පොත් කලාව සම­හරු ව්‍යාපා­ර­යක් කරගත් නිසා දැන් පහත් මට්ට­ම­කට වැටිලා | සිළුමිණ

පොත් කලාව සම­හරු ව්‍යාපා­ර­යක් කරගත් නිසා දැන් පහත් මට්ට­ම­කට වැටිලා

“මගේ නිර්මාණ රසිකයන්ට ඉදිරිපත් කරන්න කලින් මම බලන්නේ ඒවා මුලින් මට රසවිඳින්න පුළුවන්ද, මගේ සමීපතමයන්ට රස විඳින්න පුළුවන්ද කියලයි. හරියට හරි දේ කරමින් ඔද්දල් වෙච්ච සමාජයට හොඳ නිර්මාණයක් තිළිණ කිරීමයි මගේ අරමුණ”

මෙහෙම කියන්නේ කලා අංශ කිහිපයකින් ම තම හැකියාවන් ඔපමට්ටම් කරගනිමින් ලේඛන ලොව නමක් දිනූ ම‍නෝජ් සියඹලාපිටියයි.

මනෝජ්ගෙ උපන්ගම දංකොටුව. මූලික අධ්‍යාපනය ලබන්නේ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙන්. ලේඛන කලාවට අමතරව සංගීතය පිළිබඳවත් අංකුර හැකියාවන් පාසල් කාලෙදිම ඔහු තුළින් විද්‍යමාන වුණා. ඔහුගේ මුල්ම ගීතය නිකුත් කරන්නේ 2003 වසරෙදියි. ඒ “සුවඳයි අම්මේ” ගීතයයි. ගීත රචනය චන්ද්‍ර සෙනෙවිරත්නගේ. සංගීතය මල්ක මල්ලවගේ. ඒක මවුගුණ ගීතයක්. මනෝජ්ගේ පාසල් අවදියේ සංගීත ගුරුවරයා විශාරද මැල්කන් ෆොන්සේකා මහතායි. පසුකාලීන ගුරුවරිය විශාරද ධම්මිකා තිලකරත්නයි. ඉන්පසුවත් මනෝජ්ගේ ගීත කීපයක් ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා.

“පාසල් අධ්‍යාපනයෙන් පස්සේ 2000 වසරේ මම සරසවි අධ්‍යාපනයට යොමු වෙනවාත් සමඟ ලංකාවෙ ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් සමඟ එක්වෙලා පොත් ලියන්න ගත්තා. විවිධාකර විෂය මාලාවන් ඔස්සේ මේ වන විට පොත් 150කට වැඩි ප්‍රමාණයක් ලියලා තියනවා. කැලණිය සරසවියේ ශාස්ත්‍රවේදී කලා උපාධියෙන් පස්සේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව හැදෑරුවා.”

මනෝජ් සියඹලාපිටිය කතන්දර පොත් 20ක් ඇතුළුව ලංකාවේ මංගල සිරිත් හා අෂ්ටක ගැන සමාජ විද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථයක්, සරල භාෂාවෙන් ලියැවුණු පංච තන්ත්‍රයේ කතා, ශ්‍රී ලංකාව 1, 2, 3, 4, 5 කියලා වෙළුම් 5න් යුත් ලොකු පොත් 5ක් ලියලා තියනවා. ශ්‍රී ලංකාව ගැන ලියවුණු පොත් පෙළේ ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ සිදුවීම්, විජය රජුගේ ආගමනයේ සිට වර්තමානය දක්වා සිදුවීම් දාමයන් ඇතුළත් වෙනවා. සංකීර්ණ පන්සිය පනස් ජාතක‍ පොත් වහන්සේ තුළ අඩංගු කරුණු කුඩා දරුවන්ට පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් සැකසූ කතන්දර පොත් කීපයක් ද ඒ අතර වෙනවා. මනෝජ්ගේ 100 පොත විශේෂයි. ලංකාවේ සියලුම ඉතිහාසගතවූ චරිත 150 ක් එකතු කරලා, අමරණීය චරිත නමින් ලියූ 100 වැනි පොත මුලින් ම පිළිගැන්නුවේ ඔහු ඉගෙනගත් පාසලේ විදුහල්පතිවරයාටයි.

ලේඛන කලාවට අමතරව ම‍නෝජ් ගීත කලාවෙත් යම් දුරක් ගිය කෙනෙක්. සංගීත කලාවේ අතීත, අනාගත ප්‍රවණතා ගැන ඔහු රසඳුනට මෙහෙම කීවා.

“2005 වසරේ ජාතික රූපවාහිනියේ ලෝක ළමා දින තේමා ගීතයට මගේ ගීතය තේරුණා. රූපවාහිනිය මඟින් රූප රචනය කරලා අද දක්වා ප්‍රචාරය කරන්නෙ එම ගීතයයි. එය මට ලැබුණු විරල අවස්ථාවක්. එම වසරෙදිම දංකොටුව නගරශාලාවෙදි මම ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වුවා. දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් ද එයට එක්වුණා. දිගටම වේදිකා ප්‍රසංග කලාවෙ හිටියා. “සුවඳයි අම්මේ” මුල්ම ගීත ඇල්බමය නිකුත් කළේ 2006 දියි. මේ සඳහා රෝහණ වීරසිංහ, සුනිල් දයානන්ද කෝණාර, සුනිල් ආර්. ගමගේ, ශාන්ත ජයලත් තිසේරා ආදී ප්‍රවීණ පිරිසක් එක්වුණා. ඒ අතර පාසල් හා විවිධ ආයතන තුළ ගී රසවින්දන වැඩසටහන් කළා.

මම අලුතින් ගීත 3ක් නිර්මාණය කරලා තියනවා මාතෘකා 3ක් ඔස්සේ. එක් ගීතයක් තාත්තා කෙනෙක් පුතාට කියන ගීයක්. දෙවැන්න පුතෙක් තාත්තා වෙනුවෙන් ගැයෙන ගීයක්. තෙවැන්න බිඳුණු ආදරයක් ගැන ගීතයක්. සත්‍යජිත් ලක්මාල් පද රචනය කරන, අජන්ත රාජකරුණා විසින් සත්සර හා මුසුකරන දහඩිය කඳුළු පියගුණ ගීතයයි. ජෝර්ජ් රොබ්සන් ද සිල්වාගේ පද පෙළෙන් හා ටෝනි මල්ලවයන්ගේ තනුවෙන් සැරසුණු මැණික් රුවන් නිධන් කෙරූ මගේ දෙවන ගීතයයි. තෙවැන්න අජන්ත රාජකරුණාගේ සංගීතයෙන් හැඩවූ අහිමි වූ ආදරය ගීතය රචනා කළේත් මමයි. මේ ගීත තුන ඇතුළත් තාත්තා නමින් C.D පටියක් එළිදක්වන්නත් සෑම චැනල් එකකම වගේ ප්‍රචාරය කරන්නත් මම සූදානම් කරලා තියෙන්නේ. ජූලි මාසේ 25 දින ප්‍රසංගයක් කරන්නත් සූදානම්.

අසූව දශකයේ හොඳ නිර්මාණකරුවෝ සිටියා. දැනුත් කීපදෙ‍ෙනක් සිටිනවා. සංගීතය සඳහා මම උඩැක්කි, බටනලා, රබාන, මද්දලය වගේ දේශීය සංගීත භාණ්ඩ තමයි උපයෝගි කර ගන්නේ. මොකද අපි අපේකම, දේශීයත්වය රැකගත යුතුයි. හොඳ නිර්මාණ ටිකක් කරලා සතුටින් ජීවත් වීමෙන් තමයි වඩාත්ම සැනසෙන්න හැකිවන්නේ. මුදල් අපේක්ෂාවෙන් දුවනවට වඩා වේදිකාව ගැන මම කලකිරිලා ඉන්න නිසා වේදිකාවෙ ගී ගයන්න යන්නේ නැහැ. මගේ ගීත නිර්මාණ u tube වැනි විද්යුත් මාධ්‍ය හරහා නැරඹිය හැකියි. ඉදිරි අනාගතය ගැන විමසද්දි, ලේඛන කලාවක්, ගීත කලාවක් හොඳ පැත්තකට නැඹුරු වෙනවා කියන්න අමාරුයි. අපිට පරිගණක හා නව තාක්ෂණය අවශ්‍ය නමුත් ඒවා මතම ජීවත් වුණොත් අපේ මානුෂික හැඟීම් යටපත් වීමේ ස්වභාවය යටපත් කරන්නත් අමාරු වෙනවා. මගේ දෙමවුපියන් බොහොම අහිංසක, කලාවට සම්බන්ධ නැති අය. එයාලගේ ආදර්ශයෙන් තමයි මෙච්චර දුරක් ආවේ.”

මනෝජ්ගේ සාහිත්‍ය ගමනට අතහිත දෙන අයට කෘතඥතාව පළ කරන්නත් ඔහු අමතක කළේ නැහැ.

“මගේ බිරිය අයෝමා සුරවීර. වෘත්තියෙන් ගුරුවරියක්. දංකොටුව මිහිඳු විද්‍යාලයේ උගන්වන්නේ. ඇයත් දරුවන් වෙනුවෙන් පොත් ලියන, පාසල් වැඩපොත් සම්පාදනය කරන ලේඛිකාවක්. ලොකු පුතා ලිවිනු තාම 3 වසරේ. පොඩි පුතා ලවන් තාමත් පෙර පාසල් යන්නේ. මට උදව් කරන කීපදෙනෙක් ඉන්නවා. අනුෂා මෙන්ඩිස්, හර්ෂ ගුණවර්ධන, මගේ පාසල් මිතුරන්, කලා ක්ෂේත්‍රයේ අය මට ලොකු ශක්තියක් ලබාදෙනවා.

මගේ අලුත් නවකතාව අප්‍ර‍ියෙල් මාසයේ එළිදක්වන්නේ. ලේඛන කටයුතුත් දිගටම කරගෙන යනවා. දැන් පොත් කලාව සමහරු ව්‍යාපාරයක් කරගෙන පහත් මට්ටමට පත්වෙලා.”

ඇත්තෙන්ම ම‍නෝජ් සියඹලාපිටිය දැන් ලේඛකයෙක් විතරක් නෙමෙයි. පොත් ප්‍රකාශන ආයතනයක හිමිකරුවෙක්. “නුවණ ප්‍රකාශන” හිමිකරු ඔහුයි. තවත් ලේඛක ලේඛිකාවන් රැසකට අතහිත දෙන්නත් ඔහු සැදී පැහැදී සිටිනවා. ලේඛන කලාවේත් සංගීත දිවියේත් දිගු ගමනක් යන්න අපි ඔහුට සුභාසිරි පතමු.

 

අංක 101/A/25

බටහිර කටුකෙන්ද, දංකොටුව.

ඔහුගේ ලිපිනයයි. 

Comments