අට­පි­රි­ක­ර ප්‍රමි­ති­යට බාල­ගිරි දෝෂ­යද? | සිළුමිණ

අට­පි­රි­ක­ර ප්‍රමි­ති­යට බාල­ගිරි දෝෂ­යද?

 

බුදු­ර­ජා­ණන් වහන්සේ විසින් උප­ස­ම්ප­දා­ව­කට නුසු­දුසු පුද්ග­ල­යින් අතර මුල් තැනක් ලබා දුන්නේ පාත්‍ර­යක් නැති සාම­ණේර භික්ෂූන් වහන්සේ හා ණයට පාත්‍ර­යක් ඉල්ලා ගත් සාම­ණේ­ර­යන් වහ­න්සේ­ටයි. ඒ අනුව භික්ෂු ජීවි­ත­යට පාත්‍රයේ වටි­නා­කම බුදු­ර­ජා­ණන් වහන්සේ එදා පෙන්වා දුන් සේක. එසේම භික්ෂූන් වහන්සේ නම­කට සිවුරු දෙකක් පරි­හ­ර­ණය කිරී­ම­ටත් ඒවා ඉරුණු විට මසා ගැනීම තමන් විසින්ම කළ යුතු බව­ටත් විනය ශික්ෂා­වන් පැන­වූයේ ඒ සියල්ල වින­යා­නු­කූ­ලව සිදු කළ යුතු බැවිනි.

එසේ බුද්ධ ශාස­නයේ ආර­ම්භයේ සිටම භික්ෂු­ව­කගේ ඇවැ­තුම් හා පැව­තු­ම්ව­ලට අත්‍ය­වශ්‍ය අංග­යක් සේ සැල­කෙන පරි­ස්කා­ර­යන් අටක් එක්ව ‘අට­පි­රි­කර‘ නමින් සමා­ජයේ පසු­ක­ලෙක හැඳි­න්වී­මට පටන් ගෙන ඇත.

ඇත්තෙන්ම අට­පි­රි­කර යනු පැවිදි ජීවි­ත­යට පැමිණි දින සිට භික්‍ෂු­වක් විසින් එදි­නෙදා පරි­හ­ර­ණය කිරී­මට ගනු ලබන උප­ක­රණ කට්‌ට­ල­යයි. එහි තනි­පට සිවුර, දෙපට සිවුර, අඳ­නය, පාත්‍රය, දැළි පිහිය, බඳ පටිය, පෙර­හ­න්කඩ, නූල, ඉඳි­ක­ටුව අඩංගු විය යුතුය.

සිවුර හෝ අඳ­නය ඉරී ගිය විට මසා ගැනීම සඳහා නූල ඉඳි­ක­ටුව අවශ්‍ය වේ. දන් වැළැ­ඳී­මට සහ පිණ්‌ඩ­පා­තයේ වැඩම කිරීම සඳහා පාත්‍රය උප­කාර වේ. රැවුළ හා හිස බූ ගෑම සඳහා දැළි පිහිය පාවිච්චි කෙරේ. අඳ­නය ඉඟි­ටි­යට තබා හිර කිරීම සඳහා බඳ පටිය උප­කාර වේ.

අට පිරි­කර එක්ව­රම පූජා කිරී­මෙන් එය අට මහා කුස­ල­ය­න්ගෙන් එකක් බව දැක්වෙන නිසා සමා­ජයේ බොහෝ දෙනා ඒ කුස­ලය කෙරෙහි ඇදී ගොස් තිබේ. සමා­ජයේ අට­පි­රි­කර යන මාතෘ­කාව කල­එළි බැස ඇත්තේ එහි ප්‍රමි­තිය සම්බ­න්ධ­යෙන් මතුව ඇති කථි­කා­වන් නිසාය.

කරුණු කෙසේ වුවත් බුදු­ර­ජා­ණන් වහන්සේ උදෙසා කරනු ලබන ගෞර­ව­යක් ලෙසින් අට පිරි­කර පූජා කරනු ලබන හෙයින් අපි මේ සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­නය යොමු කෙළෙමු.

අට පිරි­කර සදහා නිසි ප්‍රමි­ති­යක් අවශ්‍ය බවට හඬක් නැඟී ආවේ මීට දශ­ක­ය­කට එක හමා­ර­කට පමණ පෙර සිටය. එයට හේතුව වූයේ කිසිදු ප්‍රමි­ති­ය­කින් තොරව අට­පි­රි­කර අලෙවි කරනු ලබන බවට ලද පැමි­ණිලි නිසාය. ඒ අනුව ප්‍රථ­ම­යෙන්ම මහ­නු­වර ප්‍රදේ­ශයේ වැට­ලී­මක් සිදු කරන ලද අතර එහිදී ප්‍රමි­ති­යෙන් තොරව අට­පි­රි­කර අලෙවි කරනු ලබන වෙළෙඳ සල් 12ක් නීතියේ රැහැ­නට හසු විය. පාත්‍ර වෙනු­වට ඇලු­මි­නි­යම් මුට්ටි දෙකට කපා එහි ඇතුළු කර තිබුණි. තවත් අව­ස්ථා­ව­කදී අට­ම­ස්ථා­නා­ධි­පති ආචාර්ය පල්ලේ­ගම සිරි­නි­වාස නාහි­මි­යන්ට පූජා කළ අට­පි­රි­ක­රක ගඩොල් කැට­යක් ඔතා යොදා තිබුණි. අට­පි­රි­කර පූජා භාණ්ඩයේ ප්‍රමි­තිය යනු කුමක්ද? එහි ප්‍රමි­තිය මේ වන විට රැක දී තිබෙ­න­වාද? සියලු අට­පි­රි­කර අලෙ­වි­සල් ලියා­ප­දිංචි කර තිබෙ­න­වාද?

අපි මේ සම්බ­න්ධ­යෙන් බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රාල් සුනන්ද කාරි­ය­ප්පෙ­රුම මහ­තා­ගෙන් විම­සු­වෙමු.

‘‘අට­පි­රි­කර අලෙවි කරන ආය­තන සම්බ­න්ධ­යෙන් මීට කල­කට පෙර දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලියා­ප­දිංචි කිරී­මක් සිදු කර තිබෙ­නවා. ඒ පුව­ත්පත් දැන්වී­මක් මඟින් තොර­තුරු ගෙන්වා ගැනී­මෙන් පසු­වයි. එහෙත් පාරි­භෝ­ගික අධි­කා­රි­යෙන් පසුව ඒ සඳහා වන තවත් ප්‍රමිති ගත කරුණු අඩංගු විය යුතු බවට දැනුම් දීම් කළා. ඒ අනුව අට පිරි­කරේ අඩංගු ඒ භාණ්ඩ­වල නිය­මිත ප්‍රමි­තිය, කල් ඉකු­ත්වීමේ දින­යක් සඳ­හන් වීම, නිෂ්පා­දිත හෝ ඇසු­රුම් ආය­ත­නය, විනි­විද පෙනෙන ස්වභා­වය, උප­රිම මිල වැනි කරුණු ඒ සඳහා අන්ත­ර්ගත විය යුතු බවට දැනුම් දුන්නා. එම නිසා අපි නැව­තත් පුව­ත්පත් දැන්වී­මක් මඟින් එම ලියා­ප­දිංචි කිරීම් අව­ලංගු කළා. එම නිසා 2010න් පසුව අප එම ලියා­ප­දිංචි කිරීම් සිදු කර නැහැ. දැනට අට­පි­රි­කර අලෙවි සල්වල ඇති බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ ලියා­ප­දිංචි සහ­තික අව­ලංගු වූ ඒවා බව කිව යුතුයි.

කෙසේ වුවත් 2016 වසරේ ජූනි මස 11 වැනිදා පාරි­භෝ­ගික අධි­කා­රිය මඟින් නැව­තත් ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර තිබෙ­නවා අට පිරි­කර ප්‍රමිති ගත යුතු විය යුතු බවට. එම නිසා මේ වන විට අට­පි­රි­කර අලෙවි සල් ලියා­ප­දිංචි කිරීමේ මූලික කාර්ය­යන් අප ආරම්භ කර තිබෙ­නවා. ඒ අනුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨාස මට්ට­මින් තොර­තුරු ගෙන්වා ගෙන තිබෙ­නවා. ඒ හරහා දිව­යි­නේම අට­පි­රි­කර අලෙවි සල් සම්බ­න්ධව අප සතුව තොර­තුරු තිබෙ­නවා. 3000කට අධික අලෙ­වි­සල් දිව­යින පුරා තිබෙන බවට අපට මේ වන විට වාර්තා වී තිබෙ­නවා.

මේ අට­පි­රි­කර සම්බන්ධ ප්‍රමි­තිය විද්වත් භික්ෂූන් වහන්සේ සමඟ සාකච්ඡා කිරී­මෙන් අන­තු­රුව අප සකස් කර­නවා. ප්‍රමිති ආය­ත­නය හා සාකච්ඡා කිරී­මෙන් පසුව පාරි­භෝ­ගික අධි­කා­රිය විසින් ඒ සඳහා අනි­වාර්ය නිර්ණා­යක ලබා දේවි. එවිට ප්‍රමි­ති­ගත අට­පි­රි­කර පම­ණක් පාරි­භෝ­ගි­ක­යන්ට ලබා ගැන්මට හැකි­වේවි.’’

අට­පි­රි­ක­රෙහි අන්ත­ර්ගත සෑම අංග­යක්ම වින­යා­නු­කූල බව­කින් යුක්‌ත විය යුතුය. සිවු­ර­ක්‌ ­ස­ක­ස්‌ ­කළ යුත්තේ විනා­යා­නු­කූල බව­කින් යුක්‌ත­වය. සිවු­ර­කට ප්‍රමා­ණ­ය­ක්‌ ­තිබේ. සාමාන්‍ය භික්ෂූන් වහන්සේ නම­කට සිවු­ර­ක්‌ ­රෙදි යාර නව­ය­හ­මා­ර­කින් යුක්‌ත විය යුතුය. එමෙන්ම සිවුරු මැසී­මට යොදා­ගත යුත්තේ භික්‍ෂු­ව­කට පහ­සු­වෙන් පොර­වා­ගෙන සිටී­මට හැකි රෙදි වර්ග පම­ණකි.

බුදු­ර­ජා­ණන් වහ­න්සේට ප්‍රථම වතා­වට අට­පි­රි­කර පූජාව සිදු කරනු ලැබුවේ ඝටී­කාර මහා බ්‍රහ්මයා විසිනි. එහෙත් බුදු­ර­ජා­ණන් වහන්සේ පිප්ඵලී මාන­ව­ක­යාට ඒහි භික්‌ඛු­භා­ව­යෙන් උප­ස­ම්ප­දාව ලබා­දී­මට පෙර, ආත්ම භාව­ය­කදී කුමන හෝ බුදු­ර­ජා­ණන් වහන්සේ නම­කගේ කාලයේ මහා සංඝ­යාට අට­පි­රි­කර පූජා­ව­ක්‌ ­සිදු කර ඇත්දැයි දිවැ­සින් බැලූහ. මේ කරුණු අනුව පැහැ­දිලි වන්නේ අට­පි­රි­කර පූජාව ගෞතම බුදුන්ගේ කාල­යෙන් එහාට දිව යන කල්ප කාලා­න්ත­ර­යක සිට පැවත එන උතුම් පූජා­ව­ක්‌ ­බ­වය.

මෙහිදී පාත්‍ර­යද ඉතාම වටි­නා­ක­මක් දරන්නේ බුදු­ර­ජා­ණන් වහන්සේ පළමු ධර්ම දේශ­නය සිදු කළ සමයේ පස්වග මහ­ණුන් හමුවූ පසුව බුදු රජා­ණන් වහන්සේ දහම් දෙසන විට පස්වග මහ­ණු­න්ගෙන් එක් නමක් ගොස් දානය රැගෙන ඒමේ සිටය. සෙසු සිවු­දෙනා බුදු­ර­ජා­ණන් වහ­න්සේ­ගෙන් බණ අසන විට අනුව දානය ගෙන ඒමට ගිය තවු­සා­ණන් බුදු­ර­ජා­ණන් වහන්සේ ඇතුළු තම මිතු­රන් සිවු දෙනා­ටත් තමා­ටත් ආදී වශ­යෙන් සය දෙන­කුට දානය රැගෙන ආවේය. ඒ අනුව පාත්‍රයේ භික්ෂූන් සය නම­කට සරි­ලන සේ ආහාර ගෙන ආ හැකි විය යුතුය.

බොහෝ විහා­ර­ස්ථා­න­යන්හි පව­ත්වන මහා අෂ්ට පරි­ෂ්කාර පූජා­වන් සඳහා අට­පි­රි­කර සැල­කිය යුතු ලෙසින් යොදා ගනී. ඒ අනුව වස­ර­කදී අවම වශ­යෙන් විහා­ර­ස්ථාන 8000ක් හෝ මේ පූජා­වන් සිදු කරන්නේ නම් ඒ සඳහා අවම වශ­යෙන් අට­පි­රි­කර ලක්ෂ 5ක් හෝ අවශ්‍ය වන්නේය. බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ සංඛ්‍යා ලේඛ­න­ව­ලට අනුව පසු­ගිය වර්ෂයේ අව­සා­නය (2019) වන විට දිව­යින පුරා විහා­ර­ස්ථාන 9962ක් ලියා­ප­දිං­චිව තිබූ අතර සාමාන්‍ය වශ­යෙන් ලියා­ප­දිංචි නොවූ විහා­ර­ස්ථාන සංඛ්‍යා­වද ඇතු­ළත්ව සියල්ල එක් කර ගත් විට එය 10000කට අධි­කය.

සමස්ත භික්ෂූන් වහන්සේ සංඛ්‍යාව 40595කි. එයින් සාම­ණේර භික්ෂූන් වහන්සේ 21015ක් හා උප­ස­ම්පදා භික්ෂූන් සංඛ්‍යාව 19580 කි. එමෙන්ම දස­සිල් මාතා­වන්ද 2168 දෙනකු දිව­යින පුරාම සිටිති. මේ සියලු භික්ෂූන් වහන්සේ සහ සිල්මා­තා­වන් අට­පි­රි­කර ලැබී­මට සුදුස්සෝ වෙති. එසේම මේ පූජ­නීය පිරිස් අට­පි­රි­කර මෙන්ම අනෙ­කුත් පූජා භාණ්ඩ මිල දී ගැනී­ම­ටද පැමි­ණෙති.

අට­පි­රි­කර අලෙවි කිරී­මේදී කොළඹ, මාලි­ගා­කන්ද පාරේ ඇති අලෙ­වි­සල් කිහි­ප­ය­කට ගොඩ වුණෙමු.

‘දයා­රාජ් අට­පි­රි­කර‘ ඒ වෙළෙඳ සලේ හිමි­කරු කේ. වී. චන්ද්‍ර­සිරි මහ­තා­ගෙන් අපි කරුණු විම­සු­වෙමු.

‘‘අට­පි­රි­කර ව්‍යාපා­රය අධික ලාභ ලැබිමේ අර­මු­ණින් කර­න්නක් නෙමෙයි. බුදු දහ­මත් එක්ක සම්බන්ධ වෙලා කරන දේ බොහොම පරි­ස්ස­මින් කළ යුත්තක් ‘‘ ඔහු ඉතා දැහැමි ස්වර­ය­කින් පැව­සීය.

‘‘මේ ව්‍යාපා­රය ආරම්භ කරල තියෙන්නෙ 1963 අවු­රුද්දේ ඉදලා, අද වෙන­තුරු කිසිම පැමි­ණි­ල්ලක් නැහැ. අපිට ආර­ම්භ­යේ­දීම බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මැ­ති­යත් හිමි වුණා. අපි නිය­මිත ප්‍රමි­ති­ය­කින් තමයි මේ කාර්යය කරන්නේ‘‘

‘‘ඇයි මේ අට­පි­රි­කර බාල කරල විකු­ණ­නවා කියන්නෙ‘‘

‘‘ඒක සම­හරු අධික ලාභ ලබන්න කරන වැඩක් වෙන්න ඇති. අවු­රුදු ගණ­නා­ව­කට කලින් නම් මේ ප්‍රදේ­ශයේ එවැනි කිසිම දෙයක් ගැන ආරං­චි­ය­ක්වත් තිබුණෙ නැහැ. සිය­ලුම ව්‍යාපා­රික ස්ථාන ඉතා හොඳින් සිදු කෙරුණේ. දැන් කො‍ෙහා­මද කියන්න අපි දන්නේ නැහැ. ඕන අට­පි­රි­ක­රක් තමන් ඉදි­රියේ ඇසු­රුම් කරල දෙන්න කියල කියන එක තමයි හොඳම ක්‍රමය වෙන්නේ. හුඟක් අය ඒක කරන්නෙ නැහැ. ඒකයි මෙතන ගැට­ලුව‘‘

‘‘නිම්සෙත‘‘ අට­පි­රි­කර ව්‍යාපා­රික ස්ථානයේ හිමි­කා­රිය වන ඉනෝකා දිල්රුක්ෂි මහ­ත්මිය පව­ස­න්නේද එවන් කතා­වකි. ඇය විසින් වින­යා­නු­කූ­ලව සිවුරු මසා අට­පි­රි­කර සකස් කරනු ලබන බව ඇය පව­සයි.

‘‘සිවුරු මහන එක හැමෝ­ටම කරන්න බැහැ. මැෂිම පාගන්න පුළු­වන් වුණාට සිවු­රක් මහන්න බැහැ. ඒකට හොඳ දැනු­මක් තියෙන්න ඕන. වින­යක් ශික්ෂ­ණ­යක් තියෙන්න ඕන. මගේ අලෙවි සලේ තියෙන අට­පි­රි­ක­රට අදාළ සිවුරු වින­යා­නු­කූ­ලව මම පෞද්ග­ලි­ක­වම සොයා බලල වින­යා­නු­කූ­ලව මහන සිවු­රුයි. ඒ විදි­හට සිවුරු මහන කණ්ඩා­ය­මක් මගේ ළඟ ඉන්නවා. අපේ අලෙවිසලේ ඇති අට­පි­රි­කර වගේම අනෙක් බෞද්ධ උපාං­ග­වල අපි මිල නියම කර­ලයි තියෙන්නෙ. ඒ වගේම අපේ සියලු විස්තර හැම අට­පි­රි­ක­ර­කම අඩංගු වෙනවා. රුපි­යල් 3500 ඉදල අට­පි­රි­කර තියෙ­නවා. ඒත් තායි­ල­න්ත­යෙන් ආන­ය­නය කරන සිවුරු තියෙ­න­වා­නම් ඒවා මිලෙන් ඉහ­ළයි. කොහොම වුණත් අපි පාරි­භෝ­ගි­ක­යන්ට බාල දේ නම් දෙන්නේ නැහැ. පාරි­භෝ­ගි­ක­යාත් දැන ගන්න ඕන දැනු­මක් තේරු­මක් ඇතිව තමන්ට අවශ්‍ය දේ තෝරා බේරා ගන්න‘‘

‘‘නිව් දර්ශන‘‘ අට­පි­රි­කර හා පූජා භාණ්ඩ අලෙවි සලේ අධි­පති එස්.කේ. ගුණ­රත්න මහතා වෘත්ති­යෙන් ඉංජි­නේ­රු­ව­ර­යෙකි. ඔහු වෙනු­වෙන් වෙළෙඳ සලේ බාර­කරු ඒ. කුමාර මහතා පැව­සුවේ විනි­විද පෙනෙන ලෙසින් අට­පි­රි­කර සකස් කර­න්නට කට­යුතු කළ­හොත් ගැටලු රැසක් අඩු­වන බවයි.

‘‘පාත්‍රය වගේම සිවුර හොඳින්ම පේන­කොට එය මිල දී ගන්නා තැනැ­ත්තාට එහි ප්‍රමි­තිය වටහා ගැනීම අප­හසු නැහැ. කොහොම වුණත් හැම භාණ්ඩ­ය­ක­ටම ප්‍රමි­ති­යක් තියෙ­න­වා­නම් ඒක ඉතාම වටි­නවා. බාල අනු­ක­රණ භාණ්ඩ නිසා ජන­තාව තමන්ගේ මුදල් නාස්ති කර ගන්නවා වගේම එයින් භික්ෂූන් වහ­න්සේ­ටත් කිසිම ප්‍රයෝ­ජ­න­යක් ගන්න බැහැ. මේ නිසා පැහැ­දිලි ජන­තා­ව­ටත් දරා ගන්න පුළු­වන්, ඒ වගේම භික්ෂූන් වහ­න්සේ­ටත් නිසි ප්‍රයෝ­ජ­න­යක් ගත හැකි ලෙසින් ප්‍රමි­ති­යක් ලබා දෙන­වා­නම් හුඟක් හොඳයි‘‘

මාළි­ගා­කන්ද පාරේ අප දුටු බොහෝ අලෙ­වි­ස­ල්වල අට­පි­රි­කර විනි­විද ස්වභා­ව­යෙන් යුක්ත බව දුටු­වෙමු. එසේම බොහො ව්‍යාපා­රික ස්ථාන­යන්හි හිමි­ක­රු­වන් මෙන්ම සේව­ක­යින්ද යම් ප්‍රබෝ­ධ­ය­කින් එම කට­යුතු කරනු අපි දුටු­වෙමු.

කෙසේ වෙතත් බාල අට­පි­රි­කර මෙන්ම ප්‍රමි­ති­යෙන් තොර අට­පි­රි­කර අලෙ­විය මෙන්ම අට­පි­රි­කර ව්‍යාජ දේ අඩංගු කර අලෙවි කිරීම බුදු දහ­මට අනුව මහා පාප කර්ම­යකි. අට පිරි­කර පිරි නැමීම අට මහා කුස­ල­ය­න්ගෙන් එකක් වන්නේ නම් එම අට­පි­රි­කර වංචා­වද ඒ හා සමාන ලෙසින් අනෙක් පසින් අකු­ස­ල­යක් විය යුතුය. බුදු රජා­ණන් වහ­න්සේගේ සමයේ අට­පි­රි­කර වංචා­වන් සම්බන්ධ වාර්තා නොවූ නිසා බුදු හිමි­යන් ඒ සම්බ­න්ධව විපාක දේශනා කර නැත.

කෙසේ වෙතත් අට­පි­රි­කර පිදිමේ ආනි­ශංශ ලෙසින් අප දන්නා, පැහැ­පත් සිරුරු හිමි­වීම, මිහිරි හඬ, ගෞර­වය, අරෝහ පරි­ණාහ දේහ සම්ප­ත්තිය ලැබීම, නාය­ක­ත්වය සහ පරි­වාර සම්ප­ත්තිය යන ගුණාං­ග­වල අනෙක් පස වන සම අවර්ණ වීම, කට­හඬ ගොර­හැඩි වීම, සමා­ජ­යෙන් ගැර­හී­මට ලක්‌වීම, මනු­ෂ්‍ය­ත්වය ලැබුණ ද නිසි ශරීර පවත්වා ගන්නට නොලැ­බීම, නාය­ක­ත්ව­යක් ලබා ගන්නට නොලැ­බීම වැනි විපාක ලැබෙනු ඇත.

බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාගේ ක්‍රම­වේ­දය අනුව ඉදි­රි­යේදී අට­පි­රි­ක­රට අදාළ ප්‍රමි­තිය එළි දකිනු ඇත. එවිට ප්‍රමි­ති­යෙන් තොර අට­පි­රි­කර අලෙ­වි­යට වැට බැඳෙනු ඇත. බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව පම­ණක් නොව ප්‍රමිති ආය­ත­නය, පාරි­භෝ­ගික අධි­කා­රිය යන ආය­තන 3ම හරහා මේ පූජා භාණ්ඩ නියා­ම­නය කෙරෙනු ඇත.

ඒ අනුව ඉදි­රි­යේදී ඇලු­මි­නි­යම් මුට්ටි කපා හෝ අට­පි­රි­ක­රට අප­හාස වන ලෙසින් කට­යුතු කරන අලෙවි සල්හි­මි­ක­රු­වන්ට වැඩ වර­දිනු ඇත. ඔවුන්ට ඉදි­රි­යේදී දඬු­වම් දෙකක් විදී­මට සිදු­වනු ඇත. ඒ අංශ දෙක­කිනි. එකක් නීතියේ දඩු­ව­මිනි. අනික බුදු දහ­මට අනුව කළ කම් පළ දෙමිනි.

එම නිසා අට­පි­රි­කර අලෙවි කර­න්නන් මෙන්ම ඒවා ලබා ගන්නා පාරි‍භෝ­ගි­ක­යින්ද ඉදි­රි­යේදී තම අව­ධා­නය යොමු කළ යුතුය. තමන් ගෙවන මුද­ලට සරි­ලන භාණ්ඩ­යක් නොලැ­බෙන්නේ නම් ඒ සම්බ­න්ධව ඉදි­රි­යේදී කට­යුතු කළ හැකි වනු ඇත. ඒ මේ වස­රේදී ඒ හා සම්බන්ධ ප්‍රමි­තිය එළි දැකී­මෙන් පසු­වය.

 

 

 

Comments