අප කන-බොන දේව­ල්වල ඉන්න නොපෙනෙන අලුත් මාර­යා මයික්‍රො ප්ලාස්ටික් | සිළුමිණ

අප කන-බොන දේව­ල්වල ඉන්න නොපෙනෙන අලුත් මාර­යා මයික්‍රො ප්ලාස්ටික්

 

මුලින්ම සොයා ගන්නා විට නොබෙල් ත්‍යාගය පවා ලැබූ ප්ලාස්ටික් අද ලෝක­ය­ටම පිළි­ල­යක් වී තිබේ. අද අපේ රටේ වස­ර­කට කුණු කසළ මෙට්‍රික් ටොන් 10,000ක් පමණ එකතු ‍වේ. ඒ අතු­රින් දින­කට අපේ රටේ එක­තු­වන ප්ලාස්ටික් පොලි­තින් මිශ්‍ර කුණු කසළ ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 700ක් වන බව මධ්‍යම පරි­සර අධි­කා­රියේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශය කළ ගවේ­ෂ­ණ­ව­ලදි පෙන්වා දී ඇත.

 

ප්ලාස්ටික්වලින් වන පාරි­ස­රික විනා­ශය ප්ලාස්ටික් පිලිස්සීම නිසා වන හානිය අපි දනිමු. නමුත් මේ ප්ලාස්ටික් දිරී­මෙන් පසු ඇති­වන කුඩු වාත­යට ජල­යට එක­තු­වීම නිසා ඇති­වෙන මයික්‍රෝ ප්ලාස්ටික් අද අපේ රටේ නොපෙ­නන මානව මාර­ක­යක් වී ඇතැයි විද්වත්හු පෙන්වා දෙති.

අපේ ප්ලාස්ටික් මාර­කයා පිළි­බ­ඳව කරුණු දක්වන සමුද්‍ර දූෂණ වැළැ­ක්වීමේ අධි­කා­රියේ සාමා­න්‍යා­ධි­කාරි රුහුණු සර­ස­වියේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැව­සුවේ වස­ර­කට අපේ රටේ වෙරළ තීරයේ පම­ණක් ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 322ක් පමණ එක­තු­වන බවයි. ඒවා සිය­යට 99ක්ම මහ මුහු­දට එක්වන බවත් මේ ප්ලාස්ටික් දිරී­මට වසර 200 - 1000ක් පමණ ගත­වෙන බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පව­සයි.

“ප්ලාස්ටි­ක්ව­ලින් සිය­යට 30ක් මහ මුහුදේ පාවෙ­නවා. ඉන් සිය­යට 70ක් මුහුද පත්ලට ගිලා බසි­නවා. නමුත් ප්ලාස්ටික් දිරා ගිය­පසු ඒවා කුඩු බවට පත්වන අතර පරි­ස­රය, ජලය, වාතය දූෂ­ණය කර­නවා. එවිට හැදෙන්නේ මයික්‍රො ප්ලාස්ටික්. ඒ අනුව මිලි­මී­ටර් 0.5ට අඩු ප්ලාස්ටික් කැබලි තමයි මයික්‍රෝ ප්ලාස්ටික් ලෙස හැඳි­න්වෙන්නේ.

වතුර බෝත­ල්වල ඇතුලේ, අප පාවිච්චි කරන දත් බෙහෙ­ත්වල, රූප­ලා­වණ්‍ය ක්‍රීම්ව­ර්ග­වල පම­ණක් නොවේ අප හුස්ම ගන්නා වාත­යේත් මයික්‍රො ප්ලාස්ටික් තියෙ­නවා. අප හුස්ම ගන්න­කොට ජලය පානය කරන විට දත් මදින විට අපි දන්නෙම නැතිව අප ශරී­රය තුළට මේ ප්ලාස්ටික් යනවා.

අලුත්ම සමී­ක්ෂණ අනුව සති­යක් ඇතු­ළත ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් මයි‍ක්‍රො ප්ලාස්ටික් ප්‍රමා­ණ­යක් එක පුද්ග­ල­ය­කුගේ ශරී­ර­යට යනවා. ඒ අනුව අපේ රටේ එක් පුද්ග­ල­ය­කුගේ ශරී­ර­යට වස­ර­කට මයික්‍රෝ ප්ලාස්ටික් කෑලි 1769ක් ශරී­ර­ගත වෙන බව පර්යේ­ෂණ මඟින් සොයා ගන තිබෙ­නවා. ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා පව­සයි.

නි‍ෙවසේ ඇති රෙදි සෝදන යන්ත්‍රයේ දෙපැත්තේ තැන්පත් වන අප­ද්‍රව්‍ය කොටසේ බහු­ලව ඇත්තේ මයික්‍රො ප්ලාස්ටික්ය. ඒ සම­ඟම ප්ලාස්ටික් ඉඳි­ආප්ප තට්ටු­වල හදන ඉඳි­ආප්ප අප ආහා­ර­යට ගත් විටත් මයික්‍රො ප්ලාස්ටික් ශරීර ගත­වෙන බ ව සොයා­ගෙන ඇත. මෙයි ඇති භයා­නක බව මේ සියල්ල අප ශරී­ර­ගත වන්නේ අපට හොරා අප දන්නෙම නැතිව වීමයි. ඒ අනුව මයික්‍රො ප්ලාස්ටික් යනු සැඟ­වුණු මානව මාර­ක­යෙකි. ඊට අම­ත­රව මීට වඩා කුඩා නැනෝ ප්ලාස්ටික් ද අප රටේ බහු­ලව ඇති අතර ඒවාත් අති­භ­යා­නක බව ආචාර්ය ටර්නි ප්‍රදීප් පෙන්වා දෙයි.

අපේ රටේ පාසල් දරු­වන් හා අන් අයත් ප්ලාස්ටික් කෑම පෙට්ටි­වල උණු කෑම කෑමත් ප්ලාස්ටික් බෝත­ල්වල උණු දියර පානය කිරී­මත් මෙලෙස මයික්‍රො ප්ලාස්ටික් ශරීර ගත­වෙන අනෙක් ක්‍රම ලෙස පෙන්වා දිය හැකියි.

පසු­ගි­යදා පරි­සර අමා­ත්‍යාං­ශය සමී­ක්ෂ­ණය කළ පාරි­ස­රික සමු­ළු­ව­කදී මේ පිළි­බ­ඳව වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ වයඹ විශ්වවිද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය සෙව්වන්දි රණ­සිං­හ ­ම­හ­ත්මිය පැව­සුවේ වැස්සත් සමඟ මයික්‍රො ප්ලාස්ටික් ජල මාර්ග­ව­ලින් එක් වී එය පානීය ජලය මඟින් ශරී­ර­ගත වන බවයි.

කෙසේ වුවත් මෙරට කිසිම පර්යේ­ෂණ ආය­ත­න­යක් මෙරට ප්‍රධාන පානීය ජල ප්‍රභව වන ලබු­ගම, කල­ටු­වාව, මහ­වැලි, කැලණි හා කළු ගංගා­වල මයික්‍රො ප්ලාස්ටික් සංයු­තිය පිළි­බ­ඳව පර්යේ­ෂණ කර නැත. ඒ පිළි­බ­ඳව බල­ධා­රින්, විද්‍යා­ඥ­යන්, නිල­ධා­රින් ඉක්මන් අව­ධා­නය යොමු කළ යුතුය.

මුහු­දට ප්ලාස්ටික් ආ විට තල් මසුන් ඒවා ආහාර ලෙසට හඳු­නා­ගෙන ප්ලාස්ටික් ආහා­ර­යට ගනිති. අපට ලැබුණු එක් තොර­තු­ර­කට අනුව මෙලෙස එක් තල්ම­සෙක් තුළ තිබී ප්ලාස්ටික් කෝප්ප් 115 ප්ලාස්ටික් කෝප්ප 4ක් ප්ලාස්ටික් බෑග 35ක් සපත්තු 4ක් සොයා­ගෙන තිබේ. පිලි­පී­නයේ එවැනි තල්ම­සු­කුගේ ශරී­රයේ ප්ලාස්ටික් කිලෝ 25ක් තිබී ඇත.

මයික්‍රො ප්ලාස්ටික් ප්‍රාථ­මික හා ද්විතී­යික ලෙස පරි­ස­ර­යට ලැබේ. ඒ දෙවි­දි­යට නිකුත් වන ප්ලාස්ටික් පරි­ස­රයේ පව­තින්නේ කුඩු ලෙසයි. අපි බොන ජලය හා කන ආහාර මඟින් මයික්‍රො ප්ලාස්ටික් ශරී­ර­යට එක්වෙයි. ඒ ප්‍රමා­ණය සති­ය­කට ග්රෑම් 5කි. මයික්‍රො ප්ලාස්ටික් මඟින් සිදු­වන ලොකුම විපත ඒවා මඟින් අවට පරි­ස­රයේ තිබෙන වස විස උරා ගනු ලැබී­මයි. ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිසා කොරල් පර වලට බල­පෑම් ද එල්ල වී තිබේ.

වයඹ විශ්වවිද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය සෙව්වන්දි ජය­කොඩි මහ­ත්මිය පව­සන්නේ වතුර බෝත­ල­යක් හා ප්ලාස්ටික් සින්ත­ටික් ඇඳු­මක් අව­සා­නයේ මයික්‍රො ප්ලාස්ටික් බවට පත්වෙන බවයි.

ඒ තමයි දත් බෙහෙ­ත්වල අපි දන්නේ නැති බොහෝ දේව­ල්වල ම‍යික්‍රො ප්ලාස්ටික් තිබෙ­නවා. හැබැයි ඒවා යම් නිෂ්පා­දන සමා­ග­ම්ව­ලින් හිතා මතා අප පාවිච්චි කරන දේව­ල්ව­ලට එකතු කරපු මයික්‍රො ප්ලාස්ටික්. අපි දින­පතා පාවිච්චි කරන රූප­ලා­වණ්‍ය ක්‍රීම්, දත් බෙහෙ­ත්වල තිබෙන මයික්‍රො ප්ලාස්ටික් අප පාවිච්චි කර සේදූ පසු ළඟම තිබෙන ජල ප්‍රභ­ව­යට යන්න පුළු­වන්. හිතා­මතා එකතු කරන මයික්‍රො ප්ලාස්ටික් ජල­ස­ම්පා­දන මණ්ඩ­ලය මඟින් පානීය ජල ප්‍රභව වල ජලය පිරි­සුදු කරන කට­යු­ත්තේ­දි­වත් ඉවත් කරන්න බැහැ.

මෙහිදි මේ අනුව අප අව­ධා­නය යොමු කළ යුත්තේ විවිධ ව්‍යාපා­රික සමා­ගම් තම නිපැ­යු­ම්වල පෙනුම හා කාර්ය­ක්ෂ­ම­තාව වැඩි දියුණු කර ගැනීම පිණිස එකතු කරන මයික්‍රො ප්ලාස්ටික් පිළි­බ­ඳ­වයි. මේ මයි‍ක්‍රො ප්ලාස්ටික් වලට ඇති විශේෂ හැකි­යාව වස විස උරා ගැනීමේ හැකි­යා­වයි. අපට රෝග බෝ කරන බැක්ටී­රියා ඒවා උරා ගැනී­මට ඇති හැකි­යා­වයි.

ඒ අනුව මයික්‍රො ප්ලාස්ටික් මඟින් බැක්ටී­රියා වයි­රස් වුණත් අපිට ශරී­ර­ගත වෙන්න පුළු­වනි. මයික්‍රො ප්ලාස්ටික් පිළි­බ­ඳව ප්‍රශ්නය විස­ඳී­මට ලොව දියුණු රට­වල් කට­යුතු කරයි. මේ අනුව මේ පිළි­බ­ඳව ප්‍රති­පත්ති සම්පා­ද­කයෝ ඉක්ම­නින් කාර්ය­ක්ෂම වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළ යුතු යැයි සෙව්වන්දි ජය­කොඩි මහ­ත්මිය පව­ස­න්නීය.

මයික්‍රො ප්ලාස්ටික් පිළි­බ­ඳව තව­දු­ර­ටත් කරුණු දැක්වූ පේරා­දෙ­ණිය විශ්වවිද්‍යා­ලයේ රසා­යන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය ආචාර්ය චාමර ජය­සු­න්දර මහතා පැව­සුවේ මයි‍ක්‍රො ප්ලාස්ටික් යනු ප්ලාස්ටි­ක්ව­ලින් කැඩුණු මිලි­මී­ටර් 5ක් මිලි­මී­ටර 1ක් විශාල පුංචි ප්ලාස්ටික් කැබලි බවයි.

මයික්‍රො ප්ලාස්ටික් සියල්ල අප හදපු ඒවාය. මේවා පරි­ස­ර­යට අනුව ක්‍රියා නොක­රයි. මේවා කව­දා­වත් දිරන්නේ නැත. මේවත් සමඟ රසා­ය­නික ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය රෝග කාරක එක්වෙ­නවා. ජල­යට මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට පේන්නේ නැහැ. මේ නිසා වායුව දූෂ­ණය ද සිදුවේ. වායු දූෂ­ණ­යට මේ මයික්‍රො ප්ලාස්ටික් එක්වූ විට කව­දා­වත් ඒවා ඉවත් කළ නොහැ­කිය. ඒ අනුව මයික්‍රො ප්ලාස්ටික් වායුව දූෂ­ණය කළ විට ලෙඩ රෝග වැලඳේ. පරි­ස­රය වෙනස් වේ. මේ ද්‍රව්‍ය තත්ත්වය අපට පේන්නේ නැති නිසා ඉතා භයා­නක තත්ත්ව­යකි.

ලොව අලුත්ම පරී­ක්ෂණ අනුව ලොව පුරා භාවිත කරන ප්ලාස්ටික් බෝතල්වලින් සිය­යට 91ක මයික්‍රො ප්ලාස්ටික් තිබේ. මේ අනුව අපේ රටේ ද දැන් පරි­යේ­ෂණ සිදු කෙරෙ­මින් පවතී. ලොව දියුණු රට­වල ප්ලාස්ටික් හා පොලි­තින් ලබා­ගන්නා විට යම් මුද­ලක් අය­ක­රනු ලැබේ. එය අපේ රට­ව­ලත් සිදු කළ යුතු බවද ආචාර්ය චාමර ජය­සු­න්දර මහතා පව­සයි.

මේ ගැට­ලුව අවම කිරී­මට ප්ලාස්ටික් පොලි­තින් සිලි සිලි බෑග් නැවත පාවි­ච්චිය අවම කිරීම හා ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරී­මට ජන­තාව යොමු කළ යුතුය. එමෙන්ම ව්‍යාපා­රික සමා­ගම් ඕනෑ­ක­මින් විවිධ නිප­යු­ම්ව­ලට මයික්‍රො ප්ලාස්ටික් ඇතු­ළත් කිරීම තහ­නම් කළ යුතුය.

අපේ රටේ දින­කට නාග­රික කුණු කසළ මෙට්‍රික් ටොන් 10000 ක් පමණ එක­තු­වෙන බවත් ඉන් මෙට්‍රික් ටොන් 700 ක් පමණ ප්ලාස්ටික් හා පොලි­තින් ආශ්‍රිත කුණු කසළ බවත් මධ්‍යම පරි­සර අධි­කා­රියේ අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­රණ අංශයේ උපාලි ඉන්ද්‍ර­රත්න මහතා පව­සයි.

මේ ප්‍රමා­ණ­යෙන් ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණ­යට ලක්වන්නේ මෙට්‍රික් ටොන් 100 ක් පමණි. ඊට අම­ත­රව තවත් මෙට්‍රික් ටොන් 90 ක් ජල­මාර්ග වලට එක්වේ. ඉතිරි මෙට්‍රික් ටොන් 500 අප පරි­ස­රයේ එකතු වෙයි. වෙරළේ එක­තු­වන ප්ලාස්ටික් ප්‍රමා­ණ­යට මෙන් 5 ගුණ­යක් විශාල ප්ලාස්ටික් ප්‍රමා­ණ­යක් මේ අනුව අප රට ඇතුළේ එක­තුවේ. ඒ අනුව අපේ රට ඇතු­ළත වස­ර­කට එක­තු­වන ප්ලාස්ටික් හා පොලි­තින් ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් ලක්ෂ 1610 ක් පමණ වන බව මධ්‍යම පරි­සර අධි­කා­රිය පව­සයි.

මයික්‍රෝ ප්ලාස්ටි­ක්ව­ලට අදාළ නීති­මය තත්ත්වය පිළි­බඳ කරුණු පැහැ­දිලි කරන ජ්‍යෙෂ්ඨ පරි­සර නීතිඥ ජගත් ගුණ­ව­ර්ධන මහතා පව­සන්නේ මයික්‍රෝ ප්ලාස්ටික් ගැට­ලු­වට විස­ඳුම් ලබා­දී­මට අපේ ර‍ෙට් ඇති අණ­ප­නත් වලින් හැකි­යා­වක් ඇති බවයි.

චේත­නා­න්වි­තව යම් නිෂ්පා­ද­න­යක අංග­යක් ලෙස ශ්‍රී ලංකා­වට එවන ද්‍රව්‍ය­යක් වශ­යෙන් මයික්‍රෝ ප්ලාස්ටික් කොටස් පිළි­බ­ඳව නීති­මය පිය­වර ගැනී­මට හැකියි. මෙහිදී විශේ­ෂ­යෙන් මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති පිළි­බ­ඳව නීති­මය පිය­වර ගත හැකියි.

ජාතික පාරි­ස­රික පනතේ 4ආ කොටසේ 23ද වග­න්තිය අනුව යම් සුදුසු ද්‍රව්‍ය­යක් ලංකාව තුළට ගෙන්වීම බෙදා­හැ­රීම හා භාවි­තය තහ­නම් කිරී­මට හැකි­යාව ලැබේ. ඒ අනුව මයික්‍රෝ ප්ලාස්ටික් තහ­නම් කිරී­මට අපට හැකි­යාව ඇත. ඒ සඳහා පරි­සර ඇමැ­ති­ව­ර­යාගේ අත්ස­නින් යුත් නියෝ­ග­යක් ගැසට් පත්‍රයේ පළ කළ යුතුයි.

ඊට අම­ත­රව පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කාරි පනතේ 10 වැනි වග­න්තිය අනුව මයික්‍රෝ ප්ලාස්ටික් කැටිති තහ­නම් කරන්න පුළු­වන්. ඒ අනුව පනත් දෙකෙන්ම සම­ගාමී නියෝග දෙකක් එක­වර පැන­වු­ව­හොත් මේ තහ­නම සාර්ථක වන බවත් ජගත් ගුණ­ව­ර්ධන මහතා පව­සයි. මේ සඳහා කාලා­නු­රූප තහ­න­මක් පැන­වීම සුදුසු බව ද ඒ අනුව අපේ රටේ මයික්‍රෝ ප්ලාස්ටික් තහ­න­මක් සඳහා දින­යක් ප්‍රකා­ශ­යට පත් කළ හැකි බවද ඔහු පෙන්වා දෙයි.

2020 වසරේ ජන­වාරි 1 වැනිදා සිට ඉන්දි­යාව මයික්‍රෝ ප්ලාස්ටික් තහ­නම් කර ඇත. ඒ අනුව අපට ද අදාළ නීති රීති පනවා එම ක්‍රියා­මා­ර්ග­ව­ලට අනු­ගත විය හැකි බව විද්වත්හු පෙන්වා දෙති.

මේ පිළි­බ­ඳව කරුණු දක්වන පරි­සර රාජ්‍ය ඇමැති ජයන්ත සම­ර­වීර මහතා පව­සන්නේ මෙරට ප්ලාස්ටික් ගැට­ලුව සහ මයික්‍රෝ ප්ලාස්ටික් ගැට­ලුව විස­ඳී­මට සිය­ලුම ජන­තා­වගේ සහාය ඇතිව පාසල්, පෙර පාසල් සහ දහම් පාස­ල්වල උදව් ඇතිව අවශ්‍ය උප­රිම පිය­වර ගන්නා බවයි.

මයික්‍රෝ ප්ලාස්ටික් අපේ ‍රටේ තහ­නම් කිරී­මට චර්යා­ත්මක දුප්ප­ත්කම පිළි­බඳ ප්‍රශ්න විස­ඳිය යුතුයි. ඒ සඳහා දැනු­ම්වත් කිරීම හා බිය­ගැ­න්වීම් අත්‍ය­වශ්‍ය වෙනවා. මේ සඳහා නීති රීති ක්‍රියා­ත්මක කිරී­මට අප සූදා­නම්. ඊට පෙර සාමාන්‍ය ජන­තාව දැනු­ම්වත් කිරී­මට ජන­මාධ්‍ය පිය­වර ගත යුතු බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සීය.

පරි­ස­රය සුරැ­කී­මට පළාත් පාලන ආය­ත­න­වල සහාය ඇතිව ඉදිරි පිය­වර ගන්නා බවත් නිල­ධා­රීන් හා බල­ධා­රීන් පරි­ස­රය සුරැ­කී­මට නොපැකිළිව උදව් කළ යුතු බවත් ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේ ය.

Comments