මටම නොවේ නුඹ­ටත් නැති වෙන්න එපා | සිළුමිණ

මටම නොවේ නුඹ­ටත් නැති වෙන්න එපා

තුංග තුරු වදු­ලු­වල මල් පිපෙන කොට
රංචු රොද බැඳී බඹ­රුන් රඟන හැඩ
බංඩි ගොයම කිරි වැදිලා නටන කොට
මංද නුඹෙ සුවඳ දැනුණේ හිතට මට

යන්න ගම අතැර සැර­සෙන සෙයි­ල­මට
වැන්න නුඹ සඳට පිටුපෑ කුමුදු මල
පින්න නොවැ­ටි­යන් කම්මුල මතට රත
එන්න මැණික ආයෙත් ගම් දොරට හෙට

නාදලු තොලේ වස විස තැව­රෙන්න එපා
දේදුනු දෙබැම මැකිලා කළු වෙන්න එපා
⁣බමන බඹර නෙත් ළඟ තැති­ගන්න එපා
මටම නොවේ නුඹ­ටත් නැති වෙන්න එපා

ගාය­නය - රොෂාන් ජයකොඩි
පද රච­නය - ධම්මි අනුරපුර
සංගී­තය - අනුරාධ අබේසිංහ

කැලේ පිපිලා කැලේම පර වී යන මල් බොහෝමයි. එත් සමහර මල් කැලේ පිපුණාට කොහොම හරි නිසි තැන් කැපී පෙනෙනවා, හැඩ කරනවා සුවඳ කරනවා වගේම අගයකුත් දෙනවා. තවත් සමහර මල් කැලේ පිපිලා නගරයට ඇවිල්ලා අවසානයේ විනාශ වී යන්නේ සිද්ධ වුණේ කුමක්ද කියලා කාටවත්ම හිතා ගන්න බැරි විදිහට. අතීතයේ පටන්ම කාන්තාව මලකට සමාන කරන්න නිර්මාණකරුවන් හුරු වෙලා හිටියා. මේ නිසා ලස්සන ගැහැනු ළමයකු දුටු විට ඈ වත පිපුණු මලකට සමාන කෙරුණු බොහෝ උපමා අප අසා දැක තිබෙනවා.

 

මුදු මොළෙක් ගති සොබාවෙන් යුතු තරුණිය හරියට බිඳෙන බඳුනක් වගෙයි. ඒ බඳුන බිම වැටිලා බිඳුණොත් එය යළි තිබු පරිදිම සකසන්නට බැහැ. වැඩිහිටියන් කියන්නේ තරුණියත් ඒ වගේ කියලා. ඒ නිසා එදා හිටිය වැඩිහිටියන්, මවුපියන් තම දූවරුන් පරිස්සම් කරන්නේ තමන්ගේ ඇස් දෙක වගේ. හරියට මලක් වගෙයි.

“අපි හැදුණේ මල් වගේ”

සමහර වෙලාවට එහෙම කියනවත් අහලා ඇති.

කොහොම වුණත් මවුපිය ආදරය හැරුණ විට තමන් ආදරය කරන තරුණිය මලක් සේ රැකගන්න ආදරණීයයන් මේ අතර ඉන්නවා. ඇතැම් වේලාවට පෙම්වතා කැමති නැහැ තම ආදරවන්තිය නගරයේ අරුමෝසම් කරනවාට. එදාට වඩා අද නම් කාලය වෙනස්. අද පෙම්වතුන් බොහෝ වේලාවට විවිධ අරුමෝසම් කරන්නට පෙම්වතිය, බිරිය ඉස්සර කරගෙන යන අවස්ථා අප දැක තිබෙනවා.

ගමෙන් නගරයට යන්නිය ඒ සමාජ රටාවට වෙනස් වීමෙන් අවසානයේ ඇයට ඇය පවා නැති වේයැයි ආදරවන්තයාට ඇත්තේ බියකි. නැති නම් ගමෙන් නගරයට එන කාන්තාවට ඇගේ රුව ගුණ පරිස්සම් කර ගන්නයැයි කියමින් ලියැවුණ, මෙන්ම ගමෙන් නගරයට ඇවිත් වෙනස් වුණ පෙම්වතියන් පාදක කොටගනිමින් ලියැවුණු ගීත අද අපට බොහෝ අසන්නට ලැබෙනවා. විටෙක අද මෙවැනි ගීත වැඩක් තියෙනවා දැයි කියලා හිතෙන යුගයක ධම්මි අනුරපුර ලියූ මේ ගීය ගැන යමක් ලියන්නට සිතිණි.

කිවිඳියක ලෙස හඳුන්වාදිය හැකි ධමිමි ලියූ මේ පදවැල අපට සිහිගන්වන්නේ ජනකවි ආරයි.

කොතරම් සමාජය දියුණු වුවද අප තවමත් අගයන්නේ අපේ පැරණි සමාජයයි. එදා සමාජයේ ජීවත් වූ චාම් කාන්තාවයි. නගරයේ අරුමෝසම්වලට නොරැවටෙන කාන්තාවයි. වචනයේ අරුත එලෙස වුවද සමාජ සාරධර්ම අගයන සමාජ වටිනාකම් රැකගන්නා ගැහැනියකගේ වටිනාකම ගැනද මෙහිදී ව්‍යංග­්‍යයෙන් මෙන් කියැවේ.

ගමෙන් නගරයට පැමිණෙන්නියක වෙනස් විය හැකි මං බොහෝය. අද නගරබදව නම් ඇත්තේ මෝස්තර ලෝකයකි. නමුදු දිගු කොණ්ඩය, කපා හැඩ නොකළ ඇහිබැම, පාට නොගැල්වූ දොතොල් හිමි ගැමි තරුණිය , කාන්තාව තුළ ඇත්තේ අපුරු සුන්දරත්වයකි. ඒ සුන්දරත්වය මෝස්තර අතර මං වූ අයෙකුගෙන් දැකිය නොහැකිය. සමාජයේ හැසිරෙන විට අපට මේ වෙනස සුලබය.

ගීපද රචිකා ධම්මි අනුරපුර තම පද රචනාව ගැන පවසන්නේ මෙවැනි අදහසකි.

“මම ඉන්නේ කොළඹින් දුර බැහැර. අපේ ගම්වල සිට බොහෝ තරුණ තරුණියන් නගරයට එනවා රස්සාවල් හොයාගෙන. ඇතැමුන් කොළඹ නගරයටත් එනවා. දවසක් මම උදේ පාන්දර ගමේ වෙල්යායත් එක්ක තියෙන පොඩි බැද්දට ගියා. උදෑසනට ඒ පරිසරය හරිම සුන්දරයි. ඒ වේලාවට තමයි ගමේ ඉඳලා නගරයේ ඇඟලුම් කර්මාන්තශාලාවේ රැකියාවට යන තරුණ තරුණියන් රැගෙන යන බස් එක යන්නේ.

එදා මම දැක්කා බස් එක එන තුරු ලස්සන තරුණියක් ඇගේ පෙම්වතා කියලා හිතන්න පුළුවන් තරුණයකු සමඟ කතාබහ කරමින් ඉන්නවා. හැබැයි ඒ තරුණිය පෙම් කරන තරුණයා ගොවිතැන් කරන කෙනෙක්. ඔහු කිසි විටෙකත් තරුණිය ගමෙන් යනවාට කැමති නැහැ. මා සිටිය තැනට ඔවුන් කතා කරන දේවල් ඇහුණේ නැහැ. එහෙත් ඔවුන් බොහෝම ආදරයෙන් ළෙන්ගතුකමින් සිටින බවයි මට දැනුණේ. ටිකකින් බස් එක ආවා. තරුණිය එහි නැඟිලා යන්න ගියා. නමුත් අර තරුණයා මද වේලාවක් යන තුරු බසය දෙස බලාගෙන හිටියා.

ඒ දසුන දුටුවට පස්සේ මගේ හිතේ ඒ දසුන් පෙළ රැඳිලා තිබුණා. ඒ අනුව තමයි මේ පදපෙළ ලියැවුණේ. අනුරාධ අබේනායක සොයුරා මෙයට අපුරු තනුවක් නිර්මාණය කෙරුවා. රොෂාන් ජයකොඩි සොයුරා ගැයුවේ. මම දැනුණු දෙයක් තමයි මේ සඳහා නිර්මාණය වූ තනු නිර්මාණයට ගැළපෙන ලයාන්විත හඬක් රොෂාන්ට තිබෙනවා. ගීතයේ යම් සාර්ථක බවක් තිබෙනවා නම් මේ දෙදෙනාගේම දායකත්වය එක සේ බලපෑ බව මගේ හැඟිමයි.”

නාදලු තොලේ වස විස තැවරෙන්න එපා

දේදුනු දෙබැම මැකිලා කළු වෙන්න එපා

⁣බමන බඹර නෙත් ළඟ තැතිගන්න එපා

මටම නොවේ නුඹටත් නැති වෙන්න එපා...

 

රුව වෙනස් කරගන්න එපා කියන්නා සේම ඔහු ඇයට ඇයවත් නැති කර නොගන්නා ලෙස කියන්නේ බොහෝ ආදරයෙනි දයාවෙනි. ප්‍රේමය ඇත්තේ හිමි කරගැන්ම තුළ නොව අහිමි වීම තුළයැයි කෙනෙකු කියයි. එහෙත් අහිමි වුවද ජීවිත වරද්දා නොගන්නා ලෙස කොනෙකු තම ආදරවන්තියට ප්‍රාර්ථනය කරන්නේ නම් බැඳිම අප්‍රමාණය.

 

Comments