සිංහල සින­මාවේ අම­තක නොවන ජෝති - එම්.එස්. යුග ගීතය | Page 2 | සිළුමිණ

සිංහල සින­මාවේ අම­තක නොවන ජෝති - එම්.එස්. යුග ගීතය

මෙරට කතානාද සිනමා ඉතිහාසයේ ගීත ගායනා ගැන කතා කරන විට කඩවුණු පොරොන්දුවේ රුක්මණී දේවි, හියුගෝ ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවආරච්චි, එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා. ඉන් පස්සෙ කාලෙක ආපු

චිත්‍රපටවල යමුනා රානි, කේ. රානි, ඒ.එම්. රාජා, මොහිදීන් බෙග් වගේ ගායක ගායිකාවන් මෙරට සිනමාව රසවත් කළා. ඉන් පසු යුගයේ ලතා වල්පොල, ධර්මදාස වල්පොල, ජී.එස්.බී. රානි පෙරේරා යන ගායක ගායිකාවන් ද මෙරට සිනමා ගීත ක්ෂේත්‍රය තව තවත් පෝෂණය කළා කියන්න පුළුවන්. කොහොම වුණත් මුල් යුගයේ විශේෂයෙන් ම යමුනා රානි, කේ. රානි, ජික්කි වගේ දකුණු ඉන්දීය

ගායිකාවන්ගේ සිංහල බස හැසිරවීමේ අපහසුව නිසා ඔවුන්ගේ ගායනා විලාසය දකුණු ඉන්දීය මුහුණුවරක් ගත්තා යැයි කිවුවොත් නිවැරදියි.

ඇත්තෙන් ම ගායක ගායිකා යුගල වශයෙන් ගත්තොත් පසු කලෙක ලතා - ධර්මදාස යුගලයේ අවතීර්ණ වීමත් සමඟම තමයි සිංහල සිනමා ගීතාවලියට නව මුහුණුවරක් ලැබෙන්නේ.

එදා ප්‍රේම තරගය චිත්‍රපටයෙන් ආරම්භ වූ මේ දෙදෙනාගේ යුග ගායනය ඉන් පස්සේ දශක දෙකක් පමණ හෙළ සිනමා ගීතාවලිය ආලෝකමත් කරනවා. ඉන් පස්සේ තමයි කලඑළි බහින්නේ මෙරට සිනමාවේ අමරණීය යුග ගීතය.

ඒ තමයි ජෝතිපාල - ඇන්ජලින් යුග ගීතය, හැටේ දශකයේ පමණ ආරම්භ වී දශක කිහිපයක් ඇදී එන මෙය හැත්තෑව දශකය සම්පූර්ණයෙන් ම තම ආධිපත්‍යයට නතු කර ගත්තා කියන්නට පුළුවන්, ජෝතිපාලයන් ඕනෑම නළුවෙකුට ඕනෑම අවස්ථාවකට ගැළපෙන ආකාරයෙන් ගායනා කළේ කෙසේද ඒ වගේ ම ඇන්ජලිනුත් ඕනෑම නිළියක් වෙනුවෙන් යුග ගීතයක් ද, ශෝක ගීතයක් ද, එහෙමත් නැත්නම් සමාජ ශාලා ගීතයක් ද මොන වගේ ගීතයක් වුණත් ගායනා කළා ඉතාම මැනවින්.

මෙම දෙදෙනාට අමතරව මෙරට තිරයට ඉතාමත් මැනවින් ගැළපුණු තවත් හඬක් තමයි සිංහල සිනමාවේ පළමුවන සංගීත අධ්‍යක්ෂවරිය වීමේ ගෞරවය 1976 ප්‍රදර්ශනය කළ හරියට හරි චිත්‍රපටයෙන් අත් කර ගත් සුජාතා අත්තනායක. ඇගේ හඬත් ජෝති සමඟ යුග ගීතයට මැනවින් ගැළපුණා.

ඒ වගේ ම 1978 තිර ගත වූ අනුපමා චිත්‍රපටයෙන් ආරම්භ වනවා ජෝති - ලතා යුග ගීතය. මෙම ගී හඬ අසූව දශකය සිසාරා පැතිර යනවා. ඇන්ජලින්, මිල්ටන් මල්ලවආරච්චි, වික්ටර් - ලතා, සුජාතා - වික්ටර්, ග්‍රේෂන් ආනන්ද - ලතා, ග්‍රේෂන් - ඇන්ජලින් යන ගායක ගායිකා යුගලත් මෙරට සිනමාවේ කැපී පෙනුණු ගායක ගායිකා යුගල ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඒ අපි කතා කළේ මෙරට, නැත්නම් සිංහල සිනමාවේ ගායක ගායිකා යුග ගීතය පිළිබඳවයි. ඒ වගේ ම අපට අමතක කරන්නට නොහැකි යුග ගායනයක් සිංහල සිනමාවේ දැක ගන්නට හැකියි. හැබැයි ඒ ගායක ගායිකා යුවළක් නෙමෙයි, කෙළින් ම කිවුවොත් ගායකයින් දෙදෙනෙක් අතර වූ යුග ගීත. ඒ තමයි ජෝතිපාල - එම්.එස්. ප්‍රනාන්දු යුග ගීතය.

මේ දෙදෙනා තිරයට ගායනා කළ යුග ගීත අදටත් ජනප්‍රියයි‍. විශේෂයෙන් ම විනෝද ගමනකදී හෝ කිහිප දෙනෙකු එකතු වන අවස්ථාවල මෙම දෙදෙනාගේ යුග ගීත අහන්නට පුළුවන්, 1971 තිරයට ආ ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටයට පී.එල්.ඒ. සෝමපාලගේ සංගීතයට මේ දෙදෙනා ගැයූ ‘කොඩි ගහයට මම උපන්නේ’, එතකොට 1974 තිරගතවූ ‘ලසඳා’ චිත්‍රපටය සඳහා ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ගැයූ ‘ගෙදර හිටිය රෝස කැකුළ රෝසා’, 1977 තිරයට පැමිණි අර්නස්ට් සොයිසා සංගීතවත් කළ ‘මරුවා සමඟ වාසේ’ චිත්‍රපටයේ එන ‘තැටිය මැද්දේ කළු කරාපු‘ සරත් දසනායකගේ සංගීතයට ‘සදහටම ඔබ මගේ’ 1973 ‘වාසනාව දොර ඇරලා බලනවා’, වගේ ම සරත් දසනායක ම සංගීතවත් කළ ‘යකඩයා’ 1977 චිත්‍රපටයේ යනවිට පාරේ පී.එල්.ඒ. සෝමපාල සංගීතවත් කළ ‘ලස්සන කෙල්ල’ 1975 චිත්‍රපටයේ ‘අපි ඉරට ගියත් හඳට ගියත්’, පී.එල්.ඒ. සෝමපාල ම සංගීතවත් කළ ‘සරදියෙල්ගේ පුතා’ 1976 ‘අතට අරන් එන්න මැණික් ඉල්ලම්’ යන ගීත මේ අනුව ඉතා ජනප්‍රියයි, මෙම ගීත ඉහත සඳහන් චිත්‍රපටවල ගායනා කරන අවස්ථා බලන කොට ප්‍රධාන චරිත වගේ ම දුෂ්ට චරිතත් මෙම ගීත චිත්‍රපටවල ගයන ආකාරය දැකගන්න පුළුවන්.

උදාහරණ විදිහට ගත්තොත් කොඩි ගහ යට, තැටිය මැද්ද කළු කරාපු, වාසනාව දොර ඇරලා බලනවා, අතට අරන් එන්න මැණික් ඉල්ලම් වගේ ගීතවලට එම චිත්‍රපටවල ප්‍රධාන නළු චරිත කෙළින් ම සම්බන්ධයි.

ඉරට ගියත් හඳට ගියත් දිනුම්, රෝසා, යන විට පාරේ, වගේ ගීත සඳහා පෙනී සිටින්නේ ඒ චිත්‍රපටවල දුෂ්ට චරිත කියා කිවුවොත් නිවැරදියි. විමසල බලන කොට ජෝති - එම්.එස්. යුග ගීත වැඩිපුරම දකින්නට තියෙන්නේ නීල් රූපසිංහගේ චිත්‍රපටවල හතර දෙනාම සූරයෝ, ලස්සන කෙල්ල, සරදියෙල් ගේ පුතා, යකඩයා වැනි චිත්‍රපට මේ අනුව පෙන්වා දෙන්න පුළුවන්. ජෝති - එම්.එස්. යුග ගීයේ අමතක නොවන ගායනයක් තමයි ලස්සන කෙල්ල චිත්‍රපටයේ එන තිස්ස, ගීතා, අග්‍රා සජීවනී, ඇන්තනී සී. පෙරේරා පෙනී සිටින මලේ රේණුව කියන ගීතය මෙහිදී ජෝති, එම්.එස්. සුජාතා හා තවත් ගායිකාවක මතකයට අනුව ඉන්ද්‍රානි සේනාරත්න යන සිවු දෙනාම මේ ගීතය ගායනා කිරීම විශේෂයි‍.

Comments