වාෂ්පී­ක­ර­ණ­යෙන් මුහු­ණට හිමිවන ප්‍රති­ලාභ | සිළුමිණ

වාෂ්පී­ක­ර­ණ­යෙන් මුහු­ණට හිමිවන ප්‍රති­ලාභ

රූපලාවණ්‍ය කටයුතුවලදී වාෂ්පීකරණය නැතිනම් දුම් ඇල්ලීම නිරන්තරයෙන් සිදු වන කාර්යයක්. මෙය විවේකී අවස්ථාවක ඉතා පහසුවෙන් අපට නිවෙසේදී පවා සිදු කරගත හැකියි. ඒ වගේම දුම් ඇල්ලීම සාමාන්‍ය ක්‍රමයට මෙන්ම ඒ සඳහාම නිපදවා ඇති රූපලාවණ්‍ය උපකරණ භාවිතයෙනුත් කළ හැකියි. කෙසේවෙතත් ඉන් අත්වන ප්‍රතිලාභ නම් ඉතා ඉහළයි. ඉතින් අද අප කතා කරන්නේ වාෂ්පීකරණයෙන් මුහුණට හිමිවන ප්‍රතිලාභ පිළිබඳයි.

සම පිරිසුදු වේ

උණුසුමට නිරාවරණය වූ විට සමේ සිදුරු ඉබේටම විවෘත වෙනවා. සිදුරු විවෘත වීමත් සමඟ උණුසුම නිසා ඔබට දහදිය දැමීමට පටන් ගන්නවා. එමඟින් සමේ සිදුරු තුළ පැවැති අපද්‍රව්‍ය ඉවතට සේදී යනවා. සමේ සිදුරු අවහිර කරගෙන තිබෙන දෑ සහ බ්ලැක්හෙඩ්ස්වල තද බව අඩු වී, මෘදු වෙනවා. සම පිරිසුදුවීමේ ස්වභාවික ක්‍රියාවලිය වැඩි කිරීමට දුම් ඇල්ලීම උපකාරී වෙනවා.

 

සමට තෙත් බවක්

වාෂ්පීකරණයෙන් පසුව වෙනදාට වඩා සමට තෙත් ස්වභාවයක් හිමි වෙනවා. සමේ වියළි බව අඩු කර ගන්න සතියකට වතාවක් වත් දුම් ඇල්ලීම ඉතා හොඳ ප්‍රතිකර්මයක් වෙනවා.

ඔබ ගල්වන ආලේපනවලින්

ලැබෙන ප්‍රතිඵල ඉහළට

ඔබ ආලේපන මුහුණේ ගල්වන්නේ යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙනුයි. ඉතින් ඔබේ සමේ සිදුරු තුළ ඇති අපද්‍රව්‍ය දුම් ඇල්ලීමේදී ඉවත් වෙන නිසා, ආලේපනවල ඇති ගුණ සම තුළට උරා ගැනීම වඩාත් පහසු කරවනවා. එයින් ඔබේ සමට ආලේපන ගැල්වීමෙන් බලාපොරොත්තු වන සම්පූර්ණ ප්‍රතිඵලයම අත් කරගන්න පුළුවන්.

 

රුධිර සංසරණය ප්‍රාණවත් වීම

සම උණුසුම් වීමේ ප්‍රතිඵලයක් ලෙස රුධිර නාල පළල් වෙනවා. ඉතින් දුම් ඇල්ලිමේදීත් ඔබේ රුධිර නාල පළල් වෙනවා. එමඟින් ඔබේ සිරුරේ රුධිර සංසරණය වේගවත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනයත් අඩු වෙනවා. සමේ සෛලවල ක්‍රියාකාරීත්වය ඉහළ යනවා.

රුධිර සංසරණ ක්‍රියාවලිය ප්‍රාණවත් වීමේ ක්‍රියාවලියත් සමඟ සමේ සෛලවල ක්‍රියාකාරීත්වය ඉහළ යනවා. සමට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ යෑම සමේ සෛලවල ක්‍රියාකාරිත්වයට පහසුකම් සපයනවා. සම වෙත ගලා එන රුධිර ප්‍රමාණය ඉහල යාමෙන් සමට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය, පෝෂක ප්‍රමාණයත් ඉහළ යනවා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස සමේ කොලජන් නිපදවීමේ ක්‍රියාවලියත් ඉහළ යනවා. අවසාන ප්‍රතිඵලය ලෙස ඔබට ශක්තිමත් සමක් ලැබෙන අතර, රැළි වැටීම් අඩු වෙනවා.

 

සම ලිහිල් වීම සහ

මනා විවේකයක්

සමට දුම් ඇල්ලීම මඟින් මනා විවේකී සුවයක් අත් වෙනවා. සමේ මාංස පේශි ලිහිල් වීම මඟින් ඔබට මනා සුවයක් අත් වෙනවා. රාත්‍රී නින්දට පෙර මුහුණට දුම් ඇල්ලීමෙන් සුවදායි නින්දක් ලැබෙන බව පැවසෙනවා. ඔබේ සිරුර හා මනස ලිහිල් කර ගන්න මෙය හොඳ අභ්‍යාසයක්. එමෙන්ම මානසික ආතතිය යම් තාක් දුරකට අඩු කර ගන්නත් පුළුවන්.

 

දිදුළන සමක්

දුම් ඇල්ලීම මඟින් සම හොඳින් පිරිසුදු වීමත්, ගල්වන ආලේපනවල ගුණ ඉක්මනින් සමට උරා ගැනීමත්, සම වෙත ලැබෙන රුධිර ප්‍රමාණය ඉහළ යෑමත් නිසා කෙටි කාලයකින්ම ඔබට දිදුලන සමක් හිමි කර ගත හැකි වෙනවා.

 

හිසරදයට මනා සහනයක්

වාෂ්පීකරණයෙන් ඔබගේ හිස කැක්කුම් සඳහා සුවයක් ලැබෙනවා. එහි තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය, සෙම ගතිය ඉවත් කර ඔබට සහනයක් උදා කරයි.

අන්තර්ජාලය ඇසුරෙනි

Comments