂ්පාදනයට යොදා ගැනෙන්නේ 1%ටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ වගේ සුළු ප්‍රමාණයකින් කොහොමද කිරිපිටි නිෂ්පාදනය මහා පරිමාණයෙන් කරන්නේ? අනිවාර්යයෙන් රසායනික ද්‍රව්‍ය සංයෝග කරලා කිරිපිටි නිෂ්පාදනය කරන්නේ. කිරිපිටිවල අඩංගු වී තිබෙන්නේ කිරිවල අඩංගු නියම ලැක්ටොස් නෙමෙයි. පිටින් එකතු කරපු ලැක්ටෝස්”. යනුවෙන් විස්තර කරන වෛද්‍ය හරිත අලුත්ගේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, පිළිකා, ඇදුම සහ හතිය වැනි රෝග 21කට කිරිපිටි පරිභෝජනය හේතු වන බව පැහැදිලි කළේය.
මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයෙන් සිදු කෙරේ. ඒ අනුව ආනයනික සෑම කිරිපිටි වර්ගයකම සාම්පල් පරික්ෂා කර ප්‍රමිතිය සහතික කෙරෙනු ඇත. ඊට අමතරව හානිකර විකිරණ වර්ග අඩංගු වී තිබේද යන්න පරීක්ෂා කෙරෙන්නේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගිනි.
“ලංකාවට ආනයනය කෙරෙන සියලුම කිරිපිටි වර්ගවල සාම්පල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයෙන් අපට එවනවා. අපි සිදු කරන්නේ විකිරණශීලිතාව මැනීම පමණයි. 2019 වසරට ළදරු කිරිපිටි වර්ග ඇතුළුව කිරිපිටි පරීක්ෂා කිරීම් 4777ක් අපේ ආයතනයෙන් සිදු කළා. මෑත කාලයේදී නම් කිරිපිටිවල අහිතකර දෙයක් අඩංගු වූ බවක් වාර්තා වුණේ නැහැ. අපේ ආයතනයේ නියාමන සභාවෙන් හොඳ ප්‍රමිතියෙන් යුක්ත බවට තහවුරු කරලා වාර්තාවක් දෙනවා. හැබැයි අපි මෙහේ පරීක්ෂා කරන්නේ විකිරණශීලිතාව විතරයි.” යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ටී.එම්.ආර්. තෙන්නකෝන්ය.
මේ අනුව ආනයනික කිරිපිටි මෙරට බෙදා හරිනු ලබන්නේ ප්‍රමිතිය සහතික කිරීමෙන් අනතුරුවය. එසේ නම් අප බිය විය යුත්තේ කුමකටදැයි කෙනෙකුට සිතෙන්නේ නම් එහි වරදකුත් නැත.
“කිරිපිටි පරීක්ෂා කිරීමේදි ප්‍රෝටීන් තියෙනවාද කියලා බලන්නේ නයිට්රජන් අණුවලින්. මේදය තියෙනවාද කියලා බලන්නේ කාබන් අණුවලින්. ඒවගේ ක්‍රමවේදයකට තමයි ලංකාවේ රසායනාගාරවල පරීක්ෂා කිරීමේ සිද්ධ වෙන්නේ. ඒත් ඒ අණු, සත්ව අණු ද ශාක අණු ද කියලා විශ්ලේෂණය කෙරෙන්නේ නැහැ. ඒ නිසා කිරි මේදය වෙනුවට වෙනත් තෙල් වර්ගයක් එකතු කරලාද ලැක්ටෝස් වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍යයක් එකතු කරලා ද කියලා තහවුරු කර ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ටික කාලයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කිරිපිටිවල අඩංගු සංයෝග ගැන කතා කළා. ඒ වෙලාවේ කථානායක කරූ ජයසූරිය මහතා කිරිපිටි පරීක්ෂා කරලා වාර්තාවක් දෙන්න කියලා පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දුන්නා. දැන් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා. ඒ වාර්තාවට අනුව කිරිපිටි අධි අවදානම් කාණ්ඩයේ ආහාරයක් කියලා සඳහන් වෙනවා. ලෝකයේ දියුණුම තත්ත්වයේ රසායනාගාරවලට වුණත් අහු වෙන්නේ නැති විදියට 20%ක ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් කියලා පාරිභෝගික සේවා අධිකාරියෙන් දීපු වාර්තාවේ සඳහන් වෙනවා. කිරිපිටි කියන්නේ අධි අවදානම් කාණ්ඩයේ ආහාරයක් කියලා හැඳින්වුවාට පසුව බය වෙන්නේ නැතිව ඉන්නේ කොහොමද?” යනුවෙන් ප්‍රශ්න කළේ රජයේ ෛවද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේය.
ඔහු පවසන ආකාරයට පාර්ලිමේන්තුවට පාරිභෝගික සේවා අධිකාරියෙන් දුන් වාර්තාව එසේ මෙසේ වාර්තාවක් නෙවේ. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමේ අටියෙන් පාරිභෝගික සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඇමතු වූ විට ඔහු පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ එකී වාර්තාව තවමත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොමැති බව දන්වමිනි.
කෙසේ වුවද සාමාන්‍යයෙන් ලංකාවට වාර්ෂිකව ආනයනය කරනු ලබන කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80 කි. ඒ සඳහා වැය වන මුදල රු. බිලියන 57 කි. ලංකාව ඖෂධ ආනයනය කිරීමට වර්ෂයකට වැය කරනු ලබන මුදල රු. බිලියන 40 කි. අප රු. බිලියන 57 ක් වැය කරමින් ගෙන්වා ගන්නේ රටට අවශ්‍ය පෝෂණය ද? නැතිනම් රටකට දරා ගැනීමට නොහැකි තරම් ලෙඩරෝගද ?” රටකිරි දීලා සිංහල දරුවො මරන්නා” යනුවෙන් ලක්ෂ්මි බායි ගායනා කළේ මේ නිසා විය යුතුය.
ශ්‍රී ලාංකිකයන්ට වින කරන වස විස අඩංගු කිරි ලෙස ඇඟිල්ල දිගු වන්නේ ආනයනික කිරිපිටිවලටය. ආනයනික කිරිපිටි හැර මෙරට නිෂ්පාදනය කරන කිරිපිටි වර්ග 2ක් ද දේශීය වෙළෙඳපොළේ තිබේ. මිල්කෝ සමාගම ඉන් ප්‍රධාන තැනක් ගනී. දේශීය කිරිපිටි සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ සම්බන්ධ කර ගනු ලැබුවේ එබැවිනි.
“අඹේෙවල විතරක් කිරි ධාරිතාව දිනකට කිරි ලීටර් ලක්ෂ 03ක් වෙනවා. ඒත් අපිට ඒතරම් ප්‍රමාණයක් කිරි හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම අපිට ලැබෙන කිරි ප්‍රමාණය මදි. ඒ නිසා අපි කිරිපිටි නිෂ්පාදනයට අඩු දායකත්වයක් දීලා අපේ සෙසු නිෂ්පාදවලට වැඩි නැඹුරුවක් දක්වනවා. අනික් කාරණය තමයි අපේ කිරිපිටිවලට රජයෙන් උපරිම මිලක් නියම කිරීම නිසා අපිට කිරිපිටි නිෂ්පාදනය කරලා ලාභ ලබන්න නොහැකි වීම. පාඩු විඳගෙන කිරිපිටි නිෂ්පාදනය කරන්න බැහැ. ඒ නිසා අපිට ලැබෙන කිරි ප්‍රමාණයෙන් අපිට වෙළෙඳපොළේ ලාභයක් ලබන්න පුළුවන් යෝගට්, කිරි පැකට් වැනි නිෂ්පාදනවලට අපි වැඩි නැඹුරුවක් දක්වනවා.” ඒ මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහගේ අදහස ය.
සැබැවින්ම කිරි පානය සඳහා අපට කිරිපිටි අවශ්‍යමද? අපේ මුතුන්මිත්තන් පානය කළ ආකාරයට දියර කිරි පානය සඳහා අපට යොමු විය නොහැකිද? අප එසේ සඳහන් කරන්නේ අමෙරිකාව, කැනඩාව, ජපානය, ජර්මනිය වැනි දියුණු රටවල්වල ජනතාව දියර කිරි පමණක් පරිභෝජනයට යොමු වී ඇති නිසාය. එම රටවල කිරිපිටි පරිභෝජනයක් දක්නට නොලැබෙන නිසාය.