නිමා නොවන කතා­වක ඇරැ­ඹුම | Page 2 | සිළුමිණ

නිමා නොවන කතා­වක ඇරැ­ඹුම

සමාජ ආර්ථික, දේශපාලන සහ පරිසරය පිළිබඳ මනා පෙළගැස්මකි. කෙටියෙන් කිවහොත් ලේඛනය සහ සහ එහි වෙසෙන්නන්ගේ බහුවිධ ජයග්‍රහනයන් පිළිබද දිදුලන චිත්‍රයකි. ෆෙඩ් රෙඩ්ෆඩ් විසින් රචිත මුද්දර එකතු කරන්නන්ගේ අත්පොතෙහි සඳහන් වන්නේ එළෙසිනි.

ලොව ප්‍රථම මුද්දරය කරන ලද වසර 1840 මැයි 6 වැනිදා සිට ඉදිරියට මුද්දර එකතු කිරීමේ විනෝදය දිගහැරි

ණනි. වත්මනෙහි එය ලොව වඩාත් ජනප්‍රියතම විනෝදාංශ අතුරින් එකකි. ප්‍රථම තැපැල් මුද්දරයේ නිර්මාතෘ බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් රෝලන් හිල් මැතිඳුන්ය.

“විනෝදාංශයන්ගේ රජ” නැතහොත් “රජවරුන්ගේ විනෝදාංශය” ලෙස සැලකෙන මුද්දර එකතු කිරීම ඉතාමත් කෙටි කාලයකින් ජනප්‍රිය වූ විනෝදාංශයක් ලෙස පිළිගැනේ. එය කෙනෙකුගේ කාන්සිය, විඩාව, අලසකම දුරු කර පූර්ණකාලීනව දැනුම හා විනෝදය ගෙන දෙයි. වැසිබර අඳුරු දිනයක, හොඳින් හිරු රැස් වැටෙන දිනයක, දිවා රෑ නොබලා කිසිවෙකුට කරදර නොකර, කිසිකෙනෙකුට බාධාවක් නොකර රස විඳිය හැකි විනෝදාංශයකි. මේ පුංචි කඩදාසි කැබැල්ලෙන් මුළු විශ්වයක් තරණය කළ හැකි ආකාරය ඉතාමත් චමත්කාරජනක ය. ලෝකයේ සෑම රටකම, සෑම ස්ථානයකටම, අහසේ සඳ තරුවලට පවා කිසිඳු දේශ සිමා මායිම් නොමැතිව ළගාවෙමින් ඒවායෙහි ආස්වාදය විඳ ගැනීමට පරිකල්පනය කිරීමට මේ විනෝදාංශයෙන් ලැබෙන පිටිවහල අති විශිෂ්ට ය.

මුද්දර එකතු කිරීමේ විනෝදාංශය මෙසේ සරලව දැක්විය හැකිය.

රැස් කිරීම (Acquisition)

සංවිධානය කිරිම (Organization)

ප්‍රදර්ශනය(Display)

අධ්‍යයනය (Study)

මුද්දර එකතු කිරීම හුදෙක් විනෝදාංශයක් පමණක් නොව සකසුරුකම, දැනුම, අවබෝධය, ගවේෂණශීලීත්වය, සහ ක්‍රමවත් බව ප්‍රවර්ධනයහි ලා උත්ප්‍රේරකයක් බව පැහැදිලිය. විවිධ සැමැරුම් අරභයා නිකුත් කරනු ලබන මුද්දර ක්‍රමවත් ව එකතු කිරීම සහ අධ්‍යයනය කිරීම ඔබගේ බුද්ධියට අතිරේක ජවයක් බව සහතික ය. මුද්දර එකතුවකින් ලබා ගන්නා දැනුම පුස්තකාලයක දින කිහිපයක් ගත කොට රැස් කර ගන්නා තොරතුරුවලට වඩා වැඩි බැව් අතීතයේ දී පැවසූ අතර වත්මනෙහි එය අන්තර්ජාලය පරිශීලනය කිරීමට සමාන කළ හැකිය.

දැනුම හා තොරතුරු ගවේෂණයට පොළඹවන මාධ්‍යයක් වශයෙන් හැඳින්වෙන මුද්දර එකතු කිරිම පොතපතින් පරිබාහිරව දැනුම රැස්කර ගැනීමේ පහසුම සහ විනෝදජනක මාධ්‍යයයි. ක්‍රමවත්ව මුද්දර එකතු කිරීම ෆිලටලි (Philately) නම් පාරිභාෂිත පදයෙන් හැඳින්වේ.

ඕනෑම රටක තැපැල් මුද්දර නිකුත් කරන්නේ කිසියම් සුවිශේෂී සිදුවිමක්, සංවත්සරයක්, සැමරුමක් අරභයාය. ඒ නිසා සෑම මුද්දරයකම පසුබිම විශාල කතන්දරයක් ගැබ්ව තිබේ.Every Stamp tells a story යනුවෙන් පවසන්නේ ඒ නිසයි.

සෑම මුද්දරයකම කතන්දරයක් තිබෙන බැවින් මුද්දර එකතුවක කතන්දර රැසක් පවතිනවා. ඒ එක් එක් කතන්දරය වෙන් වෙන් ව සලකා බැලීමේ දී එක මුද්දරයක කතන්දරය තවත් මුද්දරයක කතන්දරයකට කිසියම් අයුරකින් සම්බන්ධව පවතින බැව් වටහා ගත හැකිය. දැනුම, අවබෝධය, ගවේෂණශීලීත්වය සහ නිර්මාණාත්මක පරිකල්පනය උපයෝගී කරගෙන වඩා රසවත් සහ අර්ථවත් කියවීමක් මේ තුළින් ලබා ගත හැකිය.

මුද්දර සැලසුමක් මඟින් සමාජගත කරන පණිවිඩය කියවා ගැනීම පහසු කිරීම සඳහා මුද්දර සාහිත්‍යයෙන් ඉටුවන මෙහෙවර සුවිසල්ය. මුද්දරයේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික සහ තාක්ෂණික වටිනාකම් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීම තුළින් මුද්දර එකතු කිරීම සහ කියවීම යන දේපාර්ශවය ම සංවර්ධනය වන්නේය.

ශ්‍රී ලංකාවේ අපට ඉතා රසවත් මුද්දර සාහිත්‍යයක් අතීතයේ පැවතුණි. “ශ්‍රී ලංකාවේ මුද්දර සාහිත්‍ය පිළිබඳ විමර්ශනයේ දී 50-60 දශකය එහි ස්වර්ණම යුගය ලෙස හැඳින්විය හැකිය. ප්‍රැන්සිස් පී ගුණසේකරයන් විසින් පුබුදුවන ලද ලාංකේය මුද්දර සාහිත්‍යය එවකට පාසල් දරු දැරියන් මුද්දර විනෝදාංශයේ සිරකරුවන් බවට පත් කර තිබුණි. දේශීය මුද්දර සාහිත්‍යයේ පුරෝගාමියා ප්‍රැන්සිස් පී ගුණසේකරයන් ය.”

සාම්ප්‍රදායික මුද්දර එකතු කිරීමේ විනෝදාංශයෙන් ඔබ්බට ගොස් එහි උපරිම ඵලදායිතාවය ලබා ගැනීම සඳහා මුද්දර කියවීම සිදු කළ යුතුය. එය සැබැවින්ම විනෝදජනක ගවේෂණ ක්‍රියාවලියක් බව ඔබට ඉක්මනින්ම වැටහි යනු ඇත. බටහිර අධ්‍යාපන ක්‍රමය තුළ තැපැල් මුද්දරයෙන් තොරතුරු ගවේෂණය පංති කාමරයෙන් බැහැරව සාමූහිකව සිදු කළ හැකි සෞන්දර්යාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් බව හඳුනා ගෙන තිබේ.

ඉතිහාසය සංක්ෂිප්ත කරනා මුද්දරය එය පුළුල්ව අධ්‍යයනය සදහා කියවීම අත්‍යවශ්‍ය කරුණකි. මුද්දරයක මතුපිට තලයේ (Surface Level) සහ ගැඹුරු තලයේ (Deep Level) කියවීම ලෙසින් දෙයාකාරය. ඇසට පෙනෙන මතුපිට ස්වභාවය සහ මුද්දරය නිකුත් කිරීමේ ප්‍රස්තුතය හා ඒ හා සබැදි ඉතිහාසය, කියවීම මෙලෙසින් හැඳින්වේ.

මුද්දරය කියවීම සඳහා ඒ පිළිබඳ රාමුගත නොවී විමසිය යුතුවේ. රාමුවෙන් බැහැරව පිරික්සීමේදී මුද්දරය යනු සිත්තරකුගේ තෙළිතුඩන් නිමවූ මනා සිතුවමකි. සෑම සිතුවමකටම ඊට අනන්‍යවූ කතන්දරයක් පවතී.

මුද්දරය නිමා නොවන කතන්දරයක ඇරඹුමයි. විනෝදය, දැනුම, සෞන්දර්ය, නිර්මාණශීලිත්වය, ගවේෂණශීලිත්වය, පරිකල්පනය, විවිධත්වය, විචිත්‍රත්වය සහ සහජිවනය වැනි බහුවිධ නිපුණතා සහ කුසලතා මතුකිරීමට අවශ්‍ය ඉගෙනුම් පරිසරය සකස් කරදීම හෙවත් ඉගෙන ගැනීම විනෝදාංශයක් බවට පත්කර ගැනීමට “මුද්දරය” කදිම මාර්ගෝපදේශකයෙකි.

ලෝකයේ විවිධ ජාතීන් අතර, එකමුතුව, සහෝදරත්වය සහ සමාජ ඒකාබද්ධතාවය ගොඩනගමින් සමාජ, ආර්ථික පාරිසරික සහ සංස්කෘතික විවිධත්වය තුළ, විචිත්‍රත්වය මතුකරන මුද්දරය අපූර්ව කලා ප්‍රකාශනයකි.

මුද්දරය නමැති කලා ප්‍රකාශනය සංස්කෘතික විවිධත්වය සහ සමාජ එකමුතුව ඇතිකරලීම සඳහා ඉතා ප්‍රශස්ත අයුරින භාවිතා කළ හැකි ඉගෙනුම් උපකරයකි. ජාතික, ජාත්‍යන්තර වශයෙන් සන්නිවේදනය පහසු කළේය, පුද්ගලාන්තර සන්නිවේදනය සහ මානසික සබධතා සංවර්ධනයට මුද්දරයෙන් ලැබෙනා දායකත්වය මිල කළ නොහැකිය. විවිධත්වයේ විචිත්‍රත්වය පිළිබඳ ඉතා සරලව වටහා ගැනීම සදහා මුද්දර එකතුවක් දෙස විමසිලිවත්ව බැලීම පමණක් ප්‍රමාණවත්ය. ලෝකයේ සෑම රටක්ම, සෑම ජාතියක්ම තම තමන්ගේ අනන්‍යතාවයක් රැක ගනිමින් පොදු නීති මාලාවකට සමත්ව එක්රැස් වී සිටින්නේ තැපැල් සේවය තුළය. තැපැල් මලු තුළය.

ජාති, ආගම්, වර්ණ භේද එහි නොසැලකේ, ආගමික, පාරිසරි, දේශපාලන විවිධත්වයන් හමුවේ එකමුතුවේ සහ සහෝදරත්වයේ බැඳීම ගොඩනංවයි. මුද්දරය නිල නොලත් තානාපතිවරයෙකු ලෙසින් සලකනුයේ එබැවිනි.

තේමාත්මකව නිකුත් කරන මුද්දර විවිධය, විචිත්‍රය සුවිශේෂි ඇගයුම්, ජාතික සහ ජාත්‍යන්තර සැමරුම් සහ ක්‍රියාකාරිත්වයන් සඳහා නිකුත් කරන ලබන මුද්දර විවිධත්වයේ කැඩපතකි. මුද්දර එකතුවක් සම්පූර්ණ වීම සඳහා මේ සෑම නිකුතුවක්ම අත්‍යවශ්‍ය වේ. කිසියම් මුද්දරයක් මගහැරී ගියහොත් එකතුව අසම්පූර්ණය.

දැනුම, විනෝදය, රසවින්දනය හා පරිකල්පනය උපරිම වශයෙන් උරුම කර දෙන මුද්දර කියවීම සීමා මායිම් නොමැති සොඳුරු ආස්වාදයකට මග විවර කරවයි. එය සාම්ප්‍රදායක පන්ති කාමරයේ සිදුකරන ඉගෙනුම්. ඉගැන්විම් ක්‍රියාවලියෙන් පරිබාහිරව දැනුම ගොනුකර ගත හැකි නිර්මාණාත්මක ප්‍රවේශයකි. අදහස් තොරතුරැ හුවමාරුව මගින් ප්‍රතිපෝෂණය ලබනා ක්‍රියාවලියකි.

සෞන්දර්යාත්මක ඉගෙනුම් උපකරණයක් ලෙසින් තැපැල් මුද්දරය භාවිත කිරිම විෂයය සමගාමි ක්‍රියාකාරකමක් ලෙසින් ද හැඳින්වේ. පාඩම් පොතෙන් පරිබාහිරව ජිවිතයක් තිබෙනා බව පාසල් දරුවන්ට පෙන්වා දීම යුගයේ අවශ්‍යතාවකි. රැස් කරගත් මුද්දර දෙස අලුත් ඇසකින් බැලීමට වැඩිහිටියන්ට ද මඟපෙන්විය යුතුය.

හිතවත්කම් අලුත් කරගනිමින්, ජීවිතය කියවන්න, මුද්දරය කියවන්න, ඔබත් අප හා එක්වන්න.

Comments