හරි­යට සහෝ­ද­ර­යෙක් නැති වුණා වගෙයි | සිළුමිණ

හරි­යට සහෝ­ද­ර­යෙක් නැති වුණා වගෙයි

කොළඹ බලා දිවෙන දුම්රියකට ගම්පහ දුම්රිය ස්ථානයෙන් ගොඩවෙන මේ පුද්ගලයා වාඩිවීමට ආසනයක් නොලැබුණත් හිටගෙන හෝ කිසියම් දෙයක් කියවමින් පැමිණ දෙමටගොඩින් බැස යන අයුරු දුම්රියේ ගමන් ගන්නා බොහෝ දෙනෙකු දැක ඇතිවාට සැකයක් නැත. ඔහුගේ අතේ බොහෝ වෙලාවට රැඳී තිබෙනුයේ රංගනය පිළිබඳ පොතක් එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක, වේදිකා නාට්‍යයක හෝ චිත්‍රපටයක තිර පිටපතක් වීම සුලබ දසුනකි.

පුරා වසර 60කට ආසන්න කාලයක් තම රංගන චාරිකාවේ නියැළි මේ අසහාය රංගධරයා කලාකීර්ති සුමින්ද සිරිසේනයි. කෑගල්ල, බොස්සැල්ල ග්‍රාමයේ උපත ලද සුමින්ද ගමේ පාසලේ අධ්‍යාපන කටයුතු නිමාකොට ශිෂ්‍යත්වයක් ලැබ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන්නේ 1963 වර්ෂයේදීය. ඔහු ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට පැමිණියත් නාට්‍ය හා රංග කලාවට තෝතැන්නක් වූ තෝලංගමුවට මධ්‍ය විද්‍යාලය, රංගනයට මහත් ඇල්මක් දැක්වූ තරුණ සුමින්දට රඟ මඬලක් විය. මෙම විද්‍යාලයෙන් තම රංගන චාරිකාව ආරම්භ කළ සුමින්ද, රාජ්‍ය පාසල් නාට්‍ය උලෙළ කිහිපයකදීම විදුහල නියෝජනය කරමින් සම්මාන සහතික දිනා ගත්තේය.

2012 වසරේ හදිසියේ ඔත්පළ වූ සුමින්ද අද දක්වා කිසිම කලා කටයුත්තකට සම්බන්ධ නොවීය. දවසින් දවස ප්‍රකෘති තත්ත්වයට ළඟා වෙමින් සිටින මෙම අසහාය කලාකරුවා තම ඇස් දෙක මෙන් බලාගන්නා සුවිශේෂි කාන්තාව සුමින්ද ගැන පවසන අදහස් මෙසේ දැන ගනිමු. ඒ අන් කවරකුවත් නොවේ සුමින්දගේ දයාබර බිරිය ලීලා සිරිසේනයි.

තෝලංගමුව පාසලේ ඉගෙනුම ලබන කාලයේ ලීලාට සුමින්දට හඳුනාගන්න ලැබෙන්නේ 1968 වර්ෂයේදීය. කිසි දෙයක් නොදන්නා ලීලාට සුමින්දගේ ආදර පණිවිඩ ලැබෙන්නේ ලීලාගේ පන්තියේ යෙහෙළියන්ගෙන්. කාලයාගේ ඇවෑමෙන් මොවුන් පෙම්වතුන් බවට පත්වන්නේ යහළු යෙහෙළියන්ගේ ආශිර්වාදය මැද්දේ. පාසල් දිවියෙන් සමුගත් සුමින්ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබ කොළඹට ගොස් වසර 13ක් තිස්සේ පැවැති ආදර සම්බන්ධයෙන් අනතුරුව‍ ලීලා විවාහ කරගත්තේය.

“සුමින්ද හරිම තැනපත්, නිහතමානී ස්වාමියෙක්. ඔහුගේ රඟපෑම් ඉතා විශිෂ්ටයි. ‘මනමේ’, ‘සිංහබාහු’, ‘මහාසාර’, ‘බවකඩතුරාව’, ‘කදා වළලු’ ඔහු රඟපෑ වේදිකා නාට්‍ය මම ආසාවෙන් නැරැඹුවා.

සුමින්ද ටෙලිනාට්‍ය 40කට ආසන්න ප්‍රමාණයක රඟපෑවා. ඔහුගේ පළමු ටෙලිනාට්‍යය තමයි 1985 වර්ෂයේ විකාශය වූ ‘සිහින නිම්නය’ ටෙලි වෘතාන්තය. සුමින්දගේ මම කැමැතිම අමතක නොවන රංගනය තමයි ‘චරිත 3ක්’ ටෙලි නාට්‍යයේ ‘ඉසා’ ගේ චරිතය. එය ඔහු හරිම සංයමයකින් රඟපෑවා. ‘දුහුළු මලක්’, ‘සප්ත කන්‍යා’, ‘උප්පලවන්නා’, ‘උඩුගංයාමය’, ‘පිටසක්වළ කුමාරයා’, ‘බෝම්බ සහ රෝස’, ‘ගාමණී’, ‘ඉරහඳයට’ වැනි චිත්‍රපටවල ඔහු රංගනයෙන් දායක වූවත් මගේ හිතගිය චරිතය තමයි ‘සමනල තටු’ චිත්‍රපටයේ ‘සොත්ති මාටින්’ ගේ චරිතය. ලීලා සිරිසේන සුමින්දගේ රංග කෞෂල්‍යය ගැන එලෙස පැවසුවාය. සුමින්දටත් ලීලාටත් පිරිමි දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් පුතු ගයාරංග, පරිගණක ඉංජිනේරුවෙකි. ඔහු විවාහ වී නෙදර්ලන්තයේ පදිංචිව සිටී. නන්දික ප්‍රසාද පවුලේ බාලයාය. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරන අතරතුර වාසය මවුපියන් සමඟය.

“සුමින්ද අසනීප වෙලා දැනට අවුරුදු 8ක් වෙනවා. මේ කාල වකවානුවේ එයාගේ හිතවත්, ගොඩාක් අය එයාව බලන්න ආවා. වැඩිපුර ම දුක සැප බලන්න ළඟින්ම හිටියේ ජයලත් මනෝරත්නයි බුද්ධදාස විතානච්චියි. මනෝරත්න මහත්තයත් හදිසියේ ම අසනීප වෙලා සුමින්දව බලන්න එන එක නැවතුණා. අද අපට එයත් නැතිවුණා. මනෝරත්න මහත්තයගේ මරණය දැන ගත්තාම සුමින්ද ඇඬුවා. බලාගත් අත බලාගෙන කල්පනා කළා. හරියට කෑමක් බීමක් ගත්තෙත් නැහැ. මටත් ඒ වේදනාව තදින්ම දැනුණා. හරියට අපේ සහෝදරයෙක් නැතිවුණා වගේ. හොඳ අයට ආයුෂ අඩුයි.” ලීලා හැඟුම්බරව පැවසුවාය. ජයලත් මනෝරත්නයන් ජීවිත රඟ මඬලින් බැස‍ගොස් හමාරය.

අසනීප තත්වයෙන් පසු වන සුමින්ද සිරිසේන කලාකරුවාට ජීවිත රඟ මඬලින් නැඟී සිට, නැවත රඟ මඬලේ රඟන්නට, ගයන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමු! 

Comments